බෙලිඅත්ත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංපිටිය ඓතිහාසික ගම්මානයකි. වළගම්බා රජ සමයටත් එහා ගිය අතීතයක් එහි පවතී. බෙලිඅත්ත-ගැටමාන්න මාර්ගයේ මෙම සුන්දර ගම්මානය පිහිටා තිබේ. වසර සිය ගණනක් පැරණි බෝධිය, අංපිටිය ගම්මානයේ ඓතිහාසික පසුබිම මනාව පිළිබිඹු කරයි. විශේෂයෙන්ම පොල්කන්ද ඇළෙන් උඩ කොටසේ පදිංචිකරුවන් උඩු පිල ලෙස ද එම ඇළෙන් මෙහා පැත්තේ පදිංචි අය යටි පිල ලෙසද බෙදී ඇත. අතීතයේ සිට චාරිත‍්‍රයක් ලෙස අං ඇදීම සිදු කළ නිසා මෙම ගම්මානයට අංපිටිය ලෙස නම ලැබී තිබෙන බව කියති. එම ගම්මානය තුළ බෝධීන් වහන්සේලා කිහිප නමක්ම දැක ගත හැකි අතර ඉන් අංපිටිය බෝධියට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. විශේෂයෙන්ම එහි අරක් ගෙන සිටි සුදු නාගයකු පිළිබඳ මතකය ගැමියන් තුළින් තවමත් පහව ගොස් නොමැත. එම නාගයා කිසිදු විටෙක ජනතාවට හිරිහැරයක් නොවන පරිදි වාසය කිරීම නිසා සියලූ දෙනාගේ ගෞරවාදරයට පාත‍්‍ර වී සිටියේය. එහෙත් 2002 වර්ෂයේ මාර්තු මාසයේ දිනයක හදිසියේ සුදු නාගයා මිය ගියේ සියලූ දෙනාගේ හදවත් කම්පා කරවමිනි. බෝධිය අසල හුඹස තුළින් කිසියම් දුර්ගන්ධයක් හමන බවට ප‍්‍රදේශවාසීන්ට දැනී ඔවුන් පරීක්ෂා කරන විට එම නාගයා මිය ගොස් සිටියේය. ඒ අනුව ඉතා සියුම් ලෙස හුඹස කඩා මිය ගොස් සිටි නාගයා පිටතට ගෙන සුදු රෙද්දක තබා අවසන් ගෞරව දැක්වීමට ගම්වාසීන් කටයුතු කළේය. පසුව ගමේ තරුණයින් පුවක් ගස් කපා ගෙනැවිත් සෑයක් ගසා නාගයා ආදාහනය කළේ මහා සංඝරත්නයට මතක වස්ත‍්‍රයක් ද පූජා කරවමිනි. බොහෝ දෙනාගේ වැඳුම්-පිදුම් වලට ලක්වූ නාගයා ඉතා හොඳ ආත්මයක ඉපදේවායි එය දැක බලා ගැනීමට පැමිණ සිටි දහස් ගණනක ජනතාවගේ ප‍්‍රාර්ථනය විය. අවසානයේ සත් දවසේ දානය ද පිළියෙල කොට ගමේ පන්සලට පිළිගන්වා පිං අනුමෝදන් කරවීමට ද ඔවුහු අමතක නොකළහ. අවසන් වරට අංපිටියේ දේවාල තොවිලය පවත්වා දෙසතියක් ඉක්ම යන්නටත් පෙර මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුවීම විශේෂත්වයක් විය. එහෙත් එය සිදු වී වසර දහයකට පසු එම යටගියාව යළි හාරා අවුස්සන්නට සිදුවී ඇත්තේ අංපිටිය බෝධියේ විසූ නාගයා මරණින් පසු මිනිස් ආත්මයක් ලබා ඇති බවට ජනතාව පවසන නිසාය. හාස්‍යය හා මවිතය දනවන මෙම පුනරුත්පත්ති සිද්ධිය ඉකුත් සතියේදී වාර්තා විය. මාතර නගයේ ප‍්‍රධාන පෙළේ පාසලක 05 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවා උපන්නේ 2002 වර්ෂයේ. මෙම සුදු නාගයා මියගොස් මාස දෙකකට පසුවය. කුඩා කල ඉතා සුරතලෙන් හැදී වැඩුනු දරුවා අවුරුදු හතරක් පමණ වන විට වෙනස් ආකාරයේ හැසිරීමක් පෙන්නුම් කළේය. පියා එය ඒ තරම් ගණන් නොගත්තත් මව දරුවා ගැන දැඩි විමසිල්ලකින් සිටියේය. තම පුතු කුඩා වයසේ සිටම සුදු නාගයකු ගැන කියන්නට වීම දෙමාපියන්ට ප‍්‍රහේලිකාවක් විය. ටික ටික වයස වැඩිවත්ම දරුවා ඊට එහා දේවල් කියමින් මව හා පියාගේ මනස අවුල් කළේය. ඊට අමතරව නිතර අසනීප විය. ක්ලාන්තය සෑදී ඇද වැටිණ. ඇතැම් විට සිහි මඳ ගතියකින් කතා බහ කළේය. පවුලේ එකම දරුවා ඔහු වීම නිසා මව්පියෝ දක්ෂ වෛද්‍යවරුන් සොයමින් තරඟයට බෙහෙත් ලබාදුන්හ. ඉන් සුවයක් නොවුණු විට දේවාල ගානේ ගොස් ශාන්ති කර්ම සිදු කළහ. එතැනින් ද නොනැවතී විශේෂඥ මනෝ වෛද්‍යවරුන් වෙත ගොස් පෙන්වා ප‍්‍රතිකාර ලබාදුන්නේය. එහෙත් රෝගී තත්ත්වයේ අඩුවක් දැක ගත නොහැකිය. ඇතැම් විට සුළු වරදකට හෝ මව නුරුස්සන ස්වභාවයක් පෙන්නුම් කළහොත් ”අම්මේ මට ගහන්න එපා. අම්මාට පව් සිද්ධ වෙනවා.” යයි වදන් කීවේය. එවැනි අවස්ථා වලදී මවගේ පපුව රත්වී පැලෙන්නට මෙන් විය. ඒ සිය පුතු කියන දේවල් ඒ තරමටම හද කම්පා කරවන සුළු නිසාය. ඊට අමතරව තමා නාගයකු බව දරුවා නිතර කියන්නට විය. පාසලේ දී ද අනෙකුත් මිතුරන් ඉදිරියේදී නාගයකු මෙන් නටන ජවනිකා ඉදිරිපත් කළේය. ඒකාකාරී ජීවිතයෙන් මිදීම සඳහා පාසලේ විදුහල්පති තුමිය හා ආචාර්ය මණ්ඩලය එම දරුවා වන්දනා ගමනක් කැඳවා ගෙන යන ලෙසට යෝජනා කළේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන් අනුරාධපුර වන්දනාවේ ගියේය. දරුවා කුඩා කල සිට ගැටඅත හා මාන්න ආදී ගමක නමක් පැවසීම නිසා දෙමාපියන් ඒ යන සෑම විටකදීම එම ගම ගැන සෝදිසියෙන් සිටියේය. එම වන්දනා ගමන ගොස් නැවත පාසලට පැමිණි අවස්ථාවේදී දරුවා පන්ති භාර ගුරුතුමිය මවිතයට පත් කරන වදන් කිහිපයක් කියා සිටියේය. ඒ තමා මීට පෙර නාගයකුව සිට ගැටමාන්න ප‍්‍රදේශයේ බෝ ගසක් ආශ‍්‍රිතව ජීවත් වී මිය ගිය බවත් ඉන් පසු මනුෂ්‍ය ආත්මයක් ලැබුණු බවත්ය. ඉන් විස්මයට පත් ගුරුවරිය ඉතා ඉක්මනින් ඒ බව පාසලේ විදුහල්පතිවරිය වෙත දැනුම්දුන්නාය. ඔවුහු එකතු වී දරුවා පවසන ලද තොරතුරු සනාථ කර ගැනීම සඳහා ගැටමාන්න පුරාණ රජ මහ විහාරස්ථානයට දුරකථන ඇමතුමක් ලබාගත්හ. එහිදී භික්ෂූන් වහන්සේ නමක් කියා සිටියේ විහාරස්ථානය ආසන්නයේ බෝ ගසක සුදු නාගයකු අරක් ගෙන සිටි බවත් මීට වසර දහයකට ඉහතදී එම නාගයා මිය ගිය බවත් ගම්වාසීන්ගේ ගෞරවාදරයට පාත‍්‍ර වී සිටි නිසා ආදාහනය ඉතා ඉහළින් සිදු කොට මතක වස්ත‍්‍රයක් ද පූජා කොට පිං අනුමෝදන් කළ බවත්ය. පන්ති භාර ගුරුතුමිය තම සිසුවා පිළිබඳව ඒ හිමියන් ද දැනුවත් කර ඔහුගේ දෙමාපියන් පාසල වෙත කැඳවා ගත්තේය. අකුරක් නෑර සියලූ දේ විස්තර කළ ගුරුතුමිය හැකි ඉක්මනින් දරුවා ගැටමාන්න ප‍්‍රදේශය වෙත කැඳවාගෙන යන ලෙසට උපදෙස් දුන්නේය. ඒ අනුව මල් වට්ටි හතක් පලතුරු වර්ග සහිත පූජා වට්ටියක්, ගිතෙල් පහන්, අබ තෙල් පහන් හා පොල් තෙල් පහන් සූදානම් කොට මාතර නගරයට නුදුරු ගමක පදිංචි දෙමාපියන් දරුවාද සමග ඉන් පසු දිනම අදාළ ස්ථානය සොයා ගියේය. පළමුව ඔවුන් ගැටමාන්න පුරාණ රජ මහ විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත් සිදුකොට එහි භික්ෂූන් වහන්සේලා ද දැනුවත් කොට කුඩා හිමි නමක් සමග අංපිටිය බෝ ගස අසලට පැමිණියහ. එහිදී කුඩා දරුවා විසින් සිය දෑතින් මල් වට්ටි සාදා පහන් පත්තු කොට පූජාව සිදු කරන විට ඔහු ආරූඪ වීමට පටන් ගත්තේය. එය ආරංචි වීමත් සමග ඉතා සුළු වේලාවක් තුළදී එම ගමේ මෙන්ම අවට ගම්වල පදිංචිකරුවන්ද අංපිටිය බෝගස අසලට ඒකරාශී වීමට පටන් ගත්තේය. ”මට මේ ප‍්‍රදේශය හොඳට පුරුදුයි. මේ තියෙන්න මම හිටපු ස්ථානය. මම මේ කොස් ගසේ බෙනය තුළ තමයි නිතර වාසය කළේ. මම මිය ගියේ මේ තුඹස තුළදී. මගේ මව වන හැපින්න මිය ගියේ මෙතැනදී” යයි කියමින් දරුවා වැඩිහිටි අයෙකු ලෙස සිය පෙර ආත්මය පිළිබඳ විස්තරය ඉදිරිපත් කළේය. ”සැබවින්ම සුදු නාගයා වැඩිපුර හිටියේ මේ කොස් ගසේ බෙනය තුළ තමයි. මේ තුඹසෙදී තමයි මිය ගියේ” යයි කියමින් ගැමියෝද විස්මිත වී එකිනෙකාට කොඳුරන්නට වූහ. ඉන් පසු දරුවා බෝ කොළයක් හා නුග කොළයක් උපයෝගී කරගෙන නාගයකුගේ රූපයක් සකස් කර එය බෝ ගසේ අත්තක එල්ලන ලදී. ඒ වන විට දහසකට අධික පිරිසක් රැස් කකා බලා සිටියදී දරුවා මෙසේද කීය. ”මම මේ බෝධියට අරක් ගෙන සිටින විට ගමේ අය දිනපතා පුද පූජා පැවැත්වුවා. දැන් එය අඩුවෙලා තිබෙනවා. ගමේ සමගිව සිටි අය අසමගි වෙලා. ඒ නිසා විෂ්ණු, කතරගම හා පත්තිනි දෙවියන් උදෙසා මේ ස්ථානයේ දේවාල තුනක් ඉදි කරන්න. දිනපතා පුද පූජා පවත්වන්න. එසේ නොමැති නම් සතියකට වරක්වත් පළතුරු පූජාවක් පවත්වන්න. එවිට මිනිසුන් අතර සමගිය ඇති වේවි. ලෙඩ දුක් කරදර නැති වේවි. මුළු ගමේම දියුණුව හා සශ‍්‍රිකත්වය ඇති වේවි.” අවසන් වශයෙන් සතියක් ගත වන තුරු තමා තනි නොකරන ලෙස දරුවා ඉල්ලා සිටියේය. එම සතිය තුළ උදෑසන ආහාරයට කිරි බත්ද දිවා ආහාරයට එළවළු සමග බත්ද රාත‍්‍රි ආහාරයට පලතුරු වර්ගයක් පමණක් ලබා දෙන ලෙසටද ඉදිරි අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව සිදු කර ගෙන යාහැකි බවටද දරුවා ප‍්‍රකාශ කළේය. ඉන් අනතුරුව සුළු වේලාවක් භාවනාවක නිරත වූ ඔහු එක්වරම මහ හයියෙන් කෑ ගසමින් ”මම මේ ඉන්නේ කොහේද මේ තරම් සෙනග” ඇයිදැයි ඇසීය. ඒ වන විට පියවි සිහියට පැමිණ සිටි දරුවා ඉතා ඉක්මනින් මෝටර් රථයක නංවා සිය නිවස වෙත කැඳවා ගෙන යාමට දෙමාපියෝ ක‍්‍රියා කළෝය. කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පසු දරුවා සාමාන්‍ය තත්ත්වයට පත්ව සිටී. අසනීප තත්ත්ව සම්පූර්ණයෙන් සුව අතට හැරී තිබේ. මග හැරුණු අධ්‍යාපන කටයුතුද සම්පූර්ණ කරමින් සැබෑ දක්ෂයකු ලෙස ක‍්‍රියා කරන බව ගුරුවරු පවසති. අංපිටිය බෝධියේ සිටි සුදු නාගයා මිය ගිය පසු මනුෂ්‍ය ආත්මයක් ලබා ඇති පුවත මේ වන විට මුළු දකුණු පළාතේම පැතිර ගොස් අවසන්ය. බොහෝ අය ඊට අදාළ දරුවා දැක බලා ගැනීමට ආශාවෙන් සිටියද ඔහුගේ ඉදිරි අනාගතය ගැන සිතා දෙමාපියන් එය රහසක් සේ සඟවා ගෙන සිටී.   මෙම සිද්ධිය පිළිබඳව තොරතුරු සෙවීමට මම එම ගම් පියස වෙත ගියෙමි. අංපිටියේ පදිංචි වඩුගේ පියතිලක මහතා : මම මේ බෝ ගස ආසන්නම පදිංචිකරුවෙක්. ගමේ පදිංචි සියලූදෙනාම එකතු වෙලයි මේ ස්ථානය ආරක්ෂා කරන්නේ. මේ කියන සුදු නාගයා මම නිතර දැක තිබෙනවා. ඌ අපිට කිසිම කරදරයක් හිරිහැරයක් සිදු කළේ නැහැ. ඒ නිසා හැමෝම නාගයාට ආදරය කළා. නාගයා මිය ගියාම අපිට ලොකු දුකක් ඇති වුණා. ඒ අවස්ථාවේදී අවසන් ගෞරව දක්වන්න හිටපු ප‍්‍රාදේශීය ලේකම්වරයා පවා මෙතැනට පැමිණියා. මිනිසකු මිය ගිය පසු සිදු කරන සියලූ වතාවත් අපි නාගයා වෙනුවෙන් ඉෂ්ඨ සිද්ධ කළා. ඒ මහතා කියයි.   පුවක්ගෙදර පදිංචි ඞී.එස්. ගුණපාල (62) මහතා: මේ බෝධිය ළඟම ළිඳක් තිබෙනවා. එය වසර සිය ගණනක් පැරැණියි. මේ ළිඳේ වතුර පරිහරණය කරන්නේ පිරිමින් විතරයි. කාන්තාවන්ට තහනම්. ඒ වගේම මේ ළිඳේ ජලය හිස් කරන්නේ අතීතයේ සිට කුල්ලෙන්. තවමත් ඒ චාරිත‍්‍රය නිසි අයුරින් සිදු කරනවා. අංපිටිය බෝධියේ අරක්ගෙන සිටි සුදු නාගයා දරුවකු වී නැවත ඉපදී ඇති බව මේ වන තෙක් විද්‍යාත්මකව සනාථ වී නොමැත. කොළඹින් පැමිණි විශේෂ කණ්ඩායමක් මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පර්යේෂණ සිදු කරති. ඒ අනුව මෙම  සිද්ධියේ සත්‍ය-අසත්‍ය භාවය පිළිබඳව ඉදිරි කාලය තුළ දැක බලා ගත හැකිය.
ඡායාරූප හා සටහන  - මාතර ක‍්‍රිෂාන් ජීවක ජයරුක්
ඓතිහාසික අංපිටිය බෝධීන් වහන්සේ දරුවා පූජාව සිදු කරමින්...