රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීම, ආරක්ෂක විෂය, 19 වැනි සංශෝධනය, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම, කෝප් වෝහාරික විගණන වාර්තා, අහිමි බදු ආදායම සෙවීම, පළාත් සභා මැතිවරණ ක්‍රමය හා බලය බෙදීමේ සූදානම ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ ජලසම්පාදන පහසුකම් රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර මහතායි.

ප්‍රශ්නය - රාජ්‍ය ආයතනවලට විෂය භාර ඇමැතිවරුන් විසින් නිලධාරීන් පත්කරනු ලැබීමේ සම්ප්‍රදාය වෙනුවට කමිටුවක් මගින් පත්වීම් කෙරෙනවා. උත්සාහ සාර්ථකද?

පිළිතුර - දුෂ්කරයි. එහෙත් අත්‍යවශ්‍යයි.

ප්‍රශ්නය - තමන් අයැදුම් කරන්නත් ඕනෑ?

පිළිතුර - ඒක ඉතින් තමන්ගෙ කැමැත්තනේ. සුදුසුකම් තිබෙන අය ඉන්නවා නම් අයැදුම් කරන්න කියලා නිවේදනයක් දැම්මනෙ. ඒ අතරේ තම තමන්ගෙ කැමැති අය නිර්දේශ කරන්න ඇමැතිවරුන්ටත් පුළුවන්. හැබැයි නෑදෑයෝ එවන්න බෑ. ඒ කියන්නේ ළඟම ඥාති බෑ.  

ප්‍රශ්නය - 16 දෙනෙකුගේ ඇමැති මණ්ඩලයේ ආරක්ෂක විෂය භාර ඇමැතිවරයෙක් දකින්න නැතත් ආරක්ෂක අමාත්‍යංශයක් හා ආරක්ෂක ලේකම්වරයෙක් ඉන්නවා. මේ වියවුල මොකක්ද?

පිළිතුර - දැන් ඕකෙ ගැටලුව මොකද්ද? රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයෙක් නෑ. එතකොට ව්‍යවස්ථාව අනුව වෙන්නේ ඒ විෂය ජනාධිපතිවරයාට. ඇමැති ධුරයක් නැතිව කැමැති පරිදි වෙන්කර තබාගත හැකියි.

ප්‍රශ්නය - අවස්ථාවක් ලැබුණොත් 19 වැනි සංශෝධනයට වෙනසක් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා?

පිළිතුර - එක එක්කෙනාට එකේක අදහස් තිබෙනවා. ඒක ඉතින් අපි සාකච්ඡා කළ යුතු කාරණයක්. ඒවා අපි සාකච්ඡා කරලා බලමු.

ප්‍රශ්නය - ස්වාධීන කොමිෂන් සභා ගැන අදහසක් තිබෙනවාද?

පිළිතුර - ඒවා ස්වාධීන කොමිෂන් නෙවෙයිනෙ. ඒවා යූ.එන්.පී කොමිෂන් සභා.

ප්‍රශ්නය - එහෙම බැලුවොත් ඔබ පක්ෂපාතී මොන වගේ දේශපාලන ප්‍රතිසංස්කරණයකටද?

පිළිතුර - මමත් වමේ පක්ෂ සියල්ලමත් හැමදාමත් ජේ.ආර්. ජයවර්ධනගේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක දිනේ පටන් පෙනී හිටියේ පාර්ලිමේන්තු ක්‍රමයකටයි. අදත් එහෙමයි. සමාජවාදී ජනතා පෙරමුණ කියලා අපේ පක්ෂ පහක් එකතු වූ පෙරමුණක් තිබෙනවානෙ. ඒ පක්ෂ පහ ඉන්නේ ඒ මතයෙයි.

ප්‍රශ්නය - මේ ජනවරම සමඟ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට තිබූ ඉඩත් අහෝසි වුණා යැයි ඇතැමුන් කියන කතාවට ඔබ එකඟද?

පිළිතුර - නෑ ඉතින්. ඕනෑම දෙයක් සාකච්ඡා කරලනෙ ඉදිරියට ගෙනියන්නේ. අභ්‍යන්තර සාකච්ඡා, විවාද, ජාතික මට්ටමේ සංවාද එහෙමනේ. ඒවා හරහා තමයි යන්න ඕනෑ. රටේ ජන විඥ‌ානයේ ප්‍රකාශනය අනුව තමයි කාලීනව ඒක වඩාත් වලංගු වන්නේ හෝ නොවන්නේ.

ප්‍රශ්නය - මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අස්සන් කිරීමට ඔබ විරුද්ධයි. මොකද්ද මේ විරෝධයේ පදනම?

පිළිතුර - අපේ රටේ ස්වෛරීභාවය, ජාතික නිදහස, අපේ දේපළවල ජාතික හිමිකම, දේශීය ආර්ථිකයක් ගොඩනැගීම, මේ රටේ පාලනය සඳහා දේශීය නීතිය පමණක් වලංගු කිරීම යන ඒවා තමයි හේතු.

ප්‍රශ්නය - සමහරු කියන්නේ ඇමෙරිකාවෙන් ආපු පලියටම විරුද්ධ වෙන්න ඕනෑ නෑ කියලයි?

පිළිතුර - අපිත් ඒක කියනවා. කිසි තැනකින් ආපු පලියට අපි විරුද්ධ වෙන්න ඕනෑ නෑ. විරුද්ධ හෝ පක්ෂ වෙන්නේ අන්තර්ගතය බලලයි. මොකටද ඇමෙරිකාවෙන් ආපු පලියට විරුද්ධ වෙන්නේ.

ප්‍රශ්නය - උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවැසුවේ යෝජිත ආධාර මුදලෙන් 70% ක් මාර්ග සංවර්ධනයට වෙන් වීමත් යහපත් සංවර්ධන ව්‍යාපෘතිත් ගැන සාධනීයව බැලිය යුතු බවයි. එතකොට ඒ අදහස වැරැදිද?

පිළිතුර - දැන් මෙහෙමනේ. බලු බෙට්ටක් තිබෙනවා. ඕකේ මොන කොටසද හොඳ? ඉස්සරහ කොටසද පස්සෙ කොටසද?

ප්‍රශ්නය - ඒ කියන්නේ එම්.සී.සී අස්සන් කරනවාට ඔබ විරුද්ධයි?

පිළිතුර - මම නෙවෙයි. අපේ මුළු ආණ්ඩුවම විරුද්ධයි. ගෝඨාභය මහත්තයගෙ වැඩපිළිවෙල අනුව මේකට අස්සන් කරන්න බෑ. මේකට මේ අපේ ආණ්ඩුව ඇතුලෙ බෙදීමක් නෑ. ඕගොල්ල මේක මවන්න හදන්න එපා.

ප්‍රශ්නය - ආණ්ඩුවම විරුද්ධ නම් කමිටු පත්කරන්නේ මොකටද?

පිළිතුර - ඒක කියවලා බලන්න කමිටුවක් පත්කරලා තිබෙනවා. කියවලා බලලා ඒකෙ තිබෙන ගුණාගුණ ආණ්ඩුවට ඉදිරිපත් කරන්න.

ප්‍රශ්නය - අමාත්‍යංශ විෂය ගැසට් කරද්දී පරණ ක්‍රමයටම රාජපක්ෂවරු අතරේ වැඩිම ආයතන ගනණක් බෙදී ගිහින් යැයි චෝදනාවක් තිබෙනවා. මේ චෝදනාව ගැන මොකද කියන්නේ?

පිළිතුර - රාජපක්ෂ නම තමන්ගෙ අග නම හැටියට තිබීම නිසා කිසියම් ආයතන සංඛ්‍යාවක් ඔහු වෙනුවෙන් වෙන්කිරීම වැරැදියි කියලා නීතියක් තිබෙනවද?

ප්‍රශ්නය - චෝදනාව වැඩි පංගුවක් අයියලා මල්ලිලා බෙදාගැනීම නේද?

පිළිතුර - මෙතන අයියා මල්ලිකමට වඩා තිබෙන්නේ මහජනවරම.

ප්‍රශ්නය - ජනාධිපතිවරයා බදු කප්පාදුවට රැඩිකල් තීන්දුවක් ගත්තත් අහිමි වන බදු ආදායම හොයාගන්නෙ කොහොමද කියලා ඇතැම් ආර්ථික විද්‍යාඥයන් අහනවා?

පිළිතුර - ආර්ථිකයට මේකෙන් ලොකු තල්ලුවක් එනවා. ඉතින් ආර්ථිකය එහෙම වේගවත් වෙද්දී වර්ධනයක් ගනිද්දී ඊට අනුපාතිකව රජයේ ආදායම වැඩිවෙනවා. රටේ ආදායම වැඩිවෙද්දී රජයට ඒකෙ කොටහ වැඩියෙන් ලැබෙනවා. මේක ඉලක්කම් ගණන්වලින් පෙන්නන්න පුළුවන් එකක් නෙවෙයි. ආර්ථික විද්‍යා සිද්ධාන්තයක්. උදාහරණයකට අඩු කළ බදු නිසා ඉදිකිරීම් කර්මාන්තය වර්ධනය වෙද්දී අඩු කළ බදු ආදායමට සරිලන සේ පිරිවැටුම වැඩිවීම දැක්විය හැකියි.

ප්‍රශ්නය - බැඳුම්කර ගනුදෙනුවට වගකිව යුතු මහමොළකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් දෙන බව ආණ්ඩුව බලයට පැමිණීමට පෙර කිව්වා. දැන් එහි තත්ත්වය කොහොමද?

පිළිතුර - මම නම් කියන්නේ ආණ්ඩුව නීතියේ ක්‍රියාදාමයට ඉඩදීලා දේශපාලන බලපෑම් කිරීමෙන් තොරව ඉන්න ඕනෑ. නීතියේ ක්‍රියාදාමය අනුව මේ අපරාධය, වංචාව ගැන සිදුවිය යුතු කරුණු කාරණා ඉටුවෙන්න ඕනෑ. ඒක අධිකරණයටයි පොලිසියටයි නීතිපතිටයි අයිති වැඩක්. ඒක ආණ්ඩුවෙ වැඩක් නෙවෙයි.

ප්‍රශ්නය - එහෙනම් කෝප් කමිටුවට ආපු වෝහාරික වාර්තා විවෘත කරන්න තිබියදී පාර්ලිමේන්තු සැසිය අවසන් කළේ ඇයි?

පිළිතුර - වෝහාරික වාර්තාවේ කොපියක් කෝප් එකට ගියා යැයි අපි දන්නේ කොහොමද? අපි දන්නේ නෑ. අපි ඒක දන්නවා නම් අපට කිව්වා නම් ඒ වෙනුවෙන්ම පාර්ලිමේන්තුව රැස්වෙනවා. හඳුන්නෙත්ති රටට කියනකම් අපට කිව්වේ නෑනෙ.

ප්‍රශ්නය - මෙම වාර්තා විවෘත කිරීමට මුදල් ඇමැති හැටියට මහින්ද රාජපක්ෂ අගමැතිවරයාටත් හැකි යැයි හඳුන්නෙත්ති මහතා පැවැසුවා. ඒක කරන්න බැරිද?

පිළිතුර - මම නම් එහෙම බලයක් ගැන දන්නේ නෑ. මහ බැංකුවෙ වාර්තාවක් අනිවාර්යෙන්ම මූල්‍ය මණ්ඩලයට විමසා බලන්න පුළුවන්. ඒකෙ මුදල් අමාත්‍යංශ ලේකම්වරයාත් ඉන්නවා.  මහ බැංකුව යම් ඇමැතිවරයකු යටතේ තිබෙනවා වෙන්න පුළුවන්. ඒත් මහ බැංකුව ගැන කටයුතු කරන්නේ මුදල් ඇමැතිවරයා නෙවෙයි.

ප්‍රශ්නය - ස්විස් තානාපති කාර්යාල සිදුවීම සමඟ ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවක් කිරීමට සිදුව තිබෙනවා. මේ සිද්ධියේදී දෙපාර්ශවය ක්‍රියා කළ ආකාරය ඔබ දකින්නේ කොහොමද?

පිළිතුර - තානාපති කාර්යාලය ගැන මම යමක් කියන්න යන්නේ නෑ. ආණ්ඩුව ඉතාම කල්පනාකාරීව ඥානවන්තව ඒ පිළිබඳව ක්‍රියා කරපු බව හොඳ‌ාකාරවම පිළිගන්නවා. ඒ නිසා අද වපරය හොඳට පේන්න පටන්ගෙන තිබෙනවා.

ප්‍රශ්නය - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඉහළ නිලධාරීන් දේශපාලන පලිගැනීම්වල ස්වරූපයෙන් ස්ථාන මාරු කළ බවට එ.ජා.පය කරන චෝදනාව වැරැදිද?

පිළිතුර - කවුරු හරි කියනවා නම් ඒක දේශපාලන පලිගැනීමක් කියලා උසාවියට ගිහින් ඒක නොකියන්නේ ඇයි? මේක ද්වේෂ සහගතව සාවද්‍ය චේතනාවෙන් කළ වැඩක් බව කියන්න ඕනෑ. ආණ්ඩුව කියන්නේ මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යූ.එන්.පී එස්.එස්.පී වරයෙක් කියලයි.

ප්‍රශ්නය - එහෙත් ශානි අබේසේකර යනු විද්‍යා, සේයා ඝාතන වැනි රටේ ආන්දෝලනයට තුඩු දුන් සිදුවීම් රැසක් සාර්ථකව විමර්ශන මෙහෙය වූ නිලධාරියෙක්?

පිළිතුර – ඇත්ත වශයෙන්ම ශානි ඉතා හොඳ නිලධාරියෙක්. එහෙත් පසුගිය ආණ්ඩු කාලයේ ඔහු යූ.එන්.පීයේ අතකොලුවක් වුණා. ඒකයි අපට තිබෙන ගැටලුව. බොරු චෝදනා දාලා නඩු දැම්මා. ඉතින් ඒ චෝදනාවලින් අද විත්තිකරුවෝ අධිකරණයෙන් නිදහස ලබලා.

ප්‍රශ්නය - මහමැතිවරණ ඊළඟ ඉලක්කය වූ ආණ්ඩුව ආණ්ඩුකරණයේදී ප්‍රමුඛතා විදියට සැලකිය යුත්තේ මොනවාද?
පිළිතුර - හැකි මුල්ම අවස්ථාවේම මහමැතිවරණය පැවැත්විය යුතුයි. ඊළඟට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි. මහජනයාගේ සර්වජන ඡන්දබලයට ප්‍රමුඛත්වය දිය යුතුයි. ඒක තමයි පළමුවැනිම දේ විය යුත්තේ.

ප්‍රශ්නය - පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයට පැවැත්වීමේ සූදානමක් තිබෙනවද?

පිළිතුර - අපට ඕනෑ විදියට ඡන්ද තියන්න බෑ. දැන් අපට කරන්න පුළුවන් දැන් තිබෙන නීතිය අනුවයි. වෙනසක් වුණොත් ඒ නීතිය අනුවයි. සමාජවාදී ජනතා පෙරමුණේ පක්ෂ පහ හැටියට අපි කැමැති කොට්ඨාශ ක්‍රමයේ හා අනුපාත ක්‍රමයේ මිශ්‍ර නියෝජනයක් හැදෙනවටයි. එහිදී 70% ක් කොට්ඨාස ක්‍රමයට 30% ක් අනුපාත ක්‍රමයට විය යුතුයි.

ප්‍රශ්නය - මහමැතිවරණයේදී කවර ලකුණකින් තරග කළ යුතුදැයි ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්ව අතර විවාදයක් තිබෙනවා. ඔබේ අදහස කුමක්ද?

පිළිතුර - ඔව්. අපි අතරේ සාකච්ඡාවක් තිබෙනවා. ඒක අභ්‍යන්තර සාකච්ඡාවක්.

ප්‍රශ්නය - එහෙත් අනිවාර්යෙන්ම පොහොට්ටුව ලකුණ විය යුතු යැයි පොදුජන පෙරමුණේ සමහර මන්ත්‍රීවරුන් කියනවනේ?

පිළිතුර - ඒක අභ්‍යන්තර සාකච්ඡාවක්. අපට ඒ දේවල් හෙළිකරන්න බෑ. අභ්‍යන්තර සාකච්ඡාවක් කියන්නේ පිටට දෙන්නේ නෑ කියන එකනෙ. අවසාන තීරණය ගත්තට පස්සෙ කියනවා. එතකන් බෑ.

ප්‍රශ්නය - ආණ්ඩු පෙරලියේදී වාසුදේව නානායක්කාර ප්‍රධාන චරිතයක් වුණත් ලැබුණේ රාජ්‍ය ඇමැති ධුරයක්. මීට වඩා වගකීමක් ඔබ අපේක්ෂා කළේ නැද්ද?

පිළිතුර - ඔව්. මම මීට වඩා දෙයක් අපේක්ෂා කළා. ඒත් කැබිනට් ඇමැති ධුරයකට වඩා මේ රාජ්‍ය ඇමැති ධුරයේ වගකීම වැඩියි කියලා මට දැන් බලාගෙන යද්දී පේනවා. සමහර කැබිනට් ඇමැති ධුරවල තිබෙන විෂය පථයයි කාර්යභාරයයි මගේ මේ රාජ්‍ය ඇමැති ධුරයට තිබෙන විෂය පථයයි කාර්යභාරයයි බැලුවාම මේක අමාත්‍ය ධුරයක මට්ටමේ තිබෙන්නේ.

ප්‍රශ්නය - ප්‍රතිසංවිධානය නිසියාකාරව වුණොත් මහමැතිවරණයේදී ආණ්ඩුව සමඟ කරට කර තරගයක් දිය හැකි යැයි එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එ.ජා.පය ගැන ඔබට තිබෙන්නේ මොන වගේ තක්සේරුවක්ද?  

පිළිතුර - එක්සත් ජාතික පක්ෂය හැමද‌ාමත් ඔහොම පුරසාරම් දොඩමින් ඉඳලා අන්තිමේට හොම්බෙන් තමයි ගියේ. ඒක තමයි තක්සේරුව.

ප්‍රශ්නය - ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ගන්න පුළුවන් ඒ කියන්නේ?

පිළිතුර - නැහැ. මම එහෙම කියන්නේ නෑ. අද අපට 120 කට වැඩි තත්ත්වයක් තිබෙනවා. තුනෙන් දෙකක් වෙන්න 150 ක් ඕනෑනේ. අප අද සිට කරන වැඩවලට ඇති මහජන ප්‍රසාදයේ ප්‍රමාණයට ඒ ගණන වැඩිවේවි.

ප්‍රශ්නය - මේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය සිංහල බෞද්ධයන්ගේ ජයග්‍රහණයක් යැයි ඇතැමුන් අර්ථකතනය කළා. මේ අර්ථකතනය හා ඔබ එකඟ ද?

පිළිතුර - දැන් අපි මේ ඡන්දය දිනන්නේ සිංහලයන්ගේ හා බෞද්ධයන්ගේ බහුතර ඡන්දය මුල් කරගෙන තමයි. එහෙත් කතෝලික සිංහලයන්ගේ කතෝලික දමිළයන්ගේ දායකත්වයත් නොඅඩුව අපට ලැබී තිබෙනවා. එතකොට ඔය සිංහල බෞද්ධ කතාව බංකොලොත් වෙනවා. ටී.එන්.ඒ හා මුස්ලිම් කොංග්‍රස් ප්‍රදේශවල ඡන්ද ඔක්කොම වගේ එක්සත් ජාතික පක්ෂයට ලබා දී තිබෙනවා. එහෙත් ඒවා මැද්දේ අපට ඡන්දය දුන් කුඩා කුඩා දූපත් තිබෙනවා. එනිසා ජනවාර්ගික පදනමින් ප්‍රතිඵල විග්‍රහ කරන්න බෑ.

ප්‍රශ්නය - මා කරන වැඩ අනුව මනින්නැයි ඉන්දියාවට ගිය ජනාධිපතිවරයා එරට නායකත්වයට ප්‍රකාශ කළා. ජාතික ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීම ගැන වමේ පක්ෂ හැටියට ඔබේ අදහස මොකද්ද?

පිළිතුර - 13 වැනි සංශෝධන නීතිය ව්‍යවස්ථාගතවීමෙන් පසුව ඒකීය රාජ්‍යක් තුළ පළාත් සභා පැවැතිය යුතු යැයි අපි අදහස් කරනවා. ගෝඨාභය මහතාත් අදහස් කරනවා.

ප්‍රශ්නය - ඒ කියන්නේ ඉඩම් හා පොලිස් බලතල දෙන්න එකඟද?

පිළිතුර - අපට උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ හා මුස්ලිම් ජනතාවගේ බහුතරය අපේ පිල්ලෙයාන් අනෙක් පැත්තෙන් ඩග්ලස් දේවානන්ද තවත් පැත්තකින් අතාවුල්ලා වැනි නායකයන් හා පෙළගැහෙනවා නම් ඒ බලය දෙකට බෙදන්න අපට කිසි අමාරුවක් නෑ. බෙදුම්වාදයට නැඹුරු වූ කණ්ඩායම්වලට අපට පසමිතුරු කණ්ඩායම්වලට ඒ ප්‍රදේශවල වැඩි බලයක් දී තිබෙනතුරු අපට එය කළ නොහැකියි.

සංවාද සටහන
බිඟුන් මේනක ගමගේ