IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


පළමු පියවර විධායක බලය අහෝසි කිරීම

ශ්‍රී ලංකාවට නිදහස ලැබී ගතවුණු වසර හැත්තෑහතක කාලය තුළ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක්ම ආවේය. අප මේ මොහොතේ පාලනය වන්නේ, තුන්වැනි ව්‍යවස්ථාවෙනි. එනම්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනි. මේ වන විට එහි වයස අවුරුදු හතළිස්හතකි. ඒ කියන්නේ, මේ රටේ ජනතාව වැඩියෙන්ම ගොදුරු වී සිටියේත්, සිටින්නේත් 1978 වසරේදී ජේ.ආර්. ජයවර්ධන විසින් ජනතාව මත බලෙන් පටවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බවය.

එම අවුරුදු හතළිස්හතක කාලය තුළම ක්‍රියාත්මක වූයේ, පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් නොව, පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා බලය හෙවත් ජනතා පරමාධිපත්‍යය එක පුද්ගලයකු සතුව පවතින විධායක බලයේ යකඩ සපත්තුවෙන් පාගා යටපත් කරන ලද පාලන ක්‍රමයකි. නවසිය හතළිස් අටේ නිදහසින් දිනාගත් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයේ ආයුෂය යාන්තම් අවුරුදු විසිනවයක් තරම් ඉතා කෙටි කාලයක් බැව් මෙනෙහි කරන විට, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ කඩාවැටීම කෙබඳුදැයි සිතාගැනීම අසීරු නැත. දැන් තරාදියේ වැඩි බර ඇත්තේ විධායකය පැත්තට මිස, පාර්ලිමේන්තුව පැත්තට නොවේ.

ආණ්ඩුක්‍රමය පැත්තෙන් බලන විට, අප ගෙවන මේ මොහොත අතිශයින්ම තීරණාත්මක වූද, අර්බුදකාරී වූද, අනාගතය කෙරෙහි බරපතළ ප්‍රතිඵල උදා කරන්නා වූද ඉතිහාසයේ ඉතා දුර්ලභ සුවිශේෂ මොහොතක් බැව්, අමුතුවෙන් මතක් කළ යුතු නැත. මීට වසර හතරකට පමණ පෙර, ජනාධිපති ලේකම් කාර්යාලය බවට පත්ව ඇති පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අවුරාගෙන සිට, ජනාධිපතිටත් අගමැතිටත් ආණ්ඩුවටත් “ගෝ” යන ඉංගිරිසි විධානයෙන්ම, බල කළ තරුණ ජන රැස ඉල්ලා සිටියේ, “සිස්ටම් චේන්ජ්” එකකි. මුළු මහත් දේශපාලන ක්‍රමයම වෙනස් කළ යුතු බවකි. ඔළුගෙඩි නොව, ක්‍රමයම වෙනස් කළ යුතු බවකි. අනිත් පැත්තට හැරවිය යුතු බවකි. කණපිට හරවන ලද දේශපාලන ක්‍රමය, හොඳපිට හැරවිය යුතු බවකි.

එකී අර්බුදකාරී මොහොතේ ගාලුමුවදොර “ගෝටාගෝගමට” එක්රැස්ව කොලහල කළ තරුණ ජනකාය ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක, අන් කවරක්වත් නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසකි. ඉතා සරල බසින් ඔවුන් කියා සිටියේ, ජේ.ආර්. ජයවර්ධන විසින් ව්‍යවස්ථා විරෝධී ආකාරයෙන් ජනතාව මත පටවන ලද හැත්තෑඅට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතිහාසයේ කුණු බක්කියට දමන්ටය.

මුල්ම කාරණය නම්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වූකලී, සමස්තාර්ථයෙන්ම ප්‍රජාතන්ත්‍රවිරෝධී ආණ්ඩුක්‍රමයකි. මේ රටේ ස්වාධීනත්වය දිනාගැනීම උදෙසා කරන ලද දීර්ඝ සටනෙහි - එය ඉන්දියාවේ මෙන් රුධිර පරිඝලිත සටනක් නොවූයේ මුත් - මූලික ඉල්ලීම වූයේ, නිදහස හෙවත් දේශපාලන ස්වාධීනත්වය පමණක්ම නොවෙයි. ඒ වූකලී, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් දිනාගැනීම උදෙසාද වූ අරගලයක් විය. කිසියම් පමණකට, සෝල්බරී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කුළුගැන්වුණේද එයයි. ව්‍යවස්ථා නීතිමය අඩුපාඩුකම් කිහිපයක් තිබියදී වුණත්, ඉන් බිහි වුණේ, ප්‍රායෝගික ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකි. එය, එවක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමයේම තවත් පිටපතක් විය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උගුලට හසු වූ ශ්‍රී ලාංකික ජනතාව අහිමි කරගත්තේ, ශිෂ්ටසම්පන්න ජාතියක් සතුව පැවති සංවිධිත වූ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකි. අනතුරුව බිහි වුණේ, අත්තනෝමතික පාලන ක්‍රමයකට මග පාදන ලද ඒකාධිපති පන්නයේ පාලන ක්‍රමයකි. අවාසනාව තරමටම උත්ප්‍රාසයද වූයේ, ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියාගන්නා මැතිවරණ උප්පරවැට්ටියක් මගින්, කලින් කලට තමන්ගේම ඡන්දයෙන් ජනාධිපතිවරයකු පත්කරගෙන, තම ප්‍රාදේශීය නියෝජිතයන් රූකඩ බවට පත් කරන පාලන ක්‍රමයකට දායක වීමය. රළු උපහැරණයකින් කියනවා නම්, ඒ වනාහි ඌරාගේ මස් උගේ පිට උඩම තබා කැපීමකි. අද අප විධායක ජනාධිපති ක්‍රමයකැයි හඳුන්වනු ලබන්නේ, ඒ සූකර මාංසය ඌරාගේ පිටේම තබාගෙන, බාබිකියු හදාගෙන තලු මර මරා කෑමකටය

පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකකටත් වැඩි බලයක්ද, ප්‍රාදේශීය සභාවන්හි පැහැදිලි බහුතර පාලන ශක්තියක්ද ලබාගැනීමට සමත් වූ ජාජබ හෙවත් මාලිමා ආණ්ඩුව උත්කර්ෂයට නඟන තමන් විසින් අත්පත් කරගෙන ඇතැයි කියන එක් දේශපාලන ප්‍රතිලාභයක් නම්, දේශපාලන බලය ප්‍රභූ පන්තියෙන් නිර්ප්‍රභූ පන්තියට මාරු වීම හෙවත් පරිවර්තනය වීමය.

 ඒ වූකලී, මැදහත් විමර්ශනයකට භාජන කළ යුතු උද්වේගකාරී සටන් පාඨයකැයි මට සිතෙයි. මන්ද යත්, ආණ්ඩුකරණ ක්ෂේත්‍රයේදී කෙසේ වෙතත්, එය පදනම් වන නිලධාරි තන්ත්‍රයත් තවමත් ඒ නිලධාරි තන්ත්‍රය ස්වකීය ග්‍රහණයට ගෙන සිටින අධිපති පන්තියත්, අප හිතන තරම් ඇද වැටී නැත. එතුළ ඇත්තේ, කිසියම් චංචලභාවයක් පමණි. පාර්ලිමේන්තුව තුළ අත්පත් කරගෙන ඇතැයි කියන නිර්ප්‍රභූ බලය, ඒ හැටියෙන්ම සමාජය තුළ සිදු වී ඇති වගක් පවසනු උගහටය.

එවන් පසුබිමක් යටතේ මගේ විශ්වාසය නම්, මාලිමා ආණ්ඩුව ප්‍රවේශ විය යුතු ජාතික සහ දේශපාලන ප්‍රමුඛතාවකින් හෙබි හදිසිතම කාර්යය වනුයේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම බවය.

1978 විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමයේ මුල්ම වරද නම්, එහි උපතේම වරදය. එවන් ආණ්ඩුක්‍රමයක අවශ්‍යතාව ගැන ජනතාව විසින් හෝ රටේ ප්‍රබුද්ධ දේශපාලකයන් විසින් හෝ කරන ලද අර්ථවත් පුළුල් සාකච්ඡාවක් අපගේ මෑතකාලීන ආණ්ඩුක්‍රම ඉතිහාසයේ කිසිම තැනක සටහන් වී නැත. පළමු කාරණය එයයි. දෙවනුව, එකී ආණ්ඩුක්‍රමයේ කෙටුම්පත හෝ මූලිකාංග හෝ මොනවාදැයි නිසි ලෙස ජනතාවට දැනුම් දුන්නේද නැත. තමන් වෙත පටවනු ලබන ආණ්ඩුක්‍රමය කුමක්දැයි ජනතාව කිසිසේත්ම දැන සිටියේද නැත.

තුන්වනුව, එකී ආණ්ඩුක්‍රමය සම්පාදනය කිරීම සඳහා වෙනම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් හැටියට ජනතා නියෝජිතවරුන් කටයුතු කෙළේද නැත. 77 බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව, පාර්ලිමේන්තුව තුළ හිඳගෙනම, අලුත් ව්‍යවස්ථාවක් අනුමත කොට එය ජනතාව මත බලෙන් පැටවූවා පමණි. එහෙත් තමන් හිස මත කඩා වැටුණු මෙම “ආණ්ඩුක්‍රම විපත්තිය” කුමක්දැයි ජනතාව සිහිනයකින්වත් දැන සිටියේ නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක උල්පත ජනතාවය. පාර්ලිමේන්තුව ලවා ක්‍රියාත්මක කරවන, ආණ්ඩුක්‍රම පනතක් හැදීමේ බලයද ඇතුළත් ව්‍යවස්ථාදායක බලය ක්‍රියාවට නගන්නට ජනතාවට න්‍යායාත්මක අයිතියක් ඇත්තේය. එපරිදි ජනතාව ව්‍යවස්ථාවක් අනුමත කරන්නට ක්‍රියාත්මක වීම, 72 සහ 78 යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්ට පටහැනි ක්‍රියා මාර්ගයක් නොවේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනුමත කිරීමට තමන් සතු වන බලය ක්‍රියාවට නගන්නට පාර්ලිමේන්තුව බාධාවක් නම්, ඒ බාධාව නොසලකා, පාර්ලිමේන්තුව අතික්‍රමණය කරමින් ක්‍රියා කරන්නට වුව, ජනතාවට බලයක් ඇත. ජනතාවගේ එවන් ක්‍රියා මාර්ගයක් වළකාලන්නට 72 ව්‍යවස්ථාව තුළ මෙන්ම, වර්තමාන 78 ව්‍යවස්ථාව තුළද ඉඩක් ඇත්තේ නැත.

මේ සියලු තත්වයන් මග පාදන්නේ කුමකටද? ජනමත විචාරණයක් මගින්, ජනතාව කැමති නම්, තමන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුමත කළ හැකිය. එය ව්‍යවස්ථා විරෝධී යැයි කියන්නේ කෙසේද? මෙහිදී අමතක නොකළ යුතු තවත් කාරණයක්ද ඇත. ඒ, නව ආණ්ඩුක්‍රම පනතක් සම්මත කිරීම, පවත්නා ව්‍යවස්ථාව අනුවම කළ යුතුද යන්නය. ඇත්තටම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීම යනු, පවත්නා ව්‍යවස්ථාවට පටහැණි වීමකි. එයට පිටින් ගන්නා ක්‍රියාමාර්ගයකි.

ගාලුමුවදොර කෝලාහල කළ තරුණ ජනතාව මුළුමහත් රටටම උගන්වමින් සිටියේ, ඉතා සරල ව්‍යවස්ථා පාඩමකි. එනම් මේ ආණ්ඩුක්‍රමය කුණු බක්කියට දමන්ට ව්‍යවස්ථා අනුගත ක්‍රමයක් වෙනුවට, ජනතා ක්‍රමයක්ද ඇති වගය. එවන් පසුබිමක් යටතේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කල් දමන තරමට හෝ කල් මරන තරමට හෝ මාලිමා ආණ්ඩුව ඉදිරියේ ඇත්තේ බරපතළ සමාජ දේශපාලන අර්බුදයක් හා අන්තරායක් බැව්, නොකියා සිටිනු බැරිය. මන්ද යත්, ඉතා සමීප ඉතිහාසය තුළම අපට ඉගෙනගන්ට සිදු වුණු ඒ පාඩමේ රස්නය, මේ වන විටද දැනෙන නිසාය.

එසේ හෙයින්, නව ආණ්ඩුක්‍රම සම්පාදනය පිළිබඳ කෝඳුරු තෙල් හත්පට්ටය සෙවීම මඳකට කල් දමා හෝ පසෙකට දමා හෝ පවතින ව්‍යවස්ථාව තුළම ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම උදෙසා කටයුතු සම්පාදනය කිරීම තමන්ගේ සෞඛ්‍යයට ඉතාම හොඳ බැව්, මාලිමා ආණ්ඩුව යෝනිසෝමනසිකාරයෙන් සිහි කරනු යෙහෙකිය.

මේ, ජවිපෙ නායකත්වය දෙන මාලිමා ආණ්ඩු බලයේ උච්චතම අවස්ථාවය. මෙතැන් සිට ඇත්තේ බැස්ම මිස, නැග්මක් නොවේය. එසේ හෙයින්, මෙම ව්‍යවස්ථාව අහෝසි කොට, රට හොඳ පැත්තට හැරවීමට ඇති එකම එක - යළිත් නොඑන - අවස්ථාවද මේය.

ඒ වූකලී, අදියර දෙකක් යටතේ ඉෂ්ට කළ යුතු වන ජාතික-දේශපාලන කර්තව්‍යයක් බැව්, මගේ අවබෝධයද විශ්වාසයද අපේක්ෂාවද ප්‍රාර්ථනයද වන්නේය.

පළමුව, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. ඒ කටයුත්ත, වර්තමාන ව්‍යවස්ථාව යටතේම කළ හැක්කේය. එයට කිසිදු නීතිමය හෝ සදාචාරාත්මක හෝ බාධාවක් ඇත්තේද නැත. මන්ද යත්, ජයවර්ධන කෙළේද එයම නිසාය. ඔහු, එදවස පැවති 72 ව්‍යවස්ථාවට ගෙනෙන ලද සංශෝධනයක් මගින්, පෙර නොවූ විරූ - පෙර නොතිබූ විරූ - බලවත්ම ජනාධිපති ධුරයකට පත් වූණේය. නොවේ නම්, පත් කරගැනුණේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙන ලද්දේ, ඉන් අනතුරුවය. පැවති ව්‍යවස්ථාව අහෝසි කළ ඒ මාර්ගයේම ගොස්, කිසිදු බාධාවකින් තොරව, මෙම ව්‍යවස්ථාව සංශෝධනය කළ හැක්කේය.

අප මෙතෙක් නීතිවිරෝධී යයි ප්‍රකාශ කළ ව්‍යවස්ථාවටම අනුකූලව, මැතිසබයේ තුනෙන් දෙකක බලයෙනුත්, ඉනික්බිතිව පැවැත්වෙන ජනමත විචාරණයකිනුත් මෙම ව්‍යවස්ථාව යටතේම ජනාධිපති ධුරයත්, ඔහු සතු වන බලතල සියල්ලත් අභිමත පරිදි කප්පාදු කොට, පාර්ලිමේන්තුව තුළ අගමැතිවරයා ප්‍රමුඛ වන්නා වූ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් බිහි කිරීමට, කිසිදු නීතිමය බාධාවක් ඇත්තේ නැත. අවාසනාව නම්, විධායක ජනාධිපති ක්‍රමය පරසක්වල ගසනවායැයි කී චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රිපාල ඒ පහසු ක්‍රියාමාර්ගයවත් නොගැනීමය. ඒ නිසා කාගෙ කාගේත් ආශීර්වාදයෙන් - ආනුභාවයෙන් - ඉහෙන් බහින රෝගයකින් තොරව, ජේ.ආර්.ජයවර්ධනගේ විධායක ජනාධිපති ක්‍රමය යෙහෙන් වැජඹෙනු, දැනුත් දැක්ක හැකිය.

මෙම ඓතිහාසික මොහොතේදී අප මාලිමා ආණ්ඩුවට යෝජනා කරන්නේ, එම පහසු සරල ඍජු ක්‍රියා මාර්ගය ගෙන, මෙම පාර්ලිමේන්තුව තුළම, විධායක ජනාධිපති ධුරය අහෝසි කරන ලෙසය.

වර්තමාන ලෝකයේ මුල්ම පාර්ලිමේන්තු ප්‍රජාතනත්‍රවාදී රට වන, අපටද සාපේක්ෂ වශයෙන් හොඳ ව්‍යවස්ථාවක් සම්පාදනය කර දුන්, මහා බ්‍රිතාන්‍යයේත්, ලෝකයේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී රට වන අපට ඉහළින් විරාජමාන වන, සුවිශාල ඉන්දියානු අර්ධ මහාද්වීපයේත් ඇත්තේ පාර්ලිමේන්තු ආණඩුක්‍රමයකි. කෙළින්ම මැති සබයට නියෝජිතයන් යවන කේවල මැතිවරණ ක්‍රමයකි. රටට අවශ්‍ය වන්නේ, ප්‍රජා අයිතියේ ගෙල සිර කරන, වර්ගවාදය ජාතිවාදය, කුලවාදය සහ කී නොකී අනෙකුත් වාද පෝෂණය කරවන, තකතිරු, ඊනියා සමානුපාතික මැතිවරණ ක්‍රමයක් නොවන වග, යළිත් හොඳ සිහියෙන් හෙවත් යෝනිසෝමනසිකාරයෙන් සිහි කරනු මැනවි.

ආණ්ඩුව ඉදිරියේ ඇති මුල්ම දේශපාලන කර්තව්‍යය වනුයේ, පවත්නා ව්‍යවස්ථාවටම සංශෝධනයක් ඉදිරිපත් කර, විධායක ජනාධිපති ක්‍රමයත්, සමානුපාතික මැතිවරණ ක්‍රමයත් වහාම අහෝසි කිරීමය. ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර අනුමැතියත්, එකී අනුමැතිය තහවුරු කරන ජනමත විචාරණයකින් ප්‍රකාශිත ජනමතයත් හොඳටම ප්‍රමාණවත්ය. ඒ පිළිබඳව සැකසාංකාවකට කිසිදු නීතිමය හේතුවක්, බාධාවක් හෝ අවකාශයක් ඇත්තේද නැත.

ඉනික්බිතිව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කටයුත්තට ප්‍රවේශ විය හැක්කේය. ඒ සඳහා විනිවිද පෙනෙන ඉතා පුළුල් සාකච්ඡාවක් සඳහා වර්තමාන පාර්ලිමේන්තු කාලය පමණක් නොව ඉනික්බිතිව එළඹෙන ඊළඟ පාර්ලිමේන්තු කාලය වුණත් යොදාගත හැක්කේය! එකී නිරවුල් සරල ප්‍රායෝගික ප්‍රඥාවන්ත කාලීන ක්‍රියාමාර්ගය ගන්නට ධෛර්යයත් විශ්වාසයත් ආත්ම ශක්තියත් මේ ආණ්ඩුවට ඇතැයි මම විශ්වාස කරමි. නොඑසේනම්, මාලිමා ආණ්ඩුව ඉදිරියේ ඇත්තේ අන්තරාදායක මගක් බැව් නොකියාද බැරිය.          

(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)



අදහස් (0)

පළමු පියවර විධායක බලය අහෝසි කිරීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 520 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 325 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 477 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site