IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


පොලිස් කොමිසම ස්වාධීනද?

2025 ඔක්තෝබර් 14 වැනිදා කුරුණෑගල මහාධිකරණ විනිසුරු ටිකිරි ජයතිලක මහතා හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා රිමාන්ඩ් සිර භාරයෙන් නිදහස් කර තීන්දුවක් ලබා දුන්නේය. ඇප නියෝගය නිකුත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ සැකකරුවකුට එරෙහිව සාක්ෂි නැති අවස්ථාවලදී කටයුතු කළ යුතු ආකාරය අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය මගින් පෙන්වා ඇති බවය.

එම අවස්ථාවලදී අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 116 වැනි වගන්තිය අනුව කටයුතු කළ යුතු බව සඳහන් කර තිබේ.

මෙම නීති කෘත්‍යයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති ආකාරය දෝෂ සහගත බව මහාධිකරණ විනිසුරුවරයා පෙන්නුම් කළේය. අවුරුදු 20කට වැඩි පළපුරුද්දක් ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති වැනි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් එවැනි වැරැදි සිදුවීම පිළිබඳව ද මෙම ඇප නියෝගයේ දී මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය. එවැනි තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමේ දී බලාපොරොත්තු වන්නේ විමර්ශන නීතිමය ප්‍රතිපාදනවලට අනුව නීති කෘත්‍ය පවත්වාගෙන යෑම යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සැකකරුවකුට විරුද්ධව ප්‍රමාණවත් නොවන සාක්ෂි පවතින අවස්ථාවල දී අනුගමනය කළ යුතු පිළිවෙත් පිළිබඳව පූර්වාදර්ශ කොතෙකුත් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ අනුව කටයුතු කළ යුතු බවත් මෙහිදී ප්‍රකාශ කළේය. විත්තිකරුට එරෙහිව නඩු කටයුත්තක් පවත්වා ගෙන යෑම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව මහාධිකරණය නිරීක්ෂණය කළ බවත්, ඒ අනුව සැකකරු වහාම ඇප මත නිදහස් කිරීමටත් නියෝග කළේය.

උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන ලද්දේ 2025 ජුලි 28 වැනිදාය. ඉන් පසු උසාවියට ඉදිරිපත් කළ සෑම අවස්ථාවකදීම පොලිසිය කළ ඉල්ලීම් අනුව ඔහු තවදුරටත් රිමාන්ඩ් කරනු ලැබීය. මහාධිකරණ විනිසුරුවරයාගේ ඇප නියෝගයෙන් පැහැදිලි වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකරුවකුට විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි නොමැති අවස්ථාවක දී අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ විධිවිධානවලට අනුව කටයුතු කිරීමට අපොහොසත් වී ඇති බවය.

17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පොලිස් කොමිසම, ව්‍යවස්ථාදායක සභාව යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන කොමිසමක් බවට පත් කර තිබේ. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පොලිස් කොමිසමේ ස්වාධීනත්වය යළිත් තහවුරු කරනු ලැබීය. පොලිස්පතිවරයා හැර අනෙකුත් පොලිස් නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, මාරු කිරීම සහ ඉවත් කිරීම පිළිබඳව මෙන්ම පොලිසියේ විනය පිළිබඳ වගකීම ද පොලිස් කොමිසමට පැවරී තිබේ. එසේම පොලිස් නිලධාරීන් සඳහා දැනුවත් කිරීම්, මහජනතාව විසින් හෝ වෙනස් ආකාරයකින් පොලිසියට විරුද්ධව ඉදිරිපත් කරන පැමිණිලි ආදිය පිළිබඳව විමර්ශනය කිරීම සහ තීරණ ගැනීමේ වගකීම ද පොලිස් කොමිසමට පැවැරී තිබේ. මහාධිකරණ විනිසුරුවරයා ප්‍රශ්න කර ඇත්තේ විමර්ශන ස්ථානාධිපති වැනි අවුරුදු 20කට වඩා වැඩි සේවා පළපුරුද්දක් ඇති නිලධාරීන් දෝෂ සහගත තීරණ ගැනීම සිදුවන්නේ කෙසේ ද යන්නය.

අදාළ නඩු තීන්දුව මගින් පැහැදිලි වන මූලික කරුණක් වන්නේ සමාජය තුළ කවර තරාතිරමක පුද්ගලයකු වුවත් පොලිසියේ වැරැදි තීරණ මත රිමාන්ඩ් කිරීමට හැකියාවක් ඇති බවයි. නිශාන්ත උළුගේතැන්න මහතා වසර 40ක වැනි කාලයක් නාවික හමුදාවේ නිලධාරියකු ලෙස සේවය කර ඇත. සියලු‍ උසස්වීම් අඛණ්ඩව ලබාගෙන ඇත. යුද සමයේ දී තම කාර්යය ඉහළින්ම ඉටු කිරීම නිසා රණවිරු සම්මාන පදක්කම් ලබා ඇත. අවසානයේ ඔහු නාවික හමුදාපතිවරයා ලෙස සේවය කළේය. නාවික හමුදාපති ධුරයෙන් විශ්‍රාම ලැබීමෙන් පසු ඔහු කියුබාවේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයා ලෙස පත් කරන ලද්දේය.

ජාතික ජන බලවේග රජය බලයට පත් වීමෙන් පසු උළුගේතැන්න මහතාගේ තානාපති පත්වීම දේශපාලන පත්වීමක් ලෙස සලකා නියමිත කාලය සම්පූර්ණවීමට පෙර ආපසු කැඳවූයේය. ජාතික ජන බලවේගයේ නාම යෝජනා ලැබ මහ මැතිවරණයට තරග කළ අපේක්ෂකයකු එම තනතුරට පත් කර ඇත. මාධ්‍යවල වාර්තා වූයේ හිටපු එල්ටීටීඊ සාමාජිකයකුගේ ප්‍රකාශයක් පදනම් කරගෙන උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවය.

ඒ පොතුහැර ප්‍රදේශයේ පුද්ගලයකු අතුරුදන්වීම සම්බන්ධයෙනි. 2025 සැප්තැම්බර් 10 වැනිදා මෙම තීරුවේ පළ කළ “රිමාන්ඩ් - ජනමතය නිවැරැදිද?” යන ලිපිය මගින් සැකකරුවකුට ඇප ලබාදීමට අදාළව 2025 ජූලි 02 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනු ලැබ ඇති නඩු තීන්දුවක වැදගත්කම පිළිබඳව සාකච්ඡා කළෙමි. එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන්ව තිබුණේ රිමාන්ඩ් ගතකිරීම ව්‍යාතිරේඛයක් මිස සම්මතයක් නොවිය යුතු බවය. අග්‍රවිනිශ්චයකාර මුර්දු ප්‍රනාන්දු, එස්. තුරේයි රාජා සහ යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කරන ලද එම නඩු තීන්දුව මගින් ඇප ලබාදීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පිළිවෙත් පිළිබඳව නිගමන ඉදිරිපත් කර තිබේ.

ඇප ලබාදීම සම්බන්ධයෙන් පවතින නීතිරීති පිළිබඳව ද, අනුගමනය කළ යුතු පිළිවෙත් පිළිබඳව ද දැනුවත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව එම නඩු තීන්දුවේ සඳහන් කර ඇති අතර තීන්දුවේ පිටපත් විනිසුරු අධ්‍යාපන ආයතනය වෙත යැවීමට ද නියෝග කර ඇත. එම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කර ඇත්තේ ජුලි 2 වැනිදාය. උළුගේතැන්න මහතා රිමාන්ඩ් භාරයට පත් කර ඇත්තේ ජූලි 28 වැනිදාය. ඉහත සඳහන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පිළිබඳව ප්‍රමාණවත් දැනුවත්වීමක්, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන පොලිස් නිලධාරීන්ට තිබුණේ නම් මෙවැනි තත්වයක් ඇති නොවීමට සමහරවිට ඉඩ තිබුණේ යැයි සිතිය හැකිය. එබැවින් එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ පිරිස්, නීතිඥ ප්‍රජාව සහ මහජනතාව ද දැනුවත් කිරීමේ අවශ්‍යතාව පැන නගී.

පොලිස් නිලධාරීන් එක් එක් ස්ථානවලට පත් කිරීමේ දී අදාළ ක්ෂේත්‍රයේ රාජකාරි පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීමේ වගකීමක් පොලිස් කොමිසමට පැවරී තිබේ. උක්ත මහාධිකරණ නඩු තීන්දුවේ සඳහන් වන පරිදි දිගුකාලීන සේවා පළපුරුද්දක් ඇති පොලිස් නිලධාරීන් අපරාධ නීති සංග්‍රහයේ ප්‍රධාන නීති පිළිබඳ දැනුවත් නොවී සිටින්නේ නම් හෝ දැනුවත්ව සිටිය ද ඒ පිළිබඳව නොසලකා කටයුතු කරන්නේ නම් හෝ ඒ පිළිබඳව නිසි පරීක්ෂණ පවත්වා අවශ්‍ය තීරණ ගැනීමේ වගකීම පොලිස් කොමිසම සතුවේ. පොලිස් කොමිසම පිහිටුවන ලද්දේත්, එය ව්‍යවස්ථාදායක සභාව යටතට පත් කර ඇත්තේත් ස්වාධීන පොලිස් සේවාවක් පවත්වා ගෙන යෑම සහතික කිරීම සඳහාය. පොලිස් කොමිසමේ වෙබ් අඩවියේ මුල් හැඳින්වීමේ සඳහන් වන්නේ පොලිස් කොමිසම පිහිටුවීමේ අරමුණ වන්නේ නිර්දේශපාලනීකරණය වූ පොලිස් සේවාවක් පවත්වා ගෙන යෑම බවයි.

කෙසේ වුවද මෑතක සිට අසන්නට, දකින්නට ලැබෙන කරුණුවලින් පැහැදිලි වන්නේ එම අරමුණු වලින් බැහැරව, පොලිස් කොමිසමට හිමි කර දී ඇති ස්වාධීනත්වය අහිමි කරමින් යළිත් වරක් පොලිස් සේවාව දේශපාලනීකරණය කිරීමට සූදානම් වන බවකි. ප්‍රථම වරට ජ්‍යෙෂ්ඨ පොලිස් තනතුරු, දේශපාලන වේදිකාවල ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන්ට පිරිනමා තිබේ. ඒ අතරම ආණ්ඩුව විසින් පොලිස් නිලධාරීන් විශාල වශයෙන් එකවර මාරු කිරීමට ගත් ක්‍රියා මාර්ගවලට ද පොලිස් කොමිසම අවසර ලබා දී තිබේ. පොලිස් කොමිසමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පවරා ඇති පොලිස් නිලධාරීන් මාරු කිරීම වැනි බලතල නැවත පොලිස්පතිවරයාටම පවරා දීමට සූදානම් වන බවක් ද පෙනෙන්නට තිබේ.

පොලිස් කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායක මණ්ඩලය යටතට පත් කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් පත් කිරීම සහ මාරු කිරීම ආදිය සම්බන්ධයෙන් ස්වාධීන පිළිවෙතක් අනුගමනය කර තිබුණි. රජය, සමහර නිලධාරීන් පත් කිරීම සහ මාරු කිරීම පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව සිදුකර තිබූ අවස්ථාවල දී ඒවාට අනුමැතිය නොදීමෙන් ද, පොලිස්පති සමහර පත් කිරීම් සහ මාරුකිරීම්වලට අවසර ඉල්ලා ඇති අවස්ථාවල ඒවාට අවසර ලබා නොදීමෙන් ද, සමහර පොලිස් නිලධාරීන් පිළිබඳව විනයානුකූල පියවර ගන්නා ලෙස පොලිස්පතිට නියම කිරීම මගින් ද පොලිස් කොමිසමට හිමිකර දී තිබූ ස්වාධීනතාව ආරක්ෂා කර තිබේ. එසේ වුවද මහා පරිමාණයෙන් කරන ස්ථාන මාරු කිරීම් සහ පත් කිරීම් අනුමත කිරීම මගින් පැහැදිලි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අපේක්ෂා කරන අරමුණුවලට පටහැණිව ක්‍රියාත්මක වන තත්වයක් පොලිස් කොමිසමේ ඇති වෙමින් පවත්නා බවයි. පොලිස් කොමිසමට හිමි පොලිස් ස්ථානාධිපතිවරුන් මාරු කිරීම වැනි බලතල පොලිස්පතිවරයාට පවරාදීම මගින් සිදුවන්නේ පොලිස් කොමිසම හුදු ආණ්ඩුවේ රබර් මුද්‍රාවක් බවට පත්වීමයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පොලිස් කොමිසම ස්ථාපිත කිරීමෙන් පසු කිසිදු අවස්ථාවක නොතිබූ ආකාරයෙන් ආණ්ඩුව විසින් ඉල්ලා සිටිනු ලබන පත් කිරීම් සහ මාරු කිරීම්වලට පොලිස් කොමිසම අවසර දී ඇති බව පෙනේ. ඉහළ තනතුරු ලැබූ පොලිස් නිලධාරීන්ගේ මෙන්ම පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ද පත් කිරීම් සහ ස්ථාන මාරු කිරීම් අදාළ විෂය ක්ෂේත්‍ර පිළිබඳව කිසිදු සැලකිල්ලකින් තොරව ක්‍රියාත්මක කරන බව ද පෙනේ. මෙම පත්වීම් සහ මාරු කිරීම් සියල්ලම මීට පෙර සිදු කරනු ලැබ ඇත්තේ පොලිස් කොමිසම විසිනි. එබැවින් එම පත්වීම්වල වරදක් තිබේ නම් එහි වගකීම පැවරෙන්නේ ද පොලිස් කොමිසමටම බව වර්තමාන කොමිසම වටහාගෙන ඇති බවක් නොපෙනේ. කුරුණෑගල මහාධිකරණ තීන්දුව වැනි තීන්දුවල දී ප්‍රකාශයට පත්වී ඇති දෝෂ ඇතිවීම පිළිබඳව මෙන්ම ඒවා නැතිකර ගැනීම පිළිබඳව ද පොලිස් කොමිසම විධිමත්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද එම කොමිසම විසින්ම අවබෝධ කරගත යුතුව ඇත.

(***)



අදහස් (1)

පොලිස් කොමිසම ස්වාධීනද?

Ajith Fonseka Wednesday, 22 October 2025 12:10 PM

රිමාන්ඩ් කරන්න කියලා පොලිසිය ඉල්ලුවාට නියෝග දෙන බලය තියන්නේ මහේස්ත්‍රාත් ට නේද? වෙන්න ඕනෑ ඔහු නිවැරැදි තීරණයක් ගැනීම නොවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1296 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1236 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 449 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site