හෙරොයින් මත් උවදුර මෙරටින් තුරන් කළ නොහැක්කේ ඇතැම් දේශපාලනඥයන්ගේ හා ඇතැම් පොලිස් නිලධාරීන් නිසා යැයි සමාජයේ මුල් බැසගත් ආකල්පයකි. එය සත්‍ය බව පසක් කරමින් කාලයෙන් කාලයට විවිධ සිද්ධි මතු වෙයි.

පෙර නොවූ විරූ ලෙස ලංකාවේ හෙරොයින් ගැන කතාබහට ලක් වන්නේ මෑතකදී වූ සිද්ධි කිහිපයක් මුල් කරගෙනය. දකුණු ආසියාවේ එකවරකදී ඇල්ලූ විශාලතම මත් කුඩු තොගය පසුගියදා හසු වූයේ ශ‍්‍රී ලංකාවෙනි. ලක්ෂ පනහක හෙරොයින් පාන් පිටි බවට පත්වූයේ ද ලංකාවේ පොලිසියක් තුළදී ය.  කතක සමග කුඩු ජාවාරම් කළැයි පොලිස් පොඞ්ඩන් දෙදෙනකු අත්අඩංගුවට පත් වූයේ ද ලංකාවේය. මේ සියල්ල ගත් කල ඒවා මෑත කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිද්ධීන් විය.

1980 දශකයට පෙර ලංකාවේ හෙරොයින් ඒ තරම්ම ප‍්‍රචලිතව නොතිබුණත් එම දශකයේ අගභාගය වන විට කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශවල එය තරමක් ප‍්‍රචලිතවෙමින් තිබිණි.  ඉන් පසු එය ක‍්‍රමයෙන් ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවලට පැතිරෙන්නට වූ අතර දැන් එය මුළු රටම වෙළා ගත් වසංගතයක් බඳු වී තිබේ.

රුපියල් දහසක හෙරොයින්

එය කොතරම් ව්‍යාප්ත වීද යත් සොරකම් සඳහා අත්අඩංගුවට ගන්නා බොහෝ දෙනෙක් පවසන්නේ තමන් හෙරොයින් මත් කුඩු මිල දී ගැනීමට මුදල් සොයා ගැනීම සඳහා හොරකම් කළ බවයි. එය බරපතල සමාජය අර්බුධයකි.

හෙරොයින් මත් කුඩු සමග දේශපාලනයේ ඇති නෑ කම වැඩි වශයෙක් කතා බහට ලක් වූ මාතෘකාවකි. බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් වරෙක පවසා තිබුණේ ලංකාවේ හෙරොයින් ජාවාරම පිටුපස දේශපාලකයන් හතර දෙනකු සිටින බවයි.

දිනකට කුඩු ළඟ තබා ගත් බවට සැකපිට විශාල පිරිසක් අත්අඩංගුවට ගනිති. බොහෝ විට එලෙස අත්අඩංගුවට පත් වන්නේ හෙරොයින් මිලි ග‍්‍රෑම් ගණන් සන්තකයේ තබා ගත් හෙරොයින්වලට ඇබ්බැහිවූ පුද්ගලයන්ය. සමාජයේ භාවිත කරන භාෂාවෙන් කිවහොත් පොලිසිය බොහෝවිට අත්අඩංගුවට ගන්නේ ”කුඞ්ඩන්” ය.

හෙරොයින් ජාවාරම් කළ බව කියමින් අත්අඩංගුවට ගන්නෝද වෙති. ඒ හෙරොයින් ග‍්‍රෑම් දෙකක්, තුනක් වැනි ප‍්‍රමාණයක් සන්තකයේ තබා ගත් පුද්ගලයන්ය. ඉඳ හිට හෙරොයින් ග‍්‍රෑම් සීය, දෙසීය වැනි ප‍්‍රමාණ ළඟ තබා ගත් පුද්ගලයෝ ද පොලිස් අත්අඩංගුවට පත් වෙති.
හෙරොයින් කිලෝ දහය, විස්ස ළඟ තබා ගත්තැයි අත්අඩංගුවට ගෙන ඇති ප‍්‍රමාණය ඉතා අල්පය. ඇතැම් විට එය අතේ ඇඟිලිවලටත් වඩා අඩු ප‍්‍රමාණයකි.

හෙරොයින් යන්න සුළුවෙන් තැකිය හැකි මත් ද්‍රව්‍යයක් නොවේ. හෙරොයින් ග‍්‍රෑම් දෙකකට වැඩි ප‍්‍රමාණයක් ළඟ තබා ගැනීම ශ‍්‍රී ලංකාවේ මරණ දණ්ඩනය ලබා දීමට හෝ ජීවිතාන්තය දක්වා හිරේ යැවීමට හැකි වරදකි. හෙරොයින්වල භයානක කම එයින්ම වටහා ගත හැකිය.

සොරකම් සිදු වූ විට ඔවුන් අත්අඩංගුවට ගෙන ඊට සම්බන්ධ තවත් අය ගැන පොලිසිය ප‍්‍රශ්න කරයි. මිනීමැරුමක් වූ විට ඊට සම්බන්ධ අය සෙවීමට එලෙසම දිගින් දිගටම ප‍්‍රශ්න කරයි. බොහෝ විට පැය 48 සිට දින 90 දක්වා රැුඳවුම් නියෝග ගෙන ප‍්‍රශ්න කරන අවස්ථා ද බහුලය. එම පරීක්ෂණවල ප‍්‍රගතිය පෙන්වමින් ඒ හා සම්බන්ධ සියලූ සැකකරුවන් අත්අඩංගුවට ගන්නට ද පොලිසිය සමත් වෙයි. එය අගය කළ යුතුය.

නමුත් හෙරොයින් මිලි ග‍්‍රෑම් ගණනක් සන්තකයේ තිබී පුද්ගලයකු අත්අඩංගුවට ගත් විට පොලිසිය කරනුයේ කෙළින්ම උසාවියට ඉදිරිපත් කිරීමය. බොහෝවිට සැකකරුවෝද වරද පිළිගෙන දඩ ගෙවා පිටව ගොස් නැවත හෙරොයින් පානය කරති.

හෙරොයින් මිලි ග‍්‍රෑම් ගණනක් සන්තකයේ තබාගෙන හමුවූ පුද්ගලයන්ගෙන් ප‍්‍රශ්න කර ඔවුන් හෙරොයින් ලබා ගත්තේ කෙසේ දැයි දැන ගැනීමටත්, ඉන් එහාට එම පුද්ගලයන්ට හෙරොයින් ලැබුණු ආකාරය සොයා ඔවුන් අත්අඩංගුවට ගැනීමටත්, ඒ ආකාරයට හොරොයින් ජාලය බිඳ දැමීමටත් පොලිසිය කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. ඇතැම්විට ඊට නිසි වැඩ පිළිවෙළක් හෝ නීතිමය රාමුවක් නොතිබෙන්නට ද පුළුවන. සමාජයේ ශීඝ‍්‍රයෙන් පැතිර  යන හෙරොයින් මත් උවදුර මැඩලීමට නම් එවැනි නිසි වැඩපිළිවෙලක් තිබිය යුතුමය.

මේ සෑම දේකටම වඩා වැදගත් වන්නේ පොලිසිය කුඩුකාරයන් හා කුඩු ජාවාරම්කරුවන් සමග සම්බන්ධයක් ඇතැයි සමාජයේ මුල් බැසගෙන ඇති සංකල්ප දුරු කිරීමය. ඒ බව වචනයෙන් කියා ප‍්‍රමාණවත් නැත. ප‍්‍රායෝගිකව ඔප්පු කර පෙන්විය යුතුය.

ඇතැම් පොලිස් නිලධාරීන් හා කුඩු ජාවාරම්කරුවන් අතර සම්බන්ධයක් නැතිනම් පොලිසියක සේප්පුවේ තිබූ හෙරොයින් පාන්පිටි වන්නට කිසිදු හේතුවක් නැත.

 

හෙරොයින් භාවිත කළ පසු බිම දමා තිබූ ඊයම් කොළයක්

 

බස්නාහිර බුද්ධි අංශයෙන් කාන්තාවක ද සමග අත්අඩංගුවට ගන්නා හෙරොයින් අතුරුගිරිය පොලිසියට භාර දෙන්නේ වැඩිදුර පරීක්ෂණ සඳහාය. ලක්ෂ පනහක පමණ හෙරොයින් එහි තිබෙන්නට ඇතැයි කියති. ආරක්ෂාව සඳහා ඒවා තැන්පත් කර තිබුණේ අතුරුගිරිය පොලිසියේ සේප්පුවක් තුළය. එහි සාම්පලයක් රජයේ රස පරීක්ෂක වෙත යවනුයේ වාර්තාවක් ලබා ගැනීමටය. එම වාර්තාව පැමිණි විට සියල්ලෝම පුදුමයට පත් වුණේ හෙරොයින් මත්ද්‍රව්‍ය එහි අඩංගු නැති බවත් ඇත්තේ පාන්පිටි සහ බෙහෙත් කුඩු බවත් වාර්තාවේ සඳහන් වූ නිසාය.

ඉන් පසු කළ පරීක්ෂණයකින් පසු අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපතිගේ හා තවත් නිලධාරීන් තිදෙනකුගේ වැඩ තහනම් කැරිණි.
එය සිදුවී වැඩි දවසක් යන්නට පෙර පොලිසිය හා හෙරොයින් අතර ඇති සම්බන්ධය කියා පාමින් කොළඹට ආසන්න පොලිසියක කොස්තාපල්වරු දෙදෙනකු අත්අඩංගුවට පත් විය.

ඒ කාන්තාවකට හෙරොයින් විකිණීමට සහාය වූ බව පවසමිනි. එහිදී කියැවුණේ අත්අඩංගුවට ගන්නා හෙරොයින් සියල්ල නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් නොකර කොටසක් තබාගෙන ඒවා විකුණන බවයි.

ඉන් පසු තවත් සිදුවීමක් වාර්තා වූයේ ද කොළඹට ආසන්න පොලිස් මුරපොළකිනි. එහි සේවකයෙක් කුඩුවිකුණා පොලිස් අත්අඩංගුවට පත් විය.

කුඩු සොයා ගැනීමට නොහැකි වූ තැන කුඩු වලට ඇබ්බැහිවූවන් ඇතැම් පොලිසි වටේ කැරකෙන බව ද ප‍්‍රසිද්ධ රහසකි.

හිටපු පොලිස්පතිවරයකුට එම ධුරය අත්හැරීමට සිදු වූයේ ද කුඩු ජාවාරම්කරුවකු නිසා බව එකල මාධ්‍යය වාර්තා කළේය. ඒ කුඩු ජාවාරමකුගේ දියණියකගේ මංගලෝත්සවයකට සහභාගී වූ නිසාය. ඔහු ඒ සඳහා සහභාගී වී තිබුණේ ඔහුගේ බිරිය සමගය. එය එකල දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නේය.

කොළඹ සුපිරි හෝටලයක තිබුණු එම මංගලෝත්සවය සදහා පොලිසියේ බොහෝ දෙනෙක් සහභාගී වූ බව කියති.

ඉන් ටික කලකට පසු වැල්ලම්පිටිය පොලිසිය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කළ වැටලීමකදී එම කුඩු ව්‍යාපාරිකයාගේ ගෝලයෝ පිරිසක් හෙරොයින් ද සමග අත්අඩංගුවට පත් වූහ. හිටපු පොලිස්පති මංගලෝත්සවයේ සිටින වීඩියෝ පටයක් ද හමුව ඇත. එම කුඩු රජා තවමත් සිටින්නේ නිදැල්ලේය.

මෙතෙක් හෙළි නොවූ මෙවැනි සිද්ධි තව කොතෙකුත් තිබෙන්නට පුළුවන. සැකකරුවකු ඇල්ලූ විට ඔහු නිදහස් කරන්නැයි පොලිසියේ උසස් නිලධරයන්ගෙන් පොලිස් පොඞ්ඩන්ට ඇමතුම් ලැබෙන අවස්ථා ද නැතුවාම නොවේ.

 ඇතැම් පොලිස් ලොක්කන්ගේ වත්කම් පරීක්ෂා කළහොත් ඔවුහු ඒවා උපයා ගත්තේ කෙසේදැයි යන්න සැක හැර දැන ගැනීමට පුළුවන.

මත්ද්‍රව්‍ය හා බලධාරීන් අතර ඇති සම්බන්ධය කියැවෙන තවත් සිද්ධියක් මීට වසර ගණනකට පෙර වාර්තා විය. එක්තරා පොලිසියක උප පොලිස් පරීක්ෂකවරයෙක් මත්කුඩු කිලෝ එකකට ආසන්න ප‍්‍රමාණයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගනී. ඒ ගන්නා අවස්ථාවේදීම සැකකරු උප පොලිස්පරීක්ෂකවරයාට අල්ලසක් ලබාදීමට සැරසෙයි. එය සුළුපටු ගානක් නොවේ. ලක්ෂ 25කි. එය ප‍්‍රතික්ෂේප කළ උප පොලිස්පරීක්ෂක සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරයි. වැටලීම ගැන තම උසස් නිලධාරීන්ට ද වාර්තා කරයි. ඔහුගේ රාජකාරිය එතැනින් නිම වෙයි. ඉන් පසු අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් වෙන්නේ හෙරොයින් මත්කුඩු යැයි අත්අඩංගුවට ගත් තොගයේ ඇත්තේ පිටි බවටයි. එම වාර්තාව අනුව සැකකරු නිදහස් වෙයි. එදින උප පොලිස් පරීක්ෂකට සැකකරු මුණ ගැසෙයි. ඔහු අසනුයේ කොහොමද වැඬේ කළේ කියාය. සැකකරු උප පොලිස් පරීක්ෂකට දුන් පිළිතුර වූයේ ”ඒ වෙලාවේ ලක්ෂ 25 ගත්ත නම් ඉවරයිනේ මහත්තයා..” යනුවෙනි.

වැටලීම් කරන පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරු ලැබීම මේ කතාවේ අතුරු කතාවකි. එවැනි අවස්ථා ගණනාවක් පසුගිය කාලයේ වාර්තා විය.

එවැනි කතාවක් මෑතකදී වාර්තා වූයේ ගම්පහ පොලිස් කොට්ඨාසයෙනි.  එම කොට්ඨාසයේ පොලිසියක දුෂණ මර්දන අංශයේ සාජන්වරයකු කසිප්පු, හෙරොයින් ආදී වැටලීම් රැුසක් එක දිගට කළේය. එම පොලිස් සැරයන්වරයා කා අතරත් ප‍්‍රසිද්ධව සිටියේ වැටලීම් හරිහැටි කරන කෙළින් පොලිස් නිලධරයකු ලෙසය. වැටලීම කර ඉන් නොනැවතී උසාවියට ද ගොස් කොන්ද කෙළින් තබාගෙන කතා කරන හොඳ නිලධරයකු ලෙස ඔහු සෙසු පොලිස් නිලධාරීන් අතර පමණක් නොව සෙසු අය අතරත් ප‍්‍රසිද්ධව සිටියේය.
කාගේ හිතවතකු වුවත් වරදක් කරනවා නම් මේ පොලිස් සැරයන්වරයාට ඒ හිතවත්කම් පළක් නැත. ඔහු කරනුයේ වහා අත්අඩංගුවට ගැනීමයි. මෙලෙස දිගින් දිගටම සිදු වෙද්දී එම පොලිස් ස්ථානයේ ලොක්කකුගෙන් ඔහුට දිගින් දිගටම බලපෑම් එල්ල වන්නට විය. එම සාජන්ට විරුද්ධව පෙත්සම් යන්නට විය. ඒ අනුව ගම්පහ කොට්ඨාසයේ පොලිස් ලොක්කකු විසින් ඔහු ගැන විමර්ශනයක් ඇරැුඹීය. එම විමර්ශනය අවසන් වූයේ පොලිස් සැරයන්වරයාගේ කිසිදු වරදක් නැතැයි ඔප්පුවීමෙනි. එහෙත් සිදුවූයේ කිසිවකු නොසිතූ දෙයකි. ඉන් දින දෙක තුනකට පසු ඔහුට බස්නාහිර පළාතේ වෙනත් පොලිස් ස්ථානයකට මාරුවක් ලැබුණි. එම සිදුවීමෙන් මහජනයා අතර පමණක් නොව පොලිසියේ පහළ සාමාජිකයන් අතරද දැඩි කළකිරීමක් ඇතිවූ බව දැනගන්නට ඇත.

මෙවැනි සිදුවීම් තව කොතෙකුත් සමාජයේ තිබෙන්නට පුළුවන. මේ වාර්තා වූ එක් සිදුවීමක් පමණි.

හෙරොයින් වැඩියෙන්ම ව්‍යාප්ත වී ඇත්තේ බස්නාහිර පළාතේ බවට පරීක්ෂණවලින් හෙළි වී තිබේ. මෙහි ඇති භායනකම තත්ත්වය නම් පාසල් සිසුන් පවා හෙරොයින් භාවිතයට ඇබ්බැහිවෙමින් සිටීමයි.

2011 වසරේ හොරොයින් මත් කුඩු වැරදි සඳහා අවුරුදු 24ට අඩු පුද්ගලයෝ 891ක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. වයස අවුරුදු 15ට අඩු දරුවෙක් ද ඒ අතර වෙයි. වයස අවුරුදු 25ත් 29ත් අතර තරුණයෝ 2392ක් ද හෙරොයින් වැරදි සදහා 2011 වසරේ අත්අඩංගුවට පත්ව ඇත.

හෙරොයින්වලට ඇබ්බැහිවූවන් සඳහා ඒවා අලෙවි කරනුයේ කන් හැන්දෙන් හෝ ගිනිකූරේ අගින් මැනීමෙනි. මිලි ග‍්‍රෑම් 30ක පමණ එම ප‍්‍රමාණයක කොළඹ හා ගම්පහ වීදි වටිනාකම රුපියල් දහසකි.  එලෙස බැලූ කල ග‍්‍රෑම් එකක වීදි වටිනාකම රුපියල් 33000ක් පමණ වේ.

හෙරොයින් ලංකාවට එන්නේ එක්කෝ මුහුදු මගිනි. නැතිනම් ගුවන් මගිනි. වැඩි වශයෙන් බෝට්ටු මගින් ගෙන එන බව හෙළි වී ඇත. හෙරොයින් අඩංගු මළු බොට්ටු වල ගැටගසා ගෙන එන බවත්, ඒවා හසු වුවහොත් ගැටගසා ඇති පටි කපා මුහුදට දමන බවත් කියති.
ශ‍්‍රී ලංකාවේ හෙරොයින් ජාවාරමුන් බව කියන පුද්ගලයක් කිහිප දෙනකුගේ නම් ප‍්‍රසිද්ධව ඇතත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙතෙක් සමත් වී නැත. හෙරොයින්වලට ඇබ්බැහිවූවන් දිගින් දිගටම අත්අඩංගුවට ගත යුතු බව සැබෑය. නමුත් ඔවුන් අත්අඩංගුවට ගත් පමණින් හෙරොයින් ජාවාරම ලංකාවෙන් තුරන් කළ නොහැකි බව ද කිව යුතුය. ඊට හේතුව හෙරොයින් ලංකාවට ගෙන්වන්නන් සහ ප‍්‍රධාන කුඩු ව්‍යාපාරිකයන් තවමත් නිදැල්ලේ පසු වන බැවිණි. ඔවුහු විවිධ උපක‍්‍රම යොදා තරුණ පරපුර හෙරොයින්වලට ඇබ්බැහි කර ගනිමින් සිටිති.

හෙරොයින් ජාවාරමේ සුළමුළ සොයාගෙන ඊට සම්බන්ධ බව කියන දේඥපාලනඥයන් සහ පොලිස් ලොක්කන් නීතියේ රැුහැනට හසු කර නොගන්නා තෙක් මෙරටින් හෙරොයින් උවදුර දුරු කළ නොහැකිය.

 

 

තරිඳු ජයවර්ධන