“පනාමුරේ ඇත්රාජා” යනු ගමෙන් රටටත් රටෙන් ලෝකයටත් වහා පැතිරගිය ශිෂ්ටසම්පන්න ලෝකය සසල කළ සිදුවීමකි. අමානුෂික හිංසනය හා බැඳුණු සත්ව වහල් සේවය පිළිබඳ මේ රටේ අලි ඇතුන්ගෙන් මිනිස් සමාජය වෙත ලැබුණු බෝධිසත්ව ආදර්ශය මේ මාතෘකාව යටතේ ගැඹුරු අවධානයකට යොමු විය.
අද මේ ලිපිය ලියැවෙන්නේ එකී ඛේදජනක සිදුවීමට වසර 75 ක් සම්පූර්ණවීම ද නිමිති කරගෙන ය.
මේ සිදුවීමට පසුබිම වන්නේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පනාමුර නමැති ග්‍රාමය යි.
ශ්‍රී ලංකාවේ අවසන්වරට පැවැත්වුණු ඇත්ගාල ලෙස ඉතිහාසගතවී ඇත්තේ 1951 දී කථානායක සර් ප්‍රැන්සිස් මොලමුරේ මහතා විසින් පවත්වන ලද පනාමුරේ ඇත්ගාල ය. පනාමුරේ ඇත්රජාගේ ශෝකජනක ඉරණම මෙහි දී දක්නා ලැබුණ ද ඒ සතාගේ ජීවිත පරිත්‍යාගයේ ජයග්‍රාහී ප්‍රතිඵල සිය වර්ගයා වෙත ලබාදෙමින් එතැන් පටන් දිවයිනේ ඇත්ගාල් පැවැත්වීම තහනම් කෙරිණි.
තමා කොටුවූ බව තේරුම් ගත් පසු බේරී පලායාමට තැත් කරන අලිඇතුන් මෙල්ල කිරීමට ප්‍රධාන වශයෙන් යොදා ගැනුණේ, ඒ වනවිට මිනිස් අත්අඩංගුවේ පසු වන හීලෑ යැයි කියනු ලබන අලිඇතුන් ය. ඔවුන් ලවා අලි ඇතුන්ට පහරදීම ආදිය සිදු කරන අතර, තියුණු යකඩ උල් ආදිය ද භාවිත කෙරිණි. ඇත්ගාල සංවිධානය කිරීමට පෙර එයට විශාල ප්‍රසිද්ධියක් දෙනු ලැබේ. විදේශීය රටවල පවා මේ ප්‍රසිද්ධ කිරීම්වලින් අපේක්ෂා කෙරුණේ අලිඇතුන් ඇල්ලීම ප්‍රදර්ශන ස්වරූපයෙන් සිදු කිරීම ය. වනයේ සිටින විශාලතම සතුන් සමග මිනිසා කරන අතිබිහිසුණු ක්‍රීඩාව නරඹන්නට මේ අනුව අවස්ථාව සලසා තිබුණි.
මේ කාලය වනවිට පනාමුරේ ගම සැණකෙළි සිරියෙන් යුතු වෙයි. දේශීය විදේශීය සංචාරකයන් දහස් ගණනක් පැමිණෙන හෙයින් ඔවුන්ට පහසුකම් සැලසීම් වස් කූඩාරම් වැනි තාවකාලික නවාතැන් විශාල ලෙසින් ඉදිවිය. විවිධාකාර ආහාරපාන ආදිය ද සිහිවටන නිර්මාණ ද සහිත වෙළෙඳසල් සිය ගණනක් ඉදිකෙරිණ.
මේ කාලයේ පනාමුර ගම ඇසුරින් පහළවන මේ හදිසි පරිසරය “ගාල් නගරය” නමින් ප්‍රසිද්ධියට පත්විය. දෙවුන්දර, කතරගම, මහනුවර ආදී පෙරහර උත්සව සමය සිහිගන්වන ගාල් නගරය එකම සැණකෙළියක් ලෙසින් දිස්වන්නට විය.
ඇත්ගාල වටා වූ වන ගහනයේ මහගස් උඩ ඉදි වූ වේදිකා මත දහසක් දෙනා නරඹමින් සිටිය දී අලි ඇතුන් ඇල්ලීම සිදුවෙයි. කඹ ආදිය පමණක් නොව වානේ කේබල් ද යොදා ගනිමින් ගස් බඳින සතුන් මිදී යාමට දඟලන අවස්ථාවේ ඔවුන්ගේ පාද කැපී ලේ වහනය වෙයි. මේ වේදනාකාරී අත්දැකීමත් සමග කළහැකි කිසිවක් නැති තැන අලි ඇතුන් වැඩි දෙනෙක් සන්සුන් වෙති.
මෙසේ අල්ලා ගන්නා හස්තීන් දින දෙක තුනක් තුළ වෙන්දේසියේ විකිණීම සිදුවෙයි. එහි දී ඒ ඒ සතාගේ වයස හා ස්වභාවය අනුව විකිණෙන්නේ රුපියල් 1500 සිට 4000 දක්වා වූ ගණන්වලට ය. හීලෑ අලින්ගේ සහය සහිතව නවකයන් ඒ ඒ ප්‍රදේශවලට ගෙන යනු ලැබේ.
1950 අගෝස්තු 09 වැනිදා වන විට අලි ඇතුන් 27 දෙනෙකු ගාලට සිරවී සිටියහ. ඒ අතරින් එක් හස්තියකුගේ හැසිරීම අසාමාන්‍ය වූවක් විය. ඒ සතා දැඩි වෙහෙසක් දරා තමා බැඳ තැබූ සියලු බැමි වරපට කඩාගෙන ගාල මැදට පැන හීලෑ ඇතුන්ට පහර දෙන්නට විය. යකඩ උල් අනිමින් සිටි ගොව්වන්ට ද මෙල්ල නොවූ මේ හස්තියා ඇත් වැටට පහර දෙමින් එය කඩා බිඳ දැමීමට යත්න දැරී ය. පාලනය කරගත නො හැකි මේ දඩබ්බරයා ගාලෙන් නිදහස් කර හරින ලෙස මොලමුරේ මහතා අණ කළේ අනිත් සතුන් ටික බේරා ගැනීමේ අදහසිනි.
ඒ අනුව ගාලේ කොටසක් විවෘත කර මේ හස්තියාට යාමට ඉඩ සැලසුව ද ඒ සතා කළේ එහි නිරත මිනිසුන්ට ද පහර දී එළවා දමා බැහැරට නො ගොස් යළිත් ගාල තුළටම කඩා වැදී දිගටම අරගලයේ නියැළීම යි. මේ අසාමාන්‍ය සත්වයාට අවශ්‍ය කළේ තමාට කෙසේ හෝ බේරීයාම නොව, තම ඥාති පිරිස ද නිදහස් කර ගෙන ම බේරීයාමට ය. ඒ සතා තුළ පැවති ඒ උත්තුංග අපේක්ෂාව ඒ වනවිට සියලු දෙනාටම මැනවින් තේරුම් ගොස් තිබිණි.
නිදහස් කර මුදාහැරියත් නැවත නැවතත් ගාල කරා පැමිණ අනවරත අරගලයේ නියැලී සිටින මේ සත්වයා මරා දැමීමට තීරණය කරනු ලැබිණ. තමාගේ අලි වෙළෙඳාමේ ඉදිරි කොටස සාර්ථක කර ගැනීමට නම් මේ දඩබ්බරයා විනාශ කිරීම අත්‍යවශ්‍යම බව මොලමුරේ නිගමනය කරන ලද බැවිනි.
ලංකා නාවික හමුදාවේ කොමදෝරු කදිරගාමර් නමැති නිලධාරියා ඒ සඳහා යොදවන ලදී. ගාල තුළට පැමිණි වෙඩික්කාරයාට පහර දීමට වේගයෙන් පැනගෙන ආ හස්තියා මීටර් සියයක පමණ දුරක් තිබිය දී කුරිරු වෙඩි පහරට ගොදුරු විය. වෙඩි උණ්ඩයට නලල් තලය සිදුරු වී ලේ ගලමින් වුව ද තවත් අඩි ගණනක් ඉදිරියට පැන ආ හස්තියා ඊළඟ මොහොතේ අප්‍රාණිකව බිම ඇද වැටුණේ ය.
මෙසේ මේ වනාන්තරයේ යෝධයා කුරිරු ලෙස ඝාතනය වූයේ ඇයි? ඌට උපතින්ම හිමිව තිබූ නිදහස රැක ගැනීමට යත්න දැරූ නිසා ද? නැත. ඊටත් වඩා ඒ සත්ත්වයා තුළ පැවති උත්තරීතර ගුණාංගයක් නිසා ය. එය නම්, නායකයා වශයෙන් තමාගේ පිරිස බේරා ගැනීමට, තම වර්ගයාට නිදහස ලබා ගැනීමට, තම ජීවිතය පරදුවට තබා වෙහෙසකර හා වේදනාකර, සටනක නියැලුණු නිසා ය.
නායකත්වය පිළිබඳ බෞද්ධ නිර්නායකය වන්නේ තම පිරිසේ ආරක්ෂාව සඳහා නායකයා ක්‍රියාකළ යුතු වීම යි. තීරණාත්මක අවස්ථාවක දී හෙවත් විපත්තිකර ගැටලුවක දී තම සහගාමීන් ඉදිරියට යවා තමා බේරී සිටීම බෞද්ධ න්‍යාය නොවෙයි. එයට හොඳම නිදර්ශන සැපයෙන්නේ අපේ පන්සිය පනස් ජාතක පොත මගිනි. තම සහගාමීන්ගේ රැකවරණය පතා ජීවිත පරිත්‍යාගයෙන් යුතුව බෝධිසත්ව නායකයා ක්‍රියා කළ ආකාරය ජාතක කථා සිය ගණනකම ගෙනහැර දක්වා ඇත.
වත්මන් මිනිසා තුළ දක්නට නො ලැබෙන මේ අසහාය ගුණය සත්ව සමාජය තුළ තවමත් ඉතිරිව පවත්නා බවට හොඳම නිදසුන පනාමුරේ ඇත් රාජාගේ උදාර ප්‍රතිපත්තිය යි. එසේම වෙනත් අලි රංචුවල ද මෙවන් නායකත්වයන් ක්‍රියාත්මක වන බවට නිතර අසන්නට ලැබෙන සුපුවතකි.
කෙසේ වෙතත්, පනාමුරේ ගජනායක වීරයාගේ ජිවිත පරිත්‍යාගයත් සමඟ යහපත් මිනිසුන්ගේ කාරුණික අවධානය ඒ වෙත යොමු විය. දොස්තර ස්පිටල් මහතා විසින් ටයිම්ස් පත්‍රයට ලියන ලද ලිපියක මෙවන් වැකියක් ද ඇතුළත් ය.
“වර්තමාන සංස්කෘතික දියුණුවත් වෙනත් ආකර්ෂනීය දේත් තිබිය දී මේ සුන්දර දිවයින තුළ මෙවැනි පැරණි ම්ලේච්ඡ භාවිතයක් පවත්වාගෙන යාමට ඉඩදීම ගැන නැවත සිතා බැලිය යුතු ය.”
වයස 14 ක් වූ ලිස්බන් විල්සන් නමැති ඉංග්‍රීසි ජාතික දැරිය මෙසේ ලියා ඇත.
“මේ ලංකාවට පෙන්විය හැකි උද්වේගකර දර්ශනයක් වුවත් එය ඉතා ශෝකජනක ය. මේ තරම් මැෂින් සහ ඇන්ජින් තිබෙන කාලයේ, උන්ට නිදහසේ සතුටින් ඉන්නට ඉඩ නොදීම ලොකුම වරදකි. අලින් කැලේ සිටියාට උන්ගෙන් කාටවත් හානියක් නැත.”
මේ සිද්ධිය නිසා ලැව්ගින්නක් සෙයින් මහජන විරෝධය පැතිර ගියේ ය. එම විරෝධයේ එක් කේන්ද්‍රස්ථානයක් වූයේ කොළඹ ආනන්ද විද්‍යාලය යි. එම විරෝධතාව මෙහෙයවූ මහාචාර්ය්ය ගුණපාල මලලසේකර මහතා කියා සිටියේ බුදු දහම අදහන බෞද්ධයන් වෙසෙන අප රටේ මෙවන් සිදුවීම් ඇතිවීම කනගාටුදායක බව ය.
ලෝකයක් අවදි කරලමින් මේ හස්තිරාජයා ස්වකීය ජීවිතය යුක්තිය ධර්මය හා නිදහස වෙනුවෙන් පූජාකොට අගෝස්තු (09) වැනිදාට අදට පුරා හැත්තෑ පස් වසරක් සපිරෙයි. එම ඓතිහාසික පුවත අමතක නො කර යළි යළි සැමරීම පිණිසත්, අනාගත පරපුර දැනුවත් කරලීම පිණිසත් පනාමුරේ හස්තිරාජ උපහාර සැමරුම් උළෙලක් ප්‍රදේශවාසී ජනතාව විසින් සංවිධානය කරනු ලැබ ඇත.
අගෝස්තු 29 වැනිදාට යොදාගෙන ඇති මේ සමරු උත්සවයේ දී විවිධ පුණ්‍ය කටයුතු සිදුකර හස්තිරාජයාට පින් අනුමෝදන් කිරීම සිදුවෙයි. ඒ සමගම ගම ආශ්‍රිතව පවත්නා පාසල්වල දරු දැරියන් දැනුවත් කිරීම සඳහා චිත්‍ර, කථික, ගද්‍ය, පද්‍ය රචනා තරග සමඟ ගුණසමරු පෙරහරක් ද පැවැත්වීමට නියමිත ය. ඒ ඓතිහාසික පනාමුරේ ඇත්ගාල භූමියේම මේ සමරුම පැවැත්වීම ද විශේෂත්වයකි.
මේ උදාර සිදුවීම වඩාත් මහජන හදවත්වලට ආසන්න වූයේ “පනාමුරේ ඇත් රාජා” යන ගීතයත් සමඟ ය. එම ගීතය නිර්මාණය කොට ගායනා කරන ලද්දේ කඩුගන්නාවේ සුගතපාල මලලසේකර මහතා විසිනි. ඔහු මේ සංවේදී කාර්ය්යය සිදු කරන්නට පෙලඹුණේ පනාමුරේ ඇත්ගාලේ සිදුවීම සියැසින් දැක ඇති වූ කම්පනය පදනම් කරගෙන ය.
එසේම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා විසින් රචිත “ඇත්ගාලේ දරු පෙම” නමැති ගීත නිර්මාණය ද සුහද මිනිසුන්ගේ සිත් සසල කළේ ය.
“පනාමුරේ ඇති රාජා” නමින් පියසේන කහඳගමගේ මහතා විසින් රචිත කෘතිය කාගෙත් ඇස් අරවන සදුත්සාහයක් බව ද සඳහන් කළ යුතු ය.
(***)
ආචාර්ය - ඕමල්පේ සෝභිත නා හිමි
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
පරපුර වෙනුවෙන් දිවිය පුදකළ පනාමුරේ ඇත්රාජා