ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (07) යෙදී ඇත. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.
ලොව පුරා වෙසෙන ඉස්ලාම් ධර්මය අනුගමනය කරන බැතිමතුන් අනිවාර්යයෙන් ඉටු කළ යුතු ප්‍රධාන වගකීම් පහ අතුරින් අවසන් වගකීම ලෙස හජ් වන්දනය සඳහන් කර තිබේ. එසේ වුවද හජ් වන්දනය ඉටු කිරීම අනිවාර්ය වෙන්නේ ඒ සඳහා අවශ්‍ය සම්පත් සහ ශරීර සෞඛ්‍යය ඇති අයට පමණි.
හජ් වන්දනය යනු ඉස්ලාම් ධර්මය ලොවට හඳුන්වා දුන් මුහම්මද් නබි තුමාණන් මෙන්ම ඉස්ලාමයේ අනෙකුත් නබිවරුන් ඉපදී ආගමික ප්‍රචාර සිදු කළ දේශය වන සෞදි අරාබියට ගොස් එම ඓහාසික ස්ථාන දැක බලා ගැනීමය. මෙම භූමියේදී විශේෂ යාඥාවන් කිරීමෙන් තමන්ගේ යහපත් බලාපොරොත්තු ඉටු වන බවද ඉස්ලාමය කියයි.
හජ් වන්දනය ඉටු කිරීම සඳහා මක්කා සහ මදීනා නගර ඇතුළු ඓතිහාසික ප්‍රදේශවලට යන බැතිමතුන් මේ හජ් වන්දනය ගැන යම් කිසි දැනුමක් ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.
ඉස්ලාමිය බැතිමතකු අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු වගකීම් පහකි. ඒ අතර පළමුවැන්න විශ්වාසයයි. එය අල්ලාහ් දෙවියන් වහන්සේ සහ මුහම්මද් නබි තුමාණන් ගැන විශ්වාස කිරිම වන අතර දෙවැන්න පස් වේල් සලාතය ඉටු කිරීමත් තුන්වැන්න රමලාන් මාසයේ උපවාසය සුරැකීමත් හතර වැන්න සකාත් නම් වන දුගී බද්ද ගෙවීමත් වන අතර පස් වැනි සහ අවසන් වගකීම ලෙස හජ් වන්දනය ඉටු කිරීමත් සඳහන් වෙයි.
හජ් උත්සවය යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේදී පවත්වනු ලබන උත්සවයයි. මෙය හජ් වන්දනය හෙවත් ලෝකයේ නන් දෙස සිට සෞදි අරාබියේ මක්කම නගරයට යන ලක්ෂ සංඛ්‍යාත බැතුමතුන් හජ් වන්දනය අවසන් කළ දිනයේදී පවත්වනු ලබන උත්සවයි.
එය හජ් වන්දනය සඳහා ගිය නොගිය සියලු දෙනාම එක්ව සමරනු ලබයි. ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල්හජ් මස 10 වැනිදා හජ් උත්සවය පැවැත්වෙයි.
මෙය සෞදි අරාබියට ගොස් හජ් වන්දනය ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් ඇති ශරිර සෞඛ්‍යයෙන් හෙබි සියලු දෙනාට අනිවාර්ය වගකීමකි.
ඉස්ලාම් ධර්මය මුහම්මද් නබි තුමාණන් පරිපූර්ණ කළ නමුත් එය ලොව පළමු මිනිසා වන ආදම් නබි තුමන්ගෙන් ආරම්භ වූවකි. මෙම දීර්ඝ ගමනේදී වසර 5000කට පමණ පෙර සමාජයට යහ මාර්ගය පෙන්වීම සඳහා බිහි වූ නබි ඉබ්‍රාහිම් තුමන්ගේ සහ එතුමන්ගේ පුත් නබි ඉස්මයිල් තුමන්ගේ ද ජීවිත කාලයේදී වූ සිදුවීම් සිහි කිරීමද මෙම හජ් වන්දනයේ ප්‍රධාන අරමුණකි.
හජ් උත්සවය පරිත්‍යාගයේ උත්සවය ලෙසද සැලැකෙයි. නබි ඉබ්‍රාහිම් තුමන්ගේ කාලයේ සිදු කළ පරිත්‍යාග මෙම සැමරුමට මූලික වෙයි. නබි ඉබ්‍රාහිම් තුමන් යනු ශුද්ධ වූ කහ්බා දේවස්ථානය මිහි මත නැවත ස්ථාපිත කළ නබිවරයාණෝය. එතුමන්ගේ ජීවිත කතාව සහ හජ් උත්සවය අතර සෘජු සම්බන්ධතාවක් පවතී. නබි ඉබ්‍රාහිම් තුමන් විවාහව සිටියේ හාජරා මවු තුමිය සමගය. මෙම දෙපළට දීර්ඝ කාලයක් තිස්සේ දරුවන් නොසිටි අතර එතුමන්ට වයස අසූවේදී පුත් කුමරකු ලැබිණ. එම කුමරාට ‘ඉස්මයිල්’ ලෙස නම් තැබූහ.
කාලයක් ගත වෙද්දී කුඩා පුත් කුමරා ඇවිද දිව යන කාලය එළැඹෙද්දී ඉබ්‍රාහිම් නබි තුමන්ට දේව පරීක්ෂා රැසකට මුහුණ දීමට සිදු විය. ඒ දෙවියන් වහන්සේ වෙනුවෙන් එතුමන් කළ කැපකිරීම් සිහි කිරීම වෙනුවෙන්ම මෙම හජ් උත්සවය වෙන් කර ඇති බව ශුද්ධ වූ කුරාණයේද සඳහන් වෙයි.
ඉස්මයිල් කුමරා කුඩා බිලිඳකුව සිටියදී දෙවියන් වහන්සේගෙන් නියෝගයක් ඉබ්‍රාහිම් නබි තුමන්ට ලැබිණ. එයින් කියැවුණේ තම කුඩා බිළිඳා සහ මවු හාජරා තුමියද සමඟ කාන්තාරයට රැගෙන ගොස් තනි කර එන ලෙසය. එම දේව අණ අනුව නබි ඉබ්‍රාහිම් තුමා සිය බිලිඳා රැගෙන එන ලෙස හාජරා තුමියට පැවසූහ. ඒ අනුව ගහක් කොළක් ජල බිඳක් නැති කාන්තාරයේ බිලිඳා සහ මව තනි කර ඉබ්‍රාහිම් නබි තුමා පෙරළා පැමිණියහ.
හාජරා මවු තුමිය බිලිඳා වඩා ගෙන ඔබ මොබ ඇවිදිමින් සිටියදී කුඩා බිලිඳා ජලය ඉල්ලා කෑගස්සට විය. ජල බිඳක් නැති කාන්තාරයේ මවු හාජරා තුමිය කෙසේ නම් ජලය හොයන්නද? ඇය සිය බිලිදා කාන්තාරයේ තනි කර දෙපැත්තෙන් දිස් වන සෆා මර්වා යනුවෙන් හඳුන්වනු ලබන කඳු ගැට දෙක අතර එහා මෙහා දිව යමින් බිලිඳාට ජල බිඳක් සෙයා ගියාය.
ඒ ක්ෂණයෙන් බිලිඳාගේ දෙපා මුලින් මහ විශාල උල්පතක් මතු වී ජලය ගලා යන්නට විය. එම ජල කඳ දැක මවු හාජරා තුමිය‘ සම් සම්‘ යැයි පවසුවාය. එහි තේරුම ‘නවතින්න නවතින්න’ යනුවෙනි. එම ජලයෙන් කුඩා බිලිඳාගේ පිපාසය නිවා ගැනීමට හැකි විය . ඕනෑම රෝගයක් සුව කිරීමට සමත් ඔසුවක් මෙන්ම ලොව පිරිසුදුම ජලය ලෙස මුස්ලිම් ජනතාව අතර අදත් ප්‍රසිද්ධ මෙම සම් සම් ළිං ජලය අදද ලෝකය පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත ජනතාව සිය නිවෙස්වලට රැගෙන යමින් සිටිති.
කුඩා ඉස්මයිල් කුමරු ළමා වියට එළැඹීමත් සමඟ නබි ඉබ්‍රාහිම් තුමන්ට තවත් දේව අණකට කීකරු වන්නට සිදු විය. එවිට එතුමන්ට ලැබුණේ තම කුඩා ඉස්මයිල් කුමරා කැලයට රැගෙන ගොස් දෙවියන් වෙනුවෙන් බිලි දෙන ලෙසය. එයටද අවනත වූ ඉබ්‍රාහිම් නබි තුමා පුත් කුමරාද කැටුව කැලයට යද්දී දෙවියන් වහන්සේට කීකරු වී සිය එකම කුමරා බිලි දෙන්නට සූදානම් වුවත් ඒ අවස්ථාවේ දෙවියන් වහන්සේගේ දැනුම් දීම අනුව එම ස්ථානයට දෙව් ලොව සිට එවනු ලැබූ එළුවකු දෙවියන් වෙනුවෙන් කුර්බාන් කිරීම මගින් එම වගකීම ඉටු කිරීමට හැකි විය.
මුස්ලිම් ජනතාව අදත් හජ් උත්සය සමයේ කුර්බාන් නමින් හඳුන්වනු ලබන සත්ව මාංශ දානය ලබා දෙනු ලබන්නේ මෙම සිදුවීම සිහි කිරිම සඳහා වේ. ඉස්ලාමය සත්ව ඝාතනය ආගමිකව පවරා ඇති එකම අවස්ථාවද මෙයය.
මුස්ලිම්වරුන්ට සීමා සහිත සතුන්ගේ මාංශ අනුභවයට අවසර හිමිව තිබේ . එසේ වුවද ආගම විසින් සතුන් ඝාතනය කර දෙවියන් වහන්සේ වෙනුවෙන් කුර්බාන් කරන ලෙස නියම කර ඇත්තේ වසරකට දින තුනක් පමණි. මෙම දින තුන වනුයේ හජ් උත්සවය පවත්වනු ලබන දිනය සහ ඉන් පසුව එන දින දෙකය. වෙනත් කිසිඳු දිනෙක සිදු කරනු ලබන සත්ව ඝාතන ආගමික නියමවලට අනුව සිදු වන ඒවා නොවේ.
හජ් උත්සවය පවත්වනු ලබන්නේ සෞදි අරාබියේ මක්කම සහ ඉස්ලාමයේ නබි වරුන් ජීවත් වූ ප්‍රදේශ මුල් කර ගෙනය. ලෝකයේ නන් දෙස සිට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව මෙවරද හජ් වන්දනය ඉටු කරති.
හජ් වන්දනය යනු ලෝකයට පරිත්‍යාගය, සාමය සහ සහජීවනයට මනා ආදර්ශයක් ලබා දෙන උත්සවයකි. මෙහි ප්‍රධාන උත්සවය සෞදි අරාබිය මුල් කර ගෙන සිදු වුවද, ලෝකයේ වෙසෙන කෝටි සංඛ්‍යාත මුස්ලිම් ජනතාව දුල් හජ් මස දහ වැනිදාට යෙදෙන ඊදුල් අල්හා නම් වන හජ් උත්සවය සමරති.
පරිත්‍යාගය, සාමය, සහ සහජීවනය මුල් කර ගෙන පවත්වනු ලබන මෙම හජ් උත්සවය වෙනුවෙන් සියලු දෙනාට සුබ පතමු
ඊද් මුබාරක් ඔබ සැමට
පින්තූරය -අන්තර්ජාලය ඇසුරිනි
(*** සටහන - මොහොමඩ් ආසික්)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පරිත්‍යාගය, සාමය, සහජීවනය මුල් කොටගත් හජ් උත්සවය
Samanthika Kumari Saturday, 07 June 2025 05:27 PM
ඉතාම වටින ලිපියක්... ස්තුතියි...!