IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක් සඳහාය. එනම් තමිල්නඩු ප්‍රාන්තයේ ලංකාව දෙසට නෙරාගිය තුඩුවක් වූ පම්බාන් - රාමේෂ්වරම් දුම්රිය මාර්ගයේ පිහිටි පාලමක් විවෘත කිරීම සඳහාය. මෙම පාලම පිහිටා ඇත්තේ අතීතයේ ඉන්දියාව සහ ලංකාව අතර ක්‍රියාත්මක වූ තලේමන්නාරම සහ රාමේෂ්වරම අතර දුම්රිය මාර්ගයේ වීම අපට මෙම පාලමේ ඇති විශේෂත්වයයි.

අතීතයේ දී බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් ඉන්දු - ලංකා වැලි වැටිය හෙවත් හනුමන් පාලම නමින් හැඳින්වෙන මන්නාරම් වැලි පාර ඔස්සේ යන දුම්රිය මගේ ඉන්දීය අන්තයේ ඉදිකර  තිබූ පැරැණි දුම්රිය පාලම ඉවත්කර නවීන දුම්රිය පාලමක් ඉන්දීය ඉංජිනේරුවන් විසින් ඉදිකරන ලද අතර මෝදි අගමැතිතුමා අතින් විවෘත වූයේ එම පාලමය. මෙම පාලම කුඩා ප්‍රමාණයේ නෞකා ගමන් කරන විට ස්වයංක්‍රීයව උඩට ඔසවා යළි පහත් කිරීමේ හැකියාවෙන් ද යුතුය.

ලංකාව සහ ඉන්දියාව බ්‍රිතාන්‍යයට යටත් වී තිබූ යුගයේ ඉන්දියාවේ මදුරාසි නුවර සිට ලංකාවේ කොළඹ දක්වා තැපැල් ප්‍රවාහන කටයුතු සිදු කෙරුණේ දුම්රියෙනි. මෙම තැපැල් දුම්රිය මදුරාසි නුවර සිට පම්බන් දූපත හරහා මුහුද මැදින් තැනූ දුම්රිය මාර්ගයක ධනුෂ්කොඩි දුම්රිය නැවතුමට පැමිණෙන අතර එහිදී මගීන්ට මුහුදු යාත්‍රාවකින් ලංකාවේ තලෙයි මන්නාරම් ජැටියට පැමිණීමට සිදුවේ. එහි නවතා ඇති දුම්රියෙන් කොළඹ දක්වා යළි පැමිණිය හැකිය. මෙම මුහුදු දුම්රිය 1964 දී දෙරටටම හානි කළ මහා සුළි සුළඟින් මුහුදු  බත්වූයේ එහි සිටි මගීන් දෙසිය දෙනකු සමගය.

අතීතයේ දෙරට අතර මෙම දුම්රිය ගමන හඳුන්වා ඇත්තේ ‘බෝට් - මේල් එක්ස්ප්‍රස්’ යනුවෙනි. ඉන්දියාවේ චෙන්නායි සිට ධනුෂ්කොඩිය දක්වා දුම්රියෙන් මගීන් සහ තැපැල් ගෙන එන අතර ඉන් පසුව තලේමන්නාරම දක්වා පෙරියක් හෙවත් පාලම් පාරුවකින් ලංකාවට සම්බන්ධ වෙයි. 1964 මහා සුළිකුණාටුව හේතුවෙන් දුම්රිය සේවාව අඩාළ වී ධනුෂ්කොඩි නගරය සම්පූර්ණයෙන්ම විනාශ විය. ඉන්දියාවේ පම්බන් දූපත් ගිනිකොණ කෙළවර දෙසින් පිහිටි ධනුෂ්කොඩිය ඉන්දියානු අන්තයේ අවසාන මගී තොටුපොළ විය.

සුළි සුළඟෙන් දෙරටේම මියගිය සංඛ්‍යාව 1800 ක් ලෙස සැලකේ. එයින් වැඩිම හානිය සිදු වූයේ ඉන්දියාවේ ධනුෂ්කොඩි දුම්රිය ස්ථානයටය. එම දුම්රිය ස්ථානය යළි පිළිසකර කළ නොහැකි ලෙස විනාශ වී ගොස් තිබිණි. ලංකාවේ ද මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවල නිවාස පන්දාහක් සහ ධීවර බෝට්ටු 750 ක් විනාශ විය. මුහුදු ගොස් සිටි ලාංකික ධීවරයන් 350 දෙනකු සදහටම අතුරුදන් වූ අතර වැඩිම හානිය සිදු වූයේ මන්නාරම් දිසාවේ වී වගාවටය.

1964 දෙසැම්බර් 17 වැනිදා ඇරැඹුණු සුළිසුළඟ දින දෙකක දී අතිශය දරුණු වී ඉන්දියාවේ රාමේෂ්වරම්, ධනුෂ්කොඩි අතරින් ලංකාවට කඩා වැදුණේය. අතරමග තිබූ නිවාස. දේවස්ථාන, දුම්රිය ස්ථාන හා මුහුද මැදින් වැටී තිබූ දෙරට අතර දුම්රිය මාර්ගය ද ලංකාවේ තලේමන්නාරම් දුම්රිය ස්ථානය ද විනාශ කරමින් සුළි සුළඟ වවුනියාවෙන් නිමවිය. ඉන්දියාවේ ධනුෂ්කොඩි දුම්රිය ස්ථානයට අඩි 21 ක් උස මුහුදු රළකින් පහර වැදුණු බව ඒ පිළිබඳ වාර්තාවල සඳහන් වේ. ඉන්දියාව පැත්තෙන් ලොකුම විනාශය සිදු වූයේ පම්බාන් දූපත හා ධනුෂ් කොඩිය අතර පිහිටා තිබූ ලොව අනතුරුදායකම දුම්රිය මග ලෙස සැලකුණු දුම්රිය මගටය.

මුහුද මැදින් එන මේ දුම්රිය පාර හා එහි නවතා තිබූ දුම්රිය මාර්ගයෙන් ඉවතට වීසිවී ගොස් මුහුදට පෙරළුණේය. දුම්රිය පොළේ සිටි මගීන් 150 ක් මුහුදට ගසාගෙන ගිය බවත් නවතා තිබූ දුම්රියේ සිටි මගීන් 200 ක් සමග දුම්රිය මුහුදට පෙරළී ගිය බවත් සඳහන් වේ.

ලංකාවේ තලේමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දුම්රිය පොළට දුර කිලෝමීටර් 29 ක් හෙවත් සැතපුම් 18 කි. 1950 හා 1960 දශකවල දෙරට අතර ධාවනය වූ දුම්රිය නම්කර තිබුණේ ‘‘ඉන්දු - ලංකා එක්ස්ප්‍රස්’’ යන නමිනි. ධනුෂ්කොඩියේ සිට තලේමන්නාරමට මගී පාරුවේ ඒමට ගත වූ කාලය පැය දෙක හමාරකි. සුන්දර මුහුදු ගමනක් ලෙස මෙම ගමන සංචාරකයන් අතර ජනප්‍රියව පැවතුණි. මේ ගමනේ විශේෂත්වය වූයේ ඉන්දියාවේ ‘‘පම්බාන්’’ දූපත හා තමිල්නාඩු ගොඩ බිමට යා කරමින් තනා තිබූ දුම්රිය පාලමය. 1906 -1914 කාලයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ඉදිකරන ලද මෙම පාලම මුහුද මැද යකඩ කණු සිය ගණනක් ඉදිකර ඒ මග එලූ දුම්රිය මාර්ගයකින් සමන්විත විය. එකල ඉන්දියාවේ සිට ලංකාවේ වැවිලි කර්මාන්තයට කම්කරුවන් ගෙන ආවේ මෙම දුම්රිය පාවිච්චි කරමිනි. දෙරට අතර භාණ්ඩ හුවමාරුවද දුම්රිය මගින් සිදුවිය. විශාල ජනතාවක් මෙම දුම්රිය මාර්ගය භාවිත කර දෙරටටම සංචාරය කළහ. මහා සුළි සුළඟෙන් ධනුෂ්කොඩි දුම්රිය ස්ථානය විනාශ වූ පසු ඉන්දියාව දෙසින් දුම්රිය ගමන රාමේෂ්වරමට සීමාවිය. එයට පෙර තලේමන්නාරම හා ධනුෂ්කොඩි යා කරමින්  ගිය දුම්රිය පාරු සේවාව ඉන්පසුව තවත් වැඩි දුරක් ගෙවමින් රාමේෂ්වරම දක්වා ගමන් ගත්තේ ය. 1964 සිට 1985 දක්වාම දෙරට අතර දුම්රිය ගමන කෙරුණේ තලේමන්නාරම සහ රාමේෂ්වරම අතරය. එහෙත් ලංකාවේ බෙදුම්වාදී කලබල ඇති වූ පසු 1985 දී ඉන්දු - ලංකා මුහුදු දුම්රිය සේවය නවත්වා දැමුණි.

ලංකාව දක්වා දුම්රිය ගමන නවත්වා දැමුණද චෙන්නායි සිට පම්බන් දූපත යා කරමින් දුම්රිය ගමනා ගමනය සිදුවිය.

මෝදි අගමැතිතුමා යළි පණදුන්නේ ලංකාව සහ ඉන්දියාව අතර යෝජනා වී ඇති දුම්රිය සහ මහාමාර්ගයක් ඉදි කරන යෝජනා ක්‍රමයට දැයි සැක සිතෙන්නේ වසර ගණනාවක් තිස්සේම චෙන්නායි හා පම්බන් දූපත යාකරන දුම්රිය මාවතේ සුවිශේෂී අලුත් වැඩියාවක් දැන් සිදුව ඇති නිසාය. අලුත්වැඩියා කර ඇති දුම්රිය මාර්ගයේ දුම්රියක් ධාවනය වන ආකාරය ද පාලම විවෘත කිරීමත් සමග සිදු වූ අතර ඉන්දියාව දෙරට යාකරන මාර්ගයේ පළමු කොටසට එසේ පණ දුන්නේය. එහි ඉතිරි කොටස් ද අනාගතයේ සක්‍රිය වනු ඇතැයි කාරණා කාරණා සිදුවෙමින් පවතින ආකාරය අනුව සිතිය නොහැක්කේ ද?

(*** ප්‍රේමකීර්ති රණතුංග)



අදහස් (1)

පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?

නන්දික Tuesday, 22 April 2025 11:38 AM

1984 වනතුරුම තිබූ මෙම පාලම ඉදිකිරීම ගැන අවුල් වගේ නේද ? සමහරු බයයි සාමාන්‍ය මිනිස්සුත් තිරුපති යයි කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site