අලස බව පුද්ගල ප්‍රගතිය සඳහා මහත් සේ හානිදායක වූ චර්යාවක් බව බොහෝ දෙනා දන්නා කාරණයකි. තම ශ්‍රාවක ශ්‍රාවිකාවන් එම දුර්ගුණයෙන් අත්මුදවීම සඳහා ශාස්තෘවරයාණන් වහන්සේ නමක් ලෙස තථාගතයාණන් වහන්සේ විවිධ ක්‍රමෝපාය භාවිත කර ඇති ආකාරය ත්‍රිපිටක ධර්මයෙන් මනාව පැහැදිලි වේ. ලෞකික වශයෙන් මෙන්ම ලෝකෝත්තර වශයෙන්ද එහි ඇති බලපෑම ඉතා ප්‍රබලය.
පුද්ගල ජීවිතය වශයෙන් සලකා බැලීමේදී ඒ ඒ ජීවිතවල විවිධ අවස්ථාවල ප්‍රගතිය සඳහා සිදුකෙරෙන බාධාකාරී බව අසාමාන්‍ය වූවකි. අලසකම පිළිබඳව බොහෝ දෙනාට හුරු පුරුදු හැඳින්වීම වන්නේ කම්මැලිකම යන්නයි. එය ජීවිතයේ විවිධ අවස්ථා සඳහා ලෞකික ජීවිතයෙහි ළමා අවධියේ සිට වැඩිහිටි ජීවිතය පුරාමත් පුද්ගල ප්‍රගතියට බාධා කරනු ලැබේ.
පුද්ගල පරිහානිය සඳහා අලසකම මූලික කරුණක් වන බව ත්‍රිපිටකාගත විවිධ සූත්‍ර ධර්ම පරිශීලනයේදී දැකගත හැකි වේ. ශිෂ්‍ය අවධියෙහි නම් එම ශිෂ්‍යයාගේ මූලික වගකීම වූ ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමේදී එහි අසාර්ථකත්වය සඳහාත් තරුණ අවධියේ දී තාරුණ්‍යය පිළිබඳ සියලු අපේක්ෂා බිඳ හෙළීමටත් අලසකම මූලික හේතුවක් වනු ඇත. සවි බල සහිත සොඳුරු තරුණ බව අනාගත ජීවිතය සඳහා සවිමත් පසුබිමක් නිර්මාණය කර ගනිමින් සම්පත්වලින් පූර්ණ ජීවිතයක් ළඟා කරගත හැකි වනුයේ අනලස්ව ක්‍රියා කිරීමෙනි. සැනසිලිදායී වැඩිහිටි ජීවිතයක් සඳහා මතු නොව ප්‍රශස්ත ගෘහස්ථ ජීවිතයක් සඳහාද හේතු වනුයේ අලස බවින් තොරව ක්‍රියා කිරීමය.
උතුම් ලෝකෝත්තර ගමන්මගට පිවිස සිටින පැවිදි උතුමන් වහන්සේලාගේ අභිමතාර්ථ සාධනය සඳහා ද මූලික වන්නේ අලස බවින් තොරව ක්‍රියා කිරීම බව තථාගත දේශනයයි. භාග්‍යවතුන් වහන්සේ නිරන්තරයෙන්ම අනලස් ජීවිතය අගය කරනු ලදුයේ මතු නොව ගිහි පැවිදි ශ්‍රාවක ශ්‍රාවිකාවන් දිරිමත් කර ඇති අයුරු ත්‍රිපිටක ධර්මය තුළින් දැකගත හැකිව තිබේ. ‘ආරභථ නික්ඛමත යුඤ්ජථ බුද්ධ සාසනේ’ යනාදී වශයෙන් පුද්ගල මනස ඔදවත් කරමින් තෙදවත් කරමින් ශාස්තෘවරයාණන් වහන්සේ නමක් ලෙස තම ශ්‍රාවක පිරිස දිරිමත් කර ඇති අයුරු දැකගත හැකිය.
තම කුටුම්බය තුළ වූ දූ දරු නෑසිය සබඳතා සහිත සාර්ථකත්වය පිණිසත් ගමක ප්‍රදේශයක මතු නොව රටක රාජ්‍යයක සාර්ථකත්වය සඳහා ද මූලිකතම හේතුව ලෙස අලස බවින් තොරව ක්‍රියා කිරීම බව දහමින් විස්තර කර ඇති අයුරු බෞද්ධ සමාජයට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. විශේෂ වශයෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ බෝධිසත්ව අවධියෙහි විවිධ ආත්ම භාවිත ගෙනහැර පෑමේදී ද තමන් වහන්සේගේ පරමාර්ථ සාධනය සඳහා අලස බවින් තොරව ක්‍රියාත්මක වී ඇති අයුරු දක්වා ඇත්තේද පුද්ගලයා අලස බවින් අත්මුදවා ධර්මයෙහි හැසිරවීම සඳහාමය. එසේ අතීත භවයන්හිදී තමන්වහන්සේ අලස බවින් තොරව ක්‍රියා කිරීමෙන් බාහිර සමාජයට ලබාදී ඇත්තේ ආදර්ශයක් පමණක් නොව එබඳු ක්‍රියාදාමයක් නිසා බොහෝ පිරිසකගේ ජීවිත සඳහා ලබා දෙන ලද රැකවරණයත් සමාජමය සුබසාධන ද ගෙන හැර දැක්වීම සඳහාය. මෙසේ අපේ ධර්ම සාහිත්‍ය තුළ තථාගතයාණන් වහන්සේගේ අනලස් බව පිළිබඳ බොහෝ නිදර්ශන දැකගත හැකිව ඇත. සංසාර විමුක්තිය මූලික අපේක්ෂාව කරගත් තථාගත දේශනාවන් අතර පාරමී පූර්ණයට ද හේතුවන විවිධ පුණ්‍ය ධර්මයන්හි පුද්ගලයන් අනලස්ව යෙදීමේ අගය පිළිබඳ ත්‍රිපිටක ධර්ම සාහිත්‍ය කරුණු අනාවරණය කරනු ලැබේ. එබඳු ඉගැන්වීමක් ලෙස ධම්මපද පාලියෙහි පාප වග්ගයට අයත් මෙම ගාථාව ද සඳහන් කළ හැකිය.
අභිත්තරේථ කල්‍යාණේ පාපා චිත්තං නිවාරයේ
දන්ධං හි කරොතෝ පු ං පාපස්මිං රමතී මනෝ
භාග්‍යවතුන් වහන්සේ මේ තුළින් පැහැදිලි කර ඇත්තේ කුසල ධර්මයේ නිරතවීමට වහා ක්‍රියාත්මක වීම මතු නොව සිත පවින් වළක්වා ගත යුතු ආකාරයයි. එසේ ඉක්මනින් පුණ්‍ය කටයුතුවල නොයෙදෙන්නේ නම් සිත නිරන්තරයෙන්ම පාප ක්‍රියාවන්හි ඇළෙන බවයි. මෙහිදී කුසල් දහම් ලෙස දක්වා ඇත්තේ සුචරිත ධර්මයන් වන අතර පව්කම් නම් දුශ්චරිතමය ක්‍රියා ලෙස සරලව තේරුම් ගත යුතුව තිබේ. සුචරිතවත් ක්‍රියා පින්කම් වන්නේ මතු නොව දුශ්චරිත ක්‍රියා පව්කම් වශයෙන් සැලකේ. සංඛ්‍යාත්මකවද එබඳු පුණ්‍ය කර්ම මූලික වශයෙන් දස පුණ්‍ය ක්‍රියා වශයෙන් දක්වා තිබේ. පුණ්‍ය ක්‍රියා සඳහා පුණ්‍ය චේතනා හෙවත් කුසල මූල ඇතිකරගත යුතු වන අතර අලෝබ අදෝස අමෝහ වශයෙන් ඒවා නම් කර තිබේ.
එම කුසල මූල මුල්ව සිදු කරන ක්‍රියා පුණ්‍ය කර්ම ලෙස සඳහන් වන්නේ මතු නොව සංඛ්‍යාත්මකව දස පුණ්‍ය ක්‍රියා වශයෙන් නම් කර ඇත. පුණ්‍ය ධර්මය එසේ සීමා කොට දැක්විය නොහැකි වුවද මෙම ලඝු කොට දැක්වීම ඇතැම්විට මතකයෙහි රඳවා ගැනීමේ පහසුව පිණිස සිදු කරන ලද්දක් විය හැකිය.
දස අකුසල පිළිබඳව සංඛ්‍යාත්මකව ධර්මයෙහි සඳහන් වන අතර මෙම අකුසල ධර්ම අකුසල කර්ම පථ නමින් ද හඳුන්වන්නේ මතු නොව සියලු අකුසල කර්ම සඳහා වන මාර්ගයක් ලෙස මෙය අර්ථ ගන්වා ඇත. අකුසල සිදුවීම සඳහා ලෝබ දෝස මෝහ යන අකුසල මූල හේතුවන අතර එම මූල අනුව හටගන්නා චේතනාව අනුව ඉහත අකුසල උත්පාදනය වන බව වටහා ගත යුතුව තිබේ. ධම්මපද පාලියෙහි සඳහන් ඉහත ගාථා ධර්මයෙන් පැහැදිලි කරන මෙම කුසලා කුසල කර්ම පිළිබඳ තොරතුරුවලින් පෙනී යන්නේ කුසල ධර්මයේ යුහුසුළු නොවන පුද්ගලයාගේ එම අලස වූත් පසුගාමී වූත් ක්‍රියාවලියෙන් වහා ප්‍රයෝජන ගන්නා අකුසල චේතනා මත අකුසල කර්ම පථ සඳහා මග හෙළි කරගන්නා බවයි. මෙහිදී ‘කල්‍යාණෙ’ යන පාලි වචනයෙහි අදහස වන්නේ කල්‍යාණ දහම් හෙවත් කලණ දහම් ලෙස දක්වා ඇති සුචරිත ධර්ම හෙවත් ඉහතින් සඳහන් කරන ලද දසමහා කුසල ධර්මය බව සිහි කටයුතුය.
‘අභිත්තරේථ’ යන්නෙන් පැහැදිලි කරනුයේ යුහුසුළු බවය. කුසල් සිතක් පහළ වූ සැණින් අතොරක් නොතබා වහ වහා එම පුණ්‍ය ක්‍රියාවෙහි නිරත විය යුතුය යන්න මින් අදහස් කෙරේ. එමෙන්ම ‘පාපා චිත්තං නිවාරයේ’ යන්නෙන් සිත පවින් වළක්වා ගැනීම පිළිබඳ සඳහන් වෙයි. “දන්ධං” යන්නෙන් අදහස් කෙරෙනුයේ අලසකම පිළිබඳ මතු නොව පුණ්‍යකර්මයක් සිදු කිරීමේ අවශ්‍යතාව ඇතිවූ මොහොතෙහිම එය නොකිරීම සඳහා හේතු සාධක සෙවීම මෙන්ම සිදු කරන පින්කම පිළිබඳ විවිධ සැක සංකා මතු කර ගැනීමය. දන් සිල් භාවනාදී කිසියම් පින්කමක් පිළිබඳ අදහසක් ඇතිවූ මොහොතෙහි ඒ සඳහා වැය වන ධනය කාලය පමණක් නොව ලැබෙන ප්‍රතිඵලය පිළිබඳ සිතා බලමින් සිත ප්‍රමාදයට හා අලස බවට පත්කර ගැනීම පිළිබඳ කරුණු අනාවරණය කෙරේ. මේ අනුව පැහැදිලි වන්නේ පුණ්‍ය සිතුවිල්ලක හටගැනීමත් සමගම එය වළක්වාලීම සඳහා මසුරු චේතනා පහළව අපේක්‍ෂිත පුණ්‍ය චිත්තය අලස බවට පත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවය. “පාපාචිත්තංති කායදුච්චරිතාදිතෝවා පන පාප කම්මතෝවා අකුසල චිත්තුප්පාදතෝවා” යන අටුවා පාඨයෙන් එය විස්තර කෙරෙන අතර වහා ක්‍රියාත්මකව අනලස්ව පුණ්‍ය ක්‍රියාව ක්‍රියාත්මක කළ යුතු බව ද අටුවාවෙහි දක්වා ඇත්තේ “අභිත්තරේථාති තුරිත තුරිතං සීඝ සීඝං කරෙය්‍යාතීති” යනුවෙනි.
භාග්‍යවතුන් වහන්සේගේ මෙම උතුම් ධර්ම දේශනය සඳහා පාදක සිදුවීම රසවත් වුවක් මතු නොව කිසියම් සංවේදීතාවක්ද දනවන සිදුවීමකි. සැවැත් නුවර එක් දිළිඳු බමුණෙක් වූයේ හෙතෙම හඳුන්වන ලද්දේ චුල්ලේක සාටක නමිනි. එම බමුණාට හා ඔහුගේ බිරිඳට පැවතියේ එකම උතුරු සළුවක් වීම ඔවුන්ගේ දිළිඳු බව මැනවින් කියාපාන්නකි. එක සළුවක් වුවද එය ඉතා පිරිසුදු එකක් වූයේ මතු නොව ගෙදරින් බැහැරව යාමේදී එය පොරවාගෙන යනු ලැබේ. එනිසා ඔවුන් දෙදෙනා එකවර ගෙදරින් බැහැරට නොයන්නේ මතු නොව ඒකසාටක යන නම පටබැඳුණේ එකම සළුවක් ඇති බමුණා යන අර්ථයෙනි. ඉතා දිළිඳු මෙම ස්වාමි-භාර්යා දෙපළ ධනයෙන් දිළිඳු වුවද ශ්‍රද්ධාවෙන් ඉතා ධනවත් යුවලකි. නිරතුරුවම දෙව්රම් වෙහෙර පින්කම්වලට සහභාගි වන මෙම අඹුසැමියන් ධර්මය ඇසීම සඳහා යනු ලැබුවේ මාරුවෙන් මාරුවටය. එනම් බිරිඳ එකම සළුව පොරවාගෙන දහවල් බණ ඇසීමට යන්නේ මතු නොව සැමියා රාත්‍රියෙහි බණ ඇසීමට යන්නේය. පින්කම් කිරීමට යමක් කමක් නැතැයි අලසව කිසිදු පින්කමක නොයෙදෙන්නන් හට මෙම දෙපළ ආදර්ශයට ගත හැකිවා මතු නොව අගහිඟකම් පිළිබඳව නොතකා ආගමික ජීවිතය සම්පූර්ණ කර ගැනීම පිළිබඳ ලබා දෙන මහත් මගපෙන්වීමක් ලෙස සිතා බැලිය යුතුව ඇත.
එක් දිනක් පුරුදු පරිදි රාත්‍රී කාලයේ බණ ඇසීමට දෙව්රම් වෙහෙරට ගිය බමුණු තෙමේ ධර්මයට සවන් දෙනුයේ අසන ලද දහමින් මනාව ප්‍රසාදයට පත්ව ධර්මයට ධර්ම පූජාවක් සිදු කිරීමේ අදහස ඇතිව කිසිවක් නොවූයේ කුමක් පුදම්දැයි ලතවීමට පත් වූයේය. එසේ ලතවෙමින් ධර්ම ප්‍රීතියෙන් සිටි බමුණු තෙමේ තමා සතු එකම සළුව ධර්ම පූජාවක් ලෙස පූජා කිරීමට සිතුවේය. එකණෙහිම නැවත ඔහුට කල්පනා වූයේ තමාටත් බිරිඳටත් නිවසෙන් බැහැර වීමට ඇති මෙම සළුව පිදීමෙන් සිදුවන පාඩුව පිළිබඳවය. එහෙත් නැවතත් එම සළුව පිදීමේ අදහසත් ඉන් සිදුවන පාඩුවත් සිතමින් පුදම්දෝ නොපුදම්දෝ යනුවෙන් මසුරු සිතුවිලි සමග මානසික යුද්ධයක නියැළුණු දිළිඳු බමුණු තෙම මසුරු සිත් පරදවා සකසා ගත් සිතින් යුතුව උතුරු සළුව මැනැවින් නවා වහ වහා ගමන් කර ධර්ම පූජාවක් ලෙස පූජා කර “දිනුවෙමි දිනුවෙමැයි” තෙවරක් හඬ නගා ප්‍රකාශ කරන ලදී. මෙම දම්සභා මණ්ඩපයෙහිම ධර්මය අසමින් සිටි රටෙහි රජතුමා වූ කොසොල් මහා රජුට බමුණාගේ උදානය ඇසී කුමන ශබ්දයක් දැයි විමසා තොරතුරු දැන දිළින්ඳකු විසින් සිදු කරන ලද එම මහා පින්කම පිළිබඳ විශ්මයට පත්ව ඉමහත් ප්‍රසාදයට පත් වූයේය. සතුටට පත් රජු දිළිඳු බමුණුතුමාගේ පුණ්‍ය ක්‍රියාව මහත් සේ අගය කරමින් ධනයෙන් හා සළුපිළි ආදියෙන් සංග්‍රහ කරන ලදී. මහත් මානසික සටනකින් පසුව තම එකම සළුව පූජා කිරීමෙන් දිට්ඨධම්මවේදනීයව බමුණුතුමා ලබන ලද ධන ධාන්‍ය සම්පත් පිළිබඳ දම්සභා මණ්ඩපයෙහි ඇතිවූ සාකච්ඡාවේදී තථාගත බුදුරජාණන් වහන්සේ සියල්ලන්ගේ අවධානයට ලක් කරලූයේ අනලස්ව කුසල් කිරීම සඳහා උත්සුක විය යුතු බවත් අකුසලයෙන් සිත වළකා ගනිමින් පින් කිරීමෙහි නිරත විය යුතු බව හා එසේ නොවන අලසයාගේ සිත වහා පාප ධර්මයන්ගේ ඇළෙන බවයි.
මෙම උතුම් තථාගත දේශනය පිළිබඳ අවධානය යොමුකරන අද දිනය ඉල් පුර පොහෝ දිනයයි. බුද්ධ චරිතයෙහි වූ විශේෂිත සිදුවීම් රාශියක් මෙන්ම උදාර ශාසනික චාරිත්‍රයක් වූ කඨින චීවර පූජා පින්කම සිදුකළ හැකි අවසාන දිනය වන්නේද අදයි. ප්‍රථම ධර්ම දූත සේවාව ඇරැඹීම මෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් තුන් බෑ ජටිල දමනය සඳහා උරුවෙලාවට වැඩමවීම සහ මෛත්‍රී මහ බෝසතාණන් බුද්ධත්වය පිණිස විවරණ ලැබීම ද අදවන් දිනක සිදු වූ අයුරු ශාසන ඉතිහාසය මගින් අනාවරණය කෙරේ. දම්සෙනෙවි අගසව් සැරියුත් මහ රහතන් වහන්සේගේ පිරිනිවන් පෑම ද අදවන් දිනක සිදු වූ සංවේගදායී සිදුවීමකි. මෙම ශාසනික සිදුවීම්ද පාදක කර ගනිමින් අනලස්ව පින්කම්හි යෙදෙමින් පාප නිවාරණයට යුහුසුළු වෙමින් සසර කතරින් එතෙර වීම සඳහා අධිෂ්ඨානශීලී විය යුතුව ඇත.
***

2025 නොවැම්බර් මස 04
193
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2072
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පිනට අලස වන්නෝ පවට ගොදුරු වන්නෝය