ශ්‍රී ලංකාවේ 73 වැනි ජාතික නිදහස්දින සැමරුම් උත්සවය ගරුගාම්භීර අන්දමින් කොළඹදී ඊයේ (4) පවත්වනු ලැබීය. මෙවර ශ්‍රී ලංකාවාසීන්ට නිදහස් දින උත්සවය සැමරීමට සිදුවූයේ ගෝලීය කොරෝනා වසංගතය දරුණු ලෙස පැතිර යමින් තිබියදීය. ආණ්ඩුව මුලසිටම ප්‍රකාශකර තිබුණේ හැකිතාක් අවම පුද්ගල සහභාගිත්වයකින් නිදහස් සමරු උත්සවය පවත්වන බවය.

මෙවර විශේෂත්වයක් වූයේ ආරක්ෂක අංශ සාමාජිකයන්ට දැඩිලෙස සෞඛ්‍ය කොන්දේසි ආරක්ෂා කිරීමට සිදුවීමය. සමරු උත්සවය හා පෙරදිනවල පැවැති පෙරහුරු වැඩසටහන්වලටද සහභාගි වූ ආරක්ෂක අංශ සාමාජිකයන් සියලු දෙනාම පී.සී.ආර්. පරීක්ෂණවලට සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමුකරනු ලැබ සිටියහ. මීට අමතරව ආරාධිත අමුත්තන්ද පී.සී.ආර්. පරීක්ෂණවලට යොමුකර තිබුණේය. මෙවර නිදහස් උත්සවයේ තවත් විශේෂත්වයක් වී තිබුණේ විපක්ෂනායක සජිත් ප්‍රේමද‌ාස සමරු උත්සවයට සහභාගි වීමය. විපක්ෂනායකවරයා නිදහස් සමරු උත්සවයට එක්වන බවට සතියකට පමණ පෙර සිට ප්‍රචාරය වූ අතර පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගෙන් හා රටේ පොදු මහජනතාවගෙන්ද ඒ පිළිබඳව විපක්ෂනායකවරයාට පැසසුම් ලැබිණ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිදහස් උත්සවයට සහභාගි වූ නමුත් චන්ද්‍රිකා කුමාරණතුංග හිටපු ජනාධිපතිනිය ඊට සහභාගී වූයේ නැත.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මේ වන විට ඉන්දියාව තරමක නෝක්කාඩුවකින් පසුවන නමුත් ශ්‍රී ලංකාවේ නිදහස් උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් එවීමට මෙවරද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අමතක කර තිබුණේ නැත. නරේන්ද්‍ර මෝදි සුබපැතුම් එක්කර තිබුණේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයාටය. දෙරටේ පොදු භාෂාමය, ආගමික සහ සංස්කෘතික සම්ප්‍රද‌ායක් මත පදනම් වූ සියවස් ගණනක් පැරණි ගැඹුරින් මුල්බැසගත් සබඳතා නරේන්ද්‍ර මෝදි  සිහිපත් කර තිබුණි. මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබුණේ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයාගේ සුබපැතුම් පණිවුඩය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නායකත්ව මට්ටමෙන් සිදුවන නිරන්තර අන්තර්ක්‍රියා ඉදිරියට ගෙනයාමක් බවය. එවන් අන්තර්ක්‍රියා කොරෝනා වසංගතය හමුවේ වුවද සංවර්ධන සහයෝගීතාව වෙළෙඳ සහ ආර්ථික සබඳතා සහජනතාව අතර සබඳතා සැලකිය යුතු ලෙස වර්ධනය කිරීමට උපකාරීවන බවද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබුණේය. ‘‘ඉන්දියාව මතුකරන්නට ඇත්තේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තිබෙන ශක්තිමත් හා එකිනෙකාට අතහැර දැමිය නොහැකි බැඳියාව ගැනයි. නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් 2019 වසරේ සිදුකළ ගිවිසුම් ගැන ඉන්දියාව ඉතාම සංවේදීයි. ඒ බව නොකියා ඉඟිකිරීමට නරේන්ද්‍ර මෝදිගේ සුබපැතුම් පණිවුඩය සමත් වී තිබෙනවා’’ යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට ඉන්දියානු සමාගමකට ලබාදීමට මුලින් තිබූ අදහස අතහැර දැමීමට ඉකුත් සතියේ ආණ්ඩුවට සිදුවිය. ඒ වරාය වෘත්තීය සමිතිවල දැඩි බලපෑම හමුවේය. නැගෙනහිර ජැටිය ලබා නොදී බටහිර ජැටිය ලබාදීමට ආණ්ඩුව තීරණයක් ගෙන තිබේ. එහෙත් ප්‍රශ්නය තවමත් විසඳුනේ නැත. නැගෙනහිර ජැටිය පිළිබඳ අදහස සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට ඉන්දියාව තවමත් සූද‌ානම් නැත. ඒ වෙනුවට වරායේ බටහිර ජැටිය සංවර්ධනය කිරීම බාරගත්තේද නැද්ද යන්න සම්බන්ධයෙන්ද ඉන්දියාව පැහැදිලි ප්‍රකාශයක් කර නැත. මෙවැනි වටපිටාවක් හමුවේ ආණ්ඩුව ජැටිය පිළිබඳව පඹගාලක පැටලී ඇතැයිද විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයිද දේශපාලන විචාරකයෝ කියති.

මේ අතර ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ හමුද‌ා අතර ආරක්ෂික සහයෝගීතාවක් ඇති කිරීම සඳහා වන සම්මන්ත්‍රණයක් ඉකුත්ද‌ා කොළඹදී පැවැත්විණ. කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදී පැවැති එම සම්මන්ත්‍රණය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ශ්‍රී ලංකා සන්නද්ධ හමුද‌ාවන්ගේ කුසලතා වර්ධනය උදෙසා ධනාත්මක ද‌ායකත්වයක් ලබාදීමට ඉන්දියාව ගන්නා දැඩි කැපවීම පෙන්නුම්කරමින් එම ආරක්ෂක සම්මන්ත්‍රණය පැවැති බවය. ශ්‍රී ලංකා හමුද‌ා නිලධාරීන් සහ ඉන්දියාවේ ආරක්ෂක නිෂ්පාදන සමාගම්හි නියෝජිතයින් එම සම්මන්ත්‍රණයට සහභාගී වූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් විනෝද් කේ. ජේකබ් සහ ශ්‍රී ලංකා යුද හමුද‌ාවේ ප්‍රධාන සංඥ‌ා නිලධාරී ඒ.ඩබ්.ඒ.පී.කේ. තිලකරත්න මහත්වරු එහි මුලසුන හෙබවූහ. ශ්‍රී ලංකා ආරක්ෂක අංශයන්හි අභිලාෂයන් ළඟාකර ගැනීම සඳහා ඉන්දියාව විසින් දෙනු ලබන සහයෝගය පිළිබඳව එහිදී විශේෂයෙන් අදහස් හුවමාරු කර ගැනීමක්ද සිදුවිය.

නැගෙනහිර ආසියානු කලාපීය රටක් වන මියන්මාරයේ සිදුවූ බල හුවමාරුව හෙළා දකිමින් එක්සත් ජාතික පක්ෂය ඉකුත්ද‌ා නිවේදනයක් නිකුත් කර තිබුණේය. මියන්මාර වැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබාදිය යුතු බවද එක්සත් ජාතික පක්ෂය එම නිවේදනයේ සඳහන්කර තිබිණ. මේ අතර ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාවද මියන්මාර බල පෙරැළිය සම්බන්ධයෙන් කනස්සල්ල පළකර තිබිණ.

මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා නිවේදනය කර තිබුණේ. ‘‘මියන්මාරයේ මැතිවරණයෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය බැහැර කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම බලවත් කනස්සල්ලට පත්ව සිටියි. මැතිවරණ ක්‍රියාද‌ාමය බාරව සිටින මියන්මාර මැතිවරණ කොමිසමේ සභාපති චූලා තෙයින් ඇතුළු නිලධාරීන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව අප බලවත් කම්පනයට පත්ව සිටිනවා’’ යැයිද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසන්නේය. මැතිවරණ කොමිසමක නිලධාරීන් සිදුකරනු ලබන්නේ ඔවුන්ට නීතියෙන් පැවරී ඇති කාර්යයක් බවද රාජකාරිය ඉටුකිරීම හේතුකොටගෙන සිරගත වීමට සිදුවීම ශෝචනීය කරුණක් බවද නිමල් පුංචිහේවා කියයි. තවද මියන්මාරයේ මැතිවරණ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට බරපතළ අගතියක්, හානියක් ලෙස සලකන බවද මියන්මාර මැතිවරණ කොමිසමේ නිලධාරීන් නිදහස්කර ගැනීමට හැකි උපරිම බලපෑම් කරන්නැයි ප්‍රජාතන්ත්‍රවාදය අගයකරන සියලු බලවේගවලින් ඉල්ලා සිටින බවද නිමල් පුංචිහේවා කියයි.

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකට දේවයාතිකාවක් මගින් නැවත කටහඬ අවදිකිරීමට හැකි වූ බවට කියැවෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ. ඒ පිළිබඳව විවිධ මතිමතාන්තර විවේචන ආදියද සිදුකෙරන බව සමාජ මාධ්‍ය පරිහරණය කිරීමේදී පෙනීයයි. සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවට අනුව දේවගැතිවරයකු විසින් වික්ටර් රත්නායකට සිදුකරනු ලබන යාතිකාවක් අවසානයේ ඔහු පවසන්නේ තවත් වසර තුනක් යනතුරු කිසිදු ප්‍රශ්නයකින් තොරව ගී ගැයීමේ හැකියාව වික්ටර් රත්නායකට ඇතිවන බවය. පළවන වාර්තාවලට අනුව ‘‘බෝන් එගේන්’’ නමැති ක්‍රිස්තියානි නිකායක දෙවියන්වහන්සේ පිළිබඳ විශ්වාසය තබමින් වික්ටර් රත්නායක ගීත ගැයීමට යැදීම පිළිබඳව බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙන්ම බෞද්ධ සංවිධානද දැඩි විවේචන එල්ලකරමින් සිටින බවක් පෙනෙන්නට තිබේ.

‘‘දසක හතරකට ආසන්න කාලයක් ලංකා බෞද්ධ බලවේගය බිඳ හෙළන්නට රට තුළ විවිධ බලවේග ක්‍රියාත්මක කෙරෙන බව අමුතුවෙන් කිව යුතු නැත. 2004 වසරේදී ජාතික හෙළ උරුමයෙන් පාර්ලිමේන්තුවට ගිය භික්ෂූන්වහන්සේලාගේ ප්‍රධානතම වගකීම වූයේ සිංහල බෞද්ධයන් සද‌ාචාර විරෝධී ලෙස අන්‍යාගම්වලට හරවා ගැනීම වැළැක්වීමේ පනතක් ඉදිරිපත් කිරීමයි. එම පනතේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ අහිංසක බෞද්ධයන් ක්‍රිස්තියානි ආගමට හැරවීම වැළැක්වීමයි. මුල් කාලයේ දුප්පත් ගම්මානවලට ගොස් බෞද්ධයන්ට විවිධ ද්‍රව්‍ය ලබාදෙමින් ඔවුහු ආගමට හරවා ගත්හ. මේ පිළිබඳව බෞද්ධ කොමිෂන් වාර්තා මගින් ඇති තරම් තොරතුරු හෙළිකොට ඇතැයි යනුවෙන් කරුණු කාරණා සඳහන් කරමින් හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංස හිමියෝ ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබේ. උන්වහන්සේ ඉල්ලා ඇත්තේ ඕමල්පේ සෝභිත නාහිමියන් ඉදිරිපත් කරන ලද අන්‍යාගමික පනත සම්මත කරන ලෙසය. එම පනත මගින් අන්‍යාගම්වලට හැරවීම නැවැත්විය හැකි බවද බුදුගල ජිනවංස හිමියෝ කියති.

යහපාලන ආණ්ඩුව සමයේදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ දේශපාලන පළිගැනීම් ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපතිවරයා වෙත බාරදී තිබේ. එම පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව වෙළුම් තුනකින් සමන්විතය. එහි තීරණ හා නිර්දේශ ඉදිරිපත් කර තිබේ. එම වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර වාර්තාවේ සඳහන් තීරණ හා නිර්දේශ ඉදිරිපත් කිරීමට අනුමැතිය ලබාගැනීමටද ආණ්ඩුව කටයුතු කළේය. එහි ඉදිරි පියවරක් ලෙස ජනාධිපතිවරයා තවත් කොමිෂන් සභාවක් පත්කර ඇත්තේ අවසන් වාර්තාවේ තීරණ හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමටය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්වන ප්‍රියන්ත ජයවර්ධන, කුමුදිනි වික්‍රමසිංහ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාර රත්නප්‍රිය ගුරුසිංහ එම කොමිසමේ සාමාජිකයෝය. මෙම කොමිසම පත්කිරීම පිළිබඳව ඇතැම් පිරිස් දැඩි විවේචන එල්ලකරන්නට පටන් ගෙන තිබේ. කොමිෂන් සභාවකට දඬුවම් ලබාදිය නොහැකි බවටත් එසේ කළ හැක්කේ අධිකරණයට පමණක් බවද සඳහන් විවිධ තර්ක කරමින් නීතිඥ සංවිධාන, දේශපාලනඥයෝ විවිධ මත පළකරති. ‘‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ’’ සංවිධානය සඳහන් කරන්නේ දේශපාලන පළිගැනීම් කොමිෂන් සභා වාර්තාව අධිකරණයට කරන ලද අපහාසයක් බවය. ඒ අනුව නීති පියවර ගැනීමට කටයුතු කරන බවද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානයේ සුනිල් වටගල කියන්නේය. ‘‘මේ කොමිෂන් සභා වාර්තාව පරිශීලනය කිරීමේදී මහාධිකරණයේ විභාග වන නඩු 61 වගඋත්තරකරුවන් නිදහස් කරන ලෙස නිර්දේශ කර තිබෙනවා. ඊට අමතරව තවත් නඩු කීපයක්ද එකතුව නඩු 79 ක වගඋත්තරකරුවන් නිදහස්කරන ලෙස නිර්දේශකර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දු පවා වෙනස්කරන ආකාරයේ නිර්දේශ මෙහි අඩංගු වෙනවා’’ යැයි සුනිල් වටගල කියන්නේය. විපක්ෂයේ ප්‍රධානතම දේශපාලනඥයන් කීපදෙනකුගේම ප්‍රජා අයිතිය අහෝසිකරන ලෙසද එම කොමිසම නිර්දේශ කර තිබෙනවා. මෙය හුදෙක් විරුද්ධ දේශපාලනඥයන් අඩපණ කිරීමේ උත්සාහයක්. ඒ සම්බන්ධයෙන් අපි නීතියේ පිහිට පතනවා යැයිද වටගල කියයි.

පසුගිය දින කීපයේදී රජය අභ්‍යන්තරයේ පවතින හැල හැප්පීම් ගණනාවක් ප්‍රදර්ශනය විය. විශේෂයෙන්ම වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනයට ඉන්දියාව සහ ජපානය සම්බන්ධකර ගැනීම පිළිබඳව රජය ඒකපාක්ෂිකව තීරණ ගැනීම ජාත්‍යන්තරයේ මෙන්ම දේශීය වශයෙන් විවේචනයට භාජනවීය. කිසියම් පාර්ශ්වයක් සමඟ ඒකාබද්ධව ගන්නා තීරණයක් අන්තිම මොහොතේ ඒකපාර්ශ්විකව බිඳ දැමීම වරදක් බව තොත්ත බබෙකුට වුවද වැටහෙන කාරණයකි. ඒ සම්බන්ධ අනික් කාරණය වන්නේ රජයේ අමාත්‍යවරුන්ම ඒ පිළිබඳව ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා ඊට එරෙහි උද්ඝෝෂණවලට සම්බන්ධ වීමය. එයද කැබිනට් සම්ප්‍රද‌ායයන් නොසලකා හැරීමකි. අනික් අතට ආණ්ඩුවේ කීප දෙනකු කිසියම් තීරණයක් ගෙන අන් ඇමැතිවරුන්ට නොදන්වා එය ක්‍රියාත්මක කිරීමට යන්නේ නම් එයද වරදකි.

මේ රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සම්ප්‍රද‌ායයන් නොසලකා හරිමින් අමාත්‍යාංශයක තීරණයක් විවේචනයට භාජන කරමින් අද‌ාළ අමාත්‍යවරයාට ලිපියක් යවා එය මාධ්‍යයටද නිකුත් කළේය. ලියුම යැවූ අමාත්‍යවරයා අද‌ාළ අමාත්‍යංශ භාරව කටයුතු කළ කෙනෙකි. හිටපු අමාත්‍යවරයකුට වත්මන් අමාත්‍යවරයාගේ තීන්දු තීරණ විවේචනය කිරීම කැබිනට්ටුවේදී කළ හැකිය. එහෙත් ඒ ගැන වර්තමාන අමාත්‍යවරයාට ලිපියකුත් ලියා මාධ්‍යයට නිකුත් කිරීම කෙතරම් අමනොඥ වැඩක්ද? එහෙත් මෙවැනි සිද්ධීන් සද‌ාචාර දේශපාලනයට තරම් නොවන බව නොතේරීම හාස්‍යයට කරුණකි.


(*** කස්තුරි)