අද සිට අප නව වසරකට පා තබන්නේ නව අපේක්ෂා, බලාපොරොත්තු රැසක් පොදි බැඳගෙනය. එහෙත් එම අපේක්ෂා, බලාපොරොත්තු ඉදිරියෙහි වෙනදාට වඩා ඇත්තේ අභියෝග රාශියකි. මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ඇතිවූ ආර්ථික, සමාජ, සංස්කෘතික අර්බුද මෙන්ම ස්වාභාවික ව්‍යසනවලින් ඇතිවූ අර්බුද ද එම අභියෝග හමුවේ වෙයි.

මේ නිසාම නව වසරේ දී එම අභියෝග නිවැරැදිව හඳුනාගෙන ඒවාට මුහුණ දිය හැක්කේ කෙසේද යන අවධානය සහ ඊට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ගැනීම කෙරෙහි ප්‍රමුඛත්වය දිය යුතුව තිබේ.

මේ වන විටත් 21 වැනි සියවසේ මුල් කාර්තුව ගෙවී හමාරය. 2026 ට සැලසුම් සකස් කළ යුත්තේ පැමිණි ගමන් මග දෙස නුවණැසින් ආපසු හැරී බැලීමෙනි. මේ සියවසේ මුල් අවුරුදු 25 ගැන කල්පනා කරන විට අපේ රටට ඔරොත්තු නොදෙන තරම් අර්බුදවලට අපි මුහුණ දී ඇත්තෙමු. අප නව වසරේ අභියෝග දෙස බැලිය යුත්තේ එම අර්බුදවලින් උගත් පාඩම් ද සිහිපත් කරගෙනය.

රාජ්‍යය පුරවැසියන්ට රැකවරණය සැපයීමේ පීතෘ භූමිකාව නිසි ලෙස ඉටුකරන්නේ යැයි ඒත්තු ගියහොත් එම රාජ්‍යයේ බලයට අවනතවීමටත් යටත්වීමටත් එම පුරවැසියන් වැඩි දෙනකු කැමැති වනු ඇත. විපක්ෂය විසින් මෙතෙක් නිර්මාණය කරන ලද කිසිදු මතයක් ජන සමාජයේ අවිඥානක ආවේගය ආමන්ත්‍රණය කරන්නට සමත් වූ ඒවා නොවන බව සඳහන් කළ යුතුය. එහෙත් මහජන මතය පළමුවරට තමන්ට අවාසි සහගතව හැසිරෙන බව හඳුනාගන්නට ආණ්ඩුවේ ඇතැම් නායකයන් අසමත් ව ඇති බව ද පැහැදිලිව ප්‍රතීයමාන වන කරුණකි.

ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ සමාජ බලපෑම පිළිබඳ විධිමත් මනෝවිද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක පසු විපරමක් මෙතෙක් කළේ ද යන්න පිළිබඳ නිසි තොරතුරක් නැත. එහෙත් ලෝකයේ බොහෝ රටවල් මෙවැනි දරුණු අනපේක්ෂිත තත්ත්ව විග්‍රහ කර ගැනීමට මනෝවිද්‍යාවේ ආලෝකය ලබා ගනී. කුණාටුවෙන් ඇති වූ ගංවතුරට නිරාවරණය වූ පුද්ගලයන් අතරින් මිලියන 1.5 ක් කාන්තාවන් වන අතර දරුවන් 5,22,000ක් සහ අවුරුදු 65ට වැඩි වැඩිහිටි පුද්ගලයන් 2,63,000 ක් එහි ප්‍රමුඛ බලපෑමට ලක්ව ඇති බව සඳහන්ය. ශ්‍රී ලංකාව දියුණු ආර්ථිකයක් සහ දියුණු තාක්ෂණයක් සහිත රටක් දක්වා පරිවර්තනය විය යුතුය. ඒ සඳහා පැරැණි ලෝක දෘෂ්ටිය පරාජය කිරීමේ වගකීමත් අප රට සතුය.

නිදසුනක් ලෙස ඉන්දියාව නිදහස අත්පත් කර ගැනීමෙන් පසු ස්වදේශික පාලනය තමන්ගේම ක්‍රියාවලියක් ලෙස ඉදිරියට ගෙන ගියේය. ලංකාව නිදහස ලබන්නේ ඉන්දියාව හා සමාන්තර අවධියක දී ය. අපට සිදුවූයේ බ්‍රිතාන්‍යයන් එතෙක් පවත්වාගෙන පැමිණි වැඩසටහන් ස්වදේශීය පාලනය හරහා ද ඉදිරියට ගෙනයාමට ය.

ක්‍රියාවලි දෙකෙහි වෙනස අහසට පොළොව මෙන් ප්‍රතිඵලයක් ඇතිකර දෙන බව නිදහසින් දශක හතකට වඩා ගෙවන විට රටවල් දෙකටම ඔප්පු වී හමාර ය. මෙතෙක් විධිමත් නොවූ එම ස්වදේශික වැඩපිළිවෙළ අපට සෑම ක්ෂේත්‍රයකදීම අවශ්‍ය ය. එහිදී ජාතික සංස්කෘතික හා ආර්ථික වැඩපිළිවෙළ විශේෂය. 2013 දී ටයිෆෝන් හයියන් කුණාටුව ඉතාමත් ප්‍රචණ්ඩ ලෙස පිලිපීනයට බලපෑම් කරනු ලැබූ අතර ඉන් ගොවිබිම් හෙක්ටයාර් 6,00,000 විනාශ වී ගියේය. 6,300ක් පමණ පිරිසක් මියගියහ. පිලිපීනය මෙම දරුණු ආපදාවෙන් අත්මිදීම සඳහා Build Back Better  නමින් කෘෂිකාර්මික වැඩසටහනක් හඳුන්වා දෙමින් එම ආපදාවට සාර්ථක ප්‍රතිචාර දැක්වීය. ආපදාවෙන් කදිම පාඩමක් ඉගෙනගත් පිලිපීන පරිපාලනය ගොවීන්ට දේශගුණික ප්‍රතිරෝධි බීජ, නියඟයට සහ ගංවතුරට ඔරොත්තු දෙන වී වර්ග, සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මාර්ග පද්ධති සහ විවිධාංගීකරණය වූ බෝග වගා පිළිබඳව තාක්ෂණික පුහුණුවක් දීමට කටයුතු කළේය. ගොවීන්ගේ කෘෂිකාර්මික සාක්ෂරතාව ඉහළ දැමීම සඳහා පිලිපීන රජය දේශගුණික ක්ෂේත්‍ර පාසල් ස්ථාපිත කළ අතර එමගින් ගොවීන්ට කාලගුණ දත්ත අර්ථ නිරූපණය කිරීමට හැකියාව අත්විය. එහි ප්‍රතිඵලයක් ලෙස වසර තුනක් ඇතුළත බලපෑමට ලක් වූ ප්‍රදේශය යථා තත්ත්වයට පත් වූවා පමණක් නොව අස්වැන්න සියයට 15 සිට සියයට 20 දක්වා වැඩිකර ගැනීමට ඔවුන්ට හැකි විය. අප මුහුණ දෙන අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා මෙම උදාහරණවලින් ගත හැකි පාඩම් කවරේද යන්න සොයා බැලීම වටනේය.

ශ්‍රී ලංකාවට ආර්ථිකය ඉදිරියට ගැනීම සඳහා නිසි කළමනාකරණයක් අත්‍යවශ්‍ය ය. ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාව වෙත ලබා දීමට නම් පළමුව සාර්ව ආර්ථිකය යහපත් මට්ටමකට පත්විය යුතුය. විපතක දී හැර ජනතාවට සහන බෙදන ක්‍රමයෙන් ද අප ක්‍රමයෙන් විතැන් විය යුතුව ඇත. එහි අරුත සෑම පුරවැසියකුම ආර්ථික වශයෙන් ශක්ති සම්පන්න කිරීම ය. බැංකු හා මුදල් අංශය කළමනාකරණය කිරීමේ හැකියාවක් ඇත්තේ මහබැංකුවට ය. එහෙයින් බැංකු හා මුදල් අංශය හොඳින් ක්‍රියාත්මක වේ නම් එහි ගෞරවය ලැබිය යුත්තේත්, හොඳින් ක්‍රියාත්මක නොවේනම් එයට වගකිව යුත්තේත් මහබැංකුව මිස ආණ්ඩුව නොවේ ය. විශේෂයෙන්ම ලංකාව වැනි කුඩා ආර්ථිකයක් තිබෙන රාජ්‍යයකට විදේශ රටවල් කෙරෙහි ඇති කළ හැකි බලපෑම ඉතා සීමිත ය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2018 පැවැති මට්ටමට නැවත පැමිණෙනු ඇත්තේ මේ වසරේ දී (2026) හෝ ඇතැම් විට ඊට පසු වසරේ දී (2027) බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි. සැබෑ ආර්ථික ප්‍රසාරණයක් දැකිය හැකි වනු ඇත්තේ ඉන් පසුවය. මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව ඉන් පසුව ළඟා කරගත හැක්කේ සියයට 3.1 වර්ධන වේගයක් පමණි. ආර්ථික අර්බුදයට කලින් පැවැති යහපත් මට්ටම දක්වා ශ්‍රී ලංකාවේ විදේශ සම්පත් සංචිතය ගොඩනගන්නට හැකිවනු ඇතැයි මහ බැංකුව විශ්වාසය පළ කර දින ගණනාවකට පසු එම ස්වාභාවය ආපසු හැරුණි.

ශ්‍රී ලංකාව ස්වාභාවික විපත් හේතු කරගෙන තීරණාත්මක බලපෑමකට ලක්වන රටක් බවට පත්ව තිබේ. නියඟය, අධික වර්ෂාව හා සුළි සුළං ඊට හේතු වේ. සංවර්ධනය ප්‍රමාද කළ හැකිය. කෙසේ වෙතත් මහජනතාවගේ ජන ජීවිතය නැවත තිබුණු තැනට කැඳවීම ප්‍රමාද කළ නොහැකිය. නව වසරේ මුලින්ම අවධාරණයට ගත යුත්තේ එයයි. මූල්‍ය අරමුදලේ එකඟතා අනුව ඉදිරියට කරන්නට ඇති ප්‍රතිසංස්කරණ වේගවත් කළ හැකි අතර විපත අවස්ථාවක් බවට හරවා ගත යුතු වේ. අලු‍ත් ආයෝජන ලබාගැනීම සඳහා දිරිගැන්වීම් ප්‍රකාශයට පත් කළ හැකිය. මූල්‍ය අරමුදලේ නියමය හේතු කරගෙන මෙතෙක් බදු නිදහස සපයන ලද ඇතැම් ව්‍යාපෘතිවල සහන කප්පාදු කළ අතර ඒවා නැවත සලකා බලා ආයෝජන ගෙන්වා ගැනීමට වෑයම් කළ යුතුය. කොවිඩ් වසංගතය සහ ආර්ථිකය කඩාවැටීමේ සංකීර්ණතාවට මුහුණ දුන් පුරවැසියන් දුෂ්කර තැනක සිටින අතර දැනටමත් අසාමාන්‍ය බදු අනුපාත ගෙවමින් මෙම අකෘතඥ ආර්ථිකය නඩත්තු කරමින් සිටින බව සඳහන් කළ යුතු වේ.

ධනය උත්පාදනය සඳහා දැනට පවතින චක්‍රය පුළුල් කරන ක්‍රියාමාර්ග අවශ්‍ය ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ග්‍රහණය ලිහිල් කර සියලු‍ නිෂ්පාදන හා සේවා අංශවලට පවතින්නට හැකි පසුබිමක් වුවමනා කර ඇත. එය අතරවාරයේ පවතින මාර්ග යටිතල පහසුකම් වාසස්ථාන ගොඩනැගිලි ආකෘතිය යනාදිය පිළිබඳ අලු‍ත් දෘෂ්ටියකින් තීරණ ගැනීම සුදුසු බව මේ නව වසරේ කල්පනා කිරීම යහපත් ය.

ප්‍රජාතන්ත්‍රීයහරණ ක්‍රියාවලිය සහ ප්‍රජාතන්ත්‍රවාදය, ජාතිකවාදයටත්, ආගම්වාදයටත් යටපත් කර තැබීමේ ක්‍රියාවලිය නවතා ප්‍රජාතන්ත්‍රවාදය යළි පිහිටුවීමේ ඓතිහාසික වගකීමක් ජාතික ජන බලවේග ආණ්ඩුවට තිබේ. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ත්‍රීකරණය පිළිබඳ සාකච්ඡාවල තිබෙන ප්‍රධාන අඩුපාඩුවක් නම් රටේ වර්තමාන දේශපාලන පසුබිම තුළ රටට සහ ජනතාවට අවශ්‍ය වන්නේ කවරාකාරයේ ප්‍රජාතන්ත්‍රවාදයක් ද යන කරුණ ගැන අවධානයක් යොමු නොවීම ය.

පුරවැසි අරගලයට අමතරව ලංකාවේ දේශපාලනය 1950 ගණන්වල සිට අවධාරණය වූ ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය දීර්ඝ කාලීනව පවතින තවත් පැතිකඩ තුනක් හඳුනාගත හැකිවේ. එනම්, පළමුවැන්න ලංකාවේ සමාජය සහ පුරවැසි ප්‍රජාව සමන්විත වන ජනවාර්ගික විවිධත්වය නිරූපණය කෙරෙන ආකාරයට රාජ්‍යයත්, ප්‍රජාතන්ත්‍රවාදයත් බහුත්වවාදී නොවීම ය. ප්‍රජාතන්ත්‍රවාදය යළි ගොඩනැගීම ලංකාවේ දේශපාලනයේ ඓතිහාසික අවශ්‍යතාවක් තිබියදී, ප්‍රජාතන්ත්‍රීකරණය සඳහා ආණ්ඩුව දක්වන්නේ මද උනන්දුවක් නම් එය ජාජබ ආණ්ඩු බලය ලබාගැනීමට ඉඩ ලබා දුන් ඓතිහාසික අවකාශයට පිටුපස හැරවීමක් ය. ආණ්ඩුවේ පළමුවැනි වසර තුළ දී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා අලු‍ත් සාකච්ඡාවක් හෝ කතිකාවක් සඳහා ජාජබ ආණ්ඩුව පියවර නොගැනීම ආණ්ඩුව මේ වන විට ප්‍රදර්ශනය කර ඇති ප්‍රධාන දුර්වලකමකි. දේශපාලන වශයෙන් පරිණත පුරවැසියන්ගේ විශ්වාසය ඉදිරියට තබා ගැනීමට නම් තමන් සතු ප්‍රජාතන්ත්‍රීයකරණය සැලැස්ම විවෘත කිරීමට ආණ්ඩුව තවදුරටත් ප්‍රමාද නොකළ යුතු ය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අන්තර්ගතය ගැන මෙරට විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ පවා අවබෝධයක් නැත. එයට පාදකව ඇත්තේ අධ්‍යාපනික ප්‍රජාව අතර සංවාදයකින්ම මත විමසීමකින් හෝ එකඟතාවකින් තොරව එය සිදු කිරීමයි. මෙතරම් හදිසියේ අධ්‍යාපනය නමැති සංවේදී ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ගෙන ඒමට අවශ්‍ය වන්නේ මන්ද? යන්න පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ද ප්‍රශ්න කරයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කළ යුතුය යන්න ඒ ඒ ක්ෂේත්‍රවල අය මෙන්ම ප්‍රබුද්ධ ජන කොටස් විසින් ද පිළිගන්නා ලද කාරණයකි. බොහෝ විශේෂඥයන්ට ජාතික සංස්කෘතික වටිනාකම්වලට වඩා ලෝකය සමග යන ගමනක ඵලදායී බව අර්ථ දැක්වීම් කළ හැකිය. එහෙත් ප්‍රෞඪ ඉතිහාස උරුමයක් සහිත රටක් ලෙස අපට ඒවා නිශේධනය කළ නොහැකි බව ආණ්ඩුව තේරුම් ගත යුතු කරුණකි.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ සාර්ථකත්වය රඳා පවතින්නේ ආපදාව හමුවේ බෙලහීනතාවට ඇදවැටුණු ජන සමාජයට නව අපේක්ෂාවක්, ධෛර්යයක් සහ නිෂ්ටාවක් ලබාදීමට සමත්වීම යන කාරණයෙනි. වත්මන් නිමේෂයේ පොදුජන මානසිකත්වය තුළ පෙරට පැමිණ තිබෙන සාමූහිකත්වය සහ එක්සත්භාවය පිළිබඳ වුවමනාකම් ගොනු කරගෙන ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ නිෂ්ඨාව පුළුල් මහජන සහභාගිත්වයකින් යුතු ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරන්නට ආණ්ඩුව සමත් වුවහොත් එය දේශපාලනික යථාර්ථයේ ගමනක් වනු ඇත. ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ ව්‍යාපාරය සමග එක්වීමට කැමැති විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හා ක්‍රියාකාරීන්ට ඒ සඳහා ඉඩ විවර කළ යුතුය. රට ගොඩනැගීමට සද්භාවයකින් උනන්දුවක් දක්වන සජබ සහ පොහොට්ටුවේ ඇතැම් ප්‍රාදේශීය ජනතා නියෝජිතයන් හැකි තරම් දුරට මේ පොදු වැඩපිළිවෙළට දායක කරගත හැකිය. ඒ අතරම බිඳවැටුණු රට නැවත ගොඩනැගීමේ ව්‍යාපාරය සමග කලාකරුවන්, බුද්ධිමතුන්, විවිධ විෂය ප්‍රවීණයන්, වෘත්තික ප්‍රජාව, රාජ්‍ය සේවකයන්, පෞද්ගලික ව්‍යවසායකයන් හා සේවකයන්, ගොවි, කම්කරු, ධීවර සංවිධාන, ශිෂ්‍ය සංවිධාන, ජනමාධ්‍යායතන, ග්‍රාමීය සමාජය තුළ සක්‍රීය රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජා සංවිධාන යනාදීන් ඇතුළත් කරගත් පුළුල් බහුජන ව්‍යාපාරයක් ලෙසින් දිගු කාලීන ඉලක්කයක් හා වැඩපිළිවෙළක් සහිතව ගොඩනැගිය යුතුව ඇත. නව වසරක් ආරම්භයේ දී මහජනයා අපේක්ෂා කරන යහපත් රටක් සඳහා පියවර තැබීමට නම් ආර්ථික, දේශපාලන, සමාජ හා සංස්කෘතික වශයෙන් දැනට පවත්නා ගැටලු‍ හඳුනාගෙන ක්‍රියාත්මකවීම අත්‍යවශ්‍ය වේ.

 

(***)