බල්ලා, බූරුවා සහ පිස්සා වැනි වචනවලින් බැණ ගැනීමෙන් ද ඉන් පසුව මන්ත්‍රීවරුන් දෙදෙනකු අතර සිදු වූ ගුටිබැට හුවමාරුවකින්ද රටම කැළඹූ පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේ රැස්වීම එකම ගාලගෝට්ටියක් බවට පත්ව තිබිණි. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් මේ තරම් දුරදිග ගියේ කාගේ වරදින්දැයි අපි නොදනිමු. එහෙත් එයින් පාර්ලිමේන්තුවේ ගෞරවයට සිදු වූයේ විශාල හානියකි. එහි වගකීම සියලු‍ මන්ත්‍රීවරුන් විසින් බාරගත යුතුය.

කසිකබල් දකුණු ඉන්දියානු චිත්‍රපටවලින් උළුප්පා පෙන්වන කාඩ්බෝඩ් වීරයන් ලෙස හැසිරෙන එවැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මුළු රටටම ලබාදෙන්නේ ඉතාම නරක ආදර්ශයකි. මොවුන් පාර්ලිමේන්තුවට තෝරාපත් කර එවූ මහජනතාවට පමණක් නොව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම්කර යැවූ පක්ෂ මහලේකම්ලාට ද තමන් ගත් තීන්දුව ගැන ලැජ්ජාවක් නොසිතෙනවා නම් ඒ ගැන පුදුම විය යුතුය.

පාර්ලිමේන්තුව තුළ මොන තරම් උණුසුම් වාද විවාද හටගත්තත් එය ගුටිබැට හුවමාරුවක් දක්වා ඇදී යනවා නම් සහ තිත්ත කුණුහරුපෙන් බැණ ගන්නවා නම් එහි කොතැනක හෝ බරපතළ වැරැද්දක් තිබිය යුතුය. එම වැරැද්ද කුමක්දැයි හැකි ඉක්මනින් හඳුනාගෙන යළිත් එවැනි තත්ත්වයක් හට නොගැනීමට අවශ්‍ය පියවර නොගත්තොත් එය රටේ ඡන්දදායකයන්ට එරෙහිව සිදුකරන බරපතළම වැරැද්දක් බව පෙන්වා දිය යුතුය.

පාර්ලිමේන්තුවේ සභාවාර පසුගිය සති කිහිපය තිස්සේම වරින්වර උණුසුම් විය. එම උණුසුම් අවස්ථාවල දී සතුන්ගේ වචනවලින් එකිනෙකාට දමා ගැසීම ඇතැම් මැති ඇමැතිවරුන්ට අත්හැරගත නොහැකි පුරුද්දක් බවට පත්ව ඇත්දැයි යන සැකය අපට දැනෙන්න පටන්ගෙන තිබේ. මන්ත්‍රීවරයකු ප්‍රශ්නයක් ඇසූ පමණින් හෝ ආවේගශීලී මත දැක්වීමක් සිදු කළ පමණින් හෝ සභාගැබේ සිටින මන්ත්‍රීවරුන්ට උන්හිටිතැන් අමතක වෙනවා නම් අපට පිළිගැනීමට සිදුවන්නේ මේ මන්ත්‍රීවරුන් කිසිම විනයක් නොමැති පිරිසක් බවය. රට හදන නීති සම්පාදකයන්ට විනයක් නැතිනම් එවැනි අවිනීත ගතිපැවතුම් ඇති පිරිස් පාර්ලිමේන්තුවට තෝරා පත්කර එවීමෙන් හෝ වැළකී සිටීම ඡන්දදායකයාගේ වගකීමයි. එවැනි අය ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පත් කරනු ලැබීමෙන් හෝ වැළකී සිටීම පක්ෂ නායකයන්ගේ වගකීමය. කොතැනකින් හෝ මෙවැනි සිදුවීම්වලට තිතක් තැබිය යුතුය.

වඩාත්ම කනගාටුදායක වන්නේ හරියටම පාස්කු ප්‍රහාරයට දෙවසර පිරුණු දිනයේම රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවයේ සළුපිළි මැති ඇමැතිවරුන් විසින්ම ගලවනු ලැබීමය. එවැනි ශෝක දිනයක තිබිය යුතු වූ නිහඬ බව සහ සානුකම්පිත හැඟීම් වෙනුවට පාර්ලිමේන්තු සභා ගර්භයේ දකින්නට ලැබුණේ ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මන්ත්‍රීවරුන්ගේ මොන්ටිසෝරි හැසිරීමකි. මහ හඬින් සටන් පාඨ කියමින් ඡායාරූප ප්‍රදර්ශනය කරමින් විවාදය මහා ඝෝෂාවක් බවට ඔවුන් පරිවර්තනය කර තිබිණි. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විපක්ෂයට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා කළ අතර විපක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට මහ හඬින් බැණ වදිනු දැකිය හැකි විය. මේ හැසිරීම් මගින් සභාවේ ගෞරවය සෝදා හරිනු ලැබීය. එය අවාසනාවන්ත තත්ත්වයක් බව පෙන්වා දිය යුතුය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සිද්ධියෙන් පසුව එදිනම දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ද ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර යළිත් බහින්බස් වීම් සහ කෑකෝ ගැසීම් ඇතිවී තිබිණි. සභාව පාලනය කර ගැනීම සඳහා කථානායකවරයාට පාර්ලිමේන්තුව කල් තැබීමට ද සිදුවිය. පාර්ලිමේන්තුවේ විවාද කළ යුතු හැම කරුණක්ම මේ ආකාරයට ගාලගෝට්ටි බවට පත්වෙනවා නම් රටේ ජනතාව තුළ පාර්ලිමේන්තුව කෙරෙහි පවතින ගෞරවය පමණක් නොව විශ්වාසය ද ගිලිහී යාම වැළැක්විය නොහැකි වනු ඇත.

ආණ්ඩු පක්ෂයේ දැන් සිටින මැති ඇමැතිවරුන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු‍ දෙනා විසින්ම අවබෝධ කරගත යුත්තේ තමන් කිසිවකුත් සර්ව සාධාරණ නිර්දෝෂී පුද්ගලයන් නොවන බවය. අනෙකාට එක් ඇඟිල්ලක් දිගු කරන විට ඇඟිලි ගණනාවක් තමන් දෙසටම යොමුවන බවය. දේශපාලන පලිගැනීම් යන මාතෘකාව ද ආණ්ඩු පක්ෂයේ සිටින විට එක් ආකාරයකටත් විපක්ෂයේ සිටින විට තවත් ආකාරයකටත් දැනෙන බව මේ මන්ත්‍රීවරුන් දැන සිටීම අවශ්‍යය. විපක්ෂයට යන සියලු‍ම මන්ත්‍රීවරුන් හොරුන් සහ දූෂිතයන් නොවන්නා සේම ආණ්ඩු පක්ෂයට ගිය පමණින් සියලු‍ මැති ඇමැතින් සුපේෂල, ශික්ෂාකාමී, සාධුවරුන් බවට පත්වන්නේ ද නැත. මේ සියලු‍ දෙනාගේ හැසිරීම් දෙස රටේ මහජනතාව බලා සිටින අතර ඔවුන් වැඩිදෙනා තුළ දේශපාලනඥයන් පිළිබඳව මනා තක්සේරුවක් තිබේ. බැණ ගැනීම්, කුණුහරුප කීම් සහ ගුටිබැට හුවමාරුවලින් සිදුවන්නේ එම තක්සේරුවේ අගය ඉහළ හෝ පහළ යාම පමණි.

ආණ්ඩුවක සිටින විට බොහොමයක් මැති ඇමැතිවරුන්ට රටේ නීතිරීති තමන්ට ද බලපාන බව ඉක්මනින් අමතක වෙයි. යහපාලනයේ සිටි ඇතැම් මැති ඇමැතිවරුන්ට අද සිරබත් කෑමට පවා සිදුවීම එහි එක් ප්‍රතිඵලයකි. බලය අතේ තිබිය දී නීතිය නවමින් විපක්ෂ මන්ත්‍රීන්ට සිතාමතා හිරිහැර කරදර කළා නම් ඔවුන් සිරගත කළා නම් එහි පල විපාක තමන් විපක්ෂයට ගිය විට ආපසු පැමිණෙන බව මේ අය සිතට ගත යුතුව තිබුණේ ආණ්ඩුවේ සිටියදීය. එසේම අද ආණ්ඩු පක්ෂයේ සිටිමින් තමන්ට පැවරූ නඩුවලින් නිදහස් කර දෙන ලෙසට ඉල්ලීම් කරන සමහරූන් ඒ පිළිබඳ තමන්ගේම හෘද සාක්ෂියෙන් විමසා බැලීම සුදුසුය. එය පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළෙසනවාට වඩා හැම අතින්ම හොඳය.

(***)