රට පත්ව තිබෙන්නේ දරුණු අර්බුදයකටය. අර්බුදයෙන් ගොඩ ඒම වෙනුවට එම අර්බුද වගුරේ දිනෙන් දින ගිලෙන සෙයක් පෙන්නුම් කරයි. බලධාරීන්ගේ වැඩිම අවධානය යොමු වී තිබෙන්නේ තම තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීම කෙරෙහිය. රාජ්‍ය ඇමැතිවරයකු ධුරයෙන් නෙරපා හැරීම මෙන්ම ඇමැති මණ්ඩල සංශෝධනය සම්බන්ධ කතාබහෙන් ද පැහැදිලි වන්නේ එයය. ඇමැති බූරු කුට්ටම අනා ප්‍රශ්න විසඳාගත හැකි යැයි සිතන්නේ නම්, එය මුළාවකි. අවශ්‍ය වන්නේ අර්බුදයේ දිග පළල නැණින් නුවණින් වටහා ගෙන එයින් ගොඩ ඒමේ දියුණු විද්‍යාත්මක වැඩපිළිවෙළකි. දක්නට නොලැබෙන්නේ ද එයමය.

ඩොලර් හිඟය හේතුවෙන් ඉදිරියේදී ගල් අඟුරු ආනයනය සීමා වීමේ දැඩි අවදානමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයකු අප පුවත්පතට ප්‍රකාශ කළ බව ඊයේ වාර්තා කෙරිණි. ඩොලර් හිඟය හා ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ගල් අඟුරු ආනයනයට බාධා පැමිණෙන බව ද එසේ වුවහොත් නොරොච්චෝල බලාගාරයේ ජනන කටයුතු බිඳ වැටෙන බව ඔහු ප්‍රකාශ කළ බව ද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

අනාගතයේදී ඇති විය හැකි අභියෝග මොනවාදැයි හඳුනා ගනිමින්, ඒවාට විකල්ප විසඳුම් හඳුන්වා දීමේ වැඩපිළිවෙළක් ඉතිහාසයේ කිසිදු රජයක් සිදු කර නැත. බලශක්ති ක්ෂේත්‍රය එයට කදිම නිදසුනකි. හොඳින් අව්ව වැටෙන රටක් හොඳින් හුළං හමන රටක් වුව ද ඒවා බලශක්ති ලෙස වර්ධනය කරගැනීමේ විධිමත් යාන්ත්‍රණයක් අපට නොමැත. ප්‍රමුඛතා පිළිවෙළින් ඉතා පහළ අගයක් ගන්නා ව්‍යාපෘතිවලට කෝටි ගණන් මහ නිධාන වැය කළ ද අද රට පවතින්නේ විදුලිය කපන තත්ත්වයේය. 

ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ, ඉදිරියේදී දිනකට පැය දෙක හමාරක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බවය. දහවල් කාලයේදී පැය දෙකක පමණ කාලයක් සහ අධික විදුලිය ඉල්ලුමක් පවතින පස්වරු 6ත් 9ත් අතර කාලයේදී පැය භාගයක පමණ කාලයක් ආදී වශයෙන් මෙම විදුලිය කප්පාදුව සිදු කිරීමට නියමිතය. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ, දිනපතා විදුලිය කප්පාදුවක් කිරීමට කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දුන් බවය.

විදුලිය කප්පාදුව රටේ සමස්ත ආර්ථිකයටම බලපායි. අප මේ ගෙවා දමමින් සිටින්නේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කළ යුතු මොහොතක්ය. මුළු රටම එකම වැඩබිමක්ව නැගී සිටිය යුතු මොහොතක්ය. එවැනි මොහොතක අපට සිදු වී තිබෙන්නේ, විදුලිය නොමැතිකම නිසා අත්වැල් බැඳගෙන නිකරුණේ කාලය ගත කිරීමටය. මේවා මෙසේ වූයේ කෙසේදැයි සන්සුන් මනසින් ආවර්ජනය කළ යුතුමය.

පොහොර ප්‍රශ්නය තවම විසඳා නැත. පොහොර නැව් රටට එන විට මහ කන්නය ද හමාර වී තිබිය හැකිය. පොහොර නොමැතිව ගොවිතැන් කරන්නේ කෙසේදැයි ගොවියෝ සාධාරණ ප්‍රශ්නයක් මතු කරති. පෙහොර ගෙන්වීම කඩෙන් භාණ්ඩයක් මිලදී ගැනීම වැනි සරළ කාර්යයක් නොවේ. එය යම් කාලයක් ගතවන ක්‍රියාවලියකි. ඇමැතිවරුන් පත්කර තිබෙන්නේ ඒ වෙනුවෙන්ය.

පොහොර සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් විමසූ විට ඔහු පවසා තිබුණේ, ‘පොහොර ගැන රාජ්‍ය ඇමැතිගෙන් විමසන’ ලෙසය. විද්‍යාත්මක ලෙස විෂයයන් බෙදා ඇතැයි කියන අමාත්‍ය මණ්ඩලයේ තරම එසේය. පොහොර සඳහාම රාජ්‍ය ඇමැතිවරයකු සිටිය ද රටේ පොහොර නැත. සාගතයක් සම්බන්ධ පුරෝකථන යථාර්ථයක් වනු ඇතැයි සිතෙන්නේ මෙම පරිසරය තුළය.

බඩු මිල ගැන වගකිව යුත්තෝ කිසිවක් නොකියති. මුදල් අමාත්‍යවරයා ඉකුත් දිනෙක සහන පැකේජයක් ලබාදුන්නේය. එය පැසසුම් කටයුතුය. එහෙත් එය ප්‍රමාණවත් නැත. වෙළෙඳපොළට යන ජනයා ශාප කරන හඬ විද්‍යුත් නාලිකාවලින් මුළු රටටම ඇසේ. සහල් ඇටේ සිට සියල්ලම ගිනි ගණන්ය. සිමෙන්ති ඇතුළු අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑම හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය බරපතළ බිඳ වැටීමකට ලක්ව තිබේ. එම ක්ෂේත්‍රයෙන් යැපුණ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අද අන්ත අසරණ වී සිටිති. 

ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් ද අනතුරු ඇඟවීම් පළ වෙයි. මෙය ‘කොරේ පිටට මරේ’ කිව්වා හා සමානය. අඩුවකට තිබුණේ එය පමණි. එම ඉන්ධන හිඟය ද ඇති වුවහොත් සියල්ලෙන්ම සම්පූර්ණ වූ රටක් බවට අප රට පත්වනු ඇත.