අවතාරය සැරිසරනවායැයි කියන සමගි මාවත

 

හිස නොමැති අවතාරයක් මහනුවර කුණ්ඩසාලේ දම්බරාව ගම්මානයේ සැරිසරණ බවට ඇති කතාවක් නිසා ගම්වාසී බොහෝ දෙනෙක්

මියගිය අයගේ සහෝදරයා සමන් කුමාර
 
මල්ලිකා
 
මියගිය අයගේ මව හීන්මැණිකේ
 
මියගිය අයගේ නෑනා වන අනෝමා
 
සුනිල්
 
අජිත්
 
සන්ජීව
 

දැඩි භීතියකට මෙන්ම කැළඹීකටද පත්ව සිටිති.

මාස දෙකක පමණ කාලයක් තිස්සේ සිට සැරිසරණ බවට කතාවක් ඇති මෙම හිස නොමැති අවතාරය කිහිපදෙනෙක්ම දැක ඇති අතර එයින් කිහිපදෙනෙක් රෝගාතුරවී යුකැදුරන් ගෙන්වා බලි තොවිල් ද කර ගෙන ඇත.

දම්බරාව ගම්මානයේ බොහෝදෙනෙක් ගොමං කළුවර වැටීගෙන එද්දීම ගෙවල් දොරවල් වසා දමා නිවසේ ඇතුළුවී සිටින්නට පවා පුරුදු වී ඇත්තේ හිසසුන් මේ අවතාරයට ඇති බිය නිසාය. කිසියම් අවශ්‍යතාවයකට ගෙදරකට ගොස් නිවසක දොරට තට්ටු කළහොත් කිසිම කෙනෙක් දොර නම් අරින්නේ නැත. ඒ වෙන කිසිවක් නිසා නොව හිසසුන් අවතාරය  පැමිණ දොරට තට්ටු කරන බවට විශ්වාස කරන නිසාය.

සවස්යාමයේ සිට ඒ ගම්මානයේ පාරවල් පාළුවට යයි. කිසිම කෙනෙක් තනියම පාරේ ගමන් කරන්නේ නොමැත. සවස ගෙවල් දොරවල් වසා ගත් පසු නැවත ඒවා අරින්නේ පසුදින හිරු එළිය වැටුණු පසුවය.

ඒ තරමට ගමේ අය හිස නොමැති මේ අවතාරයට බියවී සිටිති. 

හිස නොමැති මේ අවතාරය ඇඳසිටින්නේ කොට කලිසමක් හා කමිසයකි.

මාස දෙකක පමණ කාලයක් තිස්සේ මුළු ගම්මානයම කැළඹීමකට පත්කර තිබෙන මේ අවතාර කථාව ගලගෙදර දිසා රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතාට දැනුම්දී ඇත්තේ දම්බරාව සමෘද්ධි සංවර්ධන නිලධාරී සුසිල් වීරසිංහ මහතාය.
වෛද්‍ය ජනක ජයසූරිය මහතා මෙවැනි අවතාර හොල්මන් හා අද්භූත සිද්ධීන් පිළිබඳ පර්යේෂණ කර ඒවා ගැන ජනතාවට ඇත්ත ඇති සැටියෙන් හෙළිකරන විද්වතෙකි.
හිස නොමැතිව සැරිසරන බවට කථාවක් ඇති දම්බරාව ගම්මානයට පසුගිය සිකුරාදා රෑ වෛද්‍යවරයාත් සමඟ ගියේ මේ සම්බන්ධයට ගවේෂණයක් කිරීම සඳහාය.

සමාජසේවා ඇමති පිලික්ස් පෙරේරා මහතාගේ උපදේශක සහ මාරවිල දිසා රෝහලේ මනෝ වෛද්‍ය ප‍්‍රියන්ත ගාමිණී ජයසිංහ මහතා ද අප සමග මේ අවතාර කතාවේ ඇත්ත නැත්ත සෙවීමේ කටයුත්තට එක්විය.

අප රාත‍්‍රියේ දම්බරාව ගම්මානයට යනවිට එක් පාරක එහාට මෙහාට වැනි වැනි යන පුද්ගලයකුගේ දර්ශනයක් නෙත ගැටුණු අතර ඡාරූප ශිල්පී හේරත් පැවසුවේ අවතාරය කියාය.

පාරේ වැනි වැනී යන ඒ පුද්ගලයා හොඳහැටි කසිප්පු පානය කර නිවස බලා යන අයෙකි. ඒ හැරෙන්නට දම්බරාව ගමේ පාරක මිනිස් පුළුටක්වත් අපට දක්නට නොලැබිණි.

වෙරිමර ගාතේ සිටි නිසා ඔහු යක්කුන්ට පෙරේතයින්ට හෝ අවතාරවලට බිය නැතුවා විය යුතුය.

හිස නොමැති අවතාරය ගැන සොයා බැලීමට යන මේ ගමනේ අපේ මග පෙන්වන්නා වූයේ සමෘද්ධි සංවර්ධන නිලධාරී වීරසිංහ මහතාය.

ගමේ අය හා මොහුත් අතර තිබෙන මිත‍්‍රත්වය අපට මේ ගැන තොරතුරු සොයාගැනීමට ලොකු පිටුවහලක් විය.
අප එන බව දැනුම්දී ගම්මු පිරිසක් දම්බරාවේ නිවසකට කල් ඇතිව රැස්කරවා තිබුණේද වීරසිංහ මහතා විසිනි.
මල්ලිකා හීන්කෙන්ද මහත්මිය අප සමඟ අවතාර කථාව ගැන තොරතුරු හෙළිකරමින් මෙසේ කීවාය.

හිස නොමැතිව සැරිසරන මේ අවතාරය දැකපු හුඟ දෙනෙක් මේ ගමේ ඉන්නවා. මේ අවතාරය නිසා ගමේ ගොඩක් දෙනෙක් මාස දෙකක් තිස්සේ හොඳටම බයෙන් ඉන්නේ. අවතාරයක් විදිහට ගමේ රෑට සැරිසරනවා කියන්නේ ගෙලවැල දාගෙන සිය දිවිනසාගත් අපේ ගමේම කෙනෙක් කියලා මේ අය කියනවා.  මම නම් ඔය අවතාරය දැක්කේ නැහැ. ඒ මොකද කියනවානම් රෑට එළියට බහින්නේ නැති නිසා. ඔය සියදිවි නසාගත් කෙනාගේ ආත්මය ගාර්මන්ට් එකක වැඩට යන අවුරුදු 18 ක විතර ගැහණුළමයකුට කිහිප වතාවක්ම වැහිලා තිබුණා. එතකොට ගැහැණු ළමයා කතාබහ කරන්නේ හැසිරෙන්නේ ඒ මියගිය කෙනා වගෙයි. අන්න ඒ නිසා තමා මේ අවතාර කතාව මා විශ්වාස කරන්නේ.

ගමේ ළමයි තනියම කාමරයකට වෙලා පාඩම් කරන්නේ නැහැ. අවතාරය එයි කියලා බයට. හවස්වරුවේ ළමයෙක් සෙල්ලම් කරන්නවත් ගෙයි මිදුලට බහින්නේ නැහැ. ඒ තරම් බයකින් තමා ගමේ වැඩි දෙනෙක් පසුවෙන්නේ යැයිද මල්ලිකා හීන්කෙන්ද මහත්මිය පැවසුවාය.

උදේ පාන්දරම නැගිටලා ගැහැණු අය රස්සාවට යන මනුෂ්‍යාට කෑම ටික හදන්න නැගිටින්නේ නැහැ. හිස නැති අවතාරය ගෙදරට එයි කියලා බයට. හවස් වෙනකොට පාරක තොටක මිනිස් පුළුටක් දකින්න නැහැ යැයිද අප සමඟ කතා බහ කළ ගම්මුන් පිරිසක් පැවසූහ.
පන්තිවලට සහභාගිවී -සමගි මාවත” දිගේ ගෙදර එද්දී කළුවරේ පුද්ගලයෙක් ඉස්සරහට එනවා දැක්කා. කොට කලිසමකුයි ටී ෂර්ට් එකකුයි එයා ඇඳලා හිටියේ. ළඟට එද්දීනම් දැක්කේ ඒ කෙනාගේ හිස නොමැති බව. හොඳටම බය වෙලා කෑගහගෙන දිව්වා යැයි අවතාරය දුටු සිසුන් තිදෙනකු අප සමඟ පැවසුවේ බියෙන් තැතිගත් ස්වරූපයකිනි.

මේ සිසුන් තිදෙනා අවතාරය දැක ඇතැයි කියන්නේ අවස්ථා දෙකකදීය.

ගෙල වැළ දමාගෙන සියදිවි නසාගත් කෝසල නැමැත්තාගේ මව සහෝදරයෙක් සහ නෑනා දෙනෙක්ද මේ අවතාර කථාව ගැන තොරතුරු සොයා බැලීමට පැමිණි බව දැනගෙන අප හමුවීමට පැමිණියේ අප කියන කතාවද පත්තරේ පළකරන ලෙස ඉල්ලමිනි.
යූ.ජී. හීන්මැණිකේ (68) මහත්මිය මියගිය අයගේ මව වන්නීය. ඇය තවමත් පසුවන්නේ සිය ආදරණීය පුතු මියගිය ශෝකයෙනි.
මගේ පුතා අවතාරයක් වෙලා ගමේ හැම තැනම රෑට ඇවිදින කතාව නිසා මුළු ගමම බයට පත්වෙලා. මගේ පුතා අවතාරයක් වෙන්න තරම් පවු කරපු කෙනෙක් නෙමේ. එයාගේ නෝනා මැදපෙරදිග රටක රැකියාවකට ගිහින් ඉන්නේ. පුතාට දරුවෙක් ඉන්නවා. එයා දරුවාත් බලාගෙන හොඳට ජීවත්වුණා. රට ඉන්න බිරිඳට කරදරයක් වෙලා කියලා දැනගෙන තමාගේ ළඟ තියෙන වත්තක කෝපි ගහක එල්ලිලා මැරුණේ. අපේ පවුලේ කිසිම කෙනෙක්නම් පුතාගේ ඔය කියන අවතාරය දැකලා නැහැ. මැරිච්ච පුතාගේ දරුවත් එක්ක මම ?ට තනියම ගෙදර නිදාගන්නේ. ගමේ හැමතැනම අවිදිනවා යැයි කියන අවතාරය ඇයි අපේ ගෙදරට එන්නේ නැත්තේ කියලයි මම අහන්නේ. මේ අවතාර කතාව ලොකු බොරුවක් යැයි ඒ හීන්මැණිකේ මහත්මිය පවසන්නීය. 

කේ.පී රංජිත් සමන්ත ගෙල වැල දමාගෙන සිය දිවි නසාගත් තැනැත්තාගේ සහෝදරයෙකි.

මේ අවතාර කතාව ගැන ඔහු අපූරු හෙළිදරව්වක් කළේ ඒ කතාව අසා සිටි අයද සිනාගස්සවමිනි.

මම පසුගිය දවසක උදේ පාන්දර වැඩට යන්න ලෑස්ති වෙන්න නැගිට්ටා. ඇඟිලි වලින් දිව මැද්දා. එතකොට ඔක්කාරයට වගේ එනවානේ. ඒ හඬ ඇහිලත් ගමේ කට්ටියක් බය වෙලා. මම වැඩට යද්දී අහනවා ඔයාගේ මියගිය මල්ලී ගේ ළඟට ඇවිත් ඔක්කාරය කරනවා අපට ඇහුනා. අපි හොඳටම බයවුනා. ඔය ගොල්ලන් ඒ හඬ ඇහිලා බය වුනේ නැද්ද කියලා. පස්සේ මම වෙච්ච සිද්ධිය ඒ අයට පැහැදිලි කර දුන්නා. 

මම නම් මල්ලි අවතාරයක් වෙලා ගමේ සැරිසරන බව කියන කතාව විශ්වාස කරන්නේ නැහැ. මම මෙතෙක් මල්ලිගේ අවතාරය දැකලා නැහැ. ඔය කියන කතාව ඇත්ත නම් මල්ලිගේ අවතාරය ඇයි අපේ ගෙදරට එන්නේ නැත්තේ. මට තියෙන ලොකුම ප‍්‍රශ්නය එය යැයි සමන්ත මහතා පවසයි.

මල්ලි එල්ලී මියගිය කෝපි ගහ පවා බයට කපා දාලා. ඒ ළඟ කොස් ගහක් තියෙනවා. මිනිස්සු කොච්චර බයද කියනවා නම් ඒ ගහේ තියෙන කොස් ගෙඩියක්වත් කඩාගෙන ගිහින් කන්නේ නැහැ යැයිද ඔහු පැවසීය.

යූ.ජී. අනෝමා මහත්මිය සමන්තගේ බිරිඳ වන අතර ඇය අප සමග කතාබහට එක්වෙමින් පැවසුවේ මෙවැනි කතාවකි.
මියගිය මගේ මස්සිනාගේ ආත්මය ආරූඪ වෙනවා යැයි කියන අවුරුදු 18 ගැහැණු ළමයා මගේ හොඳම මිතුරියක්. මස්සිනාගේ ආත්මය එයාට ආරූඪවෙච්ච වෙලාවක මම මල්ලීගේ ආත්මය සමඟ කතා බහ කර තිබෙනවා. මස්සිනා කිව්වේ නාගයෙක්වෙලා ළඟදීම ගමට එනවා කියලයි.  මේ බව කියන්නේ අරූඪයෙන් ගැහැණු ළමයයි. මේ අවතාර කතාව නාගයෙක් වෙලා එනවා කියන කතාව නම් මම විශ්වාස කරන්නේ නැහැ. මස්සිනාගේ ආත්මය මේ ගැහැණු ළමයාට අරූඪවෙනවා කියන කතාව විශ්වාස කරන්නත් බැහැ. මස්සිනාගේ ආත්මය අපේ පවුලේ කෙනෙකුට ආරූඪනොවී පිටස්තර කෙනෙකුට ආරූඪ වෙන්නේ.

ගෙල වැළ දමා මියගිය අයගේ ආත්මය ආරූඪ  වෙනවා යැයි කියන 18 හැවිරිදි තරුණියගේ පුංචි අම්මාට දේවාලයක් තිබෙන බවත් ඒ දේවාලයට ප‍්‍රසිද්ධියක් ලබාගැනීමට මෙවැන්නක් කරනවා විය හැකි බව ගමේ සමහර දෙනෙක් අප සමඟ කියා සිටියා.

මියගිය අයගේ ආත්මය නාගයකු වී ඉදිරි කාලයේ ගමට ඒමෙන් වළක්වා ගැනීමට යාගයක් කිරීමට මේ දේවාලය කරගෙන යන කාන්තාව සූදානමක් පවතින බවද ගම්මුන්ගෙන් අපට දැනගැනීමට ලැබිණි.

මේ හිස නොමැති අවතාර කතාවෙන් ගම්මුන්ගේ එදිනෙදා වැඩ කටයුතු අඩාළ වී තිබෙනවා. ගමේ පාසල් ළමයි වැඩි දෙනෙක් ?ට පොත්පත් පාඩම් කරන්නත් බයයි අවතාරය එයි කියලා. සවස 6.00 විතර වෙද්දී ගෙවල් දොරවල් වහගෙන ලයිට් නිවාදමා නිදා ගන්නවා, අවතාරයට බයේ. මේ අවතාර කතාව ලොකු බොරුවක්. මේ අවතාර කතාව ගැන ගම්මුන්ට ඇත්ත පහදා දී ඔවුන්ගේ බියසැක දුරුකරන්න කියා මා ඉල්ලීමක් කරනවා යැයි සමෘද්ධි සංවර්ධන නිලධාරී වීරසිිංහ මහතා වෛද්‍යවරුන් දෙදෙනාගෙන් ඉල්ලීමක්ද කර සිටියේය.

වෛද්‍ය ජනක ජයසූරිය සහ මනෝවෛද්‍ය ප‍්‍රියන්ත ගාමිණී ජයසිංහ යන මහත්වරුන් අවතාර කියන්නේ මොනවාද යන්න ගැන සරල බසින් විද්‍යාත්මක විග‍්‍රහයක දෙයෙමින් කෙටි දෙසුමක් පවත්වනු ලැබුවේ ගම්මුන්ගේ බිය සැක දුරු කිරීම සඳහාය.
(මේ විග‍්‍රහය වෙනම පළකරන නිසා මෙහිදී ඒ ගැන සඳහන් නොකරමි)

හිස නොමැති අවතාරය දැක බියට පත්ව උණගැනී සති දෙකක පමණ කාලයක් වෛද්‍ය ප‍්‍රතිකාර මෙන්ම ආරක්ෂාව ජීවම් කරන ලද තෙල් පවා ගෑ අයෙකු සොයා මහ රෑ අපි ගියෙමු.
මේ නිවස සොයා යාමට අපට මගපෙන්වූ රංජිත් සමන්ත මහතාට ඔහුට කතා කර නිවසේ දොර විවෘත කරගන්නට ලොකු උත්සාහයක් දැරීමට සිදුවූයේ අවතාරයට ඇති බිය නිසා ඒ ගමේ කිසිවෙක් රෑට ලෙහෙසියෙන් දොරක් අරින්නේ නැති නිසාය.

හිස නොමැති අවතාරය දැකීම නිසා බියට පත්ව රෝගාතුරවූයේ කේ.ජී. සංජීව මහතාය. ඔහු තමන් මුහුණ පෑ බිහිසුණු ඇඟ කිළිපොලා යන සිද්ධිය ගැන විස්තර කළේ මෙසේය.

මගේ මිතුරෙක්  හම්බවෙලා රෑ 7.15ට විතර වෙල් යාය මැද්දෙන් ගෙදර එමින් හිටියා. ඒ එද්දී මගේ ඉස්සරහට කෙනෙක් එනවා මා දැක්කා. මා එච්චර ගණන් ගත්තේ නැහැ. එක පාරටම ඒ මිනිහා මගේ උරහිසේ හැපුණා. හැප්පුන පාරට මා විසිවෙලා යනවා වාගේ දැණුනේ. මා හප්පාගෙනම ඒ මිනිහා ගියා. ඒ නිසා මම පස්ස හැරිලා බැලූවා. මගේ උරහිස හප්පාගෙන යන මිනිහාගේ හිස කොටස පේන්න තිබුණේ නැහැ. මං හොඳටම බයවුණා. ඇඟ දහදියෙන් පෙඟී ගියා. ඒහිස නැති මිනිහා ඇඳගෙන හිටියේ කොට කලිසමක් හා ෂර්ට් එකක්. මම හොඳටම බයවෙලා ගෙදරට දිව්වා. මගේ ඇෙඟ් හැප්පුනේ හොල්මනක් බව තේරුම් ගියා. ගෙලවැල දාගෙන මියගිය කෙනාගේ හත් දවසේ දානය තිබුණ දවසේ ? තමා මේ හොල්මන දැක්කේ.

සංජීව මහතා මෙසේද කීය.
හිස නැති මේ හොල්මන දැකලා මාව වෙව්ලා උණගත්තා. උණට වෛද්‍ය ප‍්‍රතිකාර ගත්තා. දවස් 14 විතර යනකන් උණ බැස්සේ නැහැ.  තෙල් මතුරලා ඇගේ ගෑවා. ඊට පස්සේ තමා උණ බැස්සේ. මෙහෙම දෙයක් මගේ ජීවිතයට දැකලා නැහැ. ගමේ කට්ටියත් මේ හිස නැති අවතාරය දැකලා තියනවා කියලත් ආරංචි වුණා.

දම්බරාව ගම්මානයේ පදිංචි අජිත් බණ්ඩාර මහතා මැණික්හින්න මහනුවර මාර්ග අංක 621 පෞද්ගලික බස් රථ රියදුරෙකි. හිස නොමැති අවතාරය ගැන ඔහු දැක්වූයේ මෙවැනි අදහසකි.

බස් එකේ වැඩ ඉවර වෙලා මම හැමදාම රෑ බෝවෙලා තමා ගෙදර එන්නේ. ඔය කියන අවතාරය වැඩි වශයෙන් ගමන් කරනවා යැයි කියන සමගි මාවත දිගේ තමා. කිසිමදාක හිස නොමැති අවතාරය මට නම් මුණගැහිලා නැහැ. සිය දිවි නසාගත් කෝසල මාවත් හොඳින් දන්න කෙනෙක්. මාස දෙකක් තිස්සේ මම පාන්දර වැඩට යන්නෙත් රෑ බෝවෙලා ගෙදර එන්නත් සමගි මාවත දිගේ තනියම එන්නේ.  ඉතිං ඔය කියන අවතාරේ මාත් දකින්න එපෑයැයි බණ්ඩාර මහතා පවසයි.

සමගි මාවත ඔස්සේ යතුරුපැදි මහ? ධාවනය කරගෙන ගිය පුද්ගලයන් කිහිප දෙනෙකුගේ යතුරුපැදිවල පිටුපස අසුනේ හිස නැති අවතාරය වාඩිවී ගමන් කර තිබීම නිසා ඔවුන් බියට පත්ව ඇති බවද අපට ගම්මුන්ගෙන් දැන ගැනීමට ලැබුණි.

යතුරුපැදිය ධාවනය කරගෙන යද්දී පිටුපස අසුනේ කිසිවකු වාඩිවී යන දැනෙනු නමුත් පිටුපස හැරී බලද්දී කිසිම කෙනෙක් පිටුපස අසුනේ වාඩිවී සිටින අන්දම දක්නට නොලැබෙන බවත් ඒ අය පවසන බව ගම්මු අප සමඟ කීහ.

එහෙත් යමෙක් පිටුපස අසුනේ වාඩිවී යන ආකාරය දැනෙන බව යතුරුපැදිකරුවන් ගම්මුන් සමග පවසා ඇත.
වෛද්‍ය ජයසූරිය මහතා රෑ 11.00 පමණ තනියම ඔහුගේ මෝටර් රථය නවතාගෙන ඒ මාර්ගයේ සෑහන වේලාවක් සිටියත් ඔහුද එවැනි අවතාරයක් දැක්කේ නොමැති බව ඔහු පවසයි.

හිස නොමැති මෙම අවතාරය දැක බලා ගැනීම සඳහා මාද සමගි මාවත දිගේ තනියම ඇවිදගෙන ගියත් එවැනි අවතාරයක් මටද දැක ගැනීමට නොහැකිවිය.

අපත් සමඟ ගිය අනෙක් අයටද හිස නොමැති අවතාරය දැක ගැනීමට ලැබුණේ නැත.

අවතාර කතාව මවා ගෙවල්වලට හොරු පැනීමටද බැරිකමක් නොමැති බව ගම්මු කිහිප දෙනෙක්ම අප සමඟ පැවසූහ.

මියගිය තැනැත්තා ඊළඟට නාගයෙක් වී සැරි සැරීමට පටන් ගන්නා බවට ගමේ සමහරුන් තුළ අනියත බියක් පවතී.

මනුෂ්‍යයෙක් මියගියාම ඒ තැනැත්තා නාගයෙක්වෙලා උත්පත්තිය ලබන බව පැවසීම හෝ සිතීම කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති මිථ්‍යා විශ්වාසයක් පමණක් යැයි ප‍්‍රකට උරග හා සත්ව විද්‍යාඥයකු වන ඇන්ස්ලම් සිල්වා මහතා අවධාරණයෙන්ම පවසයි.

කෙසේ වෙතත් දම්බරාව ගම්මානයේ ගතකළ හෝරා කිහිපය තුළ හිසක් නොමැති අවතාරය අපට නම් දකින්නට ලැබුණේ නැත. 
අවතාර සහ භූතයන් කියන්නේ මිථ්‍යා විශ්වාසයක් පමණකි

 

වෛද්‍යවරු දෙදෙනා ගමේ ජනතාව දැනුම්වත් කරමින්

 

විස්තරය - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය  /  ඡායාරූප මාදම්පේ එස්. හේරත්

 

අදෘශ්‍යමාන බලවේග පිළිබඳ  විශ්වාසයෙන් බැහැර වෙන්න

 

 

මෙහි සඳහන් කළ සිදුවීම සැලකීමේදී එම ප‍්‍රදේශයෙන් වාර්ථා වූ  පුද්ගලයාගේ මරණය සිත් කම්පා කරවන සිය දිවි

මාරවිල මූලික රෝහලේ මනෝවෛද්‍ය ප‍්‍රියන්ත ගාමිණී ජයසිංහ

හානිකරගැනීමේ තත්ත්වයකි. එමෙන්ම මරණය සම්බන්ධ කාරණාද ඔවුන් අතර බහුලව සාකච්ඡාවට භාජනය වී ඇත. මෙහිදි ආවේශයට ලක්වන කාන්තාව එම පවුල සමග ඥාති සම්බන්ධතාවක්ද නැත. නමුත් ඇය මියගිය තැනැත්තා හොඳින් හඳුනන කාන්තාවකි. මෙහි ඉතා වැදගත් තොරතුරක් වන්නේ ආරූඪ වන කාන්තාව සහ ඇයගේ පවුල කෙරෙහි. ආරූඪ වීම් මෙන්ම අදෘශ්‍යමාන බලවේග දැඩිලෙස පිළිගන්නා සහ ඒ සම්බන්ධ ක‍්‍රියාකාරකම් කරන පුද්ගලයන් වීමයි. 

ආරූඪ වීම කියන තත්ත්වයේදී තමාට තමා ලෙස හඳුනාගැනීමට තාවකාලික අසමත් වී වෙනත් තත්ත්වයක් ප‍්‍රථිස්ථාපනය වේ. එම ප‍්‍රථිස්ථාපනය වෙන තත්ත්වය අද්භූත බලවේගයකි. (භූත, අමුනුෂ්‍ය, දේව, යක්ෂ, වෙනත් මියගිය පුද්ගලයකු)  ලෙස එළිදක්වයි. ඉහත සඳහන් කළ කාන්තාවට මෙම ආරූඪවීම වනදී තමා ලෙස හඳුනාගැනීමේ සවිඥානික බව තාවකාලිකව මියගිය පුද්ගලයාගේ ආත්මය ලෙස වෙනස්වේ. මෙම තත්ත්වය සඳහා තමා ජිවත්වන පරිසරයේ ඇති සාමජීය සහ සංස්කෘතිකමය මතිමතාන්තර වෙතින් වැඩි බලපෑමක් එල්ල කළ හැකි බැවින් එය රෝග විනිශ්චය සඳහාද වැදගත් වේ. මෙවැනි තතත්්ව ලෝකයේ නොයෙකුත් සංස්කෘතිකමය  වටපිටාව තුළ දැකිය හැකි වුවත් බටහිර කාර්මීකරණයට ලක්වූ රටවල් වලට සාපේක්‍ෂව අඩුබව සඳහන් වේ.

ආරූඪවීම් මතදී නොයෙකුත් ලක්‍ෂණ පෙන්විය හැකි අතර තමාට තමා පාලනය කළ නොහැකිවීම, වෙනස් චර්යා පෙන්වීම, තමාගේ අවට පරිසරය සමඟ ඇති සම්බන්ධතාව බිඳවැටීම, යථාර්ථය අවබෝධ කරගැනීමේ හැකියාව අඩුවීම තම කට හඬ වෙනස් වීම ආදී ලක්‍ෂණ පෙන්විය හැකිය. මෙම  වාරණ කාලය පිළිබඳ වැටහීම මෙන්ම මතකයද වෙනස් විය හැකි අතර තමාගේ බාහිර ස්වරූපය වෙනස් වූවායැයි මතයකද එල්බගත හැකිය. 

ඉහත මතය ඇතිවීම සඳහා නොයෙකුත් සංස්කෘතික මතිමාන්තර, සමාජීය ඇත්දැකීම් හා මත තම මානසික තත්ත්වය මෙන්ම කායික ලක්‍ෂණද බලපෑම් කළ හැකිය. නිරන්තරයෙන් මෙවැනි අත්දැකීම් ලැබීම සහ ඒවායින් සිදුවූ දැඩි මානසික කම්පන මේ සඳහා දායක විය හැකිය.

මෙහිදි ඉතාම සැළකිය යුතු කාරණය නම් මෙවැනි මත පැතිරීම මගින් එම ප‍්‍රදේශයේ අනෙකුත්, පුද්ගලයන්ද එම මත තුළම එල්බගැනීමයි. එවැනි පසුබිමක් වන අනිකුත් පුද්ගලයන්ගේද මානසික අසහනය සහ බිය සහිත සිතුවිලි  වලින් යුක්තව පරිසර සංවේදන ලබාගැනීමේදී, මායා වල අත් දැකීම් ලැබිය හැකිය. 

මෙහිදී මෙම අදෘශ්‍යමාන බලවේගවල ක‍්‍රියාකාරකම්  පිළිගැනීම නිසා සාමාන්‍ය ජන සමාජය අවුල් වීම කණගාටුදායක කාරණයකි. එබැවින් මෙවැනි තත්ත්ව අදෘශ්‍යමාන බලවේග ලෙස විශ්වාස කිරීමෙන් බැහැර වී විද්‍යාත්මක උපදෙස් සහ ප‍්‍රතිකාර තුළට යොමුවීම මගින් එම පුද්ගලයාට මෙන්ම සාමාන්‍ය ජන සමාජයද යථා තත්ත්වයට පත් කර ගත හැකිය.

 

මැරුණාම ඒක එතැනින් ඉවරයි

මේක සරල මානසික රෝගී තත්ත්වයක්

 

දොස්තර ජනක ජයසූරිය

මේ සිදුවීම දෙස අප විද්‍යාත්මකව සහ සමාජීය යන පැතිකඩ දෙකම ඔස්සේ බැලිය යුතු වෙනවා. කෙනෙකු ගේ මියයාම ඔහුගේ හිතවත් අයට කම්පනයක් ඇති කරවන බව පැහැදිලියි. එසේම ගෙල වැලලා ගැනීමක් වැනි අවස්ථාවකදී ඒ කම්පනය වඩාත් තීව‍්‍ර වෙනවා. මේ මියගිය තැනැත්තාගේ රුව දුටු එසේම ඔහුට ආවේශ වූ අවුරුදු 18ක තරුණිය කුඩා කල පටන්ම ඔහු දන්නවා. එසේම එම තරුණියගේ සමීප ඥාතිවරියක් මහනුවර ප‍්‍රදේශයේ දේවාලයක් කරනවා. ඒ නිසා ආවේශ වීම් වැනි දේවල් ඇගේ සිත තුළ තදින් කාවැදී තිබෙන්නට ඇති. එසේම දුර්වල හිත් ඇති අය මෙවැනි තත්ත්වයන්ට වඩාත් ඉක්මනින් පත්වෙනවා.  දේවාලවල කාවඩි බෙර නාදය හමුවේ නටන්නට පටන්ගන්නේ මෙවැනි දුර්වල හිත් ඇතිි අය. ඒ විනා දේවාලවල පරල වී නැටීමේ වෙනයම් හාස්කමක් නැහැ.

තරුණියට මියගිය තැනැත්තා ආවේශවීම විධිමත් මනෝ චිකිත්සාවකින් සම්පූර්ණයෙන්ම සුවකරගත හැකියි. එය සරල මානසික රෝගී තත්ත්වයක් පමණකි. ආවේශ වූ අවස්ථාවලදී ඔහු හෝ ඇය කථා කරන්නේ තම යටිසිතේ තිබුණු දේවලූයි. උදාහරණයක් ලෙස මේ සිදුවීමේදී මියගිය තරුණයාට තිබූ ප‍්‍රශ්න, ඔහු කැමැති ආහාර, දරුවාට ඔහුගේ තිබූ සෙනෙහස, බිරිඳගේ ප‍්‍රශ්න ආදිය ගැන මේ තරුණියට යම් අවබෝධයක් තිබෙන්නට ඇති.

ඒ පොදු ප‍්‍රශ්න විනා විශේෂිත වූ ප‍්‍රශ්නවලට උත්තර දෙන්න ආවේශ වූ අයකුට බැහැ. ආවේශ වීමක දී ඇත්තටම මියගිය කෙනා එතැනට එනවා කියලා ඇතැමුන් හිතනවා. ඒක මිථ්‍යාවක්. මියගිය කෙනා මිය ගියා. ඒක එතැනින් ඉවරයි.
මෙවැනි අවස්ථාවකදී ඔබ කළ යුත්තේ ආවේශ වූ තැනැත්තාගෙන් විශේෂිත වූ ප‍්‍රශ්න ඇසීමයි. එනම් ඔහු අවසන් වරට අනුභව කළ ආහාර වේල, වර්ෂයත් සමග උපන් දිනය, ඔහුගේ හැඳුනුම්පත් අංකය, මේ වගේ කිසි දේකට උත්තර දෙන්න ආවේශ වූ තැනැත්තාට බැහැ. මේ විදිහට විද්‍යාත්මකව හිතන්නේ බලන්නේ නැතිව මේවා විශ්වාසයට ගැනීම අවාසනාවන්ත තත්ත්වයක්.

මීළඟට, මියගිය තැනැත්තන්ව පෙනෙනෙවා යයි සමාජය තුළ පවතින මිථ්‍යා මතය ගැනත් අප කථා කළ යුතුයි. මේ සිදුවීමේදී ද මියගිය තැනැත්තා පෙනුණ බව, ඇෙඟ් හැපුණු බව, බයිසිකලයක පසුපස වාඩිවී ගිය බවක් දැනුන බව කියවෙනවා. මේ වගේ සිදුවීම් අප හඳුන්වන්නේ මනෝභ‍්‍රාන්ති වශයෙනුයි. මනෝභ‍්‍රාන්ති දිස්වීමට මානසික රෝගයක් තිබීම අත්‍යවශ්‍ය නැහැ. නිරෝගී අයටත් මනෝභ‍්‍රාන්ති පේනවා, දැනෙනවා. සිත ව්‍යාකූල වී සිටිනවිට, වෙහෙසට පත්ව සිටිනවිට, අධික නිදිමතින් සිටින විට මෙන්ම අධික ලෙස බීමත්ව සිටින විට වැනි විවිධ අවස්ථාවලදී මේ මනෝභ‍්‍රාන්ති දිස්වන්නට පුළුවන්.

ඒවා Visual Halluscinations  ලෙස හඳුන්වනවා.

ඇසට පෙනෙන රූප මෙන්ම අතින් අදිනවා, ඇඟේ හැපෙනවා ආදී ලෙස -දැනෙන” මනේභ‍්‍රාන්ති ද තිබෙනවා. ඒවා Tactile Halluscinations  ලෙස හඳුන්වනවා. මේවා හාස්කම් හෝ අරුම පුදුම දේවල් නොවෙයි.

මෙහිදී ආවේශ වූ තරුණිය තමන් ගෙලවැලලාගෙන මියගිය අය දුටුවා යයි පවසන්නේ අවංකවමයි. ඒ ඇය දුටුවේ මනෝභ‍්‍රාන්තියක් බව ඇය නොදන්නා නිසායි.

මියගිය ලක්සිරි නැමැත්තාව හිස නැතිව දුටු බව කියන කතාවකුත් තිබෙනවා. දරුවන් තිදෙනකුට එකවරම ඔහුව පෙනුනේ කොහොමද කියා ඔබට සිතේවි. ඇත්තටම චකිතයකින් යුතුව ගමන් කරන විට අත්තක් සෙලවීම වැනි සුළු චලනයක් පවා හිත කම්පනය කරනවා. එක් අයකු කෑගසාගෙන යනවිට අනෙක් අයත් කෑගහනවා. දුවනවා. ඒත් තමන් දුටු දේ වෙන වෙනම පවසන ලෙස ඔවුන්ට පැවසුවහොත් ලැබෙන්නේ බොහෝවිට එකම පිළිතුර නොවෙයි.

මෙවැනි සිදුවීම් ඇතැම් දේවාලවල ජනප‍්‍රියතාව ඉහළ දැමීමටත් යොදා ගන්නවා. මිනිසුන්ගේ ප‍්‍රශ්නවලට නොවිධිමත් මනෝචිකිත්සක ක‍්‍රමයකින් (දෙහි කැපීම, සුර හා නූල් බැඳීම වැනි* තාවකාලික පිළියමක් දී දස දහස් ගණනින් මුදල් කඩාවඩා ගන්නවා හැර දේවාලවලින් ඔබට ලැබෙන වෙනත් පිහිටක් නැහැ. ලක්සිරිව ඉවත් කිරීමටය කියා මහනුවර ප‍්‍රදේශයේ දේවාලයක් කරගෙන යන තැනැත්තියක් ඉදිරිපත් වීම පසුපස ඇත්තේද එවැනි ප්‍රෝඩාවක් පමණයි.