”මල් වරම් ලැබ පිපෙන තුරා නුඹ නටුවෙන් බිඳුණු එපා.”


පෙති ඇහැරෙන්නට පෙරාතුව පෙති ඇහැරවාලන සියක් දහසක් මල් කැකුළුවල ඉරණම අබිමුව අපි හඬා ඇත්තෙමු. අදටත් හඬන්නෙමු. දරුවකු වෙනුවෙන් කඳුළක් නෙතෙහි උපදින්නට ඒ දරුවා තම ලෙයින් කිරෙන් හැදුනු දරුවකුම විය යුතුද නැත. එය එසේ නොවන්නේ අයිතිය කවුරුන් සතු වුවත් කොන්දේසි විරහිතව දරුවන්ට ආදරය කරන්නට බොහෝ සිත් සතන් නිසගයෙන්ම පෙළඹෙන හෙයිනි.


එහෙත් දරුවන් උදෙසා වූ දරුවන්ගේ ලෝකය දිනා දෙන්නට ඒ කඳුළුවලට නොහැක. හෙට ලෝකයේ අනාගතයේ වගකීම් දරන්නේ ඔවුහුය. එවන් පසුබිමකදී දරුවන් කාමතුර යක්ෂයන්ගේ ගොදුරු බවට පත්වීමේ ඛේදවාචක දිනෙන් දිනම ඉහළ යමින් පවතී.

එමෙන්ම මාතෘත්වයේ මහිමයෙන් මේ විශ්වයේ පැවැත්මට උරදෙන මවුවරුන් ලෙස දිනෙක අබිසෙස් ලබන ගැහැනිය දුෂණයට හා ප‍්‍රචණ්ඩත්වයට ලක්වීමේ ප‍්‍රවණතාවද අද දිනෙන් දින ඉහළ යමින් පවතී. යුවතියන් පමණක් නොව වයස අවුරුදු 70 - 80 ඉක්මවූ වියපත් කාන්තාවන් පවා කාම ගොදුරු බවට පත්වන අවාසනාවන්ත සමාජ වටපිටාවක් නිර්මාණය වීමෙහිලා තුඩුදී ඇති හේතුසාධක බොහොමයකි.

ඒ සියල්ල අපි අපේ විමසුමට ලක් කරමු.

මෙහිලා අපි මුලින්ම ළමා අපචාර පිළිබඳව කතා කරමු.

ළමා අපයෝජන හා ළමා හිංසනය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ථ විග‍්‍රහ කරන්නේ මෙලෙසය.

සියලූම ආකාරයේ කායික හා මානසිකව ළමයාට කරන්නා වූ නොමනා කි‍්‍රයා, ලිංගික අපයෝජන, නොසලාක හැරීම හෝ කෲර ලෙස සැලකීම හෝ වාණිජමය හෝ වෙනත් ආකාරයේ සූරාකෑම් හේතුකරගෙන ළමයාගේ සෞඛ්‍ය පැවැත්ම, සංවර්ධනය, වගකීම, විශ්වාසය හෝ බලය යන සම්බන්ධතා විෂයෙහි ගරුත්වයට හානි පැමිණවීම හෝ එසේ විය හැකි කි‍්‍රයාකිරීම ළමා අපයෝජනය හා ළමා හිංසනයයි.
2009 වසරේදී පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට ළමා අපයෝජන හා ළමා අපචාර පිළිබඳ පැමිණිලි 228ක් පමණ වාර්තා විය. 2010, 2011, 2012 යන වසරවලදී පිළිවෙළින් එසේ වාර්තා වූ සංඛ්‍යාව 337ක් 346ක් හා 245ක් විය. මෙයින් වැඩි ප‍්‍රමාණයක් ලිංගික අපයෝජන, පහරදීම් හා පිළිස්සීම් සම්බන්ධ සිදුවීම්ය.

පළාත් දෙපාර්තමේන්තු නවයට වාර්තා වූ ළමා අපයෝජන හා ළමා අපචාර සංඛ්‍යාව ඊට වඩා වැඩි අගයක් ගනී.

පළාත් දෙපාර්තමේන්තු 9ට 2009, 2010 හා 2011 යන වසරවලදී වාර්තා වූ ළමා අපයෝජන හා ළමා අපචාර සංඛ්‍යාව පිළිවෙලින් 2954ක් 4029ක් හා 4445කි.

 

 

2011 වසරේදී පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට සුළු හා බරපතළ ළමා අපයෝජන සිද්ධි 4036ක් වාර්තා විය. 2012දී සිද්ධි 6027ක් වාර්තා විය.

ලිංගික සූරාකෑමෙන් ආරක්ෂාවීමට දරුවන්ට ඇති අයිතිය, හානිකර දේවල යෙදවීමෙන් ආරක්ෂාවීමට ඇති අයිතිය, වදහිංසා හෝ කෲර ලෙස සැලකීම හෝ දඬුවම්වලින් මිදීමට ඇති අයිතිය, නිදහසට හා සුරක්ෂිතභාවයට ඇති අයිතිය දරුවන්ට ලබාදී ඇත්තේ 1992දී ලංකාවේ සම්මත කර ඇති ළමා අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තියෙනි.

එහෙත් අදටත් අප රටේ මෙන්ම මේ විශ්වයේද බොහෝ දරුවන් ලිංගික අපයෝජනයන්ට හා විවිධ හිංසනයන්ට බඳුන් වෙයි.
අන්ත දුගීභාවය, දරුවන්ට මව්පිය රැකවරණය හා ආරක්ෂාව අහිමි වීම, දරුවන් හුදෙකලා වීම, දරුවා කෙරෙහි වන වැඩිහිටි පාර්ශ්වයන්හි අවධානයේ හා සැලකිලිමත්කමේ මදබව, දරුවන් අනාථභාවයට පත්වීම, මව්පිය ආදරය නොලබන දරුවන් එම ආදරය සමාජයේ වෙනත් පාර්ශ්ව වෙතින් සොයායාම, අයහපත් මිතුරු ඇසුර, අන්තර්ජාලය, විශේෂයෙන් ෆේස් බුක් (මුහුණු පොත) ස්කයිප් වැනි තාක්ෂණික ක‍්‍රම අයථා ලෙස භාවිත කිරීම, වැනි විවිධ හේතූන්ද දරුවන් අපයෝජනයන්ට පාත‍්‍රවීමට පසුබිම සකස් කරයි.
ළමා අපචාර මෙන්ම ස්තී‍්‍ර ¥ෂණයද අද බරපතළ සමාජ ඛේදවාචකයකි.

2011 වසරේදී සුළු හා බරපතළ කාන්තා අපයෝජන සිද්ධි 4811ක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට වාර්තා වූ අතර 2012 වසරේදී එසේ වාර්තා වූ සංඛ්‍යාව 7760කි.

2011 වසරේදී පොලිසිය සිදු කළ අපරාධ විශ්ලේෂණයකට අනුව මුළු අපරාධවලින් සියයට 27ක් පුද්ගල අපරාධය. එයින් සියයට 47ක් ස්තී‍්‍ර දුෂණ වේ. එම ස්තී‍්‍ර දුෂණවලින් 89%ක්ම දැරියන් දුෂණයට ලක්වීම පිළිබඳ සිදුවීම්ය.

පිළිගත හැකි වාර්තා පෙන්වා දෙන පරිදි පසුගිය දශකයක කාලය තුළ පොදුවේ ළමා අපයෝජන සිදුවීමේ ප‍්‍රවණතාව ශීඝ‍්‍රයෙන් ඉහළ ගොස් තිබේ. 2000 සිට 2010 දක්වා දශකයක් තුළ ළමා අපයෝජනවල වර්ධනය සියයට 160ක වේගයෙන් ඉහළ ගොස් ඇත. 2000 වසරේදී ළමා අපයෝජන පිළිබඳව වාර්තා වූ සිදුවීම් අතුරින් සිදුවීම් 608ක් ළමා ලිංගික අපයෝජන පිළිබඳ සිදුවීම්ය. 2011 වසරේදී එම සංඛ්‍යාව 1169කි. එම වැඩිවීම ප‍්‍රතිශතයක් ලෙස ගත් විට එය 92%ක වැඩිවීමකි.

අද තරුණ දියණිවරුන්ට මෙන්ම කාන්තාවටද තම නිවෙසේ පවා ආරක්ෂාව අහිමිවූ වාතාවරණයක් ඇතිවී තිබේ. තම නිවෙස තුළදී මෙන්ම මහ මගදී, පොදු ප‍්‍රවාහන සේවාවලදී, පාසලේදී, රැකියා ස්ථානයේදී ආදී වශයෙන් සමාජයේ සියලූම තැන්හිදී බාල වයස්කාර දැරියෝ මෙන්ම කාන්තාවෝද දුෂණයට ලක්වෙති. එමෙන්ම ලිංගික වධහිංසාවන්ට හා ඝාතනයට ගොදුරු වේ.

පාරිභෝගිකවාදී සමාජ ව්‍යුහය මත අද බොහෝ මිනිසුන් නොනවතින අරගලයක නිරත වී සිටියි. ධනය, බලය හා ලිංගිකත්වය මත තම අරමුණු කේන්ද්‍ර කරගත් බහුතර මිනිසා මගින් ගුණදහම් ඈත්ව යාමත්, සමාජ සම්මතයන් හා සම්ප‍්‍රදායයන් නොසලකාහැරීමත් පොදු ලක්ෂණයක් බවට පත්ව ඇති අයුරු දැකිය හැකිය.

 

 

ලිංගිකත්වය හා ලිංගිකත්වය විෂයෙහි නිරෝගි සාමාන්‍ය පුද්ගලයකුට ඇතිවන වුවමනාව අතිශය සාධාරණ හා ස්වභාවික දෙයකි. එහෙත් ලිංගික හැඟීම් සන්තර්පනය උදෙසා මිනිසා සොයා යන මාවත් රටක සංස්කෘතියට අනුගත විය යුතු අතර එය සමාජයීය සදාචාර සීමාවන් ඉක්මවා යන්නක් නොවිය යුතුය. විවාහය නම් නිත්‍යනුකූල බැඳීම තුළ ලිංගිකත්වයට ලැබෙන ඉඩහසර සමාජය ගෞරවයෙන් පිළිගන්නේ එකී ධර්මතාව මත පිහිටාය. එහෙත් අද පවුල් සංස්ථාව මහත් වූ දෙදරා යාමකට බඳුන් වී ඇත. ආර්ථික, සමාජයීය, දේශපාලන කාරණාවල පවුලක් තුළ පැවතිය යුතු බැඳීම හා ඒකාබද්ධතාව පළුදු වී තිබේ. අනියම් සබඳතා ඇතිවීම මෙහි එක් ප‍්‍රධාන සාධකයකි. ඇතැම් විට විවාහක පුරුෂයන් තම දියණියගේම වයසේ ළාබාල දැරියන් සමග සබඳතා ගොඩනගා ගන්නා අවස්ථා පවතී. මෙම අනියම් සබඳතාවල පදනම සෘජුවම ලිංගිකත්වයයි. දුෂණ හා ඝාතන මෙම බැඳීම්වල අවසන් ප‍්‍රතිඵලය බවට පත් වන අවස්ථා අද සමාජයේ සුලභය.

අද කාන්තාවන් රූපලාවන්‍ය ක‍්‍රම භාවිතය කෙරේ වැඩි නැඹුරුවක් දක්වයි. තම තරුණ බව සහ රූප සම්පත්තිය වැඩි කලක් රඳවා තබා ගන්නට මෙකී රූපලාවන්‍ය ක‍්‍රම සමග හැකියාව ලැබේ.

එමෙන්ම විලාසිතා කෙරෙහි දක්වන වැඩි නැඹුරුව තුළ කෙටි ඇඳුම් සහ නාරි ලක්ෂණ මතුවී පෙනෙන ආකාරයේ විලාසිතා අද ජනපි‍්‍රය වී තිබේ. ඇතැම් විට ලිංගිකත්වය යන පදනම මත මැදිවියෙහි කාන්තාවන් තරුණයින් සමග අනියම් සබඳතා ගොඩනගා ගනී. ස්තී‍්‍ර ¥ෂණ හා ඝාතන ඉහළ අගයක් ගැනීමට මේ පසුබිමද බලපායි.

එමෙන්ම සමාජයීය සම්ප‍්‍රදායන්, සංස්කෘතික හරයන් බැහැර කරන ආකල්පමය වෙනසකට සමාජය බඳුන්වීමද ළමා අපචාර හා ස්තී‍්‍ර ¥ෂණ වේගයෙන් ඉහළයාමට තවත් හේතුවකි. විශේෂයෙන්ම නිම් වළලූ පුළුල් වූ තාක්ෂණික ප‍්‍රවේශයන් මෙවැනි පෙළඹවීම් පිණිස ප‍්‍රබල ආධාරකයක් වී පවතී.

ගූගල් සමාගම ඉකුත් කාලයේ අනාවරණය කළ කරුණක් වූයේ අන්තර්ජාලය හරහා ”සෙක්ස්” යන වචනය වැඩි වශයෙන්ම සොයා ඇති රටවල් අතුරින් ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව ඇති බවයි.

ෆේස් බුක් ඔස්සේ මිතුරු සබඳතා ගොඩනගා ගැනීටම අද පාසල් දරුවන්ගේ පටන් වියපත් පුද්ගලයන් දක්වාම විවිධ පාර්ශ්ව දැඩි ලෙස ඇබ්බැහි වී සිටිති. බොහෝ අවස්ථාවල පමණ හා සීමාව ඉක්මවා යන මෙවැනි සබඳතා කෙළවර වන්නේ අනියම් සබඳතා ගොඩනගා ගැනීමෙනි. විශ්වසනීයත්වයක් තහවුරු කර නොගෙන විශේෂයෙන් ළාබාල යුවතියන් මෙවැනි සබඳතා ගොඩනගා ගැනීම ඔවුන්ගේ අනාගතය කෙරෙහි අයහපත් ලෙස බලපෑ සිදුවීම් මෑතකාලීනව බොහෝ වාර්තා විය.

ෆේස්බුක් පෙම්වතකු ඉදිරියේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ නිරුවත් වූ යුවතියකට අවසානයේ සිදුවූයේ ඇගේ නිරුවත අන්තර්ජාලයට මුදාහරින බවට කළ බියවැද්දීම් හමුවේ සියදිවි නසා ගන්නටය.

 

 

විශේෂයෙන්ම දරුවන්ට පමණ ඉක්මවා ලැබෙන නිදහසද ඔවුන්ගේ අයහපත පිණිස හේතු වේ. සිරකරුවන් නොවන නිදහසක් දියණියට මෙන්ම කාන්තාවටද ලැබිය යුතු වුවත් ඒ නිදහස මත ඇයගේ සුරක්ෂිත බවද තහවුරු විය යුතුය.

අප ඒ බව අවධාරණය කරන්නේ දිනකට කාන්තාවන් හා දැරියන් පස්දෙනකුට වැඩි සංඛ්‍යාවක් ලිංගික අපයෝජනයට හා දුෂණයට ලක්වන වාතාවරණයකදීය. එමෙන්ම පොලිස් වාර්තා පෙන්වා දෙන පරිදි ඉකුත් වසරේ මුල් මාස නවයක කාලය තුළ පමණක් කාන්තාවන් 312 දෙනෙකුත් දරුවන් 1608 දෙනෙකුත් දුෂණයට හා අපයෝජනයට ලක්වූ වාතාවරණයකදීය. තවද හෙළිදරව් වන සිද්ධීන් මෙන්ම හෙළිදරව් නොවී සිදුවන ස්තී‍්‍ර දුෂණ හා ළමා අපචාරද රටේ පවතින පසුබිමකදීය.

අප මේ තොරතුරු මෙලෙසින් විග‍්‍රහ කර දක්වන්නේ ළමා අපයෝජන හා ස්තී‍්‍ර දුෂණ වළක්වාලීම හෙට දවසේ මේ මුළු මහත් සමාජයේම හිතසුව පිණිස වන කාරණයක් වන හෙයිනි. එහෙත් මේ වැනි කරුණු සම්බන්ධව මාධ්‍යයට අවශ්‍ය තොරතුරු ලබාදීමට වෘත්තීමය වශයෙන් බැඳී සිටින පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගේ කනගාටුදායක පිළිවෙත පිළිබඳවද අපි මෙහිදී අපේ කනගාටුව පළ කරමු.

ආකල්පමය වශයෙන් සමාජය පරිවර්තනයකට ලක් කිරීම, ආගමික නායකයන් ඒ විෂයෙහි කි‍්‍රයාකාරී වීම, පවුල මත විවෘත සහයෝගී පදනමක් ගොඩනැංවීම, තාක්ෂණය උන්නතිය පිණිස මිස විනාශය උදෙසා භාවිත නොකිරීම, ආගමික ඉගැන්වීම් ගරු කිරීම, සමාජශීලී වීම තුළින්ම සමාජ යථාර්ථය මැනවින් තේරුම් ගැනීම පිරිමියාගේ ගොදුරක් බවට පත් නොවීමට කාන්තාවන්ට පිටිවහලක් වේ.
විලාසිතා අනුගමනය කිරීමේදී ළඳක් මිස වෙසඟනක් නොවන ආකාරයට විලාසිතා භාවිත කිරීම, අනවශ්‍ය ලෙස ශරීර අවයව ප‍්‍රදර්ශනය නොවන අයුරින් ඇඳුම් ඇඳීම සහ ස්වයං හික්මීමක් ඇති කර ගැනීම, කුඩාවියේ සිටම කාන්තාවන් දෙස ගෞරවයෙන් බලන්නට පුරුෂ චින්තනය හැඩගැස්සවීම, ස්තී‍්‍ර දුෂණ වළක්වා ගැනීමට ගත හැකි විසඳුම් වෙයි.

දින දින වැඩි වන ළමා අපචාර සහ ස්ත‍්‍රී දුෂණ සඳහා ඔබටත් අදහස් දැක්වීමට තිබේද? ඔබේ ප‍්‍රතිචාරය  irida@wijeya.lk යන ඊමේල් ලිපිනයට හෝ 0112314886 යන ෆැක්ස් අංකයට යොමු කරන්න.

 

දැඩි දඬුවම් දීම එක් පිළියමක්

යුද්ධයෙන් විපතට පත්වූ කාන්තාවන්ගේ සංගමයේ සභාපති විශාඛා ධර්මදාස

 

සංස්කෘතික හා සමාජයීය සබඳතාවල පාරම්පරික ආරක්ෂණ ජාලයක් තිබෙනවා. ක‍්‍රමිකව සමාජය වෙනස් වීමත් සමග මෙය බිඳවැටිලා. ඒ බිඳවැටීම දිනෙන් දින ළමා අපචාර හා ස්තී‍්‍ර දුෂණ ඉහළ යාමට හේතුවක් වෙලා.

අද සුළු අවිවල පටන් අවි සංසරණය බහුල වෙලා. මිනිසුන් විශාල මානසික පීඩනයකට බඳුන් වෙලා. කාන්තාවන් දුෂණය කිරීම, දරුවන් අපයෝජනය කර මරා දැමීම මේ අවි සංසරණය හා මානසික පීඩනය තුළ සරල කාරණයක් වෙලා. මෙය දැඩි ඛේදවාචකයක්.

මේ තත්ත්වය වළක්වා ගන්න ආගමික නායකයන්ට ලොකු කාර්යයක් කළ හැකියි. එමෙන්ම ළමා අපයෝජනයට හා ස්තී‍්‍ර දුෂණයට එරෙහි නීති දැඩිව කි‍්‍රයාත්මක කිරීම, කාන්තා දුෂණ, ළමා අපචාර සම්බන්ධ පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබාදීම, මේ අපරාධ වළක්වා ගැනීමට එක් මගක්.

මාධ්‍ය, අධිකරණ පද්ධතිය, පොලිසිය ආදී බොහෝ පාර්ශ්වවල ඒකාබද්ධතාවෙන් ස්තී‍්‍ර දුෂණ හා ළමා අපචාර වළක්වා ගැනීම සඳහා කටයුතු කළ යුතුයි. එය තනිව එක් පාර්ශ්වයකට කළ හැක්කක් නෙවෙයි.
 

 

අද ළමා අපචාර ස්ත‍්‍රී දුෂණ වැඩි වශයෙන් වෙන්නේ විවාහකයන් අතින්

ස්තී‍්‍ර දුෂණ හා ළමා අපචාර සිදුවීමේ ප‍්‍රතිශතය අද වැඩිවී තිබෙනවා. විවිධ හේතු මත විවාහවීමේ වයස් සීමාව ඉහළ යාමත් ඊට එක් හේතුවක්. විවාහය කල් දැමීමේදී ලිිංගික අවශ්‍යතා ඇතිවීම ස්වභාවිකයි. එහිදී පුද්ගලයන් වෙත පීඩාකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඒ පීඩනය විවිධ වේෂයන්ගෙන් පුපුරා යා හැකි අතර ළමා අපචාර හා ස්තී‍්‍ර දුෂණ එහි එක් ප‍්‍රතිඵලයක්.

 

අද කාන්තාව සම්බන්ධ සමාජයීය ආකල්පය හුඟක් වෙනස් වෙලා තියෙනවා. අන්තර්ජාලය ඇතුළු සන්නිවේදන මාධ්‍යයන් ගොඩනංවන්න බලාපොරොත්තු වෙන්නේ කාමුකත්වයට බර සමාජයක්. කාමාශාව මේ ඔවුන්ගේ සමාජය තුළ වඩා උද්දීපනය වී තිබෙනවා.

බොහෝ විවාහක පිරිමින් බහුතරය පවා අද ලිංගික සදාචාරය පිළිබඳ වන සංස්කෘතික හා ආගමික හැඟීම් මත පරිපූර්ණ ලිංගික සන්තර්පනයක් ලබන්නෙ නැහැ. විවාහ සංස්ථාව තුළ ඇති අනවශ්‍ය ලිංගික සදාචාරය බැහැර වීම සිදුවිය යුතු දෙයක්. මාධ්‍ය මගින් කරනු ලබන පෙළඹීම් හරහා අද ලිංගිකත්වයට බර සමාජයක් නිර්මාණය වෙමින් පවතිනවා.

මේ සමාජයේ බාල අපචාර හා ස්තී‍්‍ර දුෂණ සිදුවීමේ ප‍්‍රවණතාව වැඩි වී තියෙනවා. ළමා අපචාර හා ස්තී‍්‍ර දුෂණ වැඩි වශයෙන් වෙන්නේ විවාහකයන් අතින්.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත මගින් පැහැදිලි කරන පරිදි අද වැඩිහිටි පරම්පරාව හුඟාක් නිරෝගිමත්. ඒ නිරෝගිමත්භාවය මත වැඩිහිටියන්ට ලිංගික කි‍්‍රයාකාරකම්වල නියැලීමට ඇති ශක්තිය පවා යම් වර්ධනයක් සිදුවී තිබෙනවා.

ශ්‍රී ලංකාව වැනි රටවල පවුල් සංස්ථාව තුළ වැඩිහිටි පුරුෂයන්ටත් වඩා වැඩිහිටි කාන්තාවන් වැඩිහිටිභාවය තුළ ලිංගික කි‍්‍රයාකාරකම්වල යෙදීම ප‍්‍රතික්ෂේප කරනවා. මේ තත්ත්වය මත වැඩිහිටි පිරිමි ස්තී‍්‍ර දුෂණ හා ළමා අපචාර සඳහා පෙළඹෙනවා. අද ළමා අපචාර හා ස්තී‍්‍ර දුෂණ වැඩිපුර කරන්නේ වියපත් පුරුෂයන්.

ඒ වගේම කාන්තාවන්ගේ විලාසිතා, කාමුකත්වය ඉස්මතු කරන රූපලාවන්‍ය ක‍්‍රමත් ඇයගේ සුන්දරත්වය හා මාතෘත්ව ගුණ ඉස්මතු කරනවා වෙනුවට ඇය කෙරේ ලිිංගික ආකර්ෂණයක් ඇති කරනවා. එයත් ස්තී‍්‍ර දුෂණ වැඩිවීමට හේතුවක්. මෙවැනි කාන්තාවන් ඇති කරන පෙළඹවීම තුළ අවසානයේ දුෂණයට ලක් වෙන්නේ අහිංසක තරුණියක්, කාන්තාවක් නැති නම් මන්දමානසික දැරියක්.

ආගමික ශික්ෂණයක් පවුල මත ඇති කිරීම, සමාජයීය ආකල්ප ආගමික ශික්ෂණයක් අනුව පරිවර්තනයට ලක් කිරීම, සංස්කෘතික හරයන්ට ගරු කරන ආගමික පිළිවෙත් පිළිගන්නා සමාජ සංස්කෘතියක් හා මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම, මේ තත්ත්වය වෙනස් කරන්න තියෙන විසඳුම් ලෙස ඉදිරිපත් කළ හැකියි.