දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් යම් සමාජ කතිකාවක් ගොඩ නැගී ඇති බව පෙනේ. දණ්ඩ නීති සංග්‍රහයේ 308 අ වගන්තියේ දැක්වෙන “ඕනෑකමින්” යන වචනය වෙනුවට “චේතනාන්විත” යන යෙදුම මෙම සංශෝධිත පනත් කෙටුම්පතට ඇතුළත් කර තිබේ.
එමෙන් ම මේ සංශෝධිත පනත් කෙටුම්පතෙහි 308 ආ 1 වගන්තිය නමින් අලුත් වගන්තියක් ඇතුළත් කර ඇති අතර එහි ශාරීරික දඬුවම් කිරීමේ වරද කරන අවස්ථාව විස්තර කර තිබේ. එය දැක්වෙන්නේ පහත පරිදි ය.
වයස අවුරුදු 18 ට අඩු යම් තැනැත්තකුගේ භාරකාරත්වය, භාරය හෝ ආරක්ෂකත්වය දරා සිටින විට දඬුවම් කිරීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් හෝ නිවැරැදි කිරීමේ ක්‍රමයක් වශයෙන් කෙතරම් අඩු වුව ද යම් ප්‍රමාණයක වේදනාවක් හෝ අපහසුතාවක් හෝ ඇති වීමට හේතු වන බවට දැනුම ඇතිව ශාරීරික බලය භාවිත කර යම් ක්‍රියාවක් සිදු කරන අවස්ථාවකදීත් එම වගන්තියේ ම, ආ, අනු වගන්තියෙහි දැක්වෙන පරිදි කෙතරම් අඩු වුවත් යම් ප්‍රමාණයක අවමානයක් ඇති වීමට හේතු වන බවට දැනුම ඇතිව ශාරීරික නොවන යම් ක්‍රියාවක් සිද්ධ කරන කවර හෝ තැනැත්තකු ශාරීරික දඬුවම් කිරීමේ වරද සිදු කරන බවය.
308 ආ 1 අ අනුවගන්තියෙන් අවධාරණය කරන්නේ ශාරීරික දඬුවම් ගැනය. 308 ආ 1 ආ අනුව්‍යවස්ථාවෙහි ශාරීරික නොවන දඬුවම් පිළිබඳ දැක්වේ. එයින් අදහස් වන්නේ මානසික දඬුවම් ගැන ය. මෙපරිදි අවුරුදු 18 ට අඩු දරුවකුට යම් තැනැත්තකු විසින් ශාරීරික හෝ මානසික දඬුවමක් පනවනු ලබන්නේ නම් එහිදී අදාළ තැනැත්තා යටත් වන දඬුවම් සම්බන්ධ විධිවිධාන 308 ආ 2 වගන්තියෙහි සඳහන් වේ. ඒ අනුව මාස 6 නොඉක්මවන කාලයකට බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් ලක්ෂයක් දක්වා දීර්ඝ කරනු ලැබිය හැකි දඩයකින් යන ආකාර දෙකෙන්ම හෝ එක් ආකාරයකින් දඬුවම් කළ හැකි බව දැක්වේ. එසේම වින්දිත බලපෑමේ ප්‍රකාශය සැලකිල්ලට ගෙන අධිකරණය නිශ්චය කරන යම් වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කළ හැකි ය.
එසේම 308 ආ 3 වගන්තිය පරීක්ෂා කිරීම ද වැදගත් ය. දරුවන් රැඳී සිටින ස්ථාන ගැන එයින් අවධානය යොමු කර ඇත. ඒ අනුව රජයේ අධිකාරී ආයතනයක, පුහුණු පාසලක, නේවාසිකාගාරයක, ළමා නිවාසයක, දිවා සුරැකුම් මධ්‍යස්ථානයක භාරයේ යම් දරුවකු සිටින්නේ නම් වෙසෙසින් ම අදාළ දරුවා ශාරීරික හෝ මානසික අශක්නුතා සහිත අයකු වනවිට එවැනි දරුවන්ට දඬුවම් කරන්නන්ට ලබා දෙන දණ්ඩනය වැඩි කර ඇත. ඒ අනුව මෙම සංශෝධිත පනත් කෙටුම්පතෙහි දැක්වෙන්නේ මාස හයකට නොඅඩු අවුරුදු දෙක නොඉක්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් ලක්ෂය දක්වා වූ දඩයකට හෝ දඬුවම් නියම කළ හැකි බව ය. මෙහිදී ද වින්දිතයාගේ බලපෑමේ ප්‍රකාශය මත පදනම් ව වන්දි මුදලක් ද ගෙවන ලෙස අධිකරණයට නියෝග කිරීමට පිළිවන.
වයස අවුරුදු 18 ට අඩු දරුවකු තවත් දරුවකුට කරන වධ හිංසාවක දී ලබා දෙන දඬුවම් සම්බන්ධයෙන් ද මේ පනත් කෙටුම්පතෙහි විධිවිධාන දැක්වේ. ඒ අනුව මාස හයකට අඩු බන්ධනාගාරගත කිරීමකින් දඩුවම් කළ හැකි ය. මෙපරිදි මෙම සංශෝධිත පනත් කෙටුම්පතෙන් මූලික ව විශේෂයෙන් ම එහි 308 අ සහ ආ වගන්ති මගින් වයස 18 ට අඩු දරුවකුට කායික හා මානසික වධ හිංසා කරන තැනැත්තකුට ලබා දෙන දඬුවම් ප්‍රමාණය වැඩි කිරීමත් විශේෂ භාරකාරත්වයන් යටතේ සිටින දරුවන් කායික හෝ මානසික වධ හිංසනයට ලක්කිරීමේ දී ලබා දෙන දඬුවම් ගැනත් විධිවිධාන දක්වා තිබේ. එමෙන් ම අවසානයට පැහැදිලි කළ ආකාරයට යම් ළමයකු තවත් ළමයකු වධ හිංසාවට ලක්කරන අවස්ථාවක දී අදාළ හිංසක ක්‍රියාවේ නිරත ළමයාට ලබා දෙන දඬුවම් ගැනත් වශයෙන් මේ සංශෝධිත පනත් කෙටුම්පතෙන් දණ්ඩ නීතී සංග්‍රහය සංශෝධනය කර ඇත.
තවදුරටත් මෙම පනත් කෙටුම්පත පිරික්සීමේ දී 314 අ අනු වගන්තිය ද වැදැගත් වේ. එහි දැක්වෙන්නේ ළමයින්ට ස්වෙච්ඡාවෙන් තුවාල කිරීම ගැන ය. දණ්ඩ නීති සංග්‍රහයට අනුව තුවාල කිරීම වරදක් වේ. ළමයින්ට ස්වෙච්ඡාවෙන් තුවාල කිරීමක දී අවුරුදු 2 දක්වා බන්ධනාගාරගත කිරීමක් හෝ රුපියල් 5000 ක දඩ මුදලක් පැනවිය හැකි පරිදි දණ්ඩ නීති සංග්‍රහය අදාළ 314 අ අනු ව්‍යවස්ථාව මගින් සංශෝධනය කර තිබේ. 316 අ වග්නිතය ප්‍රකාරව ළමයකුට ස්වෙච්ඡාවෙන් බරපතළ තුවාල සිදු කරනු ලබන අවස්ථාවක දී වරද කරන තැනැත්තා අවුරුදු 10 කට බරපතළ වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීමකට දඩ මුදලක් පැනවීමකට යන දඬුවම්වලට යටත් කළ හැකි අතර එවැනි තැනැත්තන්ට එරෙහිව වන්දි මුදලක් ගෙවන ලෙස ද අධිකරණයට නියෝග කිරීමට පිළිවන.
මෙම පනත් කෙටුම්පතෙහි හරය විමසීමේ දී පැහැදිලි වන්නේ දණ්ඩනය සම්බන්ධයෙන් පවතින සීමා ඉහළ දැමීමක් කර ඇති බව ය. එනම්, අවුරුදු 18 ට අඩු දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් එතෙක් පැවැති සීමා තවදුරටත් දැඩි කර ඇති බව ය. විශේෂයෙන් ම මෙම සංශෝධිත පනත් කෙටුම්පතෙන් ශාරීරික දඬුවමට අමතරව මානසික වධ හිංසනයකට ලක් කිරීමත් චේතනාන්විතව කරනු ලබන වරදක් හැටියට අර්ථ ගන්වා ඇත. ගුරුවරුන් විසින් දරුවන්ට දඬුවම් කරනු ලැබීමට අදාළව ගත්විට මෙම සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහ පනත් කෙටුම්පත අලුත් දෙයක් නොවන බව මගේ අදහස යි. එහි අර්ථය එවැනි දණ්ඩන සම්බන්ධ නීතිමය පරිසරයක් දැනටමත් පවතින බව ය. ශ්‍රී ලංකාව 1989 අන්තර්ජාතික ළමා අයිතිවාසිකම් සම්මුතියෙහි පාර්ශ්වකරුවෙකි. ඒ අනුව ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියක් ද අපට ඇත. එයින් දරුවාගේ වැඩිම යහපත අරමුණු කර තිබේ.
අන්තර්ජාතික ළමා අයිතිවාසිකම් සම්මුතියෙහි 19 වැනි ව්‍යවස්ථාවෙහි පැහැදිලිව දැක්වෙන්නේ ළමයකු මවුපියන්ගේ හෝ නීත්‍යනුකූල භාරකරුගේ හෝ භාරකාරත්වය දරන වෙනත් අයකුගේ ආරක්ෂක රැකවරණය යටතේ සිටින විට සියලු ආකාරයේ ශාරීරික හෝ මානසික හිංසා පීඩාවලින් අනතුරුවලින් පරිභවයට පාත්‍ර කිරීමෙන් නොසලකා හැරීමෙන් හෝ නොසැලකිලිමත් ලෙස සලකනු ලැබීමෙන් වෙනස්කම් කිරීමෙන් හෝ අයථා ලිංගික සම්බන්ධතාවලට භාජනය කිරීමෙන් ළමයා ආරක්ෂා කිරීම සඳහා සියලුම ව්‍යවස්ථාදායක පරිපාලනමය සමාජමය සහ අධ්‍යාපනික පියවර ගත යුතු බව ය. මේ විධිවිධාන අපේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට ඇතුළත් කර තිබෙන බව මතක් කළ යුතු ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 11 වැනි ව්‍යවස්ථාවේ සඳහන් පරිදි කිසිම තැනැත්තකු කෲර අමානුෂික අවමන් සහගත සැලකීමට භාජන නොකළ යුතු ය. එය ළමයින්ට ද අදාළ ය. මෙනයින් පැහැදිලි වෙන්නේ මෙම සංශෝධිත පනත් කෙටුම්පතෙන් ප්‍රකාශිත දණ්ඩන පිළිබඳ සමාජයේ විසල් අවධානයක් යොමුව තිබුණ ද එය අලුත් නීතිමය තත්වයක් නොවන බවත් ඊට සම්බන්ධ නෛතික පරිසරයක් මේ වෙනවිටත් රටේ පවතින බවත් ය. එහි එක් අවස්ථාවක් වශයෙන් ඉතා මෑතක දී ලබා දුන් නඩු තීන්දුවක් උපුටා දැක්වීමට මම කැමැත්තෙමි.
ෙශ්‍ර්ෂ්ඨාධිකරණ නඩු අංක SC/FR/97/2017 හේවාමද්දුමගේ කරුණාපාල සහ තවත් අය එදිරිව ජයන්ත ප්‍රේමකුමාර සිරිවර්ධන සහ තවත් අය විසින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 2021 පෙබරවාරි 12 වැනිදා ය. එස්. තුරෙයිරාජා ෙශ්‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුතුමා එකී නඩු තීන්දුව ලබා දෙමින් ශාරීරික හිංසනය පිළිබඳ දීර්ඝ වශයෙන් නීතිය පැහැදිලි කර තිබේ. සෑම ශාරීරික දඬුවමක් ම වධ හිංසනයක් ලෙස ගිණිය නොහැකි වුව ද දරුවකුට නෛසර්ගිකව හිමිව ඇති ආත්ම ගරුත්වය නොසලකා හරිමින් කායික හෝ මානසික දඬුවමක් පනවන බව පෙනී යන්නේ නම් එය අමානුෂික සහ පහත් කොට සැලකීමේ දඬුවමක් හැටියට සැලකිය හැකි බව විනිසුරුතුමා ඔහුගේ තීන්දුවෙන් ප්‍රකාශයට පත් කළේ ය. වැඩිහිටියකුට එරෙහිව තවත් වැඩිහිටියකු වධ හිංසනයක් කළහොත් හිංසනයට ලක් වූ වැඩිහිටියාට ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි වුව ද ළමයකු සම්බන්ධ තත්වය ඊට වෙනස් ය. නිවෙසේ දී හා පාසලේ දී නිවැරැදි මාර්ගයට ගැනීමේ චේතනාවෙන් ළමයකුට දඬුවම් පැමිණවීම සිදු වන අතර ළමයා අවදානමට ලක් කළ හැකි කාණ්ඩයට අයත් හෙයින් ළමයාට ඉහළ සමාජ රැකවරණයක් දිය යුතුය යන්න මෙම නඩු තීන්දුවේ ප්‍රධාන අවධාරණයකි. දරුවන්ගේ ඉහළම භාරකරු බවට අධිකරණය පත්වන බවත් දරුවන්ට යුක්තිය සැලසීමට අදාළව අධිකරණය විශාල වගකීමක් දරන බවත් විනිසුරුතුමා ප්‍රකාශ කළේ ය.
මෙම සංශෝධිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොඩනැගී ඇති සමාජ කතිකාවෙන් දරුවන් විෂයයෙහි ගුරුවරුන්ට ක්‍රියා කළ හැකි ආකාරය ගැන වැඩි අවධානයක් යොමු කර තිබේ. මා විශ්වාස කරන පරිදි පාසල් ගුරුවරුන් වෛරයක් පිරිමැසීම වෙනුවෙන් දරුවන්ට දඬුවම් ලබා දෙන්නේ නැත. එහෙත් දරුවකු කායික හෝ මානසික හෝ දඬුවමකට ලක් කිරීම එම දරුවාගේ අනාගතය කෙරෙහි අහිතකර ලෙස බලපෑමට ඉඩ තිබේ. මෙහි දරුවන් සහ ගුරුවරුන් වශයෙන් දෙපැත්තක් ඇත. ගුරුවරයකු දරුවකුට දඬුවම් කිරීමෙන් තමන්ට වාසියක් සලසා ගැනීම අරමුණු නොකරන බව ගුරුවරියක හැටියට මම විශ්වාස කරමි. දරුවකු යනු කෲරත්වයෙන් තොරව මෘදු මොළොක් බවින් හා සැලකිල්ලෙන් පෝෂණය කළ යුතු සහ රැක බලා ගත යුතු වටිනා ජාතික සම්පතක් බව යථෝක්ත නඩු තීන්දුවෙන් ප්‍රකාශයට පත් කර ඇති බව ද සිහිපත් කිරීම වටී.
මෙම සංශෝධනය පිළිබඳව ගුරු සංගම් දක්වන අදහස්වලින් පැහැදිලි වන්නේ මෙය නීතියක් වූ පසු ගුරුවරුන්ට දරුවන් සඳහා දඬුවම් පැමිණවීමට නොහැකි බවටත් එසේ කළහොත් ගුරුවරුන්ට හිරේ විලංගුවේ වැටීමට සිදුවෙතියි යන අදහසකත් ඔවුන් සිටින බවටත් ය. දරුවා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ දී ගුරුවරයා, ළමයා, මවුපියන් සහ සමාජය යන සියලු පාර්ශ්ව කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් ය. ශාරීරික දඬුවම් ප්‍රතික්ෂේප කිරීම යනු විනය පිළිබඳ සංකල්පය ප්‍රතික්ෂේප කිරීමක් නොවන බව පිළිගත යුතු බවත් දරුවන්ගේ සංවර්ධනය රඳා පවතින්නේ ඔවුන්ගේ පරිණාමය වන හැකියාවට අවශ්‍ය සහයෝගය ලබා දෙන මවුපියන් සහ වැඩිහිටියන් මත බවත් යථෝක්ත නඩු තීන්දුවෙන් ප්‍රකාශ විණි.
එම නඩු තීන්දුවේ දී විනිසුරුතුමා තවදුරටත් අවධාරණය කරන්නේ දණ්ඩනය පැමිණ තිබෙන්නේ දඬුවමක් මගින් කෙනකු නිවැරැදි කිරීමේ අරමුණින් වුවත් ඊට වඩා වැදගත් වන්නේ ස්වයං විනය තමන් විසින්ම ඇති කර ගත හැකි ආකාරයට දරුවන් අතර වර්ධනයක් ඇති කිරීම බවය. ඒ අරබයා ගුරුවරුන් හා වැඩිහිටියන් වගකීමෙන් කටයුතු කළ යුතුය යන්න ද එහි එක් අවධාරණයකි. මෙනයින් පාසලක දී දරුවන් ශික්ෂණය කිරීමේ අරමුණින් දණ්ඩන පැනවීමක දී එසේ ලබා දෙන දඬුවම් කෲරත්වයෙන් තොරව මෘදු බවින් යුක්තව ක්‍රියාත්මක කළ හැකි නම් එහි දී දරුවාගේ වැඩිම යහපත සලකමින් ඔවුන් යහමගට ගැනීමට ගුරුවරුන්ට කටයුතු කළ හැකි ය. එහිදී ද දඬුවමකට වඩා විනය පවත්වා ගැනීමට පියවර ගැනීමේ හැකියාව පාසල් සතු විය යුතු බව මගේ අදහස යි. සෑම ළමයකුටම ශාරීරික මානසික දඬුවම්වලින් වැළැකීමේ අයිතිවාසිකමක් ඇති බව පිළිගන්නා අතර මවුපියන්ට, ගුරුවරුන්ට සහ වැඩිහිටියන්ට ගරු කිරීමේ යුතුකමක් සහ ළමයකු වශයෙන් හැසිරීමේ වගකීමක් ද ළමයා සතු බව ය.
(*** සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දඬුවම් පනත බිල්ලෙක්ද?