ලක්දිව පුරා බිහිව ඇති විහාරස්ථානයන්හි සිහල කලාකරුවා කර ඇත්තේ තමන්ගේ හදවතෙහි ගැඹුරුම තැනින් නැගී ආ දාර්ශනික සංකල්ප එක්කොට බුදුන් වහන්සේගේ ජීවිතයේ සහ බුදු දහමේ මූලික හරය ඔප්නංවමින් විචිත‍්‍රවත් වූ වර්ණ සහ රේඛා මගින් මනස්කාන්ත අයුරින් බොදු තතු නිරූපණය කිරීමයි. බුදුන් වහන්සේගේ ජීවිතය සහ දර්ශනයෙන් චිත‍්‍ර ශිල්පීන් ලැබූ ආශ්වාදය සහ අභාසය හෙළ බොදු කලාව මගින් මනාව කැපී පෙනේ.

 

සුන්දරත්වය සහ ආධ්‍යාත්මික ගුණය

මෙවැනි දැහැමි පදනමක් මත ගොඩනැගුනු හෙළ දෘශ්‍ය කලා නිර්මාණ සුන්දරත්වයෙන් සහ සියුම් වූ ආධ්‍යාත්මික ගුණයන්ගෙන් ද යුක්ත වේ. විශේෂයෙන් පෞරාණික බෞද්ධ කලා නිර්මාණ වෙතින් දැක්වෙන්නේ ගැඹුරුවූත් උසස් වූත් රසාලිප්ත සෞන්දර්යාත්මක අගයන්ය. බොහෝ බොදු සිතුවම් කෙනකුගේ ඇතුළාන්තය කෙරෙහි දැඩි බලපෑමක් දක්වයි. නරඹන්නන් තුළ නිශ්චල, තියුණු සාරගර්භ හැඟුම් උපදවමින් හෘදයාභ්‍යන්තරයට වදියි. එමගින් උතුරායන කරුණා මෛත‍්‍රි ගුණය මෙන්ම මානසික සාමය ද උදාකිරීමට පොහොසත් වේ. පොදුවේ ගත්කල බොදු සිතුවම් කෙනෙකුගේ මනස සන්සුන් කරන්නා වූ බලපෑමක් ඇති කරයි. සිත් තුළ සියුම් වූ කලා රසවින්දනයක් සහ සතුටක් දැනවීමට ද බොදු සිතුවම් සමත් වේ. බොදු සිතුවම් බුදුන්ගේ ජීවිතය සහ ධර්මය පිළිබඳ විස්තර ප‍්‍රකාශ මෙන්ම කලා රසවින්දනය සහ බුද්ධාලම්භන ප‍්‍රීතිය දනවන මහඟු මාධ්‍යයකි.

 

අපට ආවේනික වූ සිතුවම්

හෙළ දෘශ්‍ය කලා ඉතිහාසය වසර 2200ක් ඉක්මවන කාලයක් පුරා විහිදේ. හෙළ බොදු සිතුවම් සැලකීමේ දී දැක්විය යුතු වැදගත් කරුණක් නම් ඉන්දියාවෙන් බැහැර ලොව ඇති පැරැණිතම බොදු සිතුවම් ඇත්තේ අප රටෙහි වීමයි. අප චිත‍්‍ර ශිල්පීන් ඉන්දියානු කලා නිර්මාණයන්ගෙන් ආශ්වාදය ලැබූව ද ඔවුන් ඉන්දියානු සම්ප‍්‍රදාය සහ සංකල්ප සම්පූර්ණයෙන් පිළිගත්තේ හෝ අනුගමනය කළේ නැත. තමන් සතු වූ ගැඹුරු බොදු ආධ්‍යාත්මික ගුණයන් සහ ගැඟීම් මගින් ලැබුවා වූ සංයමය ප‍්‍රයෝජනයට ගනිමින් තමනටම ආවේනික වූ සිතුවම් ප‍්‍රවේශ ක‍්‍රමය සහ සම්ප‍්‍රදාය දියුණු කරගත්හ. බාහිර ලෝකයෙන් ලැබූ ආභාසය තමන් තුළ පිහිටි බොදු සංයමයෙන් ඔපමට්ටම් කර ගනිමින් ඒ මගින් තමනටම සුවිශේෂ වූ විචිත‍්‍රවත් කලා නිර්මාණ බිහිකිරීමට අප සිත්තරන් පොහොසත් විය.

 

උසස් කලා නිර්මාණයන්

හෙළදිව උතුරේ, දකුණේ, නැගෙනහිර සහ බටහිර මෙන්ම මධ්‍යම කඳුකරයේ සහ වෙරළාසන්න ප‍්‍රදේශයන්හි විසිරී පැතිරී ඇත්තේ බොදු දෘශ්‍ය කලා නිමැයුම් සහිත ඓතිහාසික ස්ථාන රාශියකි. බොදු දෘශ්‍ය කලා වස්තූන් හෙළදිව සංස්කෘතික පරිසරය විචිත‍්‍රවත් කරන්නා වූ ලක්‍ෂණයි. බොදු සිතුවම් වඩාත්ම දැකිය හැක්කේ රට පුරා ඇති විහාර සහ ආරාම ආශ‍්‍රිතවයි. මින් සමහරක් පැරැුණි කල බිහි වූ ඒවාය. මේවා අතර අප පැරණි හෙළ රජ දරුවන්ගේ අනුග‍්‍රහයෙන් බිහි වූ රාජමහා විහාර සුවිශේෂි වේ. බොදු සිතුවමෙන් සැරසී ඇති විචිත‍්‍රවත් වූ පැරණි ස්ථාන රාශියක්ම ඇත්තේ අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල සහ මහනුවර ඇතුළු පැරණි රාජධානි නගර ආශ‍්‍රිතවය. මේ නගරයන්හි ඇති උසස් කලා නිර්මාණ නිසාම මෙම ස්ථාන ‘‘ලෝක උරුමයන්’’ ලෙස යුනෙස්කෝ ආයතනය විසින් ලොවපුරා සැලකිල්ලට භාජනය කර තිබේ. අප රට පැරණි බොදු සිතුවම් රාශියක්ම මෙකල දැකිය හැක්කේ ශේෂ වූ කොටස් වශයෙනි. පැරණි ගල් ලෙන් සහ ඓතිහාසික ස්ථානයන්හි මේවා දැකිය හැක. කොටස් වශයෙන් තිබුණ ද ඒ වෙතින් පවා එකල සිත්තරුන්ගේ කලා නිපුනත්වය සහ සෞන්දර්ය ඇගයීමේ හැකියාව මනා ලෙස දෘශ්‍යමාන වේ. 18 හා 19 ශත වර්ෂයන්හි දී මෙන්ම පසුකාලයේ දී බිහි වූ සිතුවම් රාශියක්ම ආරක්‍ෂා සහිතව පවතී. මේවා අතර සෞන්දර්ය රසය සහ ආධ්‍යාත්මික ගුණයෙන් පිරුණ නිර්මාණ රාශියකි.

 

සිතුවම්හි තේමා

බහුල වශයෙන් බොදු සිතුවම්හි තේමාව වී ඇත්තේ ගෞතම බුදුන්ගේ ජීවිතයේ වැදගත් අවස්ථා මෙන්ම ජාතක කතාය. ඒ හැර අප රට ශ්‍රේෂ්ඨ බෞද්ධ රජ දරුවන් සහ සිද්ධීන් සම්බන්ධ තේමා ද හෙළ බොදු සිතුවම්හි දැකිය හැක. ජාතක කතා තේමා වශයෙන් යොදාගත් සිතුවම් අතර වෙසතුරු ජාතකය විශේෂ අවධානයට ලක්වී තිබේ. බුදුරුව ඉතා විචිත‍්‍රවත් අයුරින් චිත‍්‍රගත කර තිබේ. එක් එක් ඉරියව් සහ හස්ත මුද්‍රා යොදා සංකේතාත්මකව බුදුරුව දක්වා ඇත. සීගිරි ලෙන් සිතුවම් පැහැදිලි තේමාවකින් තොර වූ ඒවා වුවත් ආධ්‍යාත්මික ගුණයන්ගෙන් යුක්ත වූ ඒවා ලෙස සැලකිය හැක. එක් එක් විද්වතුන් සීගිරි චිත‍්‍ර පිළිබඳව විවිධ මත සහ තේමා දක්වා තිබේ.

 

සිතුවම්වල ඉතිහාස කාලය

බොදු සිතුවම්හි පෙනෙන විවිධ සම්ප‍්‍රදාය සහ ලක්‍ෂණ සලකා අප රට සිතුවම් ඉතිහාසය කාල හතරකට බෙදා දැක්විය හැකිය.   1. අනුරාධපුර සහ පොලොන්නරුව රාජධානි අගනුවර ලෙස පැවති සම්මත වර්ෂ පූර්ව 3 වැනි සියවස සිට 13 වැනි සියවස දක්වා වූ සම්භාවනීය කාලය. 2. රාජධානී තැනින් තැනට සංක‍්‍රමණය වූ සියවස් 13 සිට 17 දක්වා කාලය.   3. මහනුවර රාජධානී සියවස් 18 සිට 19 කාලය.   4. නූතන කාලය වශයෙන් සලකන 20 වැනි ශතවර්ෂයෙන් ඇරඹෙන කාලය.   සමස්තයක් වශයෙන් ගත් කල හෙළ බොදු සිතුවමින් පෙනීයන්නේ මෙම නිර්මාණ එක් එක් කාලවල දී විවිධ වූ ප‍්‍රවේශ සහ ස්වරූප ගනිමින් විචිත‍්‍රවත් වූ මෙන්ම චමත්කාරජනක සම්ප‍්‍රදායන් බිහිකර ඇති ආකාරයයි. ඒ ඒ සිතුවම්හි රේඛා සැකසුම වර්ණ තේරීම සහ සම්බන්ධීකරණ ඇතුළු සිතුවම්හි යොදා ගනු ලැබූ සංකේත සහ මෝස්තර රටා වෙතින් හෙළ බොදු සිතුවම් පැහැදිලි අනන්‍යතාව දියුණු කරගෙන ඇත. සෞන්දර්ය ගුණයෙන් සපිරි ක‍්‍රමෝපාය උපයෝගී කරගෙන සිතුවමින් දක්වන තේමා මනස්කාන්ත අයුරින් විචිත‍්‍රවත් ලෙස පණගන්වා ඇති ආකාරය ප‍්‍රශංසනීයයි. සම්භාවනීය කාලය වර්ෂ 1600 පමණ වන්නා වූ හෙළ සංස්කෘතිය සහ සභ්‍යත්වයෙහි උසස් වූ දියුණුවක් ඇතිවුණු අවදියයි. කලාත්මක බවින් ඉතා උසස් වූ සිතුවම් නිර්මාණ මේ කාලයේ දී බිහිවිණ. මිහින්තලේ සහ මහියංගනයේ පැරණි දාගැබ්හි ධාතු ගර්භයන්හි ඇඳි සිතුවම්, දිඹුලාගල, පුල්ලිගොඩ, හිඳගල, වෙස්සගිරිය, සිතුල්පව්ව, කරඹගල, තිවංක පිළිමගේ, කොටියාගලමායිල්ල, ලාහුගල, කොත්ගල්කන්ද, සාස්ත‍්‍රවෙල, කුඩිම්බිගල සහ කණ්ඩලම ගුහා පැරණි සිතුවම් කොටස් රැගත් ස්ථානවලින් කිහිපයකි. සීගිරි සිතුවම් හැරුණු විට මේ කාලයේ දී බිහිවුණු සිතුවම් සියල්ලම බොදු තේමා සහිත බොදු හැඟීම් ජනිත කරන්නා වූ නිර්මාණ වෙයි. සෞන්දර්යාත්මක සහ ආධ්‍යාත්මික ගුණයන්ගෙන් පරිපූර්ණ වූ මෙකල සිතුවම් සම්ප‍්‍රදාය අප රට සංස්කෘතික අනන්‍යතාව මනාව පෙන්නුම් කරයි. දැනට ආරක්‍ෂා වී ඇති සීගිරි සිතුවම් හැරුණු විට සම්භාවනීය කාලයේ බිහි වූ සිතුවම් රාශියෙන් දැනට ඉතිරිව ඇත්තේ සිතුවම්වල කොටස්ය. මෙකල පැවති දකුණු සහ නැගෙනහිර ඉන්දීය ද්‍රවිඩ පරසතුරු ආක‍්‍රමණ සහ උවදුරු නිසා අනර්ඝ සිතුවම් රැගත් ස්ථාන රාශියක්ම විනාශයට පත්විය. ඒ හැර කාලයාගේ ඇවෑමෙන් ද සමහර සිතුවම් විනාශ වී ඇත. පරසතුරු උවදුරු නිසා පැරණි රාජධානි අතහැර යෑමට සිදු වූ බැවින් කලාත්මක චිත‍්‍ර රැගත් රජමාලිගා විහාර සහ ආරණ්‍ය අතහැර දැමීමට ද සිදුවීම මෙකල බිහි වූ සිතුවම් විනාශ වී යෑමට හේතු විය. රාජධානී සංක‍්‍රමණය වූ වසර 500ක් පමණ කාලය දේශපාලන වශයෙන් අස්ථාවර එකක් වූ බැවින් පොදුවේ කලා නිර්මාණ බිහිවීමට අවශ්‍ය වාතාවරණයක් නොතිබිණ. කලාකරුවන්ට අවශ්‍ය වූ රාජ්‍ය අනුග‍්‍රහය සහ භික්ෂූන්ගේ සහය සීමා වූ කාලයකි මෙය. එහෙත් මෙම අස්ථාවර කාලයේ දී පවා පෙතිකඩ සිතුවම් නැතහොත් රෙදි මත ඇඳි සිතුවම් සහ පුස්කොළ පොත් දැව කවර මත ඇඳි විචිත‍්‍රවත් වූ මෝස්තර සිතුවම් බිහිවිය. 13 සහ 17 සියවස්වල බිහිවූ මනස්කාන්ත මෝස්තර සිතුවම් රැගත් කම්බ සහිත පුස්කොළ පොත් රාශියක් බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනය කර ඇත. මෙම කාලයේ අවසාන කොටසේ දී පමණ අප රටට පැමිණි පෘතුගීසි සහ  ඕලන්ද ආක‍්‍රමණිකයන් විසින් ද සිතුවම් රැගත් විහාර ආරණ්‍ය රාශියකට විශාල වශයෙන් අලාභහානි සිදුවිය. 18 වැනි සියවසේ දී පැමිණි බි‍්‍රතාන්‍ය ආක‍්‍රමණිකයන් අතින් ද මේ සමාන විනාශ සිදුවීම නිසා පැරණි කල බිහි වූ විශිෂ්ට වූ බොදු සිතුවම් රැගත් විහාර රාශියක් විනාශයට පත්විය. මහනුවර රාජධානියක් බවට පත්වූයේ 17 සියවසේ ආරම්භයේ දී ය. මෙම ශතවර්ෂය පුරා පෘතුගීසි ආක‍්‍රමණ නිසා බෞද්ධ විහාර සහ බොදු කටයුතුවලට මහත් අවහිර සහ හානි සිදු විය. නමුත් 18 වැනි ශතවර්ෂය මුලදී පමණ වඩාත් ස්ථාවර වූ කාලයක් ගොඩනැගුනේ අප රට අවසාන සිංහල රජුන්වන ශ්‍රී වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ අභිෂේකයෙන් පසුය. 1747 දී නායක්කාර රජකු වන කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ රාජ්‍ය කාලය උදාවිය. වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්ගේ ආශ‍්‍රයෙන් මෙම රජු බෞද්ධාගම වැළඳගත් අතර මෙම හිමියන්ගේ අනුශාසනා පරිදි රට පුරා බෞද්ධ පුනරුත්ථාපනයක් සහ ප‍්‍රබෝධයක් ඇති කිරීමට කටයුතු කරනු ලැබීය. විදෙස් ආක‍්‍රමණ නිසා විනාශ වී තිබුණු විහාර රාශියක් ප‍්‍රතිසංස්කරණය කර නව විහාර රාශියක් ද ඉදි කෙරිණි. සම්භාවනීය කාලයේ සිතුවම් සම්ප‍්‍රදාය සහ ලක්‍ෂණයන්ට බොහෝ සෙයින් වෙනස් වූ සම්ප‍්‍රදායක් මෙකල බිහිවිය. ශෛලිගත ලක්‍ෂණ දරන්නා වූ සංකේත භාවිතය බහුල වශයෙන් යොදා ඇති ස්වාධීන වූ සිතුවම් විශේෂයකි මෙකල බිහි වූයේ.

 

සුවිශේෂි නිමැයුම්

18 සහ 19 සියවස් හා සම්බන්ධ වූ මහනුවර රාජධානිය වශයෙන් පැවති කාලයේ දී විහාරාශ‍්‍රිත සිතුවම් කලාවේ සුවිශේෂි වූ දියුණුවක් ඇතිවිය. මෙම කාලයේ දී බිහි වූ කෘති පැරණි සම්භාවනීය ක‍්‍රමවේදයෙන් බැහැර වී ඇත. මුළුමනින්ම විලාසිතානුගත ශෛලිගත ආකෘතියකින් සමන්විත විය. මෙකල චිත‍්‍ර ප‍්‍රවීණ චිත‍්‍රශිල්පීන් විසින් හඳුන්වනු ලබන්නේ ‘‘පරිකල්පිත අනුභූතීන්’’ ලෙසටයි. අත්‍යන්තයෙන්ම ස්වාධීන වූ ද පෙර නොවූ විරූ වුව ද සංකල්පිත අපූර්ව මූල ලක්‍ෂණයන්ගෙන් අනූන වූ මෙම අලංකාර චිත‍්‍ර රුචිරූ සෞන්දර්යාත්මක ප‍්‍රවාහයක් ග‍්‍රහණයකොට ඇත. දිවයිනේ විවිධ පළාත්වල ඇති මෙම යුගයේ සිතුවම් විලාසිතානුගත විවිධත්ව රැසකට හිමිකම් කියයි. 19 වැනි සියවස මැදභාගයේ දී පමණ මහනුවර කාලයේ චිත‍්‍ර සම්ප‍්‍රදාය දකුණු සහ බටහිර ලංකා විහාරවලට පැතිරී ගිය ආකාරය පෙනේ. දකුණු හෙළ බිමෙහි විහාරයන්හි මෙකල බිහිවූ චිත‍්‍ර කැපී පෙනෙන සුවිශේෂී ආවේනික ලක්‍ෂණ පිළිඹිබු කෙරේ. පොදුවේ ගත්කල මහනුවර කාලයට අයත් සිතුවම්හි ප‍්‍රධාන තේමාව වී ඇත්තේ ජාතක කතාය. මේවා තීරු මෙන් බිත්ති පුරා ඇඳීම විශේෂ ලක්‍ෂණයයි. තේමා කාලානුකූලව ඉදිරිපත් කර ඇති අතර චිත‍්‍ර යටින් සිංහලෙන් විස්තර තොරතුරු දැක්වීම ද මෙකල ලක්‍ෂණයකි. පොදුවේ ගත්කල මහනුවර සම්ප‍්‍රදායට අයත් චිත‍්‍ර පැහැදිලිවම ද්විමාන ලක්‍ෂණය ගැනීම විශේෂයෙන් සැලකිය යුත්තකි. ජාතක කතා අතර වඩාත් ප‍්‍රයෝජනයට ගෙන ඇත්තේ වෙසතුරු ජාතකයයි. (මතු සම්බන්ධයි)
ආචාර්ය  දයා හේවාපතිරණ