අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය ඇමැති වශයෙන් සිටි සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගිය 4 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම ධුරයෙන් ඉවත් කරනු ලැබීය. ඒ ඔහු  ඊට පෙරදින දෙල්කඳ පොළේදී ආණ්ඩුව විවේචනය කරමින්  කළ ප්‍රකාශයකින් අනතුරුව ය.

 මේ වනවිට ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරු පමණක් නොව කැබිනට් ඇමැතිවරුද ආණ්ඩුවේ ඇතැම් ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග ප්‍රසිද්ධියේ විවේචනය කරති. ඒ තත්ත්වය ඇති වී තිබෙන්නේ බඩු මිල නොනැවතී ඉහළ යාම, ගෑස් ආශ්‍රිත පිපිරීම්, ගෑස් කිරිපිටි හා භූමිතෙල් ආදි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් ආදිය ඇති වී තිබෙන තත්ත්වය යටතේය. ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කීරීම මෙසේ ආණ්ඩුව විවේචනය කරන මැති ඇමැතිවරුන්ට දුන් පණිවිඩයක්  විය හැකිය.

පසුගියදා ජනාධිපතිවරයා ජනමාධ්‍ය ආයතනවල ප්‍රධානීන් හමුවූ අවස්ථාවේ දී ද ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන තිදෙනා කෙරවලපිටියේ යුගදනවි විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට විකිණීම ප්‍රසිද්ධියේ විවේචනය කිරීම පිළිබඳ ප්‍රශ්නය මතුවිය. එහිදී ජනාධිපතිවරයා පවසා තිබුණේ ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්වී ආණ්ඩුව විවේචනය කිරීම හා ආණ්ඩුවට එරෙහිව  නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සුදුසු බවය. ඉන්පසු ඔහු ප්‍රේමජයන්ත  මහතා තනතුරෙන්  පහ කළේය. පණිවිඩය පැහැදිලි ය.

ප්‍රේමජයන්ත මහතා පසුගිය 3 වැනිදා දෙල්කඳ පොළට ගිය අවස්ථාවේදී ඉහළ යන බඩු මිල හා අත්‍යවශ්‍ය  භාණ්ඩ හිඟය ගැන ජනමාධ්‍යවේදීහු ඔහුගෙන් ප්‍රශ්න කළහ. එහිදී ඔහු පැවසුවේ මෙය නුසුදුස්සන් තනතුරුවලට පත් කිරිමේ ප්‍රතිඵලයක් බවය. ආණ්ඩුවේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කළ ඔහු කෘෂිකර්මය අන්තයටම අසාර්ථක වී ඇතැයි පැවසීය. දැනට ඇති තත්ත්වයට විසඳුම් සෙවිය හැක්කේ වෙනත් කණ්ඩායමකට යැයිද ඔහු ප්‍රකාශ කළේය.

වත්මන් ආණ්ඩුවේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය යැයි කී පමණින්ම ඕනෑම කෙනකුට සිහිපත් වන්නේ එක කන්නයකින්ම කාබනික වගාවට හැරීමේ ආණ්ඩුවේ හදිසි තීරණයත් ඒ අනුව රසායනික පොහොර ආනයනය  තහනම් කිරීමත් එහි ප්‍රතිඵලයක් වශයෙන් දැනට ඇතිවී තිබෙන එළවළු හිඟය හා විශාල වශයෙන් එළවළුවල මිල ඉහළ යාමත්ය. මෙම තීරණය ගනු ලැබුවේ ජනාධිපතිවරයා විසිනි.

වත්මන් ආර්ථික අර්බුදයට හේතුව නුසුදුස්සන් තනතුරුවලට පත්වීම යැයි කීමේදී ප්‍රේමජයන්ත මහතා තමන්ට කැබිනට් ඇමැති ධුරයක් නොලැබීම ඉස්මතු කොට පෙන්වන්නට අදහන් කළා විය හැකිය. එහෙත් නුසුදුස්සන් තනතුරුවලට පත්කිරීම යැයි කී විට කෙනකු එය ජනාධිපති ධුරයට ද ගළපා  ගත හැකිය. වත්මන් අර්බුදයට විසඳුම් සෙවිය හැක්කේ වෙනත් කණ්ඩායමකට යැයි  කීමෙන්ද වත්මන් ආණ්ඩුව අසාර්ථක වී ඇතැයි කියවේ. ජනාධිපතිවරයා ඔහු තනතුරෙන් පහ කරන්නට ඇත්තේ ඒ අනුව විය හැකිය.

ප්‍රේමජයන්ත මහතා තනතුරෙන් පහ කරනු ලැබූ දිනම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මාතලේ පැවැති ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයේ රැස්වීමක දී ප්‍රේමජයන්ත මහතා තනතුරෙන් පහකිරීමේ සිද්ධිය ගැන සඳහන් කරමින් දැඩි ලෙස ආණ්ඩුව විවේචනය කළේය. ප්‍රේමජයන්ත මහතාට වඩා දැඩි ලෙස ආණ්ඩුව විචේනය කළ රාජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතාට එරෙහිව ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නේ ලන්සා මහතා බොහෝ දේ දන්නා නිසා යැයි ඔහු එහිදී සඳහන් කළේය. මෙය පැහැදිලිවම ජනාධිපතිවරයාට එල්ල කළ ප්‍රහාරයකි.

යටත් විජිත පාලකයන්වත් ගොවියාට මෙතරම් වේදනාවක් නොදුන් බව කී හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුව ගොවියාගේ බෙල්ල මිරිකා කෘෂිකර්මය විනාශ කොට ඇතැයි චෝදනා කළේය. ප්‍රේමජයන්ත මහතා ඉවත් කළ පමණින්  ඉදිරියේදී සිදුවීමට නියමිත පිපිරීම වළක්වා ගන්නට ආණ්ඩුවට නොහැකි යැයිද ඔහු කීවේය.

කැබිනට් ඇමැති ධුර නොලැබූ ඇතැම්  රාජ්‍ය ඇමැතිවරුන් ප්‍රසිද්ධියේ ආණ්ඩුවට එල්ල කරන ප්‍රහාර හමුවේ ශ්‍රීලනිපය ධෛර්වත් වී  ඇති බව පෙනේ. හිටපු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය පමණක් නොව ඔහු මීට පෙර කළ ඇතැම් ප්‍රකාශ හා ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා මෑතකදී කළ ඇතැම් ප්‍රකාශවලින් ඒ බව පෙනේ.

යුගදනවි බලාගාරයේ කොටස් විකිණීමේ ගිවිසුමට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර යන මහත්වරු ප්‍රසිද්ධියේ ආණ්ඩුව විවේචනය කරනවා පමණක් නොව අධිකරණයේදී ආණ්ඩුවට අභියෝග කරන්නටද ඉදිරිපත් වී සිටිති. එම කාරණයත් සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය ඇමැති ධූරයෙන් නෙරපනු ලැබීමත් මුල් කරගෙන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස,  පක්ෂ විනය, කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම යන කරුණු සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ සංවාදයක් කෙරෙමින් පවතී.

එහෙත් මෙම සංවාදය බුද්ධිමය සංවාදයක් සේ නොපෙනේ. එය එසේ නොපෙනෙන්නේ ආසන්න වශයෙන් මේ ප්‍රශ්න ගැන කතා කරන සෑම දේශපාලනඥයකුම මධ්‍යස්ථව නොව ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වූ තමන්ගේ ස්ථාවරයට වාසිදායක  වන අයුරින් ප්‍රශ්න  විග්‍රහ කරන්නට පෙළඹී සිටීම නිසා ය. මෙය සෑමදාම සිදුවූ දෙයකි. සෑම දේශපාලන පක්ෂයකට අදාළ වූවකි. 

ඒ අනුව ජනාධිපතිවරයාට හිතවත් හා වත්මන් ආණ්ඩුවෙන්  තමන් සෑහීමකට පත්වන  ආකාරයේ තනතුරු හා වාසි ලැබූ අය මෙම ප්‍රශ්නයේදී පක්ෂ විනය හා කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම අවධාරණය කරති. ඒ අනුව  ප්‍රේමජයන්ත මහතා තනතුරෙන් නෙරපීම සාධාරණීකරණය කරති. එසේම යුගදනවි ගිවිසුමට එරෙහිව අදහස් දක්වන ඇමැතිවරුන් කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම උල්ලංඝනය කර ඇති බව කියති. තවත් පිරිසක් අදහස්  ප්‍රකාශ කිරීමේ නිදහස අවධාරණය කරති.

ආණ්ඩුවට එරෙහි පුද්ගලයන් හා කණ්ඩායම්වලට පහර ගැසීමේදී  ඉතා  දැඩි ස්ථාවරයක් ගන්නා කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා ප්‍රේමජයන්ත මහතා ධුරයෙන් නෙරපීම සම්බන්ධයෙන් කැමැත්තක් නොදක්වන බව පෙනේ. යම් විදියකින් ඔහු මේ දිනවල යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවත් සමඟ ප්‍රශ්නයක් ඇති කර නොගෙන සිටියේ  නම් ප්‍රේමජයන්ත මහතා  සම්බන්ධයෙන් ඔහුගේ ස්ථාවරය බොහෝ දුරක් වෙනස් වන්නට ඉඩ තිබිණි. දැන් ඔහු හා ආණ්ඩුව අතර ප්‍රශ්නය යුගදනවි  ප්‍රශ්නයෙන් ඔබ්බටද ගොස් ඇති බව පෙනේ. ඒ ජනාධිපති  මාධ්‍ය අංශයම සති කිහිපයකට ඉහතදී විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගේ ජනමාධ්‍ය හමුවක් සංවිධානය කොට තිබීම හා යුගදනවි ගිවිසුමට එරෙහි ඇමැතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් වී එසේ එරෙහි විය යුතු යැයි ජනාධිපතිවරයා පවසා තිබීම නිසාය.

ප්‍රශ්න දෙස බැලීම තනතුරු තානාන්තර අනුව සිදුවීම කෙසේද යත් ප්‍රේමජයන්ත මහතා වුවද කැබිනට් ඇමැති ධුරයක් දැරුවේ නම් බඩු මිල ඉහළ යාම, කෘෂිකර්මයට සිදුවී ඇති දේ ආදිය ගැන ඔහුද වෙනස් ආකාරයකට බලන්නට ඉඩ තිබිණි. 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ බලවේගවල හා බෙදුම්වාදීන්ගේ අතකොළුවකැයි කී ඇතැම් පිරිස්  මාස කීපයකට පසු යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරුන් ලෙස දිවුරුම් දුන්නේද තනතුරු තානාන්තර අනුව ප්‍රශ්න දෙස බැලීම නිසාය.

ඕනෑම පක්ෂයක සාමාජිකයකු හෝ විශේෂයෙන්ම නායකයකු පක්ෂය හෝ පක්ෂ නායකත්වය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සැලකෙන්නේ පක්ෂ විනය උල්ලංඝනය කිරිමක් ලෙසය. ඒ අනුව එසේ විවේචනය කළ අයකුට එරෙහිව විනයානුකූලව ක්‍රියාමාර්ග ගැනීම වරදක් නොවේ. ප්‍රායෝගිකව බලන කල ඕනෑම පක්ෂයක් එවැනි විවේචනයක් බැරූරුම් කරුණක් ලෙස සලකනවා සේම විවේචනය කරන අදාළ පුද්ගලයා නායකයකු නම් අනිවාර්‌යයෙන්ම ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගනී.

එසේ නොවන්නේ නම් ඒ විශේෂ තත්ත්වයක් නිසාය. සමහර විට එවැනි විනය ක්‍රියාමාර්ග ගැනීම නිසා පක්ෂය දෙකඩ විය හැකි තත්ත්වයක් නිර්මාණය වීම, එවැන්නකු පක්ෂ නායකයන්ගේ දුබලතා හෙළිදරව්  කිරීමේ අනතුරක් ඇතිවීම හෝ ඇතැම් විට උපක්‍රමික අවශ්‍යතා නිසා පක්ෂයක නායකත්වය එවැනි විනය ක්‍රියාමාර්ග නොගෙන සිටින්නට පුළුවන. ප්‍රේමජයන්ත මහතා කළ ප්‍රකාශයට වඩා බරපතළ ප්‍රකාශයක් රාජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතා පසුගියදා කළ බවත් එහෙත් යම් යම් රහස් හෙළිවේයැයි බියෙන් ඔහුට එරෙහිව ආණ්ඩුවේ නායකයන් ක්‍රියාමාර්ග නොගන්නා බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 4 වැනිදා කළ ප්‍රකාශය සත්‍යනම් එය මීට හොඳ උදාහරණයකි.

ආණ්ඩුවක, පක්ෂයක හෝ සංවිධානයක නායකයන් එම ආණ්ඩුව හෝ පක්ෂය හෝ සංවිධානය විවේචනය කරමින් නිතර ප්‍රසිද්ධ ප්‍රකාශ කරන්නේ නම් මහජතාව තුළ  ඒ පිළිබඳ ඇති  විශ්වාසය ක්‍රමයෙන් බිඳ වැටේ. ඒ අනුව ඊට ඉදිරියට යා නොහැකිය. එමෙන්ම අද එම ආණ්ඩුවට හෝ පක්ෂයට තමන්ට අදාළ ඕනෑම කරුණක් සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සාකච්ඡා මාර්ගයෙන් සකස් කර ගන්නා ලද හෝ ඉහළින් පනවනු ලැබූ ප්‍රතිපත්තී හා ස්ථාවරයන් ඇත. ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ලෙස සැලකෙන ආණ්ඩු, දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති වැනි ආයතන මෙම ප්‍රතිපත්තීන් හා ස්ථාවරයන් සකස් කර ගන්නේ ඒවායේ තීරණ ගන්නා මණ්ඩලවල කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී වාද විවාද මගිනි.

 මෙම වාද විවාද ඉතා නිදහස්ව හා සියලු දෙනාගේම අදහස් ඇතුළත් වන අයුරින් සිදුවිය යුතු වුවද අවසානයේදී බොහෝ තීන්දු  තීරණ ගනු ලබන්නේ එම මණ්ඩලවල බහුතර කැමැත්තෙනි. සියලු දෙනාගේම කැමැත්තෙන් තීරණ ගනු ලබන්නේ කලාතුරකිනි. ඇතැම්විට එම වාද විවාදවල එක්තරා අවස්ථාවකදී නායකත්වය යම් නිගමනයක් ගෙන විවාදය එතැනින් හමාර කරයි. ඉන්පසු සියලු දෙනාගේම පොදු ප්‍රත්පත්ති හෝ ස්ථාවරය විය යුත්තේ එයයි. මෙය සෑම විටම සිදු නොවිය යුතු වුවත් ඇතැම් විට පක්ෂයේ හෝ ආණ්ඩුවේ සමඟිය වෙනුවෙන් නායකත්වයට එවැනි තීරණයක් ගන්නට සිදුවේ. එසේ නොවේ නම් වාද විවාද අනන්තය දක්වා දිග්ගැස්සී පිටතට ගලා ගොස් පක්ෂය හෝ ආණ්ඩුව හාස්‍යයට  ලක්වනු ඇත.

 ශ්‍රී ලංකාවේ බොහෝ පක්ෂ විශේෂයෙන්ම ප්‍රධාන පක්ෂ දෙක වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සමඟි ජන බලවේගයේත්, එම පක්ෂ දෙකේ පූර්වගාමීන්වන ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ බොහෝ විට සිදුවන්නේ කුමන සාකච්ඡා සිදුවුවද නායකත්වයේ මතයට ඉඩදීමයි. ඉන්පසු එය පක්ෂයේ මතය ලෙස සැලකේ. තීරණගන්නා මණ්ඩලයේ සාමාජිකයකුට එය ප්‍රසිද්ධියේ විවේචනය කළ නොහැකිය. එසේ කිරීම විනය උල්ලංඝනය කිරීමකි. කෙනකු එම මණ්ඩලයක සාමාජිකයකු වන්නේ ඒ ක්‍රමය දැන එය පිළිගෙනය. එම තීරණ ගැනීමේ පිළිවෙත පිළිනොගන්නා අයකු ඉන් ඉවත් විය යුතුය.

ඒ අර්ථයෙන් ගත් කල ප්‍රේමජයන්ත මහතා ප්‍රසිද්ධියේ ආණ්ඩුව හා ආණ්ඩු පක්ෂය විවේචනය කිරීම විනය උල්ලංඝනය කිරීමකි. එහෙත් එම අර්ථයෙන්ම හා තර්කයක් වශයෙන් ගත් කල පරීක්ෂණයක් නොපවත්වා හුදෙක් ජනමාධ්‍ය වාර්තා පදනම් කරගෙන ඔහු ඉවත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් නොවේ.

 සම්පූර්ණ කතාවක් නොසලකා, ජනමාධ්‍ය විසින් සංස්කරණය කරන ලද කතාවක් පදනම් කරගෙන බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදහස් වූයේ සම්පූර්ණ කතාවේ හරය හා සංස්කරණය කරන ලද කතාවේ හරය එකිනෙකට වෙනස්ය යන අදහසිනි.

යුගදනවි  ගිවිසුම හා සම්බන්ධ ප්‍රශ්නයේදී අදාළ ඇමැතිවරුන් තිදෙනා කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම උල්ලංඝනය කළාද යන්න පැහැදිලි නැත. ඒ එම ගිවිසුම කැබිනට් මණ්ඩලයේදී අනුමත නොවූ බව ඔවුන් පවසන හෙයිනි. එය සැබෑවක් නම් සාමූහිකව නොගන්නා ලද තීරණයක් සම්බන්ධයෙන් සාමුහිකව වගකීමක් තිබිය නොහැකිය.

ප්‍රේමජයන්ත මහතා  තමන්ගේ ප්‍රකාශය පිළිබඳ ජනමාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප නොකරයි. ඔහු පවසන්නේ පක්ෂය තුළ හෝ ආණ්ඩුව තුළ තම අද අදහස් පළ කරන්නට ස්ථානයක් නොතිබූ බවයි. එහෙත් ඔහු මෙන්ම තමන් අපේක්ෂා කළ තනතුරු තානාන්තර නොලැබ  ආණ්ඩුව විවේචනය කරන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් 2010දී 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දෙන විටත් ගොඩ නැඟෙන ආණ්ඩුවේත් ආණ්ඩු පක්ෂයේත්  හැඩය දැන සිටියහ. මෙය ඔවුන් වපුරා නෙළා ගත් අස්වැන්නකි.

එසේ වුවද ඔවුන්ගේ අරමුණ කුමක් වුවද ඔවුන් දැන් කරන්නේ ජනතාවගේ පැත්තෙන් අදහස් දැක්වීමක්ය  යන්නද සත්‍යයකි.

(*** එම්.එස්.එම්. අයුබ්)