(පර්සි ජයමාන්න)

කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස මහතා ඊයේ ඊයේ 3 වැනිදා අනූහය වැනි විය සැපිරීය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

අප අතර ජීවත්වන වයෝවෘද්ධතම පත්‍රකලාවේදියා වූ අපේ එඞ්වින් ආරියදාස මහත්තයට පසුගිය දෙසැම්බර් 3 වැනිදාට අවුරුදු 96ක් පිරුණා. ඒ ගැන මට ඇත්තේ කිව නොහැකි තරම් සතුටක්. ඒ අවුරුදු 96න් 53ක් ම මා එතුමා සමග ළඟින්ම හිටියා. අදහස් හුවමාරු කර ගත්තා. එතුමාගෙන් මා ලද දැනුම් සම්භාරය මෙතෙකැයි කියන්න බැරි තරම්. අපට මග පෙන්වන්නට අද වගේ සන්නිවේදන පාඨමාලා නොතිබුණු අපේ තරුණ කාලේ අපගේ පරමාදර්ශය වූයේ එතුමායි. සන්නිවේදන පාඨමාලා වැහි වැහැලා ඇති මෙවැනි යුගයකදීත් අපේ නව පරපුරත් එතුමා ඔවුන්ගේ පරමාදර්ශය කර ගෙන තිබීම සුවිශේෂ වාසනාවක්.

‘සාහිත්‍යරත්න, රෝහණ ප්‍රදීප, කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස ‘ජාතියේ සන්නිවේදන ගුරු’ යනුවෙන් එතුමා හඳුන්වා දෙන්නට මා කැමැතියි. සන්නිවේදන ඒ අපේ එදිනෙදා ජීවිතයේ පාවිච්චි කරන්නක් බවට පත් කළේ එතුමා නිසයි. මීට අඩ සියවසකට පෙර ඊරියගොල්ල මහතා අධ්‍යාපන ඇමැතිව සිටිය දී 1969 දී ආරම්භ කළ දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලයේ මුල්වරට ජනසන්නිවේදනය විෂයයක් ලෙස ඉගැන්වීම ආරම්භ කළේ එතුමාගේ මග පෙන්වීම යටතේයි. ඒ කාලේ මේ විෂය හඳුන්වන්නට එතුමා දී තිබුණු නම ‘ජන විඥාපනය’යි.

අපේ රටේ විධිමත් අධ්‍යාපනයක් ලත් මුල්ම සන්නිවේදක වෘත්තිකයන් පිරිස බිහිවුණේ එතැනින්. ඉන්පසුව 1973 කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන පාඨමාලාව ආරම්භ කළ අවස්ථාවේදීත් ඊට එතුමාගේ සහය ඉහළින්ම ලැබුණු බව මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ඒ දවස්වල ම මා සමග කීවා.

ඒ විතරක් නෙවෙයි සන්නිවේදනයේ නියැළි වෘත්තිකයන් වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ඇරඹුණු ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවට ද ආරියදාස මහත්තයගේ සහාය ඒ අයුරින්ම ලැබුණු බව මහාචාර්ය ජේ.බී. දිසානායකයන් මෙන්ම ඒ පාඨමාලාවට සක්‍රීයව දායක වූ එවකට ආරියදාස මහතා සමග ලේක්හවුසියේ එකට සේවය කළ ජ්‍යෙෂ්ඨ කතුවරයකු වූ දිවංගත ඩී.එෆ්. කාරියකරවන සූරීන් ද ප්‍රශංසා මුඛයෙන් මා සමග කීවා මතකයි. එපමණක් නොව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේත් ඒ වාගේ ම විවෘත විශ්වවිද්‍යාලයේත් ලේඛකත්ව හා සන්නිවේදන පාඨමාලා ආරම්භයේ දීත් එතුමාගේ දායකත්වය නැතුවම බැරි වුණා.

මීට වසර දශක පහකට පෙර එතුමා මා සමඟ කී කතාවක් මෙහි දී සිහිපත් කරන්නට කැමැතියි. එදා අප දෙදෙනා සිරිත් පරිදි අප අයත් වූ පුවත්පත්වල දවසේ වැඩ අවසන් කොට ගෙදර යන ගමන් කොටුවේ පැගෝඩා හෝටලයේ දී පෝව්චියක් පුරා තේ රස විඳින අතරතුරදියි මේ කතා බහ ඇති වුණේ. ඒ දවස්වල අපේ සහෝදර පත්‍රකලාවේදීන් කීපදෙනෙක් සය මසක පුහුණු පාඨමාලාවක් සඳහා එංගලන්තයට ගොස් සිටියා. ‘ඒ පුහුණුව අපට මෙහෙ දෙන්න බැරිද ?’ මම එතුමාගෙන් ඇසුවා. ‘බැරිකමක් නෑ අපට ඒකට ඕනෑ තරම් දක්ෂ පත්‍රකලාවේදීන් මෙහේ ඉන්නවා. පන්ති කාමරයක නැතත් දැන් ඔහෙත් වැඩ කරන ගමන් ඉගෙන ගන්නව නොවැ. ඒත් අනාගතයේ දී මේ තත්ත්වය තවත් වැඩි වෙලා පත්‍රකලාවේදීන්ට ලොකු ඉල්ලුමක් ඇති වේවි. මේ සඳහා වෘත්තීය පාඨමාලා ඇති කරන්නත් අපට සිද්ධ වේවි. ඒ විතරක් නෙවෙයි මේක අපේ පාසල්වල විෂයයක් බවටත් පත් වේවි.’ වසර පනහකටත් පෙර එදා එතුමා කීවේ අනාගත වක්තෘවරයකු ලෙසයි.

කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස සූරීන් ‘සිංහල ඇසිමොෆ්’ කියාත් හඳුන්වා දෙන්නට මා කැමැතියි. ඉසාක් ඇසිමෝෆ් කියන්නෙ විද්‍යාව සරල බසින් කියා දෙන්න පොත් රැසක් ලියපු විද්‍යාඥයෙක්. උපතින් රුසියන් ජාතිකයකු වුණත් ජීවත් වුණේ ඇමෙරිකාවේ. ලිව්වෙ ඉංගිරිසියෙන්. එතුමාට නිතර නිතර ලෝකයේ විශ්වවිද්‍යාලවලින් හා වෙනත් උසස් විද්‍යාස්ථානවලින් විශේෂ දේශන සඳහා ඇරියුම් ලැබුණා. බොහෝ විට එතුමාට දේශනයේ මාතෘකාව දැන ගන්න ලැබුණේ දේශනයට යන අතරතුරයි. ඕනෑම විෂයයක් යටතේ පෙර සූදානමක් නැතිව ඉතාමත් නිවැරදිව දත්ත දින වකවානු ඇතිව හරබර දේශනයක් පවත්වන්න ඇසිමෝෆ් කියන විද්‍යාඥයාට පුළුවන්. ආරියදාස මහත්තයටත් ඒ හැකියාව එහෙම ම තියෙන බව මම අත්දැකීමෙන් ම දන්නවා. ඒ නිසයි මා එතුමා ‘සිංහල ඇසිමොෆ්’ කියා හඳුන්වන්නේ. ඇසිමෝෆ් ලියනවා වගේ විද්‍යාව සරල බසින් ලියන්නත් එතුමා දක්ෂයි.

දිනමිණ කර්තෘ මණ්ඩලයේ සේවය කරන අතර ලේක්හවුසියේ අනෙක් පුවත්පත් කතුවරුන්ගේ ඉල්ලීම මත ඒ හැම එකකටම ආරියදාස මහත්තයා ලිපි සැපයුවා. තමාගේ නමින් මෙන් ම ‘ජනක’ කියන අන්වර්ත නාමයෙන් ද එතුමා ඒවාට සැපයූ ලිපි දස දහස් ගණනක්.

පුවත්පත් කලාව, ගුවන්විදුලිය, සිනමාව, රූපවාහිනිය, සාහිත්‍යය, විද්‍යාව, බුදුදහම ආදී කුමන ක්ෂේත්‍රයක වුවත් දෙන ලද ඕනෑම මාතෘකාවකට අනුව සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් එසැණ ලිපියක් ලියාදීමට හෝ දේශනයක් පැවැත්වීමට එතුමන්ට තියෙන්නේ පුදුම දක්ෂතාවක්. එසේ ම එය අවස්ථාවෝචිත පරිදි ග්‍රාහකයන්ට වැටෙහෙන ආකාරයට එහි සාරගර්භ භාවය මඳකුදු අඩු නොකොට ඊට සුදුසු සරල නිරවුල් බස්වහරකින් කරන්නත් එතුමාට  හැකියාව තියෙනවා.

භාෂා හා වාග් විශාරදයකු ලෙසත් ආරියදාස මහත්තයාගේ සේවය අපට, රටට, ලැබුණා. අපට නුහුරු අලුත් විෂයයක් හඳුන්වා දෙන හැම විටම අලුත් සිංහල වචනත් ඒ සමග හඳුන්වා දුන්නා. පුවත්පත් කලාවේදීන් වශයෙන් අපට බොහෝ විට කාලයත් සමග සටන් කරන්නට සිදු වූ නිසා ඉංග්‍රීසි වදනකට සුදුසු නව සිංහල වදනක් තනා ගන්නට භාෂා විශාරදයන් හමුවීමට අවකාශයක් තිබුණේ නැහැ. ඒ ගැටලු එසැණින් විසඳා ගැනීමට අපට හැම විටම උදවු ලැබුණේ ආරියදාස මහත්තයාගෙන්. අදත් අපට එතුමාගේ සේවය ඒ ආකාරයෙන්ම ලැබෙනවා.

වරක් පුස්තකාලවේදය හැදැරූ විද්‍යාර්ථින් පිරිසක් වෙනුවෙන් පැවති සමුළුවක දී නාලක ගුණවර්ධනයන් ගෙන හැර පෑ උදාහරණයක් මෙහිදී මගේ මතකයට නැඟෙනවා. ‘ඉස්සර කාලයේ අපට අද වාගේ ඉන්ටර්නෙට් එකෙන් දැනුම ලබා ගන්න පිහිට වෙන්න “සෙවුම් යන්ත්‍ර” තිබුණේ නැහැ. එකල අපේ පිහිටට ආ “සෙවුම් යන්ත්‍ර” වුණේ එඞ්වින් ආරියදාස මහතා වැනි අයයි.

ආචාර්ය එඞ්වින් ආරියදාස සූරීන් දසක හයකට වැඩි කාලයක් තිස්සේ මාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත්‍රවල පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනවා. අපේ රූපවාහිනි මාධ්‍යය ආරම්භයේ දී වගකිවයුතු පෘථුල ක්‍රියාදාමයකට දායකත්වය සැපයූ එතුමා ඇති අතර තවමත් ඒ කාර්යය පෙර සේ ම පවත්වාගෙන යනවා.

රූපවාහිනියේ ආගමනයත් සමග ආරියදාස මහත්තයගේ දැවැන්ත සෙවණැල්ල මුද්‍රිත මාධ්‍ය මතට පමණක් නොව විද්‍යුත් මාධ්‍ය මතටත් වැටුණා. එය මුලින් ගුවන් විදුලි මාධ්‍යයටත් පසුව රූපවාහිනී මාධ්‍යයටත් විහිදුණා. මෙරට රූපවාහිනිය ආරම්භයේ දීම සන්නිවේදකයන් පුහුණුවට එතුමාගෙන් විශාල දායකත්වයක් ලැබුණා.

ශ්‍රී ලංකාවේ රූපවාහිනිය ආරම්භ වීමට ප්‍රථම ඒ පිළිබඳ විධිමත් න්‍යායයික හා ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන්නට ශ්‍රී ලංකාවට ආ විශේෂඥයා වූයේ කැනේඩියානු ජාතික වෝනර් ට්‍රෝයර් මහතායි. ඔහුගේ ඇරයුම පරිදි ඒ කටයුත්තට ආරියදාස මහත්තයත් එක් වුණා මට මතකයි. මෙරට රූපවාහිනී ඉතිහාසයේ ප්‍රථම රූපවාහිනී සාකච්ඡාව සේ සැලකිය හැකි වැඩසටහනට ආරියදාස මහතා දායක වූයේත් ට්‍රෝයර් මහතාගේ මෙහෙයවීම මතයි.

1980 දී රොනල්ඞ් රේගන් මහතා ඇමෙරිකානු ජනාධිපති පදවියට පත් වූ අවස්ථාවේ නව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡාවක් ඒ මංගල වැඩසටහනට ඇතුළත් වුණා. සාකච්ඡාව පැවතියේ ට්‍රෝයර් හා ආරියදාස මහත්වරුන් අතරයි. ඒ වන විට මෙරට රූපවාහිනි චිත්‍රාගාර නොතිබූ නිසා ට්‍රෝයර් මහත්තයා එදා ඒ වැඩසටහන පටිගත කළේ ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිට විශේෂ තැනක් පසුතලයක් සේ සකස් කොට යොදා ගෙනයි. ඒ වන විට ජාතික රූපවාහිනිය ආරම්භ කර නොතිබූ නිසා එය විකාශය කෙරුණේ එවකට තිබූ එකම නාළිකාව වූ ස්වාධීන රූපවාහිනිය මගිනුයි.

ඉන් පසුව ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයකු සමග ප්‍රථම සම්මුඛ සාකච්ඡාව පැවැත්වීමේ වරම හිමි වූයේත් ආරියදාස මහත්තයටයි. එම සාකච්ඡාව පැවැත්වූයේ ‘වර්ල්ඞ්වීව් ජාත්‍යන්තර පදනම් ගොඩනැගිල්ලේ ඒ වෙනුවෙන් සකස් කළ විශේෂ තැනකයි. එවකට ප්‍රවෘත්ති හා ගුවන්විදුලි රාජ්‍ය අමාත්‍යවරයා වූ ආනන්ද තිස්ස ද අල්විස් මහතාට මෙන්ම ආරියදාස මහත්තයාටත් එය අලුත් අත්දැකීමක් වුණා. ඒ මංගල වැඩසටහන පටිගත කිරීම සඳහා ඒ දෙදෙනාටම අවශ්‍ය උපදෙස් ලබා දුන්නේ එවකට වර්ල්ඞ්වීව් ජාත්‍යන්තර පදනමේ මහ ලේකම් ව සිටි අර්නි ෆියර්ටෝෆ්ට් මහතායි.

‘එඞ්වින් ආරියදාස’ ලෙසින් මුළු ලොව ම හඳුනන එතුමා උපන්නේ 1922 දෙසැම්බර් 3 වැනිදා දකුණු සිරිලක උණවටුන ග්‍රාමයේ දී ‘විජයතුංග කරුණාරත්න එඞ්වින් ආරියදාස’ යන නමිනුයි.

පුවත්පත් කලාවේදීයකු වශයෙන් පුවත්පත් සඟරා තුළින් දසක හතක් ම සෑම ක්ෂේත්‍රයකින් ම ඉංග්‍රීසි හා සිංහල දෙබසින් ම ජනතාවට නොමසුරුව දැනුම බෙදා දුන් එතුමා මේ අනූහය වසර සමරන මේ මෙහොතේදීත් ඒ කාර්යයේ පෙර සේ ම නොපසුබට ව යෙදීම අපේත් ජාතියේ වාසනාවක්.

ආරියදාස මහත්තය අනුපස් විය සපිරූ වේලේ එතුමා වෙනුවෙන් රඹුකන සිද්ධාර්ථ හිමියන් අතින් ලියැවුණු එඞ්වඞ් ජයකොඩි ගැයූ නවරත්න ගමගේ තනු නිර්මාණය කළ අභිනන්දන ගීතයේ මුල් කොටසින් මේ ලිපිය අවසන් කිරීමට මා කැමතියි.

සකල කලා ශිල්ප නෙලා
රටට බෙදූ පින් වළඳා
සියක් ආයු ලබන මැනවි
පිහිටෙන් මුණි සිරි දළදා
ආරියදාස එඞ්වින් සිරිමතාණෝ
සකල කලා වන්දිත පින්වතාණෝ