සටහන - චමින්ද මුණසිංහ

ඉතිහාසයේ කෙදිනකවත් නොවූ තරමේ අවුලකට රට මැදිවෙලාය. උද්ගතව තිබෙන අවස්ථාව දෙස බැලීමෙන් පමණක් ඒ සම්බන්ධව යම් නිගමනයකට එළඹීමට නොහැක. යහපාලනය බලයට පත්වූ දිනයේ සිට පෙළගැසුණු සිද්ධිදාමය සමස්තයක් වශයෙන් ගෙන බැලිය යුතුය. යහපාලනය බලයට ගෙන ඒමේ ක්‍රියාවලිය පිටුපස විදේශ බලවේග ක්‍රියාත්මක වූ බව නොරහසකි. සිවිල් සංවිධාන ද මේ වෙනුවෙන් සෑහෙන පමණ වෙහෙස වූ බව අපි දනිමු.

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම මේ අයගේ එක් පොරොන්දුවකි. යහපාලන ආණ්ඩුව පිහිටවූ දිනයේ සිට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමක් වූවාදැයි බැලිය යුත්තේ එකී පසුබිමේය. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන මූලික කරුණක් වන්නේ ජනතාවගේ ඡන්ද බලය තහවුරු කිරීමය. පරමාධිපත්‍යය ඇත්තේ ජනතාවටය. සමස්තයක් වශයෙන් ජනතාවට එම බලය ක්‍රියාත්මක කිරීමට නොහැකි නිසා නියෝජිතයන් පත්කිරීමට ඔවුහු කටයුතු කරති. විධායකයට ජනාධිපතිවරයකු පත් කිරීම, ව්‍යවස්ථාදායකයට මන්ත්‍රීවරුන් පත් කිරීම උදාහරණ වශයෙන් පෙන්වාදිය හැකිය. එනිසා විටින් විට විවිධ ආයතන වෙනුවෙන් නියමිත ඡන්ද නොපැවැත්වූවොත් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම අංගය උල්ලංඝනය වනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට පැමිණි පාලනය පළාත් පාලන ඡන්ද වසර දෙකකට වැඩි කලක් කල් දැම්මේය. පළාත් සභා ඡන්ද කල් දමා තිබේ. දිගින් දිගටම අනුගමනය කළේ එවන් ප්‍රතිපත්තියකි. තුනෙන් දෙකක බලයක් තිබූ අගමැතිවරයකු සිටියදී මන්ත්‍රීවරු හතළිස් ගණනක සහාය තිබූ අගමැතිවරයකු පත් කළේය. ඒ එම ආණ්ඩුව ආරම්භයේදීමය. එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක්ද? නැත. මේ ආකාරයට ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා දිගින් දිගටම සිදුවුණි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන විදේශ රටවල් මේ ක්‍රියා සම්බන්ධව කිසිවක් කළේ නැත. ප්‍රකාශයක්වත් නිකුත් කළේ නැත. ජනතාවගේ ඡන්ද අයිතිය නොදීම පිළිබඳ දිගින් දිගටම මුණිවත රැක්කේය. විදෙස් රටවල් එවන් පියවරක් අනුගමනය කළේ ඇයි? ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ රාශියක් දිගින් දිගටම සිදුවනවිට නිහඬව සිටි විදේශ රටවල් පසුගිය දිනවල ඇතිවූ තත්ත්වයත් සමග ප්‍රජාතන්ත්‍රවාදය මාතෘකාවක් කරගැනීම ප්‍රශ්නකාරීය. ඒ අය දැන් මේ ගැන කතා කිරීම ඵලයක් නැත. එයට හේතුව ඔවුන්ද දායක වූ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස රට වියවුලකට පත්ව තිබීමය. අද මේ අය ප්‍රජාතන්ත්‍රවාදයේ සළුපිළි පොරවාගෙන කරන කතා ජනතාව පිළිගන්නේ නැත. 

උද්ගතව තිබෙන තත්ත්වය යටතේ ගත හැකි හොඳම පියවර වන්නේ ජනතාවට අවස්ථාව ලබාදීමය. සුදුසු තීරණය ගැනීමේ වගකීම දරන්නෝ ඔවුහුය. සිදුවූ සහ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බලා තම බලය පාවිච්චි කිරීමට ජනතාව යොමුවනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉහළින් පෙනී සිටින බලවේග ජනතාව වෙතට යෑමට එරෙහි වන්නේ ඇයිදැයි සිතාගත නොහැක. එයින් ඔවුන් අරමුණු කරන්නේ කුමක්දැයි අපි නොදනිමු. 

ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් අප උගත්තේ කුමක්ද? “ජනතාවගේ, ජනතාව විසින්, ජනතාව සඳහා” එම සරල උගැන්මය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ මෙම අර්ථ දැක්වීම “බටහිරයන්ගේ, බටහිරයන් විසින්, බටහිරයන් සඳහා” යනුවෙන් වෙනස් කළ නොහැක. එසේ සිතා මේ රටේ වැඩ කිරීමේ හැකියාවක් ද නැත. එහෙත් ගෙවුණු කාලයේ සිදුවූයේ එයයි. බටහිර රටවල් කියන දෙයට “යස්” කිවයුතුව තිබුණි. ඔවුන්ගේ න්‍යාය පත්‍රය ගෙනයන කණ්ඩායම කරන ඕනෑම දෙයක් නිවැරැදිය. එසේ නොකර රට, ජනතාව ගැන සිතා ස්වදේශික මනසින් කරන සියල්ල වැරැදි ලෙස අර්ථ ගැන්වූවේය. බටහිර මතය මත්තේම කටයුතු කරනවා විනා ස්වදේශිකත්වයට ඉඩක් නැත. රටේ ප්‍රශ්නය පිළිබඳ තීරණයක් ගැනීමට ජනතාවට ඉඩ දිය යුතු යැයි මේ කිසිවෙක් නොකියති. අපේ රටේ පරමාධිපත්‍යය ඇත්තේ ශ්‍රී ලංකාවේ වෙසෙන මහජනතාවට මිස අන් කවරකුටවත් නොවේ. 

මෙවන් තත්ත්වයක් වසර 2002 දී ද උදා වුණි. එදා පැවැති ආණ්ඩුව ද ජනාධිපතිවරයාගේ බලතල නොසලකා කටයුතු කළේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමකට අවසානයේ යොමුවූවේය. ජනතාව පත් කළ විධායකයේ බලතල පාර්ලිමේන්තුවට ගත නොහැකි බව කියමින් එදා අධිකරණයට ගියේ ජයම්පති වික්‍රමරත්න ය. එහෙත් එදා ඔහු ගොඩනැගූ තර්කයට විරුද්ධව අද ඔහුම තර්ක කරන ආකාරයක් දැකගත හැකිය. යමක් සිදුව අවසන්ය. දැන් එයින් වැඩක් නැත. මේ මොහොතේ කළ යුත්තේ රට ගැන කල්පනා කිරීමය.

රටේ සුබසිද්ධිය උදෙසා කටයුතු කළ යුතුය. එය සෑම නායකයකුගේම වගකීමකි. තමන් දරන මතය ජනතාවට පැහැදිලි කර දෙන්නට සෑම කණ්ඩායමකටම පුළුවන. සිදුව ඇත්තේ වැරැද්දක්ද? නිවැරැදි දෙයක්ද යන්න එවිට ජනතාව තීරණය කරනු ඇත. හුදු එක සිද්ධියක් දෙස නොබලා සිද්ධිදාමය දෙසම බැලිය යුතුය. මේ තැනට පැමිණියේ කෙසේදැයි ජනතාවට හොඳ අවබෝධයක් ඇති බවට කිසිදු සැකයක් නැත. මින් පෙර සිදුවූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට ඉඩ දුන්නේ ඇයිදැයි ජනතාව මතුකරන ප්‍රශ්නයකි. සැබෑ ලෙසම යහපාලනයක් පෙන්නුම් කළා නම් රට වියවුලකට ලක් වන්නේ නැත. සියලු ප්‍රශ්න විසඳා ගැනීමට ජනතාවට අවස්ථාව දී ස්ථාවර ආණ්ඩුවක් බිහිකර ගන්නට පුළුවන. 

ප්‍රජාතන්ත්‍රවාදයේදී විය යුත්තේ ජනතාවගේ අවශ්‍යතාව ඉටු කිරීමය. එතැනදී වන්නේ ජනතාවට යහපතක් කිරීමය. රට අස්ථාවර කර අවසන්ය. බටහිර න්‍යාය පත්‍රය අනුව කටයුතු කිරීමෙන් මේ රටේ ස්ථාවරත්වය ගොඩනැගිය නොහැක. ඒ වගේම මේ හරහා තහවුරුවන තවත් කරුණක් තිබේ. එනම් ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළු සියල්ල මේ අයට මතක් වන්නේ තමන්ට වැරැද්දක් වූ විට පමණක් වීමය. එසේ නොවන තාක් ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ස්වාධිපත්‍යය, සාධාරණත්වය, ජනතා පරමාධිපත්‍යය නැත. කෙසේ වෙතත් මෙයින් පැහැදිලිවන මූලික කරුණක් තිබේ. එනම් පවත්නා දේශපාලන සංස්කෘතිය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතු බවය. තමන් ගැනම සිතන දේශපාලනඥයන් තවදුරටත් පත්කර ගත්තොත් ඉදිරියටත් රටේ ඇතිවන්නේ වියවුල් තත්ත්වයකි. එනිසා ජනතාවට අවස්ථාව දී පාර්ලිමේන්තුවට සුදුසු, රට ගැන සිතා වැඩක් කළ හැකි චරිත තෝරා පත් කර ගත යුතුය. එසේ නැතිව කිසිදු සුදුසුකමක් නැති අය තෝරා පත් කළොත් රටට අත්වන ඉරණම මෙයමය. 

තනතුරුවලට කෑදර, ජනතාව ගැන කල්පනා නොකරන, බලතල පසුපසම දුවන අයගෙන් වැඩක් නැත. ඉදිරියේදී බිහිවන කුමන ආණ්ඩුවක වුවත් සිටිය යුත්තේ අඩු ගණනක ඇමැති මණ්ඩලයකි. ඔවුන්ට යම් නීති රීති මාලාවක් තිබිය යුතුය. ටෙන්ඩර් පටිපාටියෙන් ඔවුන් ඈත් විය යුතුය. තවත් නුසුදුසු, නොගැළපෙන දේ බොහෝය. ඒවායෙන් ඔවුන් ඈත් කළ යුතුය. එවිට ඇමැතිකම්, බලතල, වරප්‍රසාද පසුපසම දුවන සංස්කෘතිය වෙනස්වීමකට ලක්වනු ඇත. සැමට පොදු පිළිවෙතක් සකසා ගත යුතුය. වෛරී සංස්කෘතියට තිත තැබීම ද වුවමනාය. හොරකම නවත්වනවා කියා මහා හොරකම් කරන තත්ත්වය පිටුදැකීමේ අවශ්‍යතාව ජනතාවට දැනී තිබේ.

මේ සංස්කෘතිය වෙනස් කිරීමේ හැකියාව ඇත්තේ ජනතාව අතය. ලැබෙන අවස්ථාවේදී කවුරු හෝ පත්කරනවා වෙනුවට අවංක, දක්‍ෂ, වැඩක් කළ හැකි පුද්ගලයන් තම නියෝජිතයා වශයෙන් පත් කිරීමේ අයිතිය, හැකියාව ඇත්තේ ජනතාවටය. එසේ නොකර තමන්ට වැඩක් නොවන බව කියමින් දොස් නැගීමේ ඵලක් නැත. තම පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක කිරීමට සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමට ජනතාව සබුද්ධික විය යුතුය. ඉදිරියේදී තීරණ ගත යුත්තේ සිහිනුවණිනි. ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්‍ෂාව ඇත්තේ ද එතැනය.