IMG-LOGO

චෙම්මනි යටගියාවේ ඛේදාන්තය

යාපනය නගරයේ දොරටුව ලෙස සැලකෙන චෙම්මනි ප්‍රදේශයේ මේ දිනවල කෙරෙන කැණීමේ කටයුතු හා එහිදී හමුවන මිනිස් ඇට සැකිලි පිළිබඳ වාර්තා කියවන විට 1984 දී ඇතිවූ තත්වයක් සිහිපත් වේ.

 ඒ කාලයේදී කොටි සංවිධානය පමණක් නොව වෙනත් ආයුධ සන්නද්ධ දෙමළ සංවිධාන ගණනාවක් පොලීසිය හා ආරක්ෂක හමුදා සමග ගැටුම් ඇති කරගනිමින් සිටියේය. ඒ අතර  තමිල් ඊළාම් විමුක්ති සංවිධානය හෙවත් ටෙලෝ සංවිධානය එම වසරේදී වාචාකච්චේරි පොලිස් ස්ථානයට දැවැන්ත  ප්‍රහාරයක් එල්ල කර එහි තිබූ ආයුධ තොගයක් පැහැර ගෙන ගියේය.

ඊට ප්‍රතිචාර වශයෙන් ආරක්ෂක හමුදා යාපනය නගරය හා යාපනය ආර්ධද්වීපයේ බොහෝ තැන්වල විශාල සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය. එහි දී සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් ඝාතනය කෙරුණු බව වාර්තා විය. එහෙත් ඒ දිනවල දැඩි  පුවත් පාලනයක් ක්‍රියාත්මක වූ හෙයින් මෙම සිදුවීම් වාර්තා කරන්නට දෙමළ පුවත්පත්වලට හැකියාවක් නොතිබිණි.

ඒ කලයේ රටේ ප්‍රධානම ජනමාධ්‍යය වූයේ පුවත්පත්ය. ඊට අමතරව ආණ්ඩුවේ ගුවන් විදුලිය හා එක් රූපවාහිනි සේවයක් පමණක් ක්‍රියාත්මක විය. අන්තර්ජාලය එකල නැත්තටම නැත. ජනතාවට රටේ සිදුවීම් දැන ගැනීමට ප්‍රධාන වශයෙන්ම පුවත්පත් මත රැඳී සිටීමට සිදුවිය.

මේ තත්වය යටතේ යාපනයේ සිදුවීම් දැන ගන්නට තිබූ එකම ක්‍රමය දෙමළ පුවත්පත හා යාපනයේ ක්‍රියාත්මක වූ ‘සැටඩේ රිවිව්’ නම් ඉංග්‍රීසි සතිපතා පුවත්පත පමණි. පුවත් පාලනය නිසා යාපනයේ හමුදා මෙහෙයුම්වල තත්වය හෙළි කිරීමට එම පුවත්පත්වලට ද දුෂ්කර විය. එක් දෙමළ පුවත්පතක් දින කිහිපයක්ම හමුදා ප්‍රහාරවලින් මියගිය ‘‘ත්‍රස්තවාදීන්’’ යැයි හඳුන්වමින් නම් සිය ගණනක් ඔවුන්ගේ වයස්ද සමග පළ කළෙඝ්ය. එම ‘‘ත්‍රස්තවාදීන්’’ අතර වයස අවුරුදු දහයට අඩු ළමයින්ද සිටින බව වාර්තා  කෙරිණි. මෙය එකල විශාල ආන්දෝලනයක් ඇති කළේය.

පසුගිය  පෙබරවාරි මාසයේ සිට චෙම්මනි ප්‍රදේශයේ  කෙරෙන කැණීම්වලදී මෙතෙක් මිනිස් ඇට සැකිලි පනහකට ආසන්න සංඛ්‍යාවක් සොයාගනු ලැබ තිබේ. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු විශේෂඥයන් පිරිසකගේ අධීක්ෂණය යටතේ මෙම කැණීම් ආරම්භ වූයේ පසුගිය පෙබරවාරි මස එම ප්‍රදේශයේ සංවර්ධන කටයුතුවල නිරතවූ සේවක පිරිසක් මිනිස් අස්ථි කොටස් කිහිපයක්  සොයා ගැනීමෙන් අනතුරුව කරන ලද අධිකරණ නියෝගයක් අනුවය.

මෙතෙක් සොයා ගැනුණු ඇට සැකිලි අතර පාසල් බෑගයක් සමග පාසල් යන වයසේ කුඩා ළමයකුගේ හා බෝනික්කු සමග පෙර පාසල් යන වයසේ ළමයකුගේ ඇටසැකිලිද හමුවී තිබේ. අපට 1984 දෙමළ පුවත්පත්වල වාර්තා සිහිපත් වූයේ මෙම සොයා ගැනීම් පිළිබඳ වාර්තා දුටු විටය.

මෙම කැණීම් කටයුතු කෙරෙන අතර පසුගිය මාසයේ මානව හිමිකම් පිළිබඳ එ.ජා. මහ කොමසාරිස් ෆොල්කර් ටූර්ක් මෙරට සංචාරයක නිරත විය. ඔහුද මෙම කැණීම් කෙරෙන  ස්ථානය නැරඹීමට ගියේය. එහිදී ඔහු එසේ මියගියවුන්ට උපහාර දැක්වීමක් කළේය.

මෙම කැණීම් කටයුතු පිළිබඳව දකුණේ දේශපාලනඥයන්ගේ ප්‍රතිචාරය විවිධය. වැඩි  දෙනකු එම කටයුතු කෙරෙහි ප්‍රසාදයක් දක්වන්නේ නැත. එම කටයුතු අගය කරන්නේ කුඩා වාමාංශික කණ්ඩායම් පමණි. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හා හිටපු මහජන ආරක්ෂක ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල්  සරත් විරසේකර මහතා ප්‍රසිද්ධියේම  මෙම කටයුත සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර තිබේ. වීරවංශ මහතා මානව හිමිකම් පිළිබඳ එ.ජා. මහ කොමසාරිස්වරයාට චෙම්මනි ප්‍රදේශයට යාමට ඉඩදීම සම්බන්ධයෙන් ආණ්ඩුවට දොස් පවරාද තිබිණි.

මෙම කැණීම්වලදී හමුවන්නේ කොටි සංවිධානය විසින් ඝාතනය කරනු ලැබුවන්ගේ ඇට සැකිලි විය හැකි යැයිද  මේවා කොටි සංවිධානය විසින් ඝාතනය කර වළලනු ලැබූ හමුදා සාමාජිකයන්ගේ ඇටසැකිලි විය හැකි යැයි ද ඔවුහු කියති. නීතිමය වශයෙන් එම තර්ක එක්වරම ප්‍රතික්ෂේප කළ නොහැකි වුවද රටේ දේශපාලනය පිළිබඳ දැනුම් තේරුම් ඇතිව සිටින්නන්ගේන් සියයට එකක් හෝ එය තර්ක පිළි ගන්නේ ද යන්න සැක සහිතය.

අනෙක් අතට සැබෑ ලෙසම මේ මතු වන්නේ කොටි සංවිධානය කළ අපරාධවල සලකුණු යැයි ඔවුන් සිතන්නේ නම් මෙම කැණීම් කටයුතුවලට හා මානව  හිමිකම් පිළිබඳ එ.ජා මහ කොමසාරිස්වරයා එම ස්ථානයට යාම පිළිබඳව ඔවුන් අප්‍රසාදය පළ කිරීම අප තේරුම් ගන්නේ කෙසේද?

චෙම්මනි ප්‍රදේශය දැනට වසර තිහකට පමණ පෙර ද මෙවැනිම සිදුවීමක් හේතුවෙන් රටේ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද විශාල ආන්දෝලනයකට තුඩුදුන් ප්‍රදේශයකි. ඒ 1996 දී ක්‍රිෂාන්ති කුමාරස්වාමි නම් පාසල් සිසුවියක හමුදා නිලධාරීන් පිරිසක් විසින් සමූහ දූෂණයට ලක් කර ඇයත් ඇය සොයා පැමිණි ඇගේ මවත්. සහෝදරයාත් අසල්වැසියකු මරා  චෙම්මනි ප්‍රදේශයේ වළලා තිබූ බව සොයා ගැනීමත් සමගය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වනු ලැබූ නඩු විභාගයේ අවසානයේ දී 1998 ජූලි මාසයේ දී හමුදා භටයන් හය දෙනකුට මරණ දඬුවම පනවනු ලැබීය. ඔවුන් වරදකරුවන් කරනු ලැබීමෙන් පසු ඉන් එක් අයකු වූ ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් අධිකරණය හමුවේ කළේය. ඝාතනය කෙරුණ තුන් සියයක හාරසියයකගේ මළ සිරුරු එම ප්‍රදේශයේ රහසිගතව වළලා ඇතැයි ඔහු එහි දී ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව කරන ලද සොයා බැලීම්වලදී තවත් මළ සිරු 15ක ඇට සැකිලි සොයා ගනු ලැබ නඩු විභාග ආරම්භ වූ අතර පසුව එම නඩු  විභාග අනුරාධපුර අධිකරණයට මාරු කිරීමත් සමග ඝාතනය  කරනු ලැබූවන්ගේ ඥාතීන්ට හා සාක්ෂිකරුවන්ට අනුරාධපුරයට යාමේ දී විවිධ බාධා හා දුෂ්කරතා ඇති විය. ඒ සමගම යුද්ධය ද උත්සන්නවී එම නඩු විභාග කෙමෙන් යටපත් වී ගියේය.

1995 වනවිට වන්නිය හා යපනය අර්ධද්විපය මුළුමනින්ම පාහේ කොටි සංවිධානයේ පාලනය යටතට පත්වී තිබිණි. පලාලි, අලිමංකඩ, මුලතිව් වැනි හමුදා කඳවුරු පමණක් හමුදාව යටතේ විය. මේ තත්වය යටතේ යාපනය අර්ධ ද්වීපය යළි අත්පත් කර ගැනීම සඳහා ආරක්ෂක හුමදා 1995 දී රිවිරැස මෙහෙයුම ක්‍රියාත්මක කළේය. එය සාර්ථක විය. එහිදී සාමාන්‍ය දෙමළ වැසියන් හය සියයක් පමණ අතුරුදන් වූ බවට දෙමළ දේශපාලනඥයෝ චෝදනා කළහ. මෙම චෝදනා හා ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂගේ ප්‍රකාශය අතර සංඛ්‍යාත්මක වශයෙන් එක්තරා දුරකට ගැළපීමක්ද  දක්නට විය.

කෙසේ වෙතත් 1971 සිට මෙරට සිදුවූ සන්නද්ධ ගැටුම් හමුවේ සංවාදයට ලක් වූ සමූහ මිනීවළ චෙම්මනි මිනීවළ පමණක් නොවේ. උතුරේත් දකුණේත්. බස්නාහිරත් නැඟෙනහිරත් රට මැදත් බොහෝ තැන්වල සමූහ ඝාතන සිදුවී ඇති අතර ඒවා හා සම්බන්ධ ඇතැම් සමූහ මිනි වළවල් ද පසු කාලයේ සොයා ගැනිණි. ඇතැම් සමූහ ඝාතන සිදු වූ බවට තහවුරු වුවද එසේ ඝාතනයට ලක් වූවන් වැළලූ තැන් හොළිදරව් වී නැත.

එසේම උතුරු නැගෙනහිර පළාත්වල සිදු වූ සමූහ ඝාතන පිළිබඳ පරීක්ෂණ නොකෙරෙන බවට දෙමළ දේශපාලනඥයන් චෝදනකා කළ ද සැබෑ තත්වය රටේ කිසිදු පළාතක සිදුවූ සමූහ ඝාතන සම්බන්ධයෙන් කිසිදු රජයක් සැබෑ වුවමනාවකින් යුතුව පරීක්ෂණ පවත්වා නැත යන්නයි.

1971 ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැල්ලේ දී රටේ විවිධ ප්‍රදේශවල තැන තැන ටයර් දමා මළසිරුරු පුළුස්සා දැමීම හා මරණ පරීක්ෂණයකින් තොරව මළසිරුර බැහැර කිරීමට ආරක්ෂක අංශවලට අවසර දීමෙන් ආණ්ඩුවේ අවශ්‍යතාව අනුව එසේ සමූහ ඝාතන සිදුවූ බව සිතා ගත හැකිය.

1979 වන විට උතුරේ බෙදුම්වාදී සන්නද්ධ ක්‍රියා ආරම්භ වී තිබිණි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත එම වසරේ දී සම්මත කෙරුණේ ද ඒ අනුවය. එම වසර අවසානයට පෙර  ත්‍රස්තවාදය අවසන් කරන ලෙසට නියෝග කරමින් එවක ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන මහතා සිය ඥාතියකු ද වූ බ්‍රිගේඩියර් තිස්ස වීරතුංග මහතා උතුරට යැවීය. මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන ඇම්නෙස්ට් ඉන්ටර්නැෂල් සංවිධානය  ඔහුට විරුද්ධව විශාල වශයෙන් යෝජනා කළේය.

කිසිදු ප්‍රකෝප කිරීමකින් තොරව සාමාන්‍ය වැසියන් ඉලක්ක කර කළ පළමු  සමූහ ඝාතනය සිදු වූයේ 1984 සැප්තැම්බර් 10 වැනිදාය. එදින කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ බසයක් රඹෑවේ දී නවතා වවුනියාවේ පූවරසන්කුලම් වෙත ගෙන ගොස් එහි සිටි මගීන් 47 දෙනාගෙන් 15 දෙනකු ඝාතනය කරනු ලැබ තිබිණි. ඊට චෝදනාව එල්ල වූයේ හමුදාවටය.

ඊට පළිගැනීමක් ලෙස කොටි සංවිධානය එම වසරේ නොවැම්බර් 30 වැනිදා මුලතිව් දිස්ත්‍රික්කයේ කෙන්ට් ෆාම් හා ඩොලර් ෆාම් යන සිංහල ජනපදය දෙකට පහර දී සාමාන්‍ය වැසියන්  දෙදෙනකු ඇතුළු අසූදෙදෙනකු ඝාතනය කළේය. පසුදින ඔවුහු එම දිස්ත්‍රික්කයේම පිහිටි කෝකිලායි හා නයාර් යන සිංහල ධීවර ගම්මාන දෙකට පහරදී 11 දෙනකු මරා දැමූහ.

ඊට පලිගන්නට එම මාසයේම ඒ අවට ගම්වල දෙමළ වැසියෝ සිය දෙනෙක් පමණ ඝාතනය කරනු ලැබූහ. පසු කාලයේ දී සිංහල හා දෙමළ ගම්මානවලට පහරදී සියගණක් සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීම තරගයට  මෙන් සිදු විය.

දශක තුනකට වැඩි කාලයක් පුරා කොටි සංවිධානය කළ බව කියන හා ශ්‍රී ලංකා හා ඉන්දීය ආරක්ෂක අංශ කළ බව කියන මෙරට සිවිල් වැසියන් ඉලක්ක කර ගත් සමූහ ඝාතන සිය ගණනක් විකි පීඩියා මාර්ගතත විශ්වකෝෂයේ ලේඛන ගත කරනු ලැබ ඇත.

ඒවායින් 1985 ශ්‍රී මහා බෝධිය අසල ඝාතන, 1987 පිටකොටුවේ බෝම්බය, 1990 යටත් වූ පොලිස් භටයන් 600ක් ඝාතනය කිරීම, 1990  කුරුක්කල්මඩම්හිදී හා වන්දනාකරුවන් ඝාතනය 1991 පල්ලිය ගොඩැල්ල ඝාතනය කොටි සංවිධානයට චෝදනා එල්ල වූ සියයකට  වඩා වැඩි පිරිසක් ඝාතනය වූ සිදුවීම්ය.

එසේම 1989  වැල්වෙට්ටිතුරෙයි 1991 කොක්කට්ටිච්චෝලයි. 1990 වීරමුණේ. 1990 දී සිත්තාන්ඩි, 1990 දී නැගෙනහිර විශ්වවිද්‍යාලය වැනි ස්ථානවල දී සියයකට වැඩි දෙමළ ජනයා ඝාතනය කරනු ලැබු අතර ශ්‍රී ලංකා හමුදාව පොලීසිය ඉන්දීය හමුදාව  හා මුස්ලිම් ග්‍රාමාරක්ෂකයෝ ඒවා සම්බන්ධයෙන් චෝදනාවට ලක්වී සිටිති.

ජවිපෙ දෙවැනි කැරැල්ලේදී ආරක්ෂක අංශ විසින් ඝාතනය කරනු ලැබූ පිරිස 60,000ඉ ක්මවන බව කියවේ. ඒ කාලයේ සුරියකන්ද, වනවාසල, හෝකන්දර ආදි බොහෝ තැන්වල සමූහ මිනීවළවල් සොයා ගැනිණි.

මේවා ගැන කතා කිරිමේ දී සෑම කෙනකුම ‘‘තමන්ට’’ සිදුවූ හානිය පමණක් ඉස්මතු කර ‘‘අනෙකාට’’ සිදුවූ හානිය නොතකා හැරීම සාමාන්‍ය තත්වයක් බවට පත්වී තිබේ. එසේම මේවායින් සිදුවීම් සිය ගණක් රටටම අමතක වී ගොස් දෙමළ දේශපාලනඥයෝ පමණක් සිදුවීම් කිහිපයක් පමණක් චාරිත්‍රයක් මෙන් වසරක් පාසා සමරති.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් කිසිදු ආණ්ඩුවක් නීතිමය පියවර ගත්තේ නැත. සූරියකන්ද සමූහ මිනීවළ තාවකාලික දේශපාලන හිණි මගක් පමණක් විය. ඉදිරියේදී ද බොහෝ දුරට විය හැක්කේ මේවා යටපත්වී  අමතකවී යාමයි.

(*** එම්.එස්.එම්.අයුබ්)



අදහස් (1)

චෙම්මනි යටගියාවේ ඛේදාන්තය

shantha Wednesday, 30 July 2025 04:00 PM

කොටි සංවිධානය විසින් විශාල වශයෙන් හමුදා සහ පොලිස් නිලධාරී මරා දමා ඇති බවට නිල වාර්ථා ඇතිමුත් මල සිරුරු එම ප්රදේශ වලම සමූහ වශයෙන් මිහිදන් කර ඇති බවටද තොරතුරු ඇත. මේ අනිවාර්යයෙන්ම ඒ මිය ගිය සොල්දාදුවන්ගෙ විය යුතුයි.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 204 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 356 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 697 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site