චිත‍්‍රපට ශාලාවල ඇති ”බොක්ස්” කුටි වෙනුවෙන් අලූත් නීති ගෙන එන්නට යන බව පසුගිය කාලයේ වැඩි කතාබහට ලක්වූ මාතෘකාවක් විය. එලෙස නීති පැනවීමට ආසන්නම හේතුව වන්නට ඇත්තේ මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් ගම්පොල සිනමා ශාලාවක සිදුවිණැයි කියන සිද්ධිය විය හැකිය.
ගම්පොල සිද්ධිය හුවා දැක්වූයේ ”බොක්ස්” කුටියක් තුළ සිදුවූ එවැනි පළමු සිදුවීම ලෙසය. බොක්ස් කුටි තුළ එවැනි සිදුවීම් බොහොමයක් සිදු වුවත් එය මාධ්‍ය මගින් අනාවරණය නොවීම නිසා ඇතැම් විට බලධාරීන්ගේ අවධානයට යොමු නොවන්නට ඇත.

 

බොක්ස් ගැන කතා කරද්දී ගම්පොළ කතාව ගැන ද අවධානය යොමු කළ යුතුය.

වෙනදා මග තොටේ පෙම් කරන 20 හැවිරිදි පෙම්වතා සහ 16 හැවිරිදි පෙම්වතිය එදින ගියේ චිත‍්‍රපට ශාලාවකටය. රුපියල් හාර පන්සියයක් ගෙවා ඔවුන් ප‍්‍රවේශපත් දෙකක් ලබා ගන්නේ බොක්ස් කුටියකට යෑමටය. සිප ගැනීමෙන් පටන්ගත් ආදරය අවසන් වන්නේ සියල්ල සිදුවීමෙන් පසුවය. එදා පටන් තරුණයා සිය පෙම්වතියගේ නිවෙසට ගොස් ඇවිටිලි කරන්නේ තමා අතින් වරදක් සිදුවූ බවත්, ඒ නිසා පෙම්වතිය විවාහරකර ගැනීමට අවශ්‍ය බවත් කියමිනි. තරුණයාගේ ඇවිටිල්ලෙන් බේරීම සඳහා තරුණියගේ භාරකරුවන් ගියේ පොලිසියටය. තරුණයාට විරුද්ධව පැමිණිල්ලක් කළේය. ඒ සමගම චිත‍්‍රපට ශාලාවේ සිදුවූ දේ ද එකිනෙක දිග හැරිණි.
 

 

චිත‍්‍රපට ශාලාවක බොක්ස් කුටියක් තුළ බලෙන් කිසිවක් කරන්නට බැරිය. දෙදෙනාගේම එකඟත්වයක් නැතිව එවැන්නක් සිදුවිණැයි කිවහොත් එය මුසාවකි. ලංකාවේ නීතිය අනුව වයස අවුරුදු 16 ට අඩු දැරියක සමග කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් සිදුවන ලිංගික එක්වීම සලකන්නේ ස්ත‍්‍රී ¥ෂණයක් ලෙසයි. ගම්පොළ සිද්ධිය ද දෙදෙනාගේම කැමැත්තෙන් සියලූ කටයුතු සිදුවුවත් ඉහත කී තරුණයා නීතියේ රැහැනට හසුවන්නේ දණ්ඩ නීති සංග‍්‍රහය අනුව දඬුවම් ලැබිය හැකි අපරාධයක් සිදු කළ තැනැත්තකු ලෙසය.

බොක්ස් ගැන මත කිහිපයක් ඇත. එක් අයෙක් බොක්ස් හොඳයි කියද්දී තව අයෙක් බොක්ස් නරකයි කියයි. අවුරුදු 18 ට වැඩි තරුණ තරුණියන්ට නම් බොක්ස්වලට යෑමෙන් ගැටලූවක් නැතැයි කියන පිරිසක් ද සිටිති.

ඒ සියලූ කාරණාවලට පෙර සොයා බැලිය යුත්තේ තරුණ තරුණියන් බොක්ස් කුටි තුළට යන්නේ ඇයිද යන ප‍්‍රශ්නයට පිළිතුරයි.

දරුවන් යොවුන්වියට පිවිසීමත් සමග කායික හා මානසික වෙනස්කම් රැසක් සිදු වෙයි. හෝමෝන ක‍්‍රියාකාරීත්වය වෙනස් වෙයි. ඒ මත ඔවුනට ආදරය හා ලිංගිකත්වය ගැන අදහස් මතු වන්නේ නිරායාසයෙනි. ලංකාවේ ලිංගිකත්වය  ගැන නිසි අධ්‍යාපනයක් ලබා නොදෙන තත්ත්වයක් තුළ යොවුන් වියේ මතුවන ක්ෂණික ආශාවක් සංසිඳුවා ගැනීමට ගොස් තරුණ තරුණියෝ අමාරුවේ වැටෙති. යෞවනයන් එලෙස මතුවන ක්ෂණික ආශාවන් සංසිඳුවා ගැනීමට භාවිත කරන එක් තැනකි සිනමා ශාලාවල බෝක්ස්කුටි.

තරුණයන් බොක්ස්් කුටි තුළට යෑමට තවත් හේතුවක් ඇත. ඒ ඔවුනට පේ‍්‍රම කිරීමට නිසි තැනක් නොතිබීමයි. කප්පම්කරුවන් නිසා මුහුදු වෙරළකට යෑමට නොහැකිය. තරුණ තරුණියනට පෙම්සුව විඳින්නට තැනක් නැති තැන කාමරවලට යති. කාමරයට වැඩි ගාණක් දීමට නොහැකි බොහෝ දෙනා යන්නේ සිනමා ශාලාවල බොක්ස් කුටි තුළටය.

සෙනසුරාදා, ඉරිදා දිනවල ටියුෂන් පන්ති යන තරුණ තරුණියන් රැසක් බොක්ස් කුටිවලට එන බවත්, බොක්ස් කුටි පිරී ඇති අවස්ථාවල ඔවුන් බැණ වැදී යන බවත්, ඇතැම් අවස්ථාවල චිත‍්‍රපට දර්ශනයෙන් පසු පරීක්‍ෂා කරද්දී බොක්ස් කුටි තුළ තිබී උපත් පාලන කොපු හමුවූ අවස්ථා ගණනාවක් තිබෙන බවත් සිනමාහල් සේවකයෙක් කීවේය.

සිනමා ශාලාවේ බොක්ස් කුටි තුළට ගණිකාවන් රැගෙන යන අවස්ථා ගැනද පසුගිය කාලයේ අසන්නට ලැබුණි. ඒ ගැන කියැවෙන වේදිකා නාට්‍යයක් පවා නිර්මාණය කර තිබූ අතර ඊට ද විශාල ප‍්‍රතිචාරයක් ලැබිණි. බොහෝ විට බොක්ස් කුටියකට ගණිකාවන් රැගෙන යන්නේ කාමරයකට ගෙන්වන්නට වෙන මුදල ඉතිරි කර ගැනීමටය.

හොරෙන් කතා වෙන මෙවැනි මාතෘකා ගැන සමාජයේ පුළුල් කතිකාවතක් ගොඩනැගිය යුතුය. බොක්ස් ගැන නව නීති ගෙන ඒමට කටයුතු කිරීම ගැන උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවේ බොක්ස් කුටි තුළ සිදුවන අපචාර පිටුදැකීම අරමුණ බවයි. මේවනවිටත් සිනමා ශාලාවලට ගොස් බොක්ස් කුටි පරීක්‍ෂා කිරීම් කරන බවද, අපචාර ගැන දැනුම්වත් කරන බව ද ඔහු කීවේය.

චිත‍්‍රපට ශාලාවල බොක්ස් කුටි සම්බන්ධයෙන් නීති පැනවීම කාලෝචිත බව කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝජ් පුෂ්පකුමාර ජිනදාස මහතා කියයි.

”ලංකාවේ චිත‍්‍රපට කර්මාන්තයේ මුල ඉඳලා තිබුණු දෙයක් තමයි චිත‍්‍රපටවල විවිධ රසිකත්වයන් ගණනාවක් දැකියි හැකි වීම. අසූව දශකයේ විදේශ චිත‍්‍රපට ගෙන්වන්න පටන් ගත්තා. යම් ආකාරයකට ඇතැම් සිනමා පට සම්භාව්‍ය සිනමා වශයෙන් එක එක මට්ටම් පස්වැනි මණ්ඩලය, හතරවැනි මණ්ඩලය වශයෙන් සඳහන් කළා. චිත‍්‍රපට යම් ආකාරයකින් වෙන් කිරීමක් කළා එක් එක් වයස් කාණ්ඩයන්ට හා පරිණතභාවයන් අනුව”

”චිත‍්‍රපට ශාලාවට ජනතාව ඇදගන්නා අරමුණින් නොයෙක් සිනමාශාලාවල වෙනස්කම් වුණා. පවුලේ ඔක්කොටම බැලිය හැකි චිත‍්‍රපට බලන අතරතුර පේ‍්‍රක්‍ෂකයන්ට අවශ්‍ය පහසුකමුත් සැලැස්වුවා. චිත‍්‍රපට බලන්න වෙනමම පහසුකමුත් සැලැස්සුවා. ඒ එකක් තමයි බොක්ස් කුටි. තරුණ වයසේ හෝ වැඩිහිටි අය යනවා චිත‍්‍රපට බලන්න. චිත‍්‍රපට බලන ගමන් එයාලගේ යම් යම් ආදර සම්බන්ධතා, එක එක පෞද්ගලික අවශ්‍යතාවයන් ඉටු කර ගන්නවා. දැන් ඒවාට නව නීති රීති ගේන්න තරම් හේතුවෙලා තිබෙන්නේ විවිධ තොරතුරු එනවා සිදුවීම් ගැන”

”දරුවන්, ගැටවරවියේ දරුවන් තමන්ගේ ජීව විද්‍යාත්මක වෙනස්වීම් එක්ක ඇතිවන ක්ෂණික ආශාවන් තෘප්ත කර ගැනීමට ගිහින් ඔවුන්ගේ ජීවිතවලට තර්ජනය වෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා නීතිරීති ගේන්න පුළුවන් මේවාට ඇතුළුවන වයස් ගැන. ඒ්ක හොඳයි. වරදක් කියන්න බෑ. ඒකෙන් අදහස් වෙන්නේ නෑ මේවට යන වැඩිහිටියන්ට යෑමට නොහැකි කමක් තියනවා කියා. පොඩි දරුවො, අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ කරන දරුවො මේවට යෑමේ ප‍්‍රවණතාවක් තියනවා. සංස්කෘතියට සදාචාරයට එහි යම් නොගැලපෙන බවක් තියනවා. එක් අතකින් එවැනි තීරණ ගැනීම හොඳයි. උචිතයි, කාලෝචිතයි කියා හිතනවා. ඒකෙන් සිනමාවට යම් වාරණයක් කිරීමක් හෝ සිනමාවට හානියක් වෙනවා කියා මා හිතන්නේ නෑ”

බොක්ස් කුටි යනු එක්තරා සමාජ ප‍්‍රශ්නයකට උත්තරයක් යැයි කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ කථිකාචාර්ය සමන්තිකා ප‍්‍රියදර්ශනී මහත්මිය කියන්නීය.

”මූලිකම කාරණය තමයි ලංකාවේ සිනමා ශාලාවල පවතින තත්ත්වය කුමක්ද කියන එක. ලංකාවේ සිනමාවේ යම්කිිසි අර්බුදකාරී බවක් තියනවා. පිටපත් ගාන කීයද? ශාලාවේ පහසුකම් කොහොමද? මේ අර්බුද ඔක්කොම මැද්දේ ලංකාවේ පේ‍්‍රක්‍ෂකාගාරයක් තියනවාද සිනමාවට කියන ප‍්‍රශ්නෙත් තියනවා.  ඕකට උත්තරයක් දෙන සිනමා පට මේ වෙනකොට හැදිලත් තියනවා”

”හැබැයි මේ මොන සිනමා පටය හැදුවත් ලංකාව ඇතුළේ ”බොක්ස්” කියන්නේ සිනමා ශාලාවේ නැතිවම බැරි දෙයක්. මේක එක්තරා විදියකට සමාජ ප‍්‍රශ්නෙකට උත්තරයක් විදිහටත් මට හිතෙනවා. මොකද අපි කතා කළොත් එහෙම ලංකාවේ යටිතල ලිංගිකමය දේශපාලන කතාවක් තියනවා. උදාහරණයක් විදියට ගූගල්වලින් හොයා ගන්නවා ලංකාවේ වැඩිපුර මොනවද බලන්නේ කියලා. ලංකාවේ තරුණ තරුණියන්ට හරියට ආදරය කරන්න තැනක් නැහැ කියන එකත් කියනවා” ”ලංකාවේ තාවකාලික අවන්හල් හැමතැනම බිහිවෙලා තියෙනවා. රූම්ස් කියලා ගහපු බෝඞ් හැමතැනම තියනවා. මේ ඔක්කොමත් එක්කම යම්කිසි පිරිසක් බොක්ස් කුටි තමන්ට සුරක්‍ෂිතම, තමන් පේ‍්‍රම කරමින් තමන්ගේ අවශ්‍යතා සපුරා ගනිමින් චිත‍්‍රපටියකුත් නරඹන්න භාවිත කරන බවක් තමයි හිතෙන්නේ. මේ ශාලාවකට ගිහින් බැලූවොත් සමහරවිට  ඕඞීසී හිස් වුණාට, බැල්කනියේ වැඩියේ සෙනඟ නැතිවුණාට බොක්ස් ටික ෆුල් වෙලා තියනවා. නිත්‍ය පේ‍්‍රක්‍ෂකාගාරයක් හැදෙනවා. 10.30, 2.30, 6.30 කියලා බැලූවොත් මේ හැමවෙලාවෙම බොක්ස්වලට කණ්ඩායම් ඉන්නවා”

”ඇයි මේ? ඒක වෙන සමාජ ප‍්‍රශ්නයකට උත්තරයක් කියලයි කියන්නේ. විශේෂයෙන් සිනමා ශාලා හිමියනුත් බොක්ස්වලට විශේෂ පහසුකම් දෙන්න පටන් අරන් තියනවා. පුටුවේ හැඩයේ සිට සියල්ල වෙනස් කරමින් තියනවා. සමහර වෙලාවට මේවා ගැන පරීක්‍ෂණ කරන්න යද්දී අපිට පේනවා වෙන වෙන අවශ්‍යතාවන්වලට මේවා භාවිත කරන තැනක්. වෙලා බව ඒ කියන්නේ සහ සමහරවිට චිත‍්‍රපට දෙකක් නැරඹෙනවාය කියන එක. සමහරවිට තමන්ගේ ජංගම දුරකතනයේ තියන චිත‍්‍රපට තමයි බොක්ස් එක ඇතුළේ බලන්නේ. දෙක දෙක තියෙන්නේ. නොකියා අපිට ඉඟිකරනවා කුමකටද තියෙන්නේ කියන එක”
”මෙහෙම බැලූවාම එක්තරා විදියකට අපිිට අභිමානයක් තියනවානම් සිනමාව පිළිබඳ, සිනමාව රැුක ගත යුතුයි කියා පොඩි අවශ්‍යතාවක් තියනවානම් ලංකාවේ පේ‍්‍රක්‍ෂකාගාරය පිිළිබඳ ලොකු කැක්කුමක් තියෙනවානම් මීට වඩා වෙනස්කම් සමාජයේ විය යුතුව තිබෙනවා. ලංකාව සිනමාව ඇතුළේ විය යුතු බොහෝ දේ නොකර අපිට බොක්ස් ගැන නීති සකස් කිරීම සුදුසුද කියන එක ගැනත් මට පොඩි හාස්‍යයක් තියෙන්නේ. ලංකාවේ සිනමාව උගන්වන්න සිනමා පාසලක් නැති රටක, හරියට රූපවේදනය උගන්වන්න පාසලක් නැති රටක අපිට හැමවිටම නීති අනපනත්වලින් දේවල් කරන්න පුළුවන්ද කියන එක හිතන්න  ඕනෑ”

”එතකොට කර්මාන්තය බිඳ වැටිලා බිඳවැටිලා කියා කෑගහනවා. කර්මාන්තය තුළ ලාබ නෑ ලාබ නෑ කියා කෑගහනවා. ඒ කෑගහන ගමන් අපි බොක්ස් එක ගලවන්න යනවා. මොකක්ද අපි මේකෙන් බලාපොරොත්තු වෙන සදාචාරය? අපිට හොඳ සදාචාරයක් තියනවානම්  ඕක නිවැරදි කරන්න තියන තැන් කොතැනද තියෙන්නේ. ඔතන නෙමේ තියෙන්නේ. ඒ නිසා මම මූලික වශයෙන් බොක්ස් කියන එක කලබල විය යුතු කාරණයක් නෙමේ කියලයි හිතන්නේ”
”තරුණයො ඉන්නවා. වයසක අය ඉන්නවා. මේකට එන විවිධ අය ඉන්නවා. ඒ අය එයි. අවශ්‍ය වෙලාවට සමාජය විසින්  ඕක ප‍්‍රතික්ෂේප කරයි. ඒක නීතියකින් හදන්න පුළුවන් දෙයක් නෙමේ. හොඳ පේ‍්‍රක්‍ෂකාගාරයක් හදන්නේ නැතුව අපේ මිනිස්සු මේ චිත‍්‍රපට බලන සංයමයක් නැතුව, අන්තර්ජාතික සිනමාපටයක් බලන්න සංයමයක් හදන්නේ නැතුව බොක්ස් එක ගලවලා හරි යන්නේ නෑ. කර්මාන්තය දියුණු කරන්න. චිත‍්‍රපට බලන්න එන පිරිසට, තාක්‍ෂණික පැත්තෙන් වෙන්න පුළුවන්, කලාත්මක, නිර්මාණාත්මක පැත්තෙන් වෙන්න පුළුවන්, අනිකුත් පැත්තෙන් වෙන්න පුළුවන් එන පිරිසට ශක්තියක් වෙන්න ඒ පැත්තෙන් ටික හදන ගමන් යටිතල පහසුකම් හදන්න. සිනමා ශාලාවේ තිරය, සවුන්ඞ්ස් සිස්ටම් ගැන හිතන්න”

”ජාතික ප‍්‍රතිපත්තියක් සිනමාවට තියෙන්න  ඕනෑ. ඒ ජාතික ප‍්‍රතිපත්තියකට හිඩැසක් තියාගෙන මේ පොඩි දෙයක් අල්ලගන වැඩක් නෑ”.

 

සටහන : තරිඳු ඉරංග ජයවර්ධන සහ ගයාන් මදුසංඛ හෙට්ටිආරචිචි