IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


ගුවනේ අමතක නොවන හඬ චිත්‍රා කුමාරි කළුබෝවිල

ප්‍රවීණ ගුවන් විදුලි, රූපවාහිනී නිවේදිකාවක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු වෙළෙඳ සේවා අධ්‍යක්ෂ චිත්‍රාකුමාරි කළුබෝවිල මහත්මිය (68) කෙටි කලක් රෝගාතුරව සිට පසුගිය 18 වැනිදා අභාවප්‍රාප්ත වූවාය. අද සවස බොරැල්ල කනත්තේදී ඇගේ අවසන් කටයුතු සිදුවෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

චිත්‍රා කුමාරි කළුබෝවිල කී සැණින් අපට ඇගේ කටහඬ සිහිපත් වෙයි. ඒ වසර 50 කටත් අධික කාලයක් තිස්සේ ඇයටම ආවේණික වූ ඒ කටහඬ ප්‍රේක්ෂක ශ්‍රාවක හදවත් තුළ නිදන්ගතව ඇති බැවිනි. ඇගේ ගුවන් විදුලි ආගමනය ඇරඹෙන්නේ වයස අවුරුදු හතේ සිටය. ඒ සිය මව වූ ශීලා සරත් කුමාරිහාමිගේ අතේ එල්ලී හඳමාමා, ළමාපිටිය, සරස්වතී මණ්ඩපය ආදී වැඩසටහන්වලට ඇය ගායනයෙන්, නිවේදනයෙන් සහභාගි වූ බැවිනි.

1957 අප්‍රේල් 06 වැනිදා චිත්‍රා උපන්නේ කොළඹ පංචිකාවත්ත ප්‍රදේශයේ ජනාකීර්ණ ප්‍රදේශයකය. ඇගේ මව ශීලා කන්ද උඩරටය. නැටුමට ගැයුමට ප්‍රිය කළ හෙයින් නිතර ශීලා කොළඹ ආවාය. කොළඹ උපන් සිමියොන් කළුබෝවිල ඇයට හමුවන්නේ මේ අතරතුරය.

මේ හමුවීම ආදරයකට පෙරළී ශීලා හා සිමියොන් විවාහ වූහ. ඔවුන්ගේ පවුලේ වැඩිමහල් දරුවා වූවේ චිත්‍රාය. ඊළඟට පිළිවෙළින් නෙළුම්, සංගීත් හා ලලිත්ය. මොවුන් තිදෙනාම විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයෝ වෙති.

 පවුලේ වැඩිමහල් දියණිය වීම නිසා ඇයට පවුලේ වගකීම් අධික විය. කාලයාගේ ඇවෑමෙන් මව්පියෝ බලාගැනීමත් සහෝදර සහෝදරියන් බලා ගැනීමත් ඇයගේ ජීවිතයේ ප්‍රධාන කාර්යයක් විය.

 ඇය පාසල් ගියේ මරදානේ ආනන්ද බාලිකා විදුහලටය. මවගේ බලපෑමෙන් කලාවට ඇය දැක්වූ ඉමහත් කැමැත්තත්, දක්ෂතාවත් නිසා චිත්‍රා පාසල් කාලයේදීත් නැටුමට ගැයුමට, නිවේදනයට මහත් දස්කම් පෑවාය. ඒ නිසා කලා අංශයෙන් ඇය ලද සම්මාන සහතික රැසකි. ඇය හොඳම නිවේදිකාව ලෙස තෙවරක්ම ජනාධිපති සම්මාන ලැබූවාය.

 එකල ප්‍රවීණ සිනමා නළුවකු වූ එස්.එච්. ජෝතිපාලට චිත්‍රාගේ පිය පාර්ශ්වයෙන් ළඟම ඥාතිකමක් වෙයි.

 චිත්‍රා වඩාත්ම කැපී පෙනුණේ නර්තනයටය. මේ නිසා ඇය කුඩා කල පටන්ම පණීභාරත, මීපුර රත්නසේකර, රැජින සෙල්වනායගම්, සෝමදාස නිත්තවෙල, සීතා ගමගේ ආදී ගුරුවර ගුරුවරියන්ගෙන් නර්තනය හැදෑරුවාය.

 කාලයක් චිත්‍රා නර්තන ආචාර්යවරියක ලෙස ද සේවය කළාය. ඒ වාද්දුව ශුද්ධ වූ කන්‍යාරාමයේ හා මොරටුවේ ශාන්ත සෙබස්තියන් යන විදුහල්වලය.

 මේ අතරතුර ගුවන් විදුලි වැඩසටහන්වලට විවිධ අංශයන්ගෙන් සහභාගිවෙමින් ඉමහත් දස්කම් පෑවාය. ගායිකාවක ලෙසද මහත් දස්කම් පෑ බව බොහෝ දෙනා නොදන්නවා විය හැකිය.

 ඇය වේදිකා නිළියක ලෙස සිරිතුංග පෙරේරාගේ ගිනිකඳු නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවාය. ඩේෂන් අමරසිංහගේ කිරිගරුඬ නාට්‍යයේද ඇයගේ රඟපෑම් දැකගත හැකි විය. දුර්ගා ඇතුළු තවත් නාට්‍ය රැසක ඇයගේ දස්කම් දැකගත හැකි විය.

 ඇය සිනමා නිළියක ලෙස සිරි කුලරත්නගේ සඳවට රන්තරු චිත්‍රපටයේ රඟපෑ අතර, සිරිපතුල, සිකුරු දසාව ආදී චිත්‍රපටවල නැටුම් ජවනිකාවල රඟපෑවාය. මේ සියල්ල සිදු වූයේ ඇය ගුවන්විදුලි නිවේදිකාවක ලෙස සම්බන්ධ වන අතරතුරය. මේ කුමන අංශයකට ඇය දස්කම් පෑවද රසිකයන් ඇය හඳුනා ගත්තේ ප්‍රවීණ නිවේදිකාවක ලෙසය.

 ප්‍රවෘත්ති නිවේදනයටත්, විවිධ ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන්වලටත් විවිධ එළිමහන් වේදිකාවලත් ඇගේ නිරවුල් පැහැදිලි හඬ සිසාරා විසිරිණි. චිත්‍රා කුමාරි කළුබෝවිල යැයි කී සැණින් ඇගේ කටහඬ සිහිපත් වන්නේ එබැවිනි. එකල ගුවන් විදුලි නිවේදක නිවේදිකාවක් සිනමා නළු නිළියන් තරමට ජනප්‍රියත්වයට පත්ව සිටි බව රහසක් නොවේ.

නර්තන ගුරුවරියක ලෙසත්, ගුවන් විදුලි නිවේදිකාවක ලෙසත් එකවර පත්වීම් දෙකක් ලද චිත්‍රා ගුවන් විදුලි රැකියාව තෝරා ගත්තාය.

වසර දොළහක් පමණ සහන නිවේදිකාවක් ලෙස ගුවන් විදුලියට දායක වූ චිත්‍රා ඉන්පසු තවත් වසර ගණනාවක් ස්ථීර නිවේදිකාවක් ලෙස සේවය කළාය. ඇය ගුවන් විදුලියෙන් විශ්‍රාම ගියේ එහි වෙළෙඳ සේවා අධ්‍යක්ෂවරිය ලෙසයි.

 ඇය ශ්‍රී ලංකාවේ සුප්‍රකට නිළියන්ට පවා නර්තනය උගන්වා තිබේ. ක්ෂේත්‍ර ගණනාවක දස්කම් පාමින් ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ චිත්‍රා මෙතරම් දුරක් ආවේ ඇගේ නිහතමානී බව නිසාමය. ගුවන් විදුලියෙන් විශ්‍රාම ගත්තද ඇය නිවේදන වෘත්තිය අත් නොහළාය. වරින්වර අසනීප වුවද  සුව වූ සැණින් විවිධ නිවේදන කටයුතු සඳහා  ඇයට ඇරයුම් ලැබුවේ ඇගේ ජනප්‍රියත්වය දක්ෂතාව පමණක් නොව නිහතමානිත්වය නිසාමය. ගුවන් විදුලියේත් ඉන් පිටතදීත් ඇය නැගී එන කලාකරුවන්ට උදව් උපකාර කළාය. ගීත ප්‍රචාරය කිරීමේදී ඇතැම් නිවේදක නිවේදිකාවන් ගීත රචකයන්ගේ සංගීත අධ්‍යක්ෂවරුන්ගේ නම් සඳහන් කිරීම අතපසු කළත් ගුවන් විදුලියේදීත්, රූපවාහිනී වැඩසටහන්වලදීත් ඇය එය අතපසු නොකළාය. ඇය සහභාගි වන සංදර්ශනයකදී වේවා ඊට සම්බන්ධ කලාකරුවන්ගේ දායකත්වය සඳහන් කරමින් ඇය ඒවා අගය කළාය. ඇය පදිංචිව සිටියේ බත්තරමුල්ල රිචඩ් ද සොයිසා ජනමාධ්‍යවේදී නිවාස සංකීර්ණයේය. ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරියකු වූ චන්දන පත්තප්පෙරුම සමග විවාහ වී සිටි චිත්‍රාට ඇයගේ කලා කටයුතුවලදී ඔහුගෙන් ලැබුණේ සුවිශේෂි සහයකි. චිත්‍රා කළුබෝවිලගේ සුවිශේෂී හඬ තව බොහෝ කාලයක් යනතුරු රසිකයන්ගේ සිත්වලින් මැකී නොයනු ඇත.

(*** රොඩ්නි විදානපතිරණ)



අදහස් (0)

ගුවනේ අමතක නොවන හඬ චිත්‍රා කුමාරි කළුබෝවිල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 123 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 975 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2580 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site