කෝවිඩ්-19 වසංගත තත්ත්වයෙන් මෙන්ම එකක් පසුපස එකක් මතුවෙමින් තිබෙන විවිධ ආර්ථික ගැටලුවලින් රට බැටකමින් සිටී. එහෙත් මෙම වසර අවසානය වන විට රට නැවත සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට රජය උත්සාහ කරමින් සිටී.

මාරාන්තික වසංගතය පාලනය කිරීම සදහා ක්‍රියාත්මක මෙහෙයුම් සහ වැඩසටහන් අධීක්ෂණයේ නියුතු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා, එසේ අදහස් කරගෙන සිටින්නේ සැප්තැම්බර් මාසය අවසන් විට වයස අවුරුදු 30 ට වැඩි රටේ සියලුම පුරවැසියන් එන්තත්කරණය කර අවසන් කිරීමේ සැළසුම ප්‍රකාරව බවත්, එයත් සමග සීමා ලිහිල් කිරීමට මෙන්ම රට නැවත විවෘත කිරීමට අවස්ථාව සැළසෙනු ඇති බවත්, ගෙවුණු සතියේ පැවසුවේ ය.

එම දිනය අදින් වැඩි ඈතක නොවේ. අද (සඳුදා) සිට ගණන් බැලුවහොත් එදින දක්වා තවත් ගෙවීමට තිබෙන්නේ දින 74 ක් පමණි. 
කෙසේවුවත්, රටේ ඉහළම හමුදා නිලධාරියා වන ශවේන්ද්‍ර සිල්වා මහතා දිනයන් සම්බන්ධයෙන් කළ පළමු ප්‍රකාශයත් මෙය නොවේ. වසංගත තත්ත්වය පදනම් කරගෙන රට වසා දැමෙන සහ විවෘත කැරෙන දිනයන් සම්බන්ධව ඔහු කළ ප්‍රකාශ ඇතැමක් සත්‍ය වූ බවත්, තවත් කිහිපයක් අසත්‍ය වූ බවත් රහසක් නොවේ. එයින් අලුත්ම ප්‍රකාශය වන්නේ රට වසා දමා නොමැති බවට (නැතහොත් සංචරණ සීමා තවදුරටත් නොමැති බවට) ඔහු කළ ප්‍රකාශයයි.

අවසානයේ පුරා මාසයක කාලයක් රටටම සංචරණ සීමා පැනවුණු අතර, එයින් රටේ ආර්ථිකයට බලවත් හානියක් සිදුවූ බව සේම රටේ ජනතාවට අති මහත් බරක් පැටවුණු බවත්, රහසක් නොවේ. එසේ යැයි හමුදාපතිවරයාට කිසිදු අයුරකින් දොස් පැවරීමක් මෙයින් අදහස් නොකෙරේ. 

එසේ නොව, මේ හරහා අවබෝධ කරගත යුතු කාරණය වන්නේ වෛද්‍ය විශේෂඥයින්, වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, රජයේ දේශපාලන නායකයින් සහ ආරක්ෂක අංශ, පොලිසිය සහ සෞඛ්‍ය අංශයේ වෙනත් නිලධාරීන් යන මේ සියලු දෙනා කොටස්කරුවන් වන - කෝවිඩ්-19 වසංගතය මර්දනය කිරීමට ගොඩනැගී තිබෙන යාන්ත්‍රණයේ පවතින විවිධාකාරයේ බෙදීම් සහ දුර්වලතාවයන්ය. මධ්‍යගත පාලනයක් එහි නොමැති වීම නිසා මේ වන විට සැළකිය යුතු මුදල් ප්‍රමාණයක් නාස්ති වී ඇතිවා මෙන්ම මිනිස් ජීවිත ප්‍රමාණයක් ද අහිමිව අවසානය.

මෙම තත්ත්වය හමුවේ විපක්ෂයේ බොහෝ දේශපාලඥයින්ගේ අදහස වූයේ වසංගත තත්ත්වය මර්දනය කිරීමෙහි ලා ආරක්ෂක අංශවලට වැදගත් කාර්යභාරයක් ඇති වුවත්, එම කාර්යය මෙහෙයවිය යුත්තේ සෞඛ්‍ය විශේෂඥයින් බවය. රජයේ ඉහළම තලය නියෝජනය කරන ඇතැමෙක් ද නිහඬවම දරමින් සිටින්නේ මෙම මතයමය. 

කෙසේවුවත්, මෙසේ කෝවිඩ්-19 වසංගත තත්ත්වය මර්දනය කිරීම සදහා ආරක්ෂක අංශ අනුයුක්ත කරගැනීම, රාජ්‍ය ප්‍රතිපත්ති කටයුතු හා අදාළ කාරණාවලටත් ආරක්ෂක අංශ සාමාජිකයන් අනුයුක්ත කරගැනීම දක්වාම දුරදිග ගොස් ඇති සෙයක් පෙනෙන්නට තිබෙන්නේ, රාජ්‍ය සේවයේ මෙන්ම රාජ්‍යතාන්ත්‍රික සේවයේ තනතුරු රැසකට දැනට සේවයේ නියුතු මෙන්ම විශ්‍රාම ගොස් සිටින ආරක්ෂක අංශ නිලධාරීන් පත් කරමින් තිබෙන බැවිනි. එය කිසිසේත්ම නොගැලපෙන දෙයක්ය යන්න මේ වන විට මනාව පසක් වෙමින් පවතී. රාජ්‍ය සේවය සහ මිලිටරිය එකිනෙකා හා අපේක්ෂිත පරිද්දෙන් මුසු නොවේ. අවසන, එහි වන්දිය ගෙවන්නට සිදුවූයේ පොදු ජනතාවටය.

යමින් සිටින ගමන නිවැරදි අතට හැරවීමේ උත්සාහයක් රජය ආරම්භ කර ඇතැයි පෙනෙන්නට තිබීම සැළකිල්ලට ගත්විට, හමුදාපතිවරයාගේ මෙම ප්‍රකාශය ඉතාම වැදගත් වේ. 


බැසිල් විදේශ දූතයන් හමුවෙයි

කෝවිඩ්-19 වෛරසය තවත් දීර්ඝ කාලයක් අප අතර පවතිනු ඇතැයි පිළිගන්නා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයෝ, රෝගය වැළඳීමට පවතින ඉඩකඩ අවම කරගැනීමේ මූලික අදියර, දැනට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන් හරහා ආවරණය කරගැනීමට හැකිවනු ඇතැයි ද, එපමණක් නොව ඒ හරහා රජය මත පැටවී තිබෙන බරක් ඉවත්වනු ඇතැයි ද, යන අදහසේ සිටිති. එසේ හෙයින්, නැවත සාමාන්‍ය තත්ත්වයන් යටතේ වැඩකටයුතු කරගෙන යාමේ හැකියාව පවතින ක්ෂේත්‍රයන් මේ වන විට හඳුනාගනිමින් පවතී. 

මෙම කාරණය මූලික කරගනිමින්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා කොළඹ සිටින විදේශ දූතයින් පිරිසක් හමුවිය. එක්සත් ජනපදය, ඉන්දියාව, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, චීනය, රුසියාව, ජර්මනිය යන රටවල දූත මණ්ඩල සාමාජිකයෝ එම හමුවට එක්ව සිටියහ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංවර්ධන ව්‍යාපෘතීන්ට ඔවුන්ගේ සහාය ලබාගැනීම අරමුණු කරගෙන ඔහු දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකළ අතර, එසේ කළේ ශ්‍රී ලංකාව චීනය මත යැපෙන්නේ යැයි වඩ වඩාත් පෙනෙන්නට ගෙන තිබෙන තත්ත්වයක, අන්තර්ජාතික ප්‍රජාවේ අනෙක් පාර්ශවයන් සමග ශ්‍රී ලංකාවේ සබඳතා සමබර කරගැනීමේ අදහස ඇතිවය. ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේ නිර්පාක්ෂික පිළිවෙතක් බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ හෝ ඔහුගේ අමාත්‍යංශයේ කිසිවකුගේ  සහභාගීත්වයක් නොමැතිව කෙරුණු රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවකින් ලැබෙන ප්‍රයෝජනය ගැන ඕනෑම කෙනෙකුට සිතාගත හැකිය. එසේ වුවත් මෙම හමුවේ දී බැසිල් රාජපක්ෂ මහතා කළේ විදේශ ප්‍රතිපත්ති මත පදනම් නොවී රජයේ ප්‍රතිපත්ති සහ ස්ථාවරයන් ගැන පැහැදිලි කිරීමක්ය යන්න පිළිගත යුතුවේ. 

නමුත්, විදේශ කටයුතු අමාත්‍යංශයේ කිසිවෙකුත් නොමැතිව විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන් හමුවීමට පාලක සන්ධානය කටයුතු කර ඇත්තේ ප්‍රථම අවස්ථාවටය. 

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංවර්ධන ප්‍රතිපත්තීන්ට අවශ්‍ය සහාය ලබාදෙන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදේශ දූතයින්ගෙන් ඉල්ලා සිටීම යනු එම දූතයින් නියෝජනය කරන රටවල්වලින් එම සහාය ලබාදෙන්නැයි ඉල්ලා සිටීම වේ. තවත් අලුත් දෙයක් වන්නේ, එවැනි ඉල්ලීමක් කෙරෙන්නේ පාලක සන්ධානය බලයට පත්ව මාස 18 ක් ගෙවී තිබෙන තැන, එම සන්ධානයේ නව මුදල් අමාත්‍යවරයා මාර්ගයෙන් වීමය. 

චීනය ගැන තිබෙන විශ්වාසය

සෞභාග්‍යයේ නව මානයන් ගැන විදේශ දූතයින් හමුවේ අදහස් හුවමාරු කරගැනීමෙන් ඔහු උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවතින ඇතැම් හිත් නොහොඳකම් සහ අහිතකර මතයන්, සුවපත් කරගැනීමටය. විශේෂකොටම කොතැනවත් සදහන් කර හෝ ප්‍රකාශයට පත්කර නැතත්, ශ්‍රී ලංකාව අනෙක් කිසිම රටකටත් වඩා චීනයට සමීප බවට විශ්වාසයක් පොදුවේ පවතී.

මෙම නව යතාර්ථය ගොඩනැගී තිබෙන්නේ ආර්ථිකමය වශයෙන් සහන ලබාගැනීම පමණක් පදනම් කරගෙන නොවේ. මීට සති දෙකකට පෙර, චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවස් සැමරුම නිමිති කොටගෙන, විශේෂ සමරු කාසියක් එළිදැක්වීමට ශ්‍රී ලංකා මහබැංකුව කටයුතු කළේය. තවද මීට සතියකට පෙර එක්සත් රාජධානියට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සිලයට චීනය ඉදිරිපත් කළ යෝජනාවලියකට පක්ෂව අත්සන් කිරීමට ද ශ්‍රී ලංකාව කටයුතු කළේය. 

මෙහි විශේෂත්වය වන්නේ, එම යෝජනාවලියට පක්ෂව අත්සන් කළ එකම පොදුරාජ්‍ය මණ්ඩලීය රට වන්නේ ශ්‍රී ලංකාව වීමය. 

එක්සත් රාජධානියේ මානව හිමිකම් කඩවීමේ සිදුවීම් සිදුව ඇතැයි යන චෝදනාව ප්‍රමුඛ කොටගනිමින් එම යෝජනාවලිය ඉදිරිපත් කර තිබූ අතර එයට අත්සන් තැබීම සම්බන්ධයෙන් එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව කෙරේ අතිශය කෝපයට පත්ව සිටින්නේ  යැයි සන්ඩේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවිය. අනෙක් අතින් ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් දැනට ඉවත්ව සිටින එක්සත් ජනපදයේ අඩුව පුරවමින් ගෙවුණු මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවට ඉදිරිපත් වූ යෝජනාවලිය පසුපස සිටින ප්‍රධාන පාර්ශවය වන්නේ එක්සත් රාජධානියය යන්නත් ශ්‍රී ලංකාව දනී.

චීනය මෙසේ එක්සත් රාජධානියට එරෙහිව යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙන්නේ, එරට ෂින්ජියෑන්ග් කලාපයේ ජීවත්වන මුස්ලිම් ජාතිකයන් සමූල ඝාතනය කිරීමට චීන රජය කටයුතු කරමින් සිටීයැයි චෝදනා නැගෙමින් තිබෙන පසුබිමකය. මෙම චෝදනාව එය නැගෙන සෑම අවස්ථාවකම බීජිං නුවර අතිශයින් සංවේදී කරවීමට සමත් අතර එම සෑම අවස්ථාවකම ඔව්හු එය තරයේම ප්‍රතික්ෂේප කරති. 

සැලැස්මේ තවත් කොටසක්

ඔහුගේ සැළැස්මේ තවත් කොටසක් ලෙස දෝ, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාලක සන්ධානය නියෝජනය කරන ආසන සංවිධායකවරුන් ද ගෙවුණු සතියේ හමුවිය. මෙම හමුව පැවැත්වුණේ තමන් පාලක සන්ධානය හා එක්වීම සම්බන්ධයෙන් කළකිරීමට පත්ව සිටින්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් සාමාජිකයන් අදහස් දක්වා තිබූ පසුබිමකය. 

මෙය පසුගියදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරකසභා රැස්වීමක දී ඉස්මතු වූවක් වන අතර එහිදී රජයේ අමාත්‍යධූර හොබවන සාමාජිකයෝ හැරෙන්නට අනෙක් අය කියා සිටියේ සන්ධානයෙන් වෙන්විය යුතුව තිබෙන බවය. 

මේ වන විටත්, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කර තිබේ. මෙම හමුව සිදුවුනේ ගෙවුණු බ්‍රහස්පතින්දාය. එය ඔවුන් දෙදෙන අතර පැවැති හමුවක් නිසා, පක්ෂයට අදාළ කාරණා එහිදී සාකච්ඡා නොවුණේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරංචි මාර්ගයන් පැවසුවේය. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අගමැති රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දූත පිරිසක් හමුවීමට අපේක්ෂිතය.

දැනටමත් මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබෙන ආසනවල සංවර්ධන කටයුතු වහවහා ආරම්භ කිරීමට ඔවුන් මැදිහත්විය යුතුව තිබෙන බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉහත හමුවේ දී අවධාරණය කළේය. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය සැළසුම් කරමින් සිටින්නේ යැයි පැවසූ ඔහු, එනිසාම එම සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කළ යුතුව ඇති බව පැවසුවේය.

කෙසේවෙතත්, පළාත් සභා මැතිවරණය පැවැත්වෙන්නේ කවදාද යන්න ගැන ඔහු කිසිත් පැවසුවේ නැත.

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර