‘සිදුවීම් ඉදිරිපිට හඬා වැළපීම හෝ සිනාසීම නොව කළ යුත්තේ එම සිදුවීමෙන් උගන්වන පාඩම ඉගෙන ගැනීම’ යැයි බුද්ධිමත් මිනිස්සු සිතති. යථාර්ථය ද එසේමය. කොරෝනා මාරාන්තික වයිරසය යනු ඒ අර්ථයෙන් ගත් කල්හි මුළු මහත් මානව සමාජයටම එකක් පසුපස එකක් වශයෙන් පාඩම් උගන්වමින් සිටින පාඩම් මාලාවක් බවට පත් වී තිබේ.

ලොව බලවත්ම රාජ්‍ය ලෙස විරුදාවලි ලත් රාජ්‍ය කොරෝනා වයිරසය ඉදිරිපිට කළ යුත්තේ කුමක්දැයි සිතා ගත නොහැකිව විපිළසරව සිටිති. එම රටවල් සතු ධන බලය, යුද බලය, ජනගහනය හෝ භූමියේ විශාලත්වය ආදී කිසිදු සාධකයක් ලෝක වසංගතයකට මුහුණ දීමට ප්‍රමාණවත් නොවන බව එක් පාඩමකි. මහා මිනිස් අනුරාගයෙන් ඔද වැඩී අනෙකා කෙරෙහි ප්‍රේමයෙන් කැපවීමට සමත් මිනිස් ක්‍රියාකාරීත්වයකින් මෙපිට මෙබඳු වසංගතයකට මුහුණ දිය නොහැකිය.

ලෝකය පුරා විවිධ ගැටුම්, යුද්ධ නිර්මාණය වන්නේ බල කාමය හේතුවෙනි. එම බල කාමය වෙනුවෙන් ගත යුතු මිනිස් බිලි ප්‍රමාණය කොතෙක් ද එම බිලි ප්‍රමාණය ගැනීමට බලකාමීන් පෙළෙඹෙන බව ඉතිහාසයේ පාඩමය. එහෙත් ඒ සියල්ලන්ටම කොරෝනා මාරාන්තික වයිරසය පාඩමක් උගන්වා තිබේ. එනම් මරණය කොයි මොහොතක හෝ තමන් වෙත එළැඹෙන බවය. එය ස්වාභාවික ලෙස විය හැකිය. කොරෝනා මෙන් මාරාන්තික වයිරසයක් ලෙස විය හැකිය. මරණයට තැති ගැන්මකින් තොරව මුහුණදීමේ හැකියාව ශිෂ්ට මිනිසා ප්‍රගුණ කළ යුතුය.

ඉක්ම යන මේ මොහොත තුළ මිනිස් සමාජය අත්විඳිමින් සිටින්නේ මනුෂ්‍යත්වයේ අසරණකම විනා අන් කිසිවක්ම නොවේ. එක්වරම ලොව පුරා පැතිර යන මාරාන්තික වයිරස අප හිසට ඉහළින් ලඹ දෙමින් තිබෙන්නේ නම් මිනිසත්කමට නිගා දෙන පාපී හා නීච හැසිරීම් තුළින් අප අත්පත් කරගනු ලබන්නේ කුමක් ද යන්න යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කළ යුතුය.

වාහනයක හුළං ගිය රෝදයකට හුළං ගැසීම සඳහා රුපියල් හත් අට සීයක මුදලක් අය කළ නරුමයකු පිළිබඳව වාර්තා විය. ඇඳිරි නීතිය පනවා තිබූ මොහොතක, රෝගී බවින් උත්සන්න සිය මහලු මව රෝහල වෙත රැගෙන යාමේ දී රියැදුරා එම අකරතැබ්බයට මුහුණ දී තිබිණි.

එහෙත් එම රියැදුරාගේ අසරණකමට අනෙකාට මිලක් නියම කළ හැකි විය. ඒ අසරණකම රුපියල් හත්අට සීයකට අලෙවි කරගත් අනෙකා කොරෝනා රෝගයෙන් දිනකට හත් අට දහසක් අකාලයේ මිය යන බව දැන සිටින බවට කිසිදු සැකයක් නැත. එහෙත් තමන් ද කවදා හෝ දිනක මිය යන බව තේරුම් ගැනීමට අසමත් නරුමයකුගේ දෑස රුපියල් ශත ඉදිරියේ ගිනි කණ වැටෙන්නේ නම් ඒ මිනිස් ආත්ම භාවයේ අරුත කුමක් දැයි එළැඹ ගත් සිහියෙන් යුතුව විමසිය යුතුය.

සතොස ආයතනවල රුපියල් 100ට විකිණීමට ඇති සාඩින් තොග පිටින් මිල දී ගෙන වැඩි මිලට විකුණා යහමින් මුදල් උපයන පිරිස් සිටින බවට ද වාර්තා වේ. සහනාධාර පවා මුදලට විකුණන ‘අවංක සමාජ සේවකයන්’ සම්බන්ධයෙන් ද වාර්තා විය. මිනිසුන්ගේ අසරණකම පළිහක් කර ගනිමින් බොර දියේ මාළු බාන නරුමයන් වෙතින් ‘කොයි ලොව යන්නේ - මරණින් මත්තේ’ යනුවෙන් විමසනු විනා ඔවුන් වෙනුවෙන් වෙන යමක් කිරීමට ඉතිරි වූ යමක් ද නැත.

සෞඛ්‍ය ක්ෂේත්‍රෙය මෙන්ම ආරක්ෂක අංශ මේ මොහොතේ දී තමන්ගේ ජීවිතය දැඩි අවදානමකට ලක් කර ගනිමින්ම රෝගී වූ ජනයා වෙනුවෙන් කැප වී සේවය කරති. එම සේවය බලහත්කාරයෙන් ලබාගත හැකි සේවයක් නොවේ. එමෙන්ම එය නිස්සරණාධ්‍යාසයෙන් ලබා දිය යුත්තකි. තමන්ගේ ජීවිත පවා අවදානමකට ලක් කරමින් අන්‍යයන්ගේ ජීවිත වෙනුවෙන් කැප වන මිනිසුන්ගේ පරිත්‍යාගශීලිත්වය එයට හිමි නිසි ගැඹුරින් හඳුනා ගැනීම තමන් තුළ මනුෂ්‍යත්වය විකසිත කරවා ගැනීමට හේතුවකි.

සැබැවින්ම මේ මොහොතේ ජීවිතවල අනියත බව තේරුම් ගනිමින් දුෂ්කර මොහොතේ දී කළ යුතු වන්නේ අනෙකාටද පිහිට වෙමින් තමන් ද ජීවත්වීමය එය මැනවින් තේරුම් ගත් සදා සුවඳැති මිනිසුන් පිළිබඳවද වාර්තා වේ. සැබැවින්ම අවසානයේ දී ඉතිරිවන්නේ ඒ ගුණවත් මිනිසුන්ගේ සුවඳ පමණි. ඒ සුවඳ ගව් සිය ගව්දුර ගෙවා යමින් මිනිසුන්ගේ සිත් සුවඳවත් කරනු ඇත.

සිදුවීම්, හඬා වැළපීමට හෝ සිනාසීමට නොව ඉගෙන ගැනීමට යැයි කියන්නේ එහෙයිනි. අධිපරිභෝජනවාදයේ පහසු ගොදුරු බවට පත් වූ නූතන මිනිසාට තමන්ගේ ජීවන මාවත සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කොරෝනා මාරාන්තික වයිරසය බල කරමින් සිටී. එම පාඩම සිය ජීවන විලාසය හා ජීවන විලාසිතාව බවට පත් කර ගන්නේ නම් මේ මානව සමාජය වඩාත් යහපත් වනු ඇත.