වන්නියේ අම්පකාමම් හි කඳවුරක විශේෂ පුහුණුව ලැබූ කොවුලන් නමැති කොටි නායකයා ඇතුළු හය දෙනකුගේ කණ්ඩායමක් 2008 මාර්තු 12 දා වැලිඔය හමුදා පාලන ප‍්‍රදේශයට ඇතුළු වූයේ යුද හමුදා දිගු දුර මෙහෙයුම් එ්කකයේ සෙබළුන් මෙන් කාලයක් සැඟවී සිට වැලිඔය රජයේ පාලන ප‍්‍රදේශයේ හමුදා වාහන වෙත ක්ලේමෝ ප‍්‍රහාර එල්ල කිරීම හා හමුදා අනුඛණ්ඩ වලට පහර දීමටය. මෙයට පෙර වැලිඔය බළසේනා මූලස්ථානය ඉදිරිපිට සිවිල් බස් රථයක බෝම්බයක් පුපුරවා හැරියේද මෙම කොවුලන් ය. මාර්තු 14 දා කොවුලන් ඇතුළු කණ්ඩායම හමුදා සෙබළුන්ට වෙඩි තැබුවේ තම කණ්ඩායම දැක ඇති බවට සැක පහළ වූ බැවිනි. ප‍්‍රහාර එල්ල කොට කිලෝ මීටර් 2ක් පමණ ඔවුන් ඈතට යද්දී ඔවුන්ව හඹා ගිය සෙබළුන් ඔවුන්ට ප‍්‍රහාර එල්ල කළෙන් එක් ත‍්‍රස්තයකු මියගිය අතර ක්ලේමෝ, පුද්ගල නාශක බෝම්බ, පණිවුඩ හුවමාරු ආදී භාණ්ඩ රැසක් ද වැලිඔය ප‍්‍රහාර සඳහා ඇඳ ගත් සිතියමක් ද සෙබළුන් විසින් සොයාගන්නා ලදී. ඉතිරි වූවන් සොයමින් මෙහෙයුම් ඇරඹූ අතර වහාම වව්නියාවෙන් නිල සුනඛයන් ගෙන්වා කොටි ගිය මාර්ගය සෙවීමට හමුද ප‍්‍රධානීහු කටයුතු කළහ. ‘ඉක්මනට වැලිඔයට ට‍්‍රැකින් ඩෝග්ස්ලා දෙන්නෙක් එවන්න”  යැයි වන්නි ආරක්ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය (වත්මන් යුද හමුදාපති) වව්නියාව මුන්ඩි මුරුප්පු හි පිහිටි තුන්වැනි කමාන්ඩෝ බළකා කඳවුරට දැන්වූයෙන් ලූහුබැඳීම් සඳහා දක්ෂ සටන් සුනඛයන් දෙදෙනකු වන ‘ස්නෝවි‘ සහ ‘බොනී’ සූදානම් කෙරිණ. ස්නෝවි හසුරවන්නා වූයේ දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප‍්‍රල් එච්.පී සම්පත්ය.  5 වන පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය පිහිටි නිකවැවට සටන් සුනඛයන් දෙදෙන රැගෙන එද්දී දෙවන විශේෂ බළකායේ ඩෙල්ටා කණ්ඩායමේ අට දෙනකුගේ කණ්ඩායමක් සහ 5 වන පාබළ රෙජිමේන්තුවේ අට දෙනෙකුගේ කණ්ඩායමක් ස්නෝවි හා බොනීගේ ආරක්ෂාවට සහ කොටි ඉලක්ක වෙත යාමට සූදානම්ව සිටියහ. මුලින්ම ස්නෝවි යොදා පැන ගිය කොටි කණ්ඩායම් සෙවීම ඉලක්කය වූයෙන් පැනගිය කොටි දමා ගිය භාණ්ඩ අතරේ වූ සරමක් හා තොප්පියක් ස්නෝවිට ඉව කරන්නට සැලැස්විණ. එම ඇඳුම් වල ඉව ඔස්සේ ස්නෝවි වේගයෙන් ඉදිරියට යන්නට විය. (සාමාන්‍යයෙන් ලූහුබැඳ යන බල්ලන් පළමු මීටර් කීපය තුළ වේගයෙන් ඇදී යන්නාක් මෙන් යයි) ස්නෝවිට පසුපසින් බොනී ද ස්නෝවිට දෙපසින් විශේෂ බළකා හා පාබළ රෙජිමේන්තු කණ්ඩායම් ඉදිරියට ඇදුණි. එසේ ගමන් කරමින් සිටි ස්නෝවි කැලය පොඩි වූ තැනක් හමුවී ඉව කරන්නට විය. පටන් ගත් තැන සිට මීටර් 300ක් පමණ ගිය ස්නෝවි ක්ෂණිකවම අසල වූ පඳුරකට කඩා පැන්නේය. ස්නෝවි එසේ කඩා පැන තිබුණේ පඳුරේ සැඟවී සිටි කොටි සාමාජිකයා ගේ පපුව මතටය. හමුදාවට හසුවුවහොත් පුපුරවා ගැනීමට සූදානමෙන් තිබූ අත් බෝම්බය ත‍්‍රස්තයා එ් හාම පුපුරවා ගත්තේය. එ් සමගම අපගේ භට පිරිස ත‍්‍රස්තයාට ප‍්‍රහාර එල්ල කොට ඔහු මරා දමද්දී ස්නෝවි හා සම්පත් තුවාල වී හමාරය. තුවාල ලබා සිටිය ද ස්නෝවි යළිත් කොටි සාමාජිකයා දෙසට දුවමින් සිටියෙන් වෙඩි ප‍්‍රහාර මොහොතකට නවතා බරපතළ ලෙස තුවාල ලද ස්නෝවි සහ ස්නෝවි ගේ භාරකරු වන ලාන්ස් කෝප‍්‍රල් සම්පත් වහාම එතැනින් ඉවත් කොට යළිත් ප‍්‍රහාරය ක‍්‍රියාත්මක කෙරිණ. සම්පත් හා ස්නෝවි ගිලන් මැස්සක තබා නිකවැව කඳවුර වෙත ගෙනවිත් සම්පත් ව නුවර රෝහලට යැවීය. හෙලිකොප්ටරය එනතුරු වැලිඔය තබාගෙන ස්නෝවිට ප‍්‍රථමාධාර ලබා දුන්නද හුස්ම ගැනීම ටිකෙන් ටිකම අසීරු විය. හෙලිකොප්ටරය පැමිණියද ස්නෝවි රැගෙන යාමට ඔවුහු අකමැත්ත පළ කළෝය. කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලූහුබැඳ යන සුනඛයන් අතර අති දක්ෂයා වූ ස්නෝවි බේරා ගැනීම සෑම දෙනාගේම අභිලාෂය වූයෙන් කැබ් රථයකින් ස්නෝවි අනුරධපුරය බලා රැගෙන යන්නට කටයුතු යෙදිණි. අතරමගදී ස්නෝවි ගේ ලේ වහනය වැඩි වී ක්ලාන්ත ගතියෙන් පසුවිය. මැදවච්චියේදී ද වෛද්‍ය කණ්ඩායමක් විසින් ප‍්‍රථමාධාර දෙන ලද ස්නෝවි වහාම අනුරාධපුරය හරහා පේරාදෙනිය පශු වෛද්‍ය පීඨයට යැවීමට උපදෙස් ලැබිණි. 2008 මාර්තු 15 සෙනසුරාදා රාත‍්‍රී 12.30ට ස්නෝවි රැගත් ගිලන් රථය පේරාදෙනියට ළඟා විය. එතැන් සිට සමස්ත වෛද්‍ය කාර්ය මණ්ඩලයම ස්නෝවිගේ දිවි ගළවා ගැනීමේ මෙහෙයුමට ඉතසිතින් දායක විය. බෝම්බයකට අසුවූ සුනඛයකු ට ප‍්‍රතිකාර කරන පළමුවැනි වතාවද එය වූයෙන් එය බැරෑරුම් කටයුත්තක් විය. ස්නෝවි රැගෙන එද්දී තත්ත්වය ඉතාමත්  බරපතළ වූ අතර බෝම්බ කෑලි 7-8 ක් ඇඟ පුරා විය. සමහර යකඩ කැබලි පෙනහල්ල හරහාත් සමහරක් බඩවැල් හරහාත් ගොස් තිබිණ. ස්කෑන් හා එක්ස් කිරන ඡායාරූප රැගෙන ඉවත් කළහැකි සියල්ල ඉවත් කොට ඇඟ ඇතුළේ ඇති යකඩ කැබලි ඉතිරි කළේ ස්නෝවිගේ ජීවිත අවදානම ගැන සිතමිනි. සතියක් පමණ යන තෙක් වෛද්‍යවරු මාරුවෙන් මාරුවට පැය 24 පුරාම ස්නෝවි ගේ රෝගී තත්ත්වය ගැන පරික්ෂාකාරීව පසු වූහ. සැබවින් ම මෙවැනි වෛද්‍ය පරික්ෂණ කළ පළමු වතාවද එය විය. කොටි ත‍්‍රස්ථවාදියකු මරාදමන තැනට කටයුතු කළ මෙම නිර්භීත සුනඛයා වෙනුවෙන් වෛද්‍යවරුන්, කමාන්ඩෝ බල සේනාධිපති, අණදෙන නිලධාරී ඇතුළු සෑම දෙනම කටයුතු කළේ දැඩි අවධානයකිනි. කෙමෙන් කෙමෙන් සුව අතට හැරෙන ස්නෝවි හා ලාන්ස් කෝප‍්‍රල් සම්පත් දිවි පරදුවට තබා කළ උදාර මෙහෙය වෙනුවෙන් රණවික‍්‍රම (RWP)  පදක්කම නිර්දේශ කරන්නට 4වන කමාන්ඩෝ අණදෙන නිලධාරියා පියවර ගත්තේය. ලංකා ඉතිහාසය තුළ යුද්ධයට ගොස් එළාරගේ හමුදා වෙතින් දරුණු ප‍්‍රහාර වලට ලක් වූ දුටුගැමුණු රජුගේ කඩොල් ඇතා ගැන අප අසා තිබුණද මෑත කාලීන යුද ඉතිහාසය තුළ යුද්ධය ට ගොස් තුවාල ලබා එවන් වූ වීර ක‍්‍රියාවක් කළ පළමු සුනඛයා ලෙස ස්නෝවි ගේ නාමය ඉතිහාස පොතට එක් විය. පොලිසියේ හා ගුවන් හමුදාවේ සුනඛයෝ දෙතුන්සියයක් සිටියද මෙවන් වූ අති දුෂ්කර ක‍්‍රියාන්විතයන් ට යොමුවන්නේ විශේෂ බළකායට හා කමාන්ඩෝ බළකායට අයිති සුනඛයන් ය. ස්නෝවි තම සේවා කාලය තුළ විටින් විට කළ මෙහෙවර අතිශයින් වැදගත්ය. 2004 මාර්තු මස 2දා ගණේමුල්ල කඳවුරේදී උපත ලද ස්නෝවි මාස එකහමාරේ දී යුද හමුදා කමාන්ඩෝ නිල සටන් සුනඛ අංශයට එක් කර ගැනිණ. එදා පටන් එහි අණදෙන නිලධාරී කපිතාන් විමුක්ති ජයසිංහ ගේ උපදේශකත්වය යටතේ පුහුණුව ලබා ස්නෝවි ඇතුළු සුනඛයන් 17 දෙනෙක් විසිර ගියහ. පුහුණුවීම් ඇරඹි දින පටන් ම ස්නෝවි ගේ හසුරුවන්නා වූයේ ලාන්ස් කෝප‍්‍රල් සම්පත් ය. ස්නෝවි පළමු රාජකාරිය වෙනුවෙන් 2006 දී යාපනයට ගියේය. ඩෙල්ෆ්ට් දුපතේ සිවිල් වැසියන් අතරේ වූ කොටින් ගේ ආයුධ සැඟවූ නිවෙසක් ස්නෝවි නිසා සොයා ගැනිණ. එමෙන් ම යාපනය නගරයේ බෝම්බ ප‍්‍රහාර එල්ල වූ තැන්වල ඇති දේ ඉව කර ගොස් කොටින් සැඟවුණු තැන් සොයා දීමට ද ස්නෝවි සමත් විය. යාපනය විශ්ව විද්‍යාලය තුළ වූ කොටින් ගේ මෙහෙයුම් මැදිරිය හා අවි ආයුධ හමු වූයේ ද, ඉන්පසු තොප්පිගල මෙහෙයුමේ දී තොප්පිගලින් පැන යන කොටි සොයා දිගු දුර මෙහෙයුම් එ්කකයේ :ඛඍඍඡු* සෙබළු සමග සටන් බිමේ කළ සේවය ද අති උදාරය. මොරවැව කි‍්‍රයාන්විතයක දී එසේ පලා යන කොටි ත‍්‍රස්ත කණ්ඩායමක් මරා දමන්නට කමාන්ඩෝ සෙබළුන් ට ස්නෝවි ගේ සහය ලැබිණ. යාල, තල්ගස්මංකඩ හමුදා අනුඛණ්ඩය ට කොටි පහර දුන් විට එහි ගොස් කොටි පලාගොස් සැඟවුණු තැන් සොයා ගත්තේ ද ස්නෝවි ය. යුද හමුදා කමාන්ඩෝ බළකායට ආභරණයක් බඳු වූ ස්නෝවි වැලිඔය ප‍්‍රහාරයෙන් පසු කෙමෙන් කෙමෙන් සුව අතට පත් වූයේ සෑම දෙනට ම සතුට කැඳවමිනි. එහෙත් එම ප‍්‍රහාරයෙන් පසු යළිත් ස්නෝවි ට සටන් බිමට යාමට නොහැකි වූයේ ස්නෝවි ගේ සිරුර තුළ වූ යකඩ කැබලි හේතුවෙන් ඔහු රෝගී තත්ත්වයේ පසුවීම නිසාවෙනි. එහෙත් ස්නෝවි කළ සේවය කවදත් අගය කළ කමාන්ඩෝ බළකාය එවක් පටන් ද ස්නෝවි ව බොහෝ සෙනෙහසින් බලාගත්තේ බුදු රදුන් භද්‍රවතිකා ඇතින්නට පිහිට වූ අයුරු අප සිහියට කැඳවමිනි. වැලිඔය ප‍්‍රහාරයෙන් පසු ‘රෝගී බව’ ස්නෝවි ව අතැර නොගියෙන් එයින් වසර දෙකකට හමාරකට පසු ස්නෝවි කමාන්ඩෝ බළකායෙන් ද සිය ජීවිතයෙන් ද සමුගත්තේ කාගේත් නෙතු අග කඳුළු රඳවමිනි. ස්නෝවි කළ මෙහෙය අප හදවත් තුළ සදා අමරණීය වෙද්දී ස්නෝවිගේ සේවය අගය කරමින්, තිරිසන් සතකුට පවා... ලාංකිකයා ද ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ද දැක්වූ අවධානය හා හරසර ගැන සිතද්දී (වෙනත් රටක හමුදාවක නම් ආබාධිත වූ සතුන් වෙඩි තබා මරා දමනු ඇත.) තවමත් අප තුළ ඉතිරිව ඇති මිනිස්කම, සෙනෙහස කෘතවේදිත්වය ගැන සොඳුරු හැඟීමක් සිතට ඉතිරි වේ. 30 වසරක කුරිරු යුද්ධයෙන් මිදී ලද නිදහස තෙවන වරට සැමරූ විජයග‍්‍රහණයේ දිනයේ දී අභීත වීර සෙබළකු වූ ස්නෝවි ට වීර වික‍්‍රම විභූෂණ පදක්කම පිරිනැමීමට යෝජනා වී ඇත. වැලිඔය ප‍්‍රහාරයේ දී රණ වික‍්‍රම පදක්කම නිර්දේශ වී ඇත. නිර්දේශ වූ හා මෙවර යෝජනා වූ  යන පදක්කම් දෙකෙන් නිර්දේශ වූ පදක්කම වත් මෙවර වීර සම්මාන පිරිනමද්දී පවා ප‍්‍රධානය කිරීමට නොහැකි වී ඇත්තේ යුද හමුදාවට ප‍්‍රධානය කරන පදක්කම ම සුනඛයකුට ප‍්‍රධානය කළ නොහැකි නිසා ස්නෝවි වෙනුවෙන් නව පදක්කමක් අලූතින් නිර්මාණය කොට එ් වෙනුවෙන් ප‍්‍රධානය කළයුතු නිල ක‍්‍රියා පටිපාටියක් ක‍්‍රියාත්මක කිරීමට ඇති නිසාවෙනි. එහෙත් ඊළඟ වසර වන විට වත් අප යුතුකම් වගකීම් ඉටු කරන ජාතියක් ලෙස තහවුරු වීමට ස්නෝවි වෙනුවෙන් නිර්දේශිත පදක්කම් ලබා දීමට සිදු කළ යුතු ක‍්‍රියා පටිපාටිය අද සිට ක‍්‍රියාත්මක කළ යුතුව ඇත. මන්ද.. සතකු වුවද රටට ද අපට   ද ස්නෝවි කළ සේවයට අප බහුමාන පිදිය යුතු බැවිනි. එයින් අප අපේ යුතුකම් ඉටුකළ බව සිතා සැනසෙන අතරම අපේ දරුවන් ට කලගුණ සැලකීම ගැන අපූරු නිහඩ පාඩමක් ද කියා දුන්නා වේ. කෙසේද යත් ස්නෝවි වැනි සතෙකුට පවා ගෞරව සම්මාන පුදන තරමට ලාංකිකයන් වූ අප කෘතවේදිත්වය දන්නා ජාතියක් බවට ය. තවද සතෙකුට එසේ සලකන්නේ නම් මිනිසුන් වූ අප මිනිසුන් වෙත කලගුණ සැලකීම කළයුතුම බවත් ය. ස්නෝවි, බොනී, පෙට් ආදී සියලූම බල්ලන් වෘත්තීය වශයෙන් පුහුණුව ලබා යුද සේවයට කැපවූ අතර බාප්පා, රෝසි, ටිලී, චූටි, අචලා, පින්කි ආදී නම් වලින් හඳුන්වන යුද්ධය පැවති සමයේ යුද හමුදාවට අනගි සහයක් ලබා දුන් අප‍්‍රකට සුනඛ රෑනක් ද විය. දඩාවතේ යන බලූ පැටවුන්, යුද සෙබළුන් විසින් කඳවුරු වෙත ගෙනත් තම බත් පතින් කොටසක් දී හදා වඩා නමක් දෙද්දී එක් සෙබළකු ඌට තැබුවේ තම තරහ වූ පෙම්වතියගේ නමය. (අචලා) තවත් අයකු දැනට ආදරය කරන්නියගේ නම තැබීය. (රෝසි). මේ අතර බාප්පා පහළ වූයේ අපූරු අයුරකිනි. එක්තරා බල්ලකු ට දාව බැල්ලියක් පැටවුන් බිහිකොට ඔවුන් සියලූ දෙන ටික කලක් එකමුතුව සිටියද පැටවුන් ගේ පියා පැටවුන් සහ බැල්ල අතහැර ගියේය. මෙහිදී එම කඳවුරේම සිටි වෙනත් බල්ලෙකු එහි පැමිණ පැටවුන්ට ඉමහත් සෙනෙහසින් සලකමින් ආදරය කොට රැුක බලා ගනිද්දී ඌ සෙබළුන් අතර බාප්පා නම් විය. සැබවින්ම වැස්ස අව්ව හා  ඕනෑම දේශගුණික තත්ත්වයකට පුරුදු, විටමින් කෑම  ඕනෑ නැති (තිබුනා නම් තිබුණේ තුවාල හා මැක්කන් පමණි) මේ බලූ රෑන අපේ යුද සෙබළුන් ට සුවිශාල සේවයක්  කළේය. උදෑසන යම් සෙබළෙකු මාර්ග පරික්ෂාවට (Picket Route Clearing) ඔහු ළඟ සිටින බල්ලා හෝ බල්ලෝ ද ඔහු සමග යති. මෙසේ ටික දිනක් යද්දී හමුදා නිල ඇඳුමේ අය බල්ලා හඳුනා ගන්නා අතර වෙනත් අයකු දුටු  තැන කඩා පනී. (තාප්ප අයින් වල, පඳුරු අතරේ කිසිවකු වේ නම් උන් බුරමින් දිව ගොස් කඩා පනිති. ඔත්තු බලන්නන්, සැඟවී සිටි ත‍්‍රස්තයන් මේ බලූ ?න් නිසා සොයා ගත් අවස්ථා බොහෝ විය) රාත‍්‍රී කාලයේ දී සෙබළා කැලයේ හෝ ගහක් යට සිටියි නම් (නිදා ගනිද්දී පවා) සතුන්, සර්පයින්, සතුරන් වෙතින් තම ස්වාමියා රැුකීමට ඉදිරිපත් වේ. (මිනිසුන් ට නොඇසෙන කුඩා ශබ්ද පවා බල්ලාට ඇසෙන බැවිනි). සෙබළු කණ්ඩායමක් එක්ව ඉදිරියට යද්දී 20-30 ගණනින් වන ඔවුන්ගේ බලූ රෑන දකින වල් ඌරන් ආදී සතුන් නොව වලසුන් පවා බියෙන් පලා යන බව කියවේ. මන්ද මෙම සුනඛ වීරයින් ?නම එක්ව එලවා යද්දී ගැළවීමක් නොමැති බව දන්නා බැවිනි. මෙම ලිපිය නිමා කරන්නට පෙර තවත් සුවිශේෂී සුනඛයින් දෙදෙනෙකු ගැන ලිවිය යුතුය. වෙල්ලමුල්ලවයික්කාල් හිදී එදා අවසන් සටනේ දී කොටි ත‍්‍රස්තයන් වෙතින් මිදී මිනිසුන් පැමිණ භාර වෙද්දී හමුදාවට භාර වූ තවත් සුවිශේෂී දෙදෙනකු විය. ඒ බල්ලන් දෙදෙනෙකි. සුසෙයි ට අයිති උසස් වර්ගයේ බල්ලන් දෙදෙනකු වූ ඔවුන් අද යුද හමුදාවේ සුරතලූන්ව ඇත්තේ නිල ඇඳුමේ අනුහසිනි. හමුදා ඇඳුම හඳුනා වැඩුණ සුසෙයි ගේ බල්ලන් දෙදෙන (කොටි නිල ඇඳුම මදක් වෙනස් වුවද බල්ලාගේ නෙතින් සමානය) අද අපගේ හමුදා සෙබළු ළඟ ඉතා සුවච කීකරුව සිටින අතර නිල ඇඳුමට පිටින් කිසිවෙකු දුටුවහොත් කඩා පනිනු ඇත. (ප‍්‍රභා ගේ කුකුළා  නළා ද මෙලෙසම අප සෙබළුන් අතරේ සිටිමින් දැන් 24ක රංචුවක් හදාගෙන ඇත)  පටු දේශපාලන අරමුණූ නැති ආදරය ට හා හමුදා නිල ඇඳුමට පමණක් කැමති ඔවුන්, අපගේ සතුරන් ගේ සුරතලුන් යැයිි කියා වෙනස්කම් නොකොට අදට ද යුද සෙබළු ඔවුන්ව ආදරයෙන් රැක බලා ගනිති.
සටහන - සුරංගි අතුකෝරල (සාජා සිට)