රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් දන්වා සිටියේ මේ වසරේ සිට ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට හමුදා සාමාජිකයන් සහ විදේශ සිසුන් පමණක් බඳවාගන්නා බවය. ඒ වනවිට එම විශ්වවිද්‍යාලය විසින් පළ කරන ලද දැන්වීම්වල මෙම ශිෂ්‍ය කණ්ඩායම් දෙකට අමතරව දේශීය සිසුන් ද වෛද්‍ය පීඨයට බඳවා ගන්නා බව සඳහන් කර තිබුණි.
එසේ වුවද රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ දේශීය සිසුන් බඳවා ගැනීමක් මේ වසරේදී සිදු නොකරන බවත්, අනෙක් කාණ්ඩ දෙකේ සිසුන් පමණක් බඳවාගන්නා බවත්, ඒ අනුව එම දැන්වීම් සංශෝධනය විය යුතු බවත් ය. එම ප්‍රකාශයේ සෘජු අදහස වන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට දේශීය සිසුන් බඳවා ගැනීම අත්හිටුවා ඇති බවය.
මේ වනවිට ප්‍රකාශයට පත්ව ඇති තොරතුරුවලින් පැහැදිලි වන්නේ රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා කරන ලද එම ප්‍රකාශය පිළිබඳව ඔහු විසින් හෝ රජය විසින් හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හෝ එම විශ්වවිද්‍යාලයට කිසිදු ලිඛිත දැන්වීමක් කර නැති බවය. ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය හෝ ආරක්ෂක හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ තීරණයක් ද ගෙන නැති බවය. එවැනි තීරණයක් ගනු ලැබුවේ කුමන බලධාරියකු විසින් ද යන්න හෝ කුමන ආයතනයක් හෝ මණ්ඩලයක් විසින් ද යන්න ප්‍රකාශ කර නැත. කැබිනට් මණ්ඩලය ද එවැනි තීරණයක් ගෙන ඇති බවක් ප්‍රකාශයට පත්වී නැත.
මේ සම්බන්ධයෙන් පැන නගින අනෙක් ප්‍රශ්නය වන්නේ එවැනි තීන්දුවක් ගනු ලැබුවේ කවර හේතු නිසා ද යන්නයි. මුලින් KDU වෛද්‍ය පීඨය ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ විදේශ ශිෂ්‍යයන් සඳහා ආරම්භ කරනු ලැබුවද ‘සයිටම්’ වෛද්‍ය පීඨය වසා දැමීමෙන් පසු පැන නැගුණු අර්බුදය විසඳා ගැනීමට එම විශ්වවිද්‍යාලයේ පිහිට පැතීමට ආණ්ඩුවට සිදුවිය. ‘සයිටම්’ වසා දැමීම නිසා ඒ වනවිටත් වෛද්‍ය උපාධිය හදාරමින් සිටි සිසුන්ට යන එන මාර්ග නැතිවන තත්වයක් උද්ගත විය. ඒ අනුව, එම සිසුන්ට KDU මගින් උපාධිය සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසනු ලැබීය. දේශීය සිසුන්ට කොතලාවල දොරවල් විවෘත වූයේ ඒ ආකාරයෙන් වුවත් එය ‘සයිටම්’ සිසුන්ට පමණක් සීමාවිය. දේශීය සිසුන් සඳහා නැවත වරක් KDU දොරවල් විවෘත වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ සඳහා අවසර ලබාදිය යුතු බවට තීරණය කිරීමෙන් පසුවය.
එම තීරණයට අනුව බඳවාගත් පළමු කණ්ඩායමට දේශීය වෛද්‍ය සිසුන් 120ක් ඇතුළත් කරගනු ලැබිණ. දෙවැනි කණ්ඩායම සඳහා සිසුන් 110ක් බඳවා ගන්නා ලදි. ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික අංශයේ වෛද්‍ය පීඨ ස්ථාපනය කිරීම පිළිබඳව ඇතැම් පිරිස් වෙතින් එවක දැඩි විරෝධතාවක් එල්ල විය. එවැනි විරෝධතාවලදී පෙන්වා දෙනු ලැබූ ප්‍රධාන කරුණක් වූයේ පෞද්ගලික විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවලට අඩු සුදුසුකම් සහිත හෝ සුදුසුකම් නැති පිරිස් බඳවාගන්නා බවය. එසේ වුවද KDU වෛද්‍ය පීඨයට දේශීය සිසුන් බඳවා ගනු ලැබුවේ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමේ අවම සුදුසුකම් පිළිබඳ රජයේ තීරණයට අනුකූල වන පරිද්දෙනි. එහිදී ’ - Z-core ලකුණු මත පදනම්ව අයදුම්කරුවන් තෝරා ගන්නා ලදි. එබැවින් එම වෛද්‍ය පීඨයට තෝරා ගන්නා සිසුන්ගේ සුදුසුකම් පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් පැන නැගුණේ නැත. එසේම ආචාර්යවරුන්ගේ සුදුසුකම් මෙන්ම අදාළ පහසුකම් හෝ පාඨමාලා ප්‍රමිතිය පිළිබඳව ද ගැටලු ඇති වූ බවක් නොපෙනේ. රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ ආරම්භ කිරීමේ දී පවා එවැනි ගැටලු පැනනැගී අර්බුද ඇති වුවද KDU වෛද්‍ය පීඨය ආරම්භයේ සිට මේ දක්වා එවැනි ගැටලුවක් වාර්තා වී නැත.
රජයේ විශ්වවිද්‍යාවල වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා ප්‍රමාණවත් ඉඩප්‍රස්ථා නොමැතිවීම හේතුවෙන් ඒ සඳහා සුදුසුකම් ලබන සිසුන් අතර මෙන්ම මව්පියන් අතර ද දැඩි පීඩනයක් සහ අසහනයක් හටගෙන තිබෙන බව කවුරුත් දන්නා කරුණකි. බොහෝ මව්පියන්ගේ අපේක්ෂාව වී ඇත්තේ තම දරුවන් සඳහා වෛද්‍ය උපාධි අධ්‍යාපනයක් ලබාදීමය. ඒ සඳහා පවතින අවස්ථා දුලබවීමත්, දැඩි තරගකාත්වයත් නිසා රජයේ වෛද්‍ය පීඨවලට පිවිසීමට ඉඩ සැළසෙන්නේ සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ගෙන් අතළොස්සකට පමණි. මෙය රටේ ආර්ථික ගැටලු නිර්මාණය වීම සඳහා ද හේතුවී තිබේ. මව්පියන් කවර හෝ වියදමක් කෙසේ හෝ දරාගෙන තම දරුවන්ට වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමට උනන්දුවක් දක්වන අතර ශ්‍රී ලංකාව තුළ ඒ සඳහා අවස්ථාවක් නොලැබෙන විට විදේශ විශ්වවිද්‍යාලවල ඔවුන්ට අධ්‍යාපනයක් ලබාදීමට ප්‍රයත්න දරති. මේ හේතුවෙන් බොහෝ දෙමව්පියෝ දැඩි ආර්ථික අර්බුදවලට මැදිවෙති. අනෙක් අතට එසේ විදේශ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් අතිවිශාල ආර්ථික පිරිවැයක් දැරීමට රටට සිදුව තිබේ. අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂිකව විශාල මුදල් සම්භාරයක් විදේශ රටවලට ඇදී යයි.
බටහිර රටවල සහ ඉහළ ශ්‍රේණිගත විශ්වවිද්‍යාලවල වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බැවින් ඉන්දියාව, නේපාලය සහ බංගලාදේශය වැනි රටවලට ද නැගෙනහිර යුරෝපා රටවලට ද අඩු පිරිවැයක් යටතේ අධ්‍යාපනය ලබාදීම සඳහා කටයුතු කරනු දක්නට ලැබේ. අඩු වියදම් රටවල පවා වෛද්‍ය උපාධියක් ලබාගැනීම සඳහා වැයවන පිරිවැය රුපියල් මිලියන 20කට වඩා වැඩිවන බව වාර්තා වේ. වාර්ෂිකව විදේශ රටවල වෛද්‍ය අධ්‍යාපනය සඳහා පිටත්ව යන සිසුන් වෙනුවෙන් රටට දැරීමට සිදුවන වියදම සෑම වසරකදීම ඉහළ ගොස් තිබේ. මේ සඳහා ඇති එකම විසඳුම වන්නේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා ඇති ඉඩකඩ දේශීය වශයෙන් පුළුල් කිරීමය.
වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් විදේශ රටකදී අතිවිශාල පිරිවැයක් දැරීමට සිදුව තිබියදී කොතලාවල වෛද්‍ය පීඨය දේශීය සිසුන්ට තහනම් කර ආරක්ෂක අංශ සහ විදේශීය සිසුන් සඳහා පමණක් අවසර ලබාදීම කොතරම් මුග්ධ තීරණයක් ද යන්න ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. එම වෛද්‍ය පීඨයේ පමණක් නොව රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සඳහා ද විදේශ සිසුන් අවම පිරිසක් බඳවා ගැනේ. ඒ සාර්ක් රටවල් සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම් සහ විදේශ විනිමය ආදායම් ලබාගැනීමේ අරමුණ මතය. ඒ ආකාරයට විදේශ සිසුන් ඇතුළත් කර ගැනීම එම විශ්වවිද්‍යාලවලට සහ රටට විදේශ විනිමය උපයා ගැනීමේ මාර්ගයක් වන නමුදු, ඉඩකඩ හා අනෙකුත් පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රජයේ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවලට පිවිසීමට ඉඩක් නොලැබෙන, ඉහළ සුදුසුකම් සපුරන දේශීය සිසුන්ගේ වෛද්‍ය අධ්‍යාපන සිහිනය බොඳකර දැමීමක් ලෙස මෙය සැළකිය හැකිය.
වසරකට දේශීය සිසුන් 120ක් වැනි පිරිසකට ඉඩකඩ සලසා ඇති KDU වෛද්‍ය පීඨයට දේශීය සිසුන් ඇතුළත් කර නොගැනීමට ගෙන ඇති තීරණය හැඳින්විය හැක්කේ සියලු පහසුකම්වලින් පරිපූර්ණව මනාව ස්ථාපිත වී ඇති වෛද්‍ය පීඨයක් දේශීය සිසුන්ට වසා දැමීමක් ලෙසය. කිසියම් ගාස්තුවක් ගෙවීමට සිදුවුව ද උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබූ සැළකිය යුතු පිරිසකට එමගින් අනාගත ලෝකයට පිවිසීමට අවස්ථාව සැලසී තිබුණි. එහෙත් දේශීය සිසුන්ට දැන් එම අවස්ථාව අහිමි කර තිබේ. මීට පෙර පෞද්ගලික වෛද්‍ය පීඨ ආරම්භ කරන ලද නමුදු ඒවා ජනතා විමුක්ති පෙරමුණේ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ විරෝධතා හේතුවෙන් දිගටම පවත්වාගෙන යෑමට ඉඩ ලැබුණේ නැත. අතරමගදී ඒවා වසා දැමීමට හෝ වෙනත් විශ්වවිද්‍යාලවලට අනුබද්ධ කිරීමට සිදුවිය.
කොතලාවල වෛද්‍ය පීඨය රජයට අයත් විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයකි. අනෙකුත් විශ්වවිද්‍යාල හා සසඳන විට ආරක්ෂක අධ්‍යයන කටයුතුවලට මෙහි ප්‍රමුඛතාවක් ලබාදී ඇති නිසා ඇතැම් වෙනස්කම් දක්නට ලැබේ. කෙසේ වුවද පෞද්ගලික විශ්වවිද්‍යාලවල මෙන් නොව රටේ අධ්‍යාපන අවශ්‍යතා අනුව එම පීඨය සම්බන්ධයෙන් විවිධාකාරයේ වෙනස්කම් සිදුකිරීමට රජයට හැකියාව තිබේ. කොතලාවල වෛද්‍ය පීඨයට දේශීය වෛද්‍ය සිසුන් 120 ක් බඳවා ගැනීම සඳහා අවශ්‍ය ඉඩකඩ හා අනෙකුත් පහසුකම් සම්පූර්ණ වී ඇති බැවින් වෛද්‍ය සිසුන් 120 ක් ’- Z-core ක්‍රමයට අනුව රජයේ වෛද්‍ය පීඨවලට තෝරා ගනු ලබන ලැයිස්තුවේ ඊළඟ පිරිස ඇතුළත් කළ හැකිය. එසේ නොමැති නම් එම සිසුන් සංඛ්‍යාවෙන් අඩක් හෝ යම් ප්‍රමාණයක් හෝ’- Z-core අනුව ද, ඉතිරි ප්‍රමාණය ගාස්තු ගෙවන ක්‍රමයක් යටතේ ද බඳවා ගත හැකිය.
KDU වෛද්‍ය පීඨය ආරම්භ කරන ලද්දේ 2009 වසරේදීය. ඒ ආරක්ෂක අංශවල වෛද්‍ය සේවා සැපයුම පුළුල් කිරීමට ය. එම අරමුණ දැන් ඉටුකර ගෙන තිබේ. සයිටම් අර්බුදය විසඳෙන ආකාරයෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීමට ද එයට හැකිවිය. මෙම වෛද්‍ය පීඨය දේශීය සිසුන්ට විවෘත කර ගතවී ඇත්තේ වසර දෙකකි. එසේ වුවද කිසිදු ගැටලුවක් නොමැතිව ඉතා ඉහළ මට්ටමකින් අදාළ කාර්යය එම විශ්වවිද්‍යාලය ඉටුකරමින් සිටි. එබැවින් ආණ්ඩුවේ වගකීම විය යුත්තේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම සම්පතක් වූ කොතලාවල වෛද්‍ය පීඨය දේශීය සිසුන්ට අහිමි කෙරෙන ආකාරයේ මුග්ධ තීරණ ගැනීම නොව රටේ අධ්‍යාපන සහ ආර්ථික ගැටලුවලට විසඳුම් ලබාදෙන ආකාරයෙන් එම පීඨයේ කටයුතු තවදුරටත් පුළුල් කෙරෙන ප්‍රතිපත්තියකට යොමුවීමය.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුම බණ්ඩාර
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කොතලාවල වෛද්‍ය උපාධිය අපේ සිසුන්ට අකැපද?
nimal Wednesday, 04 June 2025 09:23 PM
කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීටය පුළුල් කර දෙස් විදෙස් සිසුන්ට අවස්ථව ලබාදෙන්න. විදේශීය සිසුන් පැමිණීම තුළ එම ආයතනයට අදායමක් ලැබේ. දේශීය සිසුන් විදෙස් ගතවීමෙන් වැයවන $ ප්‍රමාණයක් ලංකාවේ ඉතිරි වේ. විදෙස් සිසුන්ට අවස්ථාව ලබාදීම තුළ කර්මාන්තය පවා පුළුල් වේ. නොමිලයේම ප්‍රචාරණයක් ලැබේ. කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨය පුළුල් කර අවස්ථව පුළුල් කිරීමට කටයුතු කලයුතුවේ...
swene Thursday, 05 June 2025 04:38 AM
විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුළත් කිරීමේදී දියුණු රටවල මෙන් අධ්‍යාපන සහ වෙනත් කුසලතා ගැන සලකා තේරීමද, ඉන් පසුව එම සිසුන් අයත් පවුල්වල ආදායම් මට්ටම් අනුව මුදලක් අය කිරීමෙන් ද විශ්ව විද්‍යාල පවත්වා ගැනීමට පහසුවක් ලැබෙනවා. ආදායම වැඩි අයගෙන් මුදලක් අය කිරීම අසාධාරණ නැහැ.