පරිගණක හා තොරතුරු තාක්ෂණයේ දියුණුව කෙමෙන් වර්ධනය විය. 1970 සිට 1990 දශකය දක්වා කාලය කෙරෙහි අවධානය යොමු කළහොත් එවක දී මූලික ගැටලු හැටියට පැවැතියේ පරිගණක සහ ඒවා අතර සන්නිවේදනය ආදියයි. ඒවාට පිළියම් ඉදිරිපත් වූ අතර අපට 1990 දශකයේ දී අන්තර්ජාල පහසුකම් ලැබිණ.
2000 සිට 2010 දක්වා කාලයේ දී නැවතත් මේ අංශයේ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදු විය. ජංගම දුරකතන භාවිතයට පැමිණීම ඒ අතර සුවිශේෂ වේ. මේසයක් මත තබන පරිගණකයෙන් කළ හැකි බොහෝ කටයුතු ජංගම (smart) දුරකතනයෙන් කළ හැකි වූ අතර එය තැනින් තැනට ගෙන යෑමේ පහසුව ද ඇති විය. ඒ සමගම පරිගණකවල සැකසුම හා විශ්ලේෂණ හැකියාව වැඩි දියුණු විය. එමෙන්ම cloud computing ක්ෂේත්‍රයක් අලුතින් ඉදිරිපත් විය. එයින් ඇති කළ විශේෂ වාසිසහගත තත්වය වූයේ දත්ත මධ්‍යස්ථානයක් මගින් අඩු වැඩි වන ප්‍රමාණය අනුව පරිගණකමය අවශ්‍යතා ඉටු කර ගත හැකි වීමය.
මෙම වර්ධන සමග මින් පෙර පරිගණක තාක්ෂණය සමග එකතු නොවූ ලෝක ජනගහනයෙන් විශාල පිරිසක් දැනුවත්ව හෝ නොදැනුවත්ව පරිගණක තාක්ෂණය භාවිත කිරීමට පටන් ගත්හ. විශේෂයෙන්ම 2010 න් පසු බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය ජාල භාවිත කරමින් තමන්ගේම අන්තර්ගත contents උඩුගත කළහ. ඒ සමගම සමාජ මාධ්‍ය පරිශීලකයෝ විශාල පිරිසක් බිහි වූහ. එහි දී සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ දත්ත ලබා ගෙන ඒවා මත තීරණ සකස් කිරීමට අපට හැකියාව ලැබිණි. ඒ සා දත්ත සමුදායක් එක්රැස් වීමෙන් ඇතැම් දේවල් පුරෝකථනය කිරීමේ හැකියාව ද ලැබිණි. මේ සියලු තත්ව මධ්‍යයේ මෙම ක්ෂේත්‍රයේ සැලකිය යුතු පිබිදීමක් ඇති විය. කාලයකට ඉහත දී යම් වෙහෙසක් දරා කළ යුතු වූ ඇතැම් කාර්යයන් අතේ ගෙන යා හැකි ජංගම දුරකතන වැනි විද්‍යුත් උපාංග මගින් පහසුවෙන් කර දෙන්නාක් වැනි හැඟීමක් ජනතාවට ඇති විය.
පරිගණක හා අන්තර්ජාල ක්ෂේත්‍රවල සිදු වූ උන්නතිය අපට දැනෙන්නේ ළඟ දී සිදු වූවක් ලෙස වුව ද එය මීට දශක ගණනාවකට පෙර පටන් ම ලෝකයේ විවිධ රටවල සිදුවෙමින් තිබුණි. පරිගණක අංශය සම්බන්ධයෙන් 1980 සහ 1990 දශකවල ලංකාවේ කිසියම් පසුගාමී ආකල්පයක් තිබිණි. එහෙත් එවක බලයේ සිටි රජයන් විසින් නොයෙක් ආයෝජන සොයා ගනිමින් මේ අංශය ගොඩනැගීමට අදාළ යටිතල පහසුකම් ඇති කරනු ලැබීය. වෙසෙසින් ම පරිගණක අතර අන්තර්ජාලය ලබා ගැනීම සඳහා කටයුතු කෙරිණ.
තාක්ෂණය වේගයෙන් වෙනස් වෙමින් තිබේ. එම වේගයට ම ලංකාවේ තාක්ෂණය වෙනස් වන බවක් නොපෙනේ. ඒ අරභයා සම්පත් හා ආයෝජන අවශ්‍ය වේ. පරිගණක හා අන්තර්ජාල සාක්ෂරතාව අතින් ලංකාව දකුණු ආසියානු කලාපයේ රටවල් අතර සැලකිය යුතු ප්‍රගතියක් අත් කරගෙන තිබිණි. පරිගණක සාක්ෂරතාව තරමක් සංවේදී දෙයක් වන අතර එය ලිඛිත සාක්ෂරතාවෙන් ඔබ්බට ගිය එකක් ද වෙයි.
කෘත්‍රිම බුද්ධිය මේ වනවිට ඉතාමත් ජනප්‍රිය තාක්ෂණික භාවිතයක් බවට පත්ව ඇත. එහි ආරම්භය දෙවැනි ලෝක යුද්ධය දක්වා දිවේ. මේ සම්බන්ධයෙන් පළමුව හමුවන විද්‍යාඥයා එංගලන්ත ජාතික ඇලන් ටියුරින් ය. ඔහු ඉදිරිපත් කළ න්‍යාය ටියුරින් පරීක්ෂණය Turing Test වශයෙන් ප්‍රචලිත ය. එයින් ප්‍රකාශ වූයේ පරිගණකයක් මිනිසකු තරම් බුද්ධිමත් ලෙස හඳුනා ගැනීමට නම් යම් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පරිගණකය හා මිනිසා ලබා දෙන පිළිතුරු අතර වෙනසක් නොතිබිය යුතු බව ය. 1950 සිට 1970 දක්වා කාලයේ දී මෙම න්‍යාය භාවිත කරමින් පරිගණක ක්‍රමලේඛයක් මේ මට්ටමට වැඩි දියුණු කරන්නේ කෙසේද යන්න අත්හදා බැලූ අතර එහිලා Rule base නමැති සංකල්පය භාවිත කළේ ය. තොරතුරු පදනම් කර ගනිමින් කිසියම් රීතියකට අනුව පරිගණක ක්‍රම ලේඛයක් අනුගමනය කිරීමක් එයින් සිදු විය.
එහෙත් එහිදී මතු වූ ප්‍රශ්නය වූයේ පරිගණකය භාවිත කරමින් කරන එදිනෙදා කටයුතු ඉහළ යෑම හේතුවෙන් සීමාසහිත රීති ප්‍රමාණයක් මත ඒ කටයුතු කරන්නේ කෙසේද යන්න ය. එසේ වුවත් පසු කාලයේ දත්ත සමුදායක් එක් රැස්වීමත් සමග පෙනී ගිය දෙයක් වූයේ න්‍යායාත්මකව රීති මත පදනම්ව ඉදිරියට යෑමට වඩා ඉහළ දත්ත සම්භාවිතාවක් මත ඉදිරියට ගොස් පරිගණකයට තීරණ ගැනීමේ හැකියාව වැදගත් බවය. තාක්ෂණයේ ඇති වූ පිබිදීමත් සමග මෙම කෘත්‍රිම බුද්ධිය ද වේගවත් දියුණුවක් ලබා තිබේ. පෙර පැවැති ක්‍රමයට වඩා මෙම දත්ත මත පදනම් වූ ක්‍රමය ඉතා සාර්ථක එකක් වුවත් එමගින් ලබා දෙන තීරණයක නිරවද්‍යතාව සම්බන්ධයෙන් සියයට සියයක සහතිකයක් ලබා දිය නොහැකි ය. එහෙත් නූතන කෘත්‍රිම බුද්ධියෙන් ලබා දෙන තොරතුරුවල නිරවද්‍යතාව ඉතාමත් ඉහළ අගයක පවතින බව කිව යුතුය.
මේ වනවිට ක්ෂේත්‍ර ගණනාවකටම දත්ත මත පදනම් වූ කෘත්‍රිම බුද්ධිය පැමිණ ඇති අතර දත්ත විද්‍යාව, දත්ත විශ්ලේෂණය යන්ත්‍ර ඉගෙනුම යනාදී සෑම අංශයකින් ම එය ප්‍රචලිත ය. කෘත්‍රිම බුද්ධිය පෙරට පැමිණීමත් සමග රැකියා අහිමි වන බවට මතයක් තිබේ. කෘත්‍රිම බුද්ධිය හේතුවෙන් කිසිදු රැකියාවක් අහිමි නොවන්නේ යැයි කිව නොහැකි ය. එහෙත් තාක්ෂණයත් සමග සිදුවන සමාජීය පරිවර්තනයේ දී ඒ ඒ වෘත්තීන්වලට අදාළ කුසලතා වෙනස් කර ගැනීම අනිවාර්ය වේ. නිදසුනක් ලෙස මීට අවුරුදු තිහ හතළිහකට පෙර යතුරුලියනය ඉතා ජනප්‍රිය වූ අතර බොහෝ දෙනෙක් එය ඉගෙන ගත්හ. එහෙත් 1990 ගණන්වලින් පසු යතුරුලියනයක් දකින්නටවත් නොහැකි තත්වයක් උද්ගත විය. යතුරුලියන්නා යන තනතුර data entry operator දක්වා පරිවර්තනය විය. ඒ වෙනස ඇති වුණේ පැවැති කුසලතා වෙනුවට නව කුසලතා ඇති කරගැනීම නිසා ය.
කෘත්‍රිම බුද්ධිය නිසා සිදු වන්නේ රැකියා අහිමි වීමකට වඩා ප්‍රාථමික මට්ටමින් ශ්‍රමය යොදා ගනිමින් කරන කාර්යයන් සංකීර්ණ සහ වැඩි දියුණු වෙමින් වඩාත් ඵලදායී ම්ටටමකට එම කාර්ය කිරීමේ නව රැකියා අවස්ථා බිහි වීම ය. යම් වෘත්තියක නියැළෙන සේවකයකුට කිසියම් කාර්යයක් කිරීම සඳහා වැය වන කාලය අවම කර ගනිමින් ඉහළ ඵලදායීත්වයකින් යුතුව එය කිරීමේ හැකියාව මෙමගින් ඇති කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස සෑම ක්ෂේත්‍රයකම රැකියා උසස් අවධියකට ගමන් කිරීමක් සිදු වනු ඇත.
ශ්‍රී ලංකාවට ගැලපෙන කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කිරීමට 2023 දී කාර්ය සාධක බළකායක් පිහිටුවනු ලැබූ අතර 2024 වසරේ මැදභාගයේ දී එහි වාර්තාව ද ප්‍රසිද්ධ කෙරිණ. එම වාර්තාවට අනුව රාජ්‍ය කටයුතුවල කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම සහ ඒ සඳහා වන සූදානම සාපේක්ෂව අඩු මට්ටමක පවතී. එහෙත් කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමේ වැදගත්කම ප්‍රතිපත්තියක් වශයෙන් පළමු වරට පිළිගැනීම නිසා කෘත්‍රිම බුද්ධිය භාවිතය අතින් ලෝකයේ රටවල් අතර ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි විය. කෘත්‍රිම බුද්ධිය භාවිතය ප්‍රචලිත කිරීමට අදාළ යටිතල පහසුකම් මේ වනවිට වැඩිදියුණු වෙමින් තිබේ. එහිදී රජයේ ආයතනවල කටයුතු පවත්වා ගෙන යෑම සඳහා දත්ත මධ්‍යස්ථාන සන්නිවේදන යටිතල පහසුකම් ආදිය සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ. පරිපූර්ණ යටිතල පහසුකම් අපේක්ෂා කළ නොහැකි වුවත් මේ ක්ෂේත්‍රයෙන් පෙරට යෑමට නම් මීට වඩා යටිතල පහසුකම් දියුණු කළ යුතු ය.
කෘත්‍රිම බුද්ධිය ශ්‍රමිකයන්ගේ කුසලතා ඉහළ නංවා ගැනීමට යොදා ගත හැකි මෙවලමක් ලෙස දැකීමට පුරුදු වීම වැදගත් ය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දී ඒ ඒ වයස් සීමාවල දී දරුවන්ට නිශ්චිත විෂයයන් ඉගැන්විය යුතු බවට අධ්‍යාපන විශේෂඥයෝ හඳුනාගෙන සිටිති. සෑම විෂයකටම වටිනාකමක් තිබේ. සෑම දරුවකුටම රැකියා වෙළෙඳපොළට පැමිණෙන විට තොරතුරු තාක්ෂණය පරිගණක දැනුම සහ කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් තමන් නියැළෙන ක්ෂේත්‍රයේ ප්‍රගතියක් අත්කර ගැනීමට හැකියාව තිබිය යුතු ය. ඊට අවැසි මූලික දැනුම අපේ අධ්‍යාපන ක්‍රමයෙන් ලබා දිය යුතු බව මම විශ්වාස කරමි. එහි එක් පියවරක් වශයෙන් විෂය මාලාවේ දී පරිගණක හා තොරතුරු තාක්ෂණය විෂය මගින් කෘත්‍රිම බුද්ධිය හඳුන්වා දීමක් කළ හැකි ය. ඊටත් වඩා වැදගත් වන්නේ නිර්මාණාත්මක ව්‍යාපෘති සහ සෙසු විෂය කටයුතුවල දී කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් යම් කාර්යයක් වඩාත් ඵලදායී ලෙස කරගන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් පවතින අවස්ථා දරුවන්ට විවෘත කිරීම ය.
තොරතුරු තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය ක්ෂේත්‍රවලට විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති සූදානම යන අර්ථයෙන් බලන විට පෙනෙන දෙයක් නම් ලෝකයේ විශ්වවිද්‍යාලවලින් උපාධි ලබා පිටවන අයගේ උපාධිවල අන්තර්ගත කුසලතා සම්බන්ධයෙන් නිතර ඇගැයීම් සිදු වීමය. සෑම උපාධියක් සඳහා ම තොරතුරු තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය යම් මට්ටමකින් හෝ භාවිත කිරීම වැදගත් බව මේ වෙද්දී ලෝක පරිමාණයෙන් පිළිගැනීමට ලක්ව තිබේ. එහිදී වැදගත් වන්නේ තමන්ගේ උපාධිය කුමක් වුවත් ඊට අදාළ ක්ෂේත්‍රයේ රැකියාවක් කිරීමේ දී මේ තාක්ෂණික විධි මෙවලමක් වශයෙන් භාවිත කරන්නේ කෙසේ ද යන හැකියාව අත්කරගැනීම යි. ඒ මට්ටමට ලංකාවේ අධ්‍යාපනය දියුණු කළහොත් කිසිදු දරුවකුට අසාධාරණයක් නොවන අතර සියලු දෙනාම මේ ගමනට සම්බන්ධ කරගනිමින් පරිගණක, තොරතුරු තාක්ෂණ සහ කෘත්‍රිම බුද්ධිය ක්ෂේත්‍රවලින් වේගවත් සංවර්ධනයක් ළඟා කර ගත හැකි ය.
තොරතුරු තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුවත් සමග සයිබර් අපරාධවල ඉහළ යෑම සහ ඒවා මැඩපැවැත්වීමේ වැදගත්කම ගැන ද නිතර සාකච්ඡා වේ. ඒවා පාලනයට අදාළව රජයේ ආයතන කිහිපයක් ඇත. එමෙන්ම ඒ සම්බන්ධයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ මූලිකත්වයෙන් පර්‌යේෂණ කටයුතු ද සිදු වේ. දරුවන් සහ තරුණ පරිශීලකයන්ගේ නොදැනුවත්භාවය හේතුවෙන් නොයෙක් සයිබර් කරදර හා අනතුරුවලට භාජන වීමක් දැකිය හැකි ය. එය පරිගණකමය වශයෙන් සිදුවන දෙයකට වඩා අවදානමට ලක්වන පාර්ශ්වයේ කිසියම් දුර්වලතාවක් භාවිත කරමින් සයිබර් මාධ්‍ය මගින් එවැනි හානියක් කරන බව නිරීක්ෂණය වේ. එවැනි සයිබර් උගුල් මුදල් ඉල්ලා එවන පණිවුඩ අනන්‍යතාව පිළිබඳව ගැටලු ඇති කරන ආකාරයේ ක්‍රියාකාරකම් යනාදී මුහුණුවර මගින් සිදු විය හැකි ය. එවැනි අවස්ථාවල දී කලබල වී තීන්දු තීරණ ගන්නවා වෙනුවට කළ යුත්තේ අදාළ රජයේ ආයතන සම්බන්ධ කර ගැනීම ය. සයිබර් අපරාධ මර්දනය කිරීමට අදාළ නීති සහ පහසුකම් පවතින බව විශේෂයෙන් සඳහන් කළ යුතු ය.
(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කෘත්‍රිම බුද්ධිය - රැකියා අවදානම