දේශපාලනඥයෝ මිය නොයති. ඉන් අදහස් කරන්නේ ඔවුන් ආශි‍්‍රත දේශපාලන සිදුවීම් වරින්වර යාවත්කාලීන වීමය. හොඳ මෙන්ම නරක ද ඒ අතර වෙයි. සමහර කාරණා වර්තමානයට ගැළපීම සඳහා මළවුන් අතර සිටින දේශපාලනඥයන් ආශි‍්‍රත අතීත සිදුවීම් ගෙන හැර පෑමට සිදුවේ. එය මළවුන්ට දොස් පැවරීමක් නොවේ. යථාර්ථයට මුහුණදීම සඳහා අතීතයෙන් පාඩම් ඉගෙන ගැනීමකි. වරක් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විපක්ෂ නායිකාව ලෙසින් කටයුතු කරන සමයේ මහජන රැලියක දී මෙසේ පැවසුවාය. ”අපට ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නයට විසඳුමක් දෙන්න පුළුවනි. බැරිකමක් නැහැ. විසඳුම අප ඒගොල්ලන්ට කියන්න යන්නේ නැහැ. අවස්ථාවක් ලබාදුන්නොත් විසඳනවා. ඒ ගොල්ලන්ට අගමැතිවරු ලොකු ලොකු ඇමතිවරු සිටියදී අප විසඳුම් දෙන්න අවශ්‍ය නැහැ. එ්කට විසඳුමක් මේ රටේ ජනතාවම සොයගන්න  ඕනෑ.”
(30.07.86 දිවයින)
එවකට විපක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මෙම ප‍්‍රකාශය කළේ බණ්ඩාරගම පැවැති රැලියකදීය. වෙන විධියකින් ඇය මේ කියන්නේ අපේ ළඟ විසඳුමක් තියෙනවා. ඒත් තොපේ ආණ්ඩුවට එය ලබා දෙන්නේ නැහැ කියලාය. ඊට හේතුව ඇයට ආණ්ඩු බලය නැති නිසාය. නැතිනම් ආණ්ඩුව යූ.ඇන්.පී. නිසාය. එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය නිසා රටේ මිනීකඳු ගොඩ ගැසුණත්, ති‍්‍රවිධ හමුදාවේ අය මියැදුණත්, ජනතාව දුකට පත්වුණත්, විසඳුමක් තමන්ට තිබුණත් දෙන්නේ නැත. ඒ නිසා මැතිනිය අනියම් මාර්ගයෙන් ජනතාවට කියන්නේ විසඳුමක් අවශ්‍ය නම් තමන් බලයට පත්කරපල්ලා කියලාය. නැති නම් දුක් විඳපල්ලා කියලාය. මේ රටේ සාම්ප‍්‍රදායික විපක්ෂ දේශපාලනයේ හැටි එහෙමය. එහෙත් ඊට පටහැනිව කි‍්‍රයාකළ පක්ෂ ද, පුද්ගලයෝ ද, එදත් සිටියහ. මහජන පක්ෂයේ නායක විජය කුමාරණතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, සමසමාජ පක්‍ෂය හා කොමියුනිස්ට් පක්ෂය මෙවන් කට්ටිවාදී දේශපාලන කෝණයකින් කල්පනා කළේ නැත. එය ඔවුනට ගෞරවයක් ලෙස මේ මොහොතේ වුව ද සඳහන් කළ යුතුය. මේ නිසා විජය ඇතුළු ප‍්‍රගතිශීලීන් රැසකට ජීවිතය පවා අහිමි විය. එහෙත් මරණය දක්වාම වුව ද ඔවුහු තම මතවාදය වෙනස් නොකළහ. අද මේ ආණ්ඩුවෙත් එහෙම අය සිටිති. රාජිත සේනාරත්න, ඩිලාන් පෙරේරා වැනි ඇමැතිවරු ඔවුන් අතරින් කැපී පෙනෙන්නෝ වෙති. මේ සංසිද්ධීන් වෙත අපේ මතකය යළි අවදි කරන්නේ උතුරේ අර්බුදයට දේශපාලන විසඳුමක් සොයාගැනීමේ නූතන ප‍්‍රයත්නයේදී වර්තමාන විපක්ෂයේ හැසිරීම දෙස බලන විටය. එය පැරණි විපක්ෂ කි‍්‍රයාකාරකම්වලට වඩා ප‍්‍රගතිශීලීය. ඉදිරිගාමීය. විශේෂයෙන්ම ප‍්‍රධාන විපක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මෙහිදී අපේ රටේ සාම්ප‍්‍රදායික විපක්‍ෂ නායකයකු සාමාන්‍යයෙන් හැසිරෙන ක‍්‍රමයට වඩා වෙනස් ක‍්‍රමයක් අනුගමනය කරන බව පෙනේ. එල්.ටී.ටී.ඊ.ය සම්පූර්ණයෙන්ම පරාජය කර යුද්ධය අවසන් කර මේ වන විට වසර තුනක් ගත වී ඇත. මේ අතරවාරයේ කාටකාටත් නොයෙක් කතන්දර කිව හැකිය. එහෙත් තවමත් උතුරට දේශපාලන විසඳුමක් සොයාගැනීම අපට අපහසු වී තිබේ. මේ රටේ දේශපාලනය කරන අයට අවංක වුවමනාවක් තිබේ නම් කාලය එතරම් වැදගත් වන්නේ ද නැත. මේ පසුබිම වත්මන් විපක්‍ෂ නායකවරයා දකින්නේ තවදුරටත් ළතැවෙමින් හෝ සලිත වෙමින් සිටීමට කාලයක් නොමැති බවයි. වෙන විධියකින් ඔහු සඳහන් කරන්නේ වහාම උතුරේ අර්බුදයට දේශපාලන විසඳුමක් සොයා ගත යුතු බවයි. ඊට සහාය වීමට එක්සත් ජාතික පක්ෂයේ ඇති සූදානම පැසසිය යුතුය. ඒ සඳහා එදා බණ්ඩාරනායක මැතිනිය මෙන් විපක්‍ෂයේ ආණ්ඩුවක් පැමිණෙන තුරු වැඬේ ඇනෙන්නට ඉඩදීමට වත්මන් විපක්ෂය සූදානම් නැති බව විපක්‍ෂ නායකවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී කළ ප‍්‍රකාශයෙන් පැහැදිලිවේ. ”පක්ෂ හා සියලූම මිනිසුන් එක්සත් ව අප පසු කොට ඇති ඛේදජනක හා කම්පා දනවන සුළු කාල පරිච්ජේදය අවබෝධ කොට ගෙන සංහිඳියාව හා සාමය වෙනුවෙන් කැප විය යුතුය. එක්සත් බව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සවිබල ගැන්වීම, බලය බෙදා ගැනීම, සමානාත්මතාවය හා සියලූ ප‍්‍රජාවන්ගේ අයිතීන් වෙත ගරු කිරීම මත පදනම් වූ ජාතික සම්මුතියක් ගොඩ නැඟීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමේ පළමු පියවර රජය විසින් ගත යුතුය. සියලූ දෙනා වෙත අප පිළිතුරු බැඳිය යුතු වන රාජකාරියක් හා ඉටු කළ යුතු කාර්ය භාරයක් පවතී.”
(25.05.2012 ලංකාදීප)
උතුරු නැගෙනහිර ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් සෙවීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට දෙමළ ජාතික සන්ධානය නොපැමිණීම නිසා එහි කටයුතු ඉදිරියට ගෙන යාමට අපහසු වී ඇත. ඊට හේතු වශයෙන් ද්‍රවිඩ සන්ධානය පැත්තෙන් ඉදිරිපත් වී තිබෙන්නේ, රජය හා එම සන්ධානය අතර පැවැති ද්විපාක්ෂික සාකච්ඡාවල ප‍්‍රතිඵල හා තීන්දු තීරණ ප‍්‍රකාශයට පත් නොවීමයි. ප‍්‍රශ්නය නිරකරණය කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය එහි දී ආණ්ඩු හා ද්‍රවිඩ සන්ධානය ගනු ලැබු තීරණ සඳහා ද සහාය වීමට සූදානමින් සිටී. ”රජයේ නියෝජිතවරුන් හා දෙමළ ජාතික සන්ධාන නියෝජිතවරුන් අතර පැවැති ද්විපාක්ෂික සාකච්ඡා අතරතුර එළැඹි සියලූ තීරණවලට එක්සත් ජාතික පක්ෂය සහාය දක්වන බව ද්‍රවිඩ ජාතික සන්ධානය වෙත සහතික වීමට ද කැමැත්තෙමි.”
(පාර්ලිමේන්තුවේදී)
කෙසේ හෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ද්‍රවිඩ සන්ධානය කැඳවා ගනිමින් සාකච්ඡා ඉදිරියට ගෙන යෑමේ  ඕනෑකම එක්සත් ජාතික පක්ෂයට පවතින බව විපක්ෂ නායකවරයා එදා පාර්ලිමේන්තුවේ කළ සවිස්තරාත්මක ප‍්‍රකාශයෙන් රටට හෙළි විය. ඊට රජයේ අනුකූලතාව ලැබී තිබෙන බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ පිළිතුරු කතාවෙන් පැහැදිලි විය. ඒ අනුව හිටපු සමහර අය මෙන් නොව රනිල් වික‍්‍රමසිංහ ඉදිරිගාමී විපක්ෂ නායකයකු බව ප‍්‍රදර්ශනය කර තිබේ. එය ආණ්ඩුවට කඬේ යෑමක් සේ පෙන්වා දීමේ ඉඩකඩ ද නැත්තේ නොවේ. රටේ ජාතියේ පොදු අවශ්‍යතාවක් වෙනුවෙන් හා වසර 64 ක් තිස්සේ නොවිසඳී ඇති ප‍්‍රශ්නයක් විසඳීමට විපක්ෂ නායකයකු ආණ්ඩුවට කඬේ ගියත් වරදක් නැත. වරදක් වන්නේ එළවා දැමිය යුතු ආණ්ඩුවක පැවැත්ම වෙනුවෙන් විපක්ෂයක් හෝ විපක්ෂ නායකයකු කඬේ යනවා නම් පමණි. ජාතික ප‍්‍රශ්නයට විසඳුම් සෙවීමේ දී වත්මන් රජය ද යම් ප‍්‍රමාණයකට හිර වී තිබෙන බව පෙනේ. එය යුද්ධය ජය ගැනීම තරම්ම ලෙහෙසි කාර්යක් වන්නේ නැත. එසේ ම යුද්ධයේ දී සහාය වූ පාර්ශ්ව සමඟ පමණක් ආණ්ඩුවකට සාමකාමී විසඳුමකට යා නොහැක. ඊට සාමයට කැමැති  අය ද අවංකවම ළං කර ගත යුතුය. එම තෝරා බේරා ගැනීම සම්බන්ධයෙන් මේ ආණ්ඩුවට ප‍්‍රශ්නයක් තිබෙන බව පෙනේ. එහෙත් අනාගතයේ මේ ආණ්ඩුවේ පැවැත්මට ද ජාතික ප‍්‍රශ්නයට නොවිසඳීම හෝ ප‍්‍රමාද වීම හේතු විය හැකිය. එය පසුගිය දා මඩකලපුවේ පැවැති ද්‍රවිඩ ජාතික සන්ධාන ජාතික සමුළුවේ දී එහි නායක ආර්. සම්බන්ධන් කළ ප‍්‍රකාශවලින් ම පැහැදිලි වේ. එහි දී සම්බන්ධන් මන්තී‍්‍රවරයා අවධාරණයෙන් ප‍්‍රකාශ කළේ ”ද්‍රවිඩ ප‍්‍රශ්නය අලූත් ඉසව්වකට පැමිණ ඇති බවත්, අනාගතේ දී ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා අහිංසාවාදය යොදා ගන්නා බවත්ය. ඊට අන්තර් ජාතික ප‍්‍රජාවගේ හා විදේශගත දෙමළ ජනයාගේ ආධාර උපකාර අත්‍යවශ්‍ය බවත්ය. මේ අතර දෙමළ ඩයස්පෝරාවේ ප‍්‍රධානියකු පසුගිය විරු සැමරුම දා ප‍්‍රකාශ කර ඇත්තේ ද මීට සමාන ප‍්‍රකාශයකි. ”අපි උතුරේ ජනයා සමකාමී උද්ඝෝෂණවලට පොළඹවනවා. එහි දී ආණ්ඩුව ඔවුන්ට පහර දීමට පුළුවන්.  අප අන්තර් ජාතික ප‍්‍රජාවගෙන් හා ඉන්දියාවෙන් ඉල්ලා සිටින්නේ ඊට එරෙහි වීමක් හා ජනමත විචාරණ යෝජනාවට සහාය දීමක් යන කාරණා දෙකයි.” ආර්. සම්බන්ධන් මඩකලපුවේ දී කළ ප‍්‍රකාශවලින් හා එල්.ටී.ටී.ඊ. හිතවාදී ද්‍රවිඩ ඩයස්පෝරාවේ නියෝජිතයකුගේ ප‍්‍රකාශවලින් පැහැදිලි වන්නේ දේශපාලන විසඳුමකින් තොරව රට ගමන් කරන්නේ නම් ප‍්‍රශ්නය ප‍්‍රවිෂ්ට වන ඊළඟ ඉසව්වයි. ද්‍රවිඩ සන්ධානයේ නායකයා අලූත් ඉසව්වක් සේ දකින්නේ මෙම අහිංසාවාදී සටන් ක‍්‍රම බව පෙනේ. වෙන විධියකින් මෙය එස්.ජේ.වී. චෙල්වනායගම්ලා, ජී.ජී. පොන්නම්බලම්ලා, පසු කලෙක ඒ. අමිර්තලිංගම්ලා හා සිවසිතම්පරම්ලා නවසිය පනස් ගණන් වල සිට උපයෝගිකර ගත් ක‍්‍රමවේදයයි. නැතිනම් එල්.ටී.ටී.ඊ. ය බිහිවීමට පෙර උතුරේ පැවැති සටන් ක‍්‍රමයයි. එදා යු.ඇන්.පී. හා යූ.ඇන්.පී. විරෝධී ආණ්ඩු සියල්ල යටතේ හර්තල්, සත්‍යග‍්‍රහ වැනි අහිංසාවාදී, ගාන්ධිවාදී සටන් ක‍්‍රම කි‍්‍රයාත්මක කරන විට යුරෝපය ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් හා ඉන්දියාව සිටියේ අපේ රටේ පැවැති ආණ්ඩු සමඟය. ඒවායේ රස්නය එතරම් සැරට ජාත්‍යන්තරයට විහිදුණේ නැත. ජාත්‍යන්තරය ද වැදගත් ලෙස එවන් සිදුවීම් බාරගත්තේ ද නැත. ලෝක තත්ත්වය ද මීට වඩා වෙනස්ය.  ද්‍රවිඩ සරණාගතයන්ගෙන්  සැදුම්ලත් බෙදුම්වාදී ඩයස්පෝරාවක් තිබුණේ ද නැත. එම රටවල සිටි දෙමළ ජනයාට වුවද රට බෙදා වෙන් කරන මට්ටමේ බෙදුම්වාදී ඊළමක් අවශ්‍ය වූයේ ද නැත. එහෙත් අද ජාත්‍යන්තරය එදා මෙන් නොව පැහැදිලිවම වෙනස් වෙලාය. එම වෙනස අපට වාසිදායක ද? එහෙම නම් වෙන්න විදිහක් නැත. පසුගිය දා බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ ප‍්‍රකාශයෙන් වුව ද පැහැදිලි වන්නේ උතුරේ හමුදා කඳවුරු පවා ඉවත් කරන ස්ථාවරයක බටහිර සමහර රටවල් සිටින බවයි. උතුරේ අන්තවාදීන්ගේ සූදානම ජාතික ප‍්‍රශ්නයට විසඳුම් දියව් කියමින් සමකාමී අහිංසාවාදී උද්ඝෝෂණවල මුවාවෙන් ජනතාව පාරට ගැනීමට විය හැකිය. එය ආණ්ඩු වෙනස් කිරීමක් දක්වා ගෙනයෑමට ”අරාබි වසන්තය” මගින් ලොවට උගන්වා ඇති බව මේ පිරිස නොදන්නවා නොවේ. ඔවුනට ශී‍්‍ර ලංකාවේ ආණ්ඩු වෙනස් වීමක් අවශ්‍ය නොවිය හැක. එහෙත් උතුරට වෙන ම රටක් දක්වා ගමන් කළ හැකියි. උද්ඝෝෂණ රැල්ලකට එම ගමන පරිවර්තනය කළ හැක. අනතුර ඇත්තේ මෙතැනයි. මේ උද්ඝෝෂණ රැල්ලට ”මා මැරෙන්නේ ශී‍්‍ර ලංකිකයකු ලෙසය, අපට අවශ්‍ය ඒකීය ශී‍්‍ර ලංකාවක් යටතේ අවැසි විසඳුමක්” යැයි කියමින් අද යම් මැද තැනක සිටින ආර්. සම්බන්ධන්ලා වැනි නායකයන් පවා ඇදී යා හැකිය. ත‍්‍රස්තවාදයට එරෙහිව තුවක්කු පත්තු කළා සේ උතුරේ ගාන්ධිවාදී උද්ඝෝෂණවලට එරෙහිව තුවක්කු පත්තු කිරීම ප‍්‍රායෝගික වන්නේ නැත. එසේම එවන් අර්බුදයක දී ආරක්ෂක අංශවලට සිල් ගැනීමටත් බැරිය. මේ අතර හරකකු කැඩූ ”වෙසක් කූඩුවක්” වෙනුවෙන් ගව රැලක් දක්කාගෙන ගිය ද්‍රවිඩ තරුණයකුට වෙඩි තැබු ජාතියේ හමුදා සොල්දාදුවන් සේම, මහාචාර්ය රත්නවෙල් හුල් වැනි එල්.ටී.ටී.ඊ. විරෝධී මහාචාර්යවරුන් වැනි මධ්‍යස්ථ ද්‍රවිඩ භක්තිමතුන් රට හැර යන තැනට පත් කරනු ලබන කැප්ටන්ලා ද මේ අතර සිටිය හැකිය. ඔවුන්ගේ අත් වැරදි හෝ වැරදි නිසා උතුරේ උද්ඝෝෂණවලින් මළමිනී මතු වුවහොත් නැවත රට ගමන් කරන්නේ බිහිසුණු ඉසව්වකටය. එදාට පෙර දා මෙන් බටහිර ජාත්‍යන්තරය ද අපට නොමැති පසුබිමක, මැවෙන චිත‍්‍රය බියකරුය. මේ බව වත්මන් දේශපාලනයේ යෙදෙන සියල්ලට අවබෝධ කර ගැනීම වැදගත් වේ. එම අවබෝධය රටේ ප‍්‍රධාන විපක්ෂයට තිබෙන බව පෙනේ. ආණ්ඩුවට ද නොතිබෙන්නට විදියක් නැත. ඒ සම්බන්ධයෙන් එතරම් තැකීමක් නොකර තේරීම් කාරක සභාවේ කි‍්‍රයාදාමය ද දිනෙන් දින ඇදී යන්නේ නම් එය කිසිසේත්ම රටටත් ආණ්ඩුවටත් ගුණදායක වන්නේ නැත.
වසන්තපි‍්‍රය රාමනායක