IMG-LOGO

2024 මාර්තු මස 04 වන සඳුදා


එදා මෙදා භූමිය සූරාකෑමේ කතාව

රටක ජීවත්වන සෑම පුද්ගලයකුටම භූමියේ හිමිකමක් පවතී. එනිසා ඔහු එම රටේ ස්වාධීන පුරවැසි උරුමයක් භුක්ති විඳින්නකුගේ තත්වයට පත්වන්නේය. පුද්ගලයකුගේ ඉඩම් උරුමය වැදගත් වන්නේ භූමියක අයිතිය නිසා ඔහු ශක්තිමත් හිමිකමක් ඇති, ඉදිරියේදී තම දූ දරුවන්ට උරුමයක් හිමිකර දිය හැකි පුද්ගලයකුගේ තත්වයට පත්වන නිසාය. මෙවැනි තත්වයක් යටතේ සෑම ශ්‍රී ලාංකිකයකුම භූමියේ හිමිකරුවකු බවට පත්වීම, පරම්පරා ගණනාවක් තුළ තමන්ගේ සහ පවුලේ පැවැත්ම පිළිබඳ ආඩම්බර විය හැකි හිමිකමක් වනු නිසැකය. එහෙත් ඉඩමක උරුමය ශ්‍රී ලංකාවාසීන් බොහෝ දෙනකුට අහිමි වී ඇති තත්වයක් බවට පත්ව ඇත.

ඈත අතීතයේ සිටම ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අති බහුතරයක් භූමියේ හිමිකරුවෝ වී සිටියහ. කෘෂිකර්මය ජීවනෝපාය කරගත් පිරිසක් ලෙස ඔවුහු ඉඩමේ හිමිකම විශාල උරුමයක් ලෙස සැලකු අතර එම හිමිකම පමණකින් වුවද ජීවිත පවත්වාගෙන යා හැකි තත්වයකට ඔවුහු පත්ව සිටියහ. එසේ වුවද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති වූ යුරෝපීය සංක්‍රමණ ශ්‍රී ලාංකිකයන්ගේ ඉඩම් හිමිකම් පිළිබඳ පිළිවෙත බොහෝ දුරට වෙනස් කිරීමට හේතු විය. පෘතුග්‍රීසීන් සහ ලන්දේසීන් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත් යටත් කර ගැනීමෙන් පසු ඉඩම් හිමිකම පිළිබඳව යම් යම් වෙනස්කම් ඇති කරනු ලැබුවද රට වැසියන්ගේ ඉඩම් කොල්ලයකට ඔවුන් සූදානම් වූයේ නැත. එහෙත් 1815 දී මුළු දිවයිනම තමන් යටතට පත්කර ගැනීමෙන් පසු වසර දහස් ගණනක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ඉඩම් උරුමය පිළිබඳ පිළිවෙත වෙනස් කිරීමට ඉංග්‍රීසීහු කටයුතු කළහ. ශ්‍රී ලංකාවේ ඉඩම් ඔවුන් විසින් කොල්ලකන ලදී.

1833 දී කෝල්බෲක් කොමිසම විසින් කරන ලද නිර්දේශ අතර ඉඩම් අයිතිය පිළිබඳ වෙනස්කම් ඇති කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කර තිබුණි. ඉංග්‍රීසීහු ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය ආරම්භ කළහ. මුලින්ම කෝපි වගාවෙනි. 1840 වසරේ මුඩුබිම් පනත යටතේ ශ්‍රී ලාංකිකයන් සතු වූ ඉඩම් බලහත්කාරයෙන් වැවිලි කර්මාන්තය සඳහා පවරා ගැනීමට කටයුතු කළේය. ලේඛනගත තොරතුරු ආශ්‍රයෙන් හෝ වෙනත් ආකාරයකින් උරුමකම් කීමට නොහැකි සියලු‍ ඉඩම් මෙම නීති යටතේ රජයට පවරාගෙන අක්කරයක් සිලිං 5ක වැනි මිලකට වැවිලි කර්මාන්තයට අලෙවි කරන ලදී. මුලින් උඩරටින් ආරම්භ වී පසුව මැදරට සහ පහතරට ප්‍රදේශවලද ගොවීන් සහ සාමාන්‍ය පුරවැසියන් සතු ඉඩම් ඔවුන්ට අහිමි කර වැවිලිකරුවන් සඳහා අලෙවි කරන ලදී.

ශ්‍රී ලංකාව වැනි යටත් විජිත බවට පත් බොහෝ රටවලට අධිරාජ්‍යවාදීන් යටතේ පැවැති සමයේදී අත්විඳීමට සිදු වූ ඉඩම් ප්‍රතිපත්තිය එවැන්නක් විය. එසේ වුවද නිදහස ලබා ගැනීමෙන් පසු එම රටවල ඉඩම් ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඉඩම් නැති පුද්ගලයන්ට ඉඩම් හිමිකරදීමට කටයුතු කරන ලදී. ලබාගත් නිදහස වඩාත් අර්ථවත් අයුරින් භුක්ති විඳීමට නම් ඉඩම් ප්‍රතිසංස්කරණය ඇතිකර ඉඩම් නැති සෑම කෙනකුටම ඉඩමක් ලබාදීම නිදහස තහවුරු කිරීම සඳහා අත්‍යාවශ්‍ය කොන්දේසියක් ලෙස මෙම රටවල් විසින් සලකන ලදී. එසේ වුවද ශ්‍රී ලංකාවේ සමහර ඉඩම් ප්‍රතිසංස්කරණ ආරම්භ කරන ලද්දේ නිදහස ලබා ගැනීමට පෙර යුගයේ සිටය.

ඉඩම් ලබා ගැනීමට හැකි වූ ප්‍රදේශවල ගොවි ජනපද ඇතිකර ඉඩම් අහිමි ජනතාවට ඉඩම් ලබාදීමට ඒ යටතේ කටයුතු කරන ලදී. ගොවි ජනපද ව්‍යාපාරය ඉතා ඉහළ මට්ටමකින් ප්‍රථම වරට ක්‍රියාත්මක වූ අවස්ථාවක් ලෙස හඳුන්වන්නේ ගල්ඔය ව්‍යාපාරයයි. ඉන්පසු වැවිලි ඉඩම් රජයට පවරා ගැනීම සහ මහවැලි ව්‍යාපාරය වැනි බහුවිධ සංවර්ධන ව්‍යාපෘති ආදිය මගින් ඉඩම් භාවිතය සම්බන්ධයෙන් වෙනස්කම් ඇති කිරීමටත්, රටේ සෑම පුරවැසියකුටම ඉඩම් භාවිතය සඳහා ඉඩකඩ ලබාදීමටත් කටයුතු කරන ලදී. ඒ අනුව, රජයේ ඉඩම්වලින් අතිවිශාල ප්‍රමාණයක් ඉඩම් නැති ජනතාවට භාවිත කිරීම සඳහා ඉඩ සලස්වන ලදී.

මුලින්ම ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ වූ අතර, එය ඉතා මෑතක් වන තුරුම ක්‍රියාත්මක විය. උදාගම් සංකල්පය ඔස්සේ විශාල පිරිසකට ඉඩම් සහ නිවාස ලබාදීම එහි මෑත කාලීන සංවර්ධනයක් ලෙස හැඳින්විය හැකිය. ගොවි ජනපද ඉඩම්, මහවැලි ඉඩම් යන නම්වලින් ඉඩම් පවරාදීම සිදු වූ අතර, පසු කාලයේදී ස්වර්ණ භූමි, ජය භූමි, ඉසුරු භූමි ආදී විවිධ නම්වලින් මහජනතාව අතරට ඉඩම් බෙදාහැරීම සිදුවිය. මුල් අවස්ථාවේ සිට අද දක්වාම රජයේ ඉඩම් බෙදාදීම තුළ ගැබ් වී ඇති මූලික සංකල්පය වන්නේ ඉඩම් හිමිකම රජය සතු බවත්, ඒවා තාවකාලිකව රටවැසියන්ට පැවරිය හැකි බවත්ය. එහෙත් සියවස් එකහමාරකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වූ ඉඩම් ප්‍රතිපත්තිය යටතේ කිසිදු ආකාරයකින් ඉඩම් පෞද්ගලිකව හිමිකරදීමක් සිදු වූයේ නැත. ඉහත සඳහන් ආකාරයට විවිධ නම්වලින් පුරවැසියන්ට බදු දී තිබුණ ද රජයට ඕනෑම අවස්ථාවක ඒවා ආපසු පවරා ගැනීමට බලය තිබුණි.

සමහර අවස්ථාවල ගොවීන්ට ඉඩම් භාවිතය සඳහා විවිධ ව්‍යාපෘතිවලින් ඉඩ සැලසූ අවස්ථාවලදී අසාධාරණ සිදු වූ බව ද පෙනෙන්නට තිබේ. උදාහරණයක් ලෙස මහවැලි ඉඩම් එහි කලාප ක්‍රමයෙන් මහජනතාවට ලබාදීමේදී කොන්දේසි රැසක් පනවා තිබුණි. ඒවා ලබාගත් අයට ඉඩම් අන්සතු කිරීමට නොහැකි විය. මුලින්ම ඒවායේ පසු උරුමය පිළිබඳ කොන්දේසිය වූයේ පවුලේ වැඩිමලාට පමණක් ඒවා පැවරිය හැකිය යන්නයි. පසු කාලයේදී පවුලේ ඕනෑම අයකුට පැවරිය හැකි බවට කොන්දේසි වෙනස් විය. කෙසේ වුවද මහවැලි ව්‍යාපාරය යටතේ වාණිජ කටයුතු සඳහා ලබාගත් ඉඩම්වලට එවැනි කොන්දේසි බලපැවැත්වූයේ නැත. ඉතා අඩු මුදලකට මෙම ඉඩම් ව්‍යාපාරිකයන් සඳහා ලබාදී තිබුණද, අවශ්‍ය අවස්ථාවක ඒවා වෙනත් අයට අලෙවි කිරීමට ද අවසර ලැබී තිබුණි. ඒ තුළින් පැහැදිලි වන්නේ මහවැලි ගොවිබිම් සරුකර ගොවීන්ට ඉඩම් උරුමයක් නොතිබුණද මහවැලි ඉඩම් ලබාගත් ව්‍යාපාරිකයන්ට ඉඩම් අයිතියක් හිමිව තිබූ බවයි.

කිසිවකුට ඉඩම් පිළිබඳ පූර්ණ හිමිකමක් ඇති වන්නේ එම ඉඩම තමන්ට අවශ්‍ය අවස්ථාවක, අවශ්‍ය ක්‍රමයකට, අවශ්‍ය මිලකට අන්සතු කිරීමට ඇති හැකියාව මතය. එසේ නොවන තාක් ඉඩම් භාවිත කරන තැනැත්තා ඉඩම් කුලියට ගන්නකු හෝ බදු ගන්නකුගේ තත්වයකට පත් වේ. ඉඩම ඔහුගේ පූර්ණ වත්කමක් බවට පත්වන්නේ නැත. එසේම ඔහුට එය තවත් පුද්ගලයකුට අලෙවි කිරීමට, උකස් කිරීමට හෝ බැංකු ඇපකරයක් ලෙස භාවිත කිරීමටද හැකියාවක් නැත. එහි ප්‍රතිඵලය වන්නේ ඔහු කොපමණ කාලයක් එම ඉඩම සංවර්ධනය කළ ද ඔහු එම ඉඩම්වලින් වත්කම් හිමියකුගේ තත්වයට පත් නොවීමයි.

එවැනි ඉඩම් භාවිත කරන පුද්ගලයන්ට අඩුම තරමින් ඉඩමක් උකස් කර ණය මුදලක් ලබා ගැනීමට හෝ හැකියාවක් නොලැබේ. කවර නමකින් හැඳින්වුවද, එම ඉඩම් රජය සතු වේ. අඩුම තරමින් නිවාස ණයක් ලබා ගැනීම පවා ගැටලු‍වක් බවට පත්වේ. මෙම ප්‍රශ්නය පිළිබඳව බොහෝ කලක් තිස්සේ කරුණු වටහාගෙන සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසරේදී ඉදිරිපත් කළ 2024 වසර සඳහා වන අයවැය ලේඛනයෙන් රටේ විසිලක්ෂයක් පමණ වූ පුරවැසියන් පිරිසක් පූර්ණ ඉඩම් හිමිකරුවන් බවට පත්කිරීම සඳහා වූ යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ විවිධ යෝජනා ක්‍රම යටතේ රජයේ ඉඩම් හිමිකම භුක්ති විඳින පුද්ගලයන්ට එම ඉඩම් පිළිබඳව පූර්ණ අයිතිය ලබාදීමටය. ඔවුන් වෙත ඉඩම්වල සින්නක්කර හිමිකම පිළිබඳ ඔප්පු රජය විසින් ලබාදෙනු ඇත.

අයවැය ලේඛනය පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද්දේ පසුගිය දෙසැම්බර් මස 13 වැනිදාය. මේ වසරේ පෙබරවාරි මස 05 වැනි දා රංගිරි දඹුලු‍ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන උත්සවයේදී එහි පළමු පියවරක් ලෙස දසදහසක පිරිසකට සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමක් සිදු වේ. විවිධ යෝජනා ක්‍රම යටතේ ඉඩම් භුක්ති විඳින පිරිසකට එම ඉඩම් සින්නක්කර ඔප්පුවකින් පවරා දෙනු ලබන අතර, එය අලෙවි කිරීමට, උකස් තැබීමට, කවර ආකාරයකින් හෝ අන්සතු කිරීමට, කුලියට දීමට, බදු දීමට, තමන් අභිමතය පරිදි නිවසක් හෝ වෙනත් ඉදිකිරීමක් කිරීමට, ව්‍යවසායක් ආරම්භ කිරීමට එමගින් ඉඩ ලැබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය ලේඛනයෙන් මහජනතාවට ඉඩම් උරුමය ලබාදෙන මෙම යෝජනාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ රටේ දැවැන්තම පෞද්ගලීකරණ ක්‍රියාවලිය මේ යටතේ සිදුවන බවයි. ඉඩම් නැති ජනතාවට භාවිත කිරීමට ඉඩ ලබාදී තිබූ එහෙත් ඔවුන්ට උරුමයක් නොතිබූ අතිවිශාල ඉඩම් ප්‍රමාණයක් ඔවුන්ට උරුම කර දීමට මෙමගින් ඉඩ ලැබේ. රජය සතු ඉඩම් අතිවිශාල ප්‍රමාණයක් විසිලක්ෂයකට අධික පවුල් සංඛ්‍යාවකට උරුම කර දීමක් මේ යටතේ සිදු වේ. සැබැවින්ම එය රටේ දැවැන්තම පෞද්ගලීකරණයයි. ඊටත් වඩා එහි වැදගත්කම වන්නේ ඉඩම් නැති පවුල් විසිලක්ෂයක් පූර්ණ ඉඩම් හිමියන් බවට පත්වීමයි.

එය හැඳින්විය හැක්කේ ශ්‍රී ලංකාව යටත් විජිතකරණයෙන් පසු හඳුන්වා දෙනු ලබන ප්‍රධානම ඉඩම් ප්‍රතිසංස්කරණය වශයෙනි. සුද්දෝ ශ්‍රී ලංකාව යටත් කරගෙන ගොවි ජනතාව සතු ඉඩම් කොල්ල කෑහ. රනිල් වික්‍රමසිංහ ඒවා ආපසු මහජනතාවට ලබා දුන්නේය. එය හැඳින්විය හැක්කේ රටේ දැවැන්තම පෞද්ගලීකරණය ලෙස මෙන්ම විශාලම ඉඩම් විප්ලවය ලෙසයි.

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (2)

එදා මෙදා භූමිය සූරාකෑමේ කතාව

සරත් කුමාර Wednesday, 31 January 2024 12:03 PM

කියාගන්න ඕන දේ.. "සුද්දෝ ශ්‍රී ලංකාව යටත් කරගෙන ගොවි ජනතාව සතු ඉඩම් කොල්ල කෑහ. රනිල් වික්‍රමසිංහ ඒවා ආපසු මහජනතාවට ලබා දුන්නේය." ඉඩමේ ඉඳලා බලද්දි එහෙම පෙනෙයි ආයිබෝවන්. හැබැයි ඒ ඉඩම තියෙන රට.. ඒකට වෙච්චි සන්තෑසියටත් සුද්දගෙන් පස්සේ, ලඟ බලමින් රට පාලනය කළ හැම හපුයියෙක්ම වග කියන්න ඕනේ...

:       0       5

බද්රානි Tuesday, 06 February 2024 03:15 PM

ඔය කියන සුද්දෝ වගා නොකරන මුඩුබිම් රජයට පවරාගෙන ඔබලගේ පාලකයෝ වගේ අයගේ නමට ලියා ගත්තාද..? ඒ පවරා ගත්තු ඉඩම්වල කෝපි, තේ, කුරුඳු වැනි වගාවන් සිදුකොට ලංකාව ලෝකයේ නම රැන්දූ තේ වැනි කෘෂි නිෂ්පාදනයන් ලෝකෙටම හඳුන්වා දුන්නා. අන්තප්පුර තියාගෙන හිටපු මහලොකු රජාලා ගැන ඇයි කතා නොකරන්නේ...? රජාලා ඉදිරියේ දණින් වැටී නිවටයින් ලෙස හිටපු පරම්පරාවල ජාන තමයි මේ ඉස්මතු වෙන්නේ... වර්තමාන පාලකයෝත් අර රජාලගේ කෙරුවාවම තමයි ඔබලාට මෙච්චර කල් කරලා තියෙන්නේ... නිදහස අරගෙන වසර 76 ක් යනකම් මෙවුන් පොල් ගෑවාද..? උගත් කියලා හිතුවාට නැට්ට වනනකොට තමයි සත්තුන්ගේ සතා කවුද කියා හරියටම හඳුනා ගන්න ලැබෙන්නේ... වර්තමාන පාලකයාට මුට්ටි අල්ලලා වුණු මහන්සියට සුද්දෝ වවපු තේ උගුරක් බීලා විඩාව නිවා ගන්න...

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

විදුලිබිල් කතාවට බෙල්ල දීම
2024 මාර්තු මස 02 215 0

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කළ නොයෙල් ප්‍රියන්ත මහතා පසුගිය 22 වැනිදා එම මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස්විය. පෞද්ගලික රූපව


කුඩා තේ වතු හිමියන්ට සහනයක් දිය නොහැකිද?
2024 මාර්තු මස 02 113 0

රටේ ආර්ථිකය තවමත් තිබෙන්නේ මරණ මංචකයේය. කොවිඩ් මාරක වසංගතයත් මෙරට පාලකයන් ගත් අනුවණ උද්ධච්ච තීන්දු තීරණත් හේතුවෙන් බිඳ වැටුණු ආර්ථිකය එසේ එකවර වේගයෙ


එදා - මෙදා තීන්දුවල ඇදකුද
2024 මාර්තු මස 01 277 0

2022 අප්‍රේල් මස 12 වැනි දින රට බංකොලොත් බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා රටෙන් ඉල්ලා සිටියේ පටි තදකර ගන්නා ලෙස ය. එහෙත්, එසේ ඉල්ලූ ඔහු රට තාමත්


බොටුව මිරිකීම නතර කර ජනතාවට සහනයක් දෙන්න
2024 මාර්තු මස 01 259 0

යුද සමයේ දී ‘‘මුදා නොගත් ප්‍රදේශ’’ යනුවෙන් විශේෂයෙන් නාමකරණය කරන ලද ප්‍රදේශ තිබිණි. එම ප්‍රදේශ පාලනය කරනු ලැබුවේ ත්‍රස්තවාදීන් විසින්ය. ත්‍රස්තවාදීන


දිනෙන් දින වැඩි වන ණය බර
2024 පෙබරවාරි මස 29 405 0

මෙරට ණය අර්බුදය සම්බන්ධයෙන් සමාජය තුළ පෙරටත් වඩා සාකච්ඡාවක් මතුවෙමින් ඇති බව පෙනේ. මෑත කාලයේ විවිධ ආණ්ඩු ලබාගත් ණය සැලකිල්ලට ගතහොත් පසුගිය වසර විස්සක


සමාජය බියගන්වන කුරිරු අපරාධකරුවන් දඬුකඳේ ගහමු
2024 පෙබරවාරි මස 29 246 0

මේ වසරේ අද (29) ගෙවී ගියේ දෙවැනි මාසයයි. දින වශයෙන් ගණන් තැබුවොත් 60කි. මේ දින 60ට රටේ විවිධ ප්‍රදේශවල වෙඩි තැබීම්වලින් සිදුව ඇති ඝාතන සංඛ්‍යාව 14ක් වන අතර තවත්


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 520 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 422 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 374 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site