ශ්‍රී ලනිපයට යාපනයෙන් ලැබුණු ජය, දෙමළ ජාතික සන්ධානයේ පසු බැසීම, බලය බෙදීම, 13 වැනි සංශෝධනය, අතුරුදන්වූවන්ගේ ගැටලුව, විග්නේෂ්වරන් මන්ත්‍රීවරයාගේ කතාව, දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම හා යාපනයේ සංවර්ධන සැලසුම ගැන මෙවර ‘‘සඳුදා හමුවෙන්’’ අදහස් දක්වන්නේ යාපනය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හා නව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතායි.

ප්‍රශ්නය:- 2015 මහ මැතිවරණයෙන් පරාජය වී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හෙබ වූ ඔබ මෙවර යාපනයේ දී වැඩිම මනාප ලබාගන්නවා. ජනතාව ඡන්දය දුන්නේ ඔබට ද? ආණ්ඩුවට ද?
පිළිතුර:- ඇත්තටම මම පාලමක් වගේ. මේ ආණ්ඩුවෙන් තමන්ගේ වැඩ ටික මම හරහා කරගන්න පුළුවන් කියලා ඔවුන්ට අපේක්ෂාවක් තිබෙනවා. අනෙක් අතට මේ ආණ්ඩුවත් එක්ක තමන්ගේ අවශ්‍යතා ගැන කතා කරලා තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන් කියන ජනතා විශ්වාසයකුත් තිබෙනවා.

ප්‍රශ්නය:- එවැනි ජයග්‍රහණයක් ලබාගත්තත් ඔබට අමාත්‍ය ධුරයක් හිමි වුණේ නෑ. උතුරේ ජනතාවගේ ඒ අපේක්ෂා දැන් ඉටුකරන්නේ කොහොමද?
පිළිතුර:- මට ඡන්දය ලැබුණේ යාපනයෙන්. ඇමැතිකමක් අරගෙන ජාතික සේවයක් කරන්න කලින් යාපනය ජනතාව ගැන බලන්න ඕනෑ. අනෙක් අතට ඇමැතිකමක් නැතත් මට තනතුරු දෙකක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති මම. මම හිතන්නේ ඒක ආණ්ඩුව මට දුන්නේ දෙමළ ජනතාවට කරන ගෞරවයක් හැටියට. ඒ වගේම යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිකමත් මට දුන්නා. ඒක යාපනයේ ජනවරම වෙනුවෙන් සංවර්ධනය උදෙසා ලැබුණු තනතුරක්. එහි අරමුණ යාපනයේ සංවර්ධනයේ පවතින පුරප්පාඩු පිරවීමයි. දැන් මට සංවර්ධන කමිටු සභාපතිවරයා හැටියට සියලුම ඇමැතිවරුන්ට කතා කරලා සහයෝගය ගන්න පුළුවන්.

ප්‍රශ්නය:- මහමැතිවරණයේ දී ජනතාවට මුදල් මත්පැන් හා තෑගි දීලා ජන මනස වෙනස් කරලා ඡන්දය ලබාගත් බවට ඇතැමුන් ඔබ ඇතුළු පිරිසට චෝදනා කළා. චෝදනාවට පදනමක් ඇත්තේම නැද්ද?
පිළිතුර:- අපේ මිනිස්සුන්ට කොච්චර මත්පැන් කෑම දුන්නත් ප්‍රධාන පක්ෂවලින් කාටවත් ඉතිහාසයේ එහෙම සැලකිය යුතු බලයක් ගන්න බැරිවුණානෙ. මේ පාර මිනිස්සු ඡන්දය දුන්නේ ආණ්ඩුවෙන් අවශ්‍ය වැඩ ටික මා ලවා කරගන්න පුළුවන් කියන විශ්වාසය නිසයි. පනස්දහසකට වඩා තරුණ ඡන්දදායකයන් පවා සිටින්නේ අප සමගයි. ඩග්ලස් දේවානන්ද ඇමැතිතුමාට හැමදාම ලැබෙන ඡන්ද මේ පාරත් ලැබිලා තිබෙනවා. හැබැයි මට ලැබුණේ දෙමළ ජාතික සන්ධානයට හිමිව තිබූ ඡන්දයි. අලුත් ඡන්දයි. ඒවා මුදලට හෝ මත්පැන්වලට ගන්න පුළුවන් ඒවා නෙවෙයි. මෙහෙම බොරු චෝදනා කිරීම වැරැදියි. ඡන්ද ගැනීමට මත්පැන් හෝ මුදල් දුන් බවට එහෙම කාට හරි සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන් නම් ඒ මොහොතේම මම මගේ තනතුරෙන් ඉවත්වෙන්න සූදානම්.


ප්‍රශ්නය:- දෙමළ ජාතික සන්ධානය සතුව තිබූ උතුරු නැගෙනහිර පළාත් බලය මෙවර මහමැතිවරණයේ දී ඔවුන්ගෙන් යම්තාක් දුරට ගිලිහී තිබෙනවා. ඔවුන් දෙමළ ජනයාගේ එකම නියෝජිතයාය යන සංකල්පය දැන් අවසන් ද?
පිළිතුර:- දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානය දිගින් දිගටම විශ්වාස කළා නම් ඒ තමන්ගෙ ප්‍රශ්නයට විසඳුමක් දේවි කියලයි. විශේෂයෙන්ම පහුගිය ආණ්ඩුවේ වසර හතරහමාරක පාලනයේදී දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට විපක්ෂ නායකකම ඇතුළු බලය පාවිච්චි කරන්න ඔවුන්ට තිබුණා. හැබැයි ඔවුන් ඒක නොකර කතා කර කර හිටියා. දෙමළ ජාතික සන්ධානය හැමදාම කිව්වේ දෙමළ ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳෙන්නේ ව්‍යවස්ථා සංශෝධනයකින් කියලයි. හැබැයි අපි ගැඹුරින් ඒක විමසනව ද? දැන් අපේ ප්‍රශ්න වෙනස් වෙලා. උදාහරණයකට කිව්වොත් 1978 ට කලින් යාපනයේ හොඳ අධ්‍යාපනයක් කෘෂිකර්මයක් ආර්ථිකයක් තිබුණා. දැන් ඒ හැම ක්‍ෂේත්‍රයකින්ම අපි වැටිලා. යාපනය කිලිනොච්චි දිස්ත්‍රික්ක ජනගහණයෙන් පවා වැටිලා ලැබෙන මන්ත්‍රීධුර සංඛ්‍යාව පවා අඩුවෙලා. ජනතාව මේක තේරුම් අරන් ඉන්නේ. අපේ ජාතික ගැටලුවට විසඳුමක් ඕනෑ තමයි. ඒ නිසා තමයි ජනාධිපතිතුමා අනිවාර් යෙන්ම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව කිව්වේ. ඒත් ඒ සමගම අපේ ජනතාවටත් අනෙක් දිස්ත්‍රික්කවල ජනතාව වගේම නිවාස, ජලය, මහාමාර්ග, රැකියා අවස්ථා, සංවර්ධනය ඕනෑ. යාපනයේ ජීවත්වෙන්නෙත් අනෙක් ප්‍රදේශවල වගේම සාමාන්‍ය මිනිස්සු. ඒ මිනිස්සුත් ලස්සනට ජීවත්වෙන්න කැමැතියි. මම කියන්නේ අපේ ප්‍රශ්නවලට තිබෙන්නේ එක විසඳුමක් නෙවෙයි. විසඳුම් ගොඩක්. මේ සියල්ල එක සමාන්තරව වෙන්න ඕනෑ.

ප්‍රශ්නය:- ජාතික ගැටලුව කියන වචනය ඔබත් කිව්වා. එහෙත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ එවැනි සුවිශේෂී ගැටලුවක් දෙමළ ජනතාවට නැති බවයි. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ගැන ඔබ ඉන්නේ කවර ස්ථාවරයක ද?
පිළිතුර:- නෑ. මට තේරුණු විදියට ජනාධිපතිතුමා සම්මුඛ සාකච්ඡාවලදී කිව්වේ ප්‍රශ්නයක් තියෙනවා කියලයි. ඒකට සංවර්ධනයත් එක විසඳුමක් කියලයි. ජනාධිපතිතුමාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේත් ඒ ගැන සඳහන් වෙනවා. ජනාධිපතිතුමාගේ අදහසේ තමයි මමත් සිටින්නේ.

ප්‍රශ්නය:- මැතිවරණ කාලයේදී 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ද අදහස් පළ වුණා. ආණ්ඩුවේ ප්‍රබලයෝම පැවැසුවේ 13ත් අහෝසි කළ යුතුයි කියලයි. ඔබ ඉන්නෙත් ඒ මතයේ ද?
පිළිතුර:- 13 වැනි සංශෝධනය ගැන ආණ්ඩුවේ විධිමත් සාකච්ඡාවක් කෙරුණේ නෑ. මට තේරෙන විදියට නම් ආණ්ඩුවට ඕනෑ පළාත් සභා මැතිවරණය පැවැත්වීමටයි. දැන් පළාත් සභා පවතින්නේ ආණ්ඩුකාරයෙක් හරහායි. ඡන්දයෙන් තෝරාගත් නියෝජිතයන් කවුරුවත් එහි නෑ. පළාත් සභා කියන්නේ රටේ අයවැයෙන් සැලකිය යුතු මුදලක් පරිහරණය කරන ආයතනයක්. හැබැයි ඒ වියදම් කරන ආකාරය දැන් තීරණය කරනු ලබන්නේ ආණ්ඩුකාරවරුන් නව දෙනෙකු විසින්. ආණ්ඩුව කියන්නේ ඒක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට විය යුතුයි කියලයි. ඒකෙ වරදක් තිබෙනව ද? නෑනේ. ඉතින් එහෙම හිතන ආණ්ඩුවක් 13 වැනි සංශෝධනය අහෝසි කරාවි කියලා මම නම් හිතන්නේ නෑ.

ප්‍රශ්නය:- උතුරු නැගෙනහිර පවතින අතුරුදන්වූවන්ගේ හා දේශපාලන සිරකරුවන්ගේ ගැටලුවට විසඳුමක් ලැබිය යුතුයි කියා ඔබ හිතනවාද? ඒ පිළිබඳ ඔබ කළ මැදිහත්වීම මොකක් ද?
පිළිතුර:- මේ ප්‍රශ්නවලට අනිවාර්යෙන්ම විසඳුමක් දිය යුතු යැයි මම මගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයටත් ඇතුළත් කළා. ඇත්තටම මේවාට විසඳුමක් දිය යුත්තේ ඇයි කියන හේතුවත් මම කියන්නම්. දෙමළ ජාතික සන්ධානය හැමදාමත් අතුරුදන්වූවන් හා දේශපාලන සිරකරුවන් ගැන කිය කියා දේශපාලනය කළා විතරයි. ඒවාට විසඳුම් නෑ. මේ ප්‍රශ්නවලට විසඳුම් දිය හැක්කේ මේ ආණ්ඩුවට විතරයි. දෙමළ ජනතාව ශ්‍රීලාංකික සමාජය සමග ඒකාබද්ධ කළ හැක්කේ මේ ආණ්ඩුවට පමණයි. උතුරු නැගෙනහිර දෙපළාතේ අතුරුදන්වූවන් වගේම කාන්තා ගෘහ මූලික පවුල් විශාල සංඛ්‍යාවක් තිබෙනවා. මේ අයට ජීවත්වීමට අත්වැලක් අවශ්‍යයි. පවුලේ අතුරුදන් වී සිටින්නේ පියා හෝ පුතා වෙන්න පුළුවන්. එවැනි පවුල්වලට ජීවනාධාරයක් දී ඔවුන් රැක බලාගැනීමත් ආණ්ඩුවේ වගකීමක්. එහෙම නැත්නම් වෙන්නේ දෙමළ ජාතික සන්ධානය හෝ සී.වී විග්නේෂ්වරන්ලාගේ හෝ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ලාගේ පක්ෂ මෙම ප්‍රශ්න දේශපාලනයට පාවිච්චි කර ගැනීම විතරයි. ඒකෙන් ජනතාවට කිසිම සෙතක් වෙන්නේ නෑ.

ප්‍රශ්නය:- ඔබ සංවර්ධනය ගැන කතා කළත් උතුරු නැගෙනහිර පළාත්වල කිසිදු මහා පරිමාණ ආයෝජනයක් දකින්න නෑ. යුද්ධය නිමාවෙන් පසුව උතුරු වසන්තය වැනි ව්‍යාපෘති දියත් වෙලත් මෙහෙම වුණේ ඇයි?
පිළිතුර:- අනිවාර් යෙන්ම මම ඒකට මැදිහත්වෙනවා. ලොකු ආයෝජන ආවොත් තමයි අපට අලුත් සල්ලි ගලා එන්නේ. එහෙම ආයෝජන නොඑන්න පැවැති පළාත් සභාවේ ක්‍රියාකාරිත්වයත් බලපෑවා. මධ්‍යම ආණ්ඩුවෙන් ලැබුණු මුදල් ටිකවත් ඔවුන් පාවිච්චි කළේ නෑනෙ. ඉතින් යටිතල පහසුකම් ටික හදාගන්නත් බැරිවුණා. ආයෝජකයන් නිතරම බලන්නේ අමුද්‍රව්‍ය හා හොඳ ශ්‍රමයයි. ඉතින් අපි අපේ පළාතේ ජනතාවට අවශ්‍ය කාර්මික පුහුණුවත් දිය යුතුයි. ඒ වගේම නිෂ්පාදන දේශීයව හෝ විදේශීයව අලෙවි කළත් ප්‍රවාහන පහසුකම් ගැන ඔවුන් හොයනවා. ඒ සියල්ල හැදුවොත් තමයි ආයෝජකයන් අප පළාත් දෙස බලන්නේ. මම මේ ගැන විමල් වීරවංශ ඇමැතිතුමාට කිව්වා. ජනතාව ලබා දුන් ඡන්දය වෙනුවෙන් ඒ අවශ්‍ය දේවල් කරනවාමයි කියලා ඔහු මට පොරොන්දු වුණා.

ප්‍රශ්නය:- ආණ්ඩුවේ සහාය අපේක්ෂා කිරීමට අමතරව යාපනය ගැන ඔබටම කියලා ආර්ථික සැලැසුමක් තිබෙනවද?
පිළිතුර:- පැහැදිලිවම. අපි කතා සාප්පු නෙවෙයි. ‘‘මයි ඩ්‍රීම් ජැෆ්නා’’ කියලා මම සැලැසුමක් හැදුවා. මහමැතිවරණයේ දී මම ඡන්දය ඉල්ලුවේ එය ජනතාවට ඉදිරිපත් කරලායි. ලංකාවේ අනෙක් දිස්ත්‍රික්ක සමග කරට කර තරගයක් දිය හැකි තත්ත්වයට යාපනය හා කිලිනොච්චියත් පත් කළ යුතුයි. මම ඔබට දැන් තත්ත්වයත් කියන්න ද? දරිද්‍රතාවයෙන් යාපනය 8 වැනි දිස්ත්‍රික්කය වනවිට කිලිනොච්චිය දෙවැනි තැනට පැමිණ තිබෙනවා. කෘෂිකර්මයෙන් ගත්තාම නව වැනි පළාත උතුර. අන්තිමයා. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආවාම යාපනය දිස්ත්‍රික්කය තිබෙන්නේ 19 වැනි තැන. කිලිනොච්චිය අන්තිම. මේ අංක ටික ඉක්මනින්ම වෙනස් කරගන්නයි අපිට ඕනෑ. Mydreamjaffna.lkකියන වෙබ් අඩවිය පොඩ්ඩක් බලන්න. මොකද ඒක හැදුවේ ජනතාව සම්බන්ධ කරගන්න. අනෙක් අතට මේ වැඩේ මට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ජනතාව ආණ්ඩුව වගේම විපක්ෂය පවා මේ වැඩේදී අපට අවශ්‍යයි. විශේෂයෙන්ම ඩයස්පෝරාව මීට සහාය දිය යුතුයි. මගේ සිහිනය යථාර්ථයක් වෙන්නේ ඒ සියලු පාර්ශ්වවල සහාය ලැබුණොතින්.

ප්‍රශ්නය:- උතුරු නැගෙනහිර පළාත් සියලුම මන්ත්‍රීවරුන් ජනතාව වෙනුවෙන් එකමුතු විය යුතු යැයි දෙමළ ජාතික සන්ධාන පාර්ශ්වයෙන් කරන ඉල්ලීමත් මෙයටම සමානයි නේද?
පිළිතුර:- ඔව් ඉතින් මමත් ඒකට ලෑස්තියි. අපි ආවෙත් ජනතාවගේ ප්‍රශ්න විසඳන්නයි. අපි දැන් වැඩ කරන්නේ ආණ්ඩුව සමගයි. ඒ ගොල්ලො එහෙම නම් දැන් අපිත් එක්ක වැඩ කරන්න ඕනෑ. එකතු වෙලා වැඩ කරනවා නම් අනිවාර් යෙන්ම දෙමළ ජනතාවගේ ප්‍රශ්න ටික කඩිනමින්ම විසඳාගන්න පුළුවන්.

ප්‍රශ්නය:- විපක්ෂයේ සිටින සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කතාව ආරම්භ කළේම රැඩිකල් විදියටයි. ඒ කතාව ගැන ඔබ හිතන්නේ මොකක්ද?
පිළිතුර:- ඉතිහාසය බැලුවාම ඒ කියපු කතාව ඇත්ත තමයි. හැබැයි ඒක ඒ මංගල පාර්ලිමේන්තුවේ දි කතා කළ යුතු නෑ. ඔහුගේ කතාවේ සත්‍ය කරුණු ගණනාවක් හා ගත යුතු දෙයක් තිබෙනවා. ඒත් ඒක ඒ වෙලාවට ගැලපෙන්නේ නෑ. මංගල පාර්ලිමේන්තුවක් ගමන ආරම්භ කළ යුත්තේ බොහොම මිත්‍රශීලී ලීලාවකින් වුවත් ඔහු පටන් ගත්තේම වැරැදි ප්‍රවේශයකින්.

ප්‍රශ්නය:- විග්නේෂ්වරන් එහෙම කියද්දී මේක සිංහල බෞද්ධ ආණ්ඩුවක් යැයි ආණ්ඩුවේම ඇතැම් දේශපාලකයන් කියනවා. ඔබ මේ ප්‍රකාශය පිළිගන්නව ද?
පිළිතුර:- සමහර දේශපාලකයන්නෙ එහෙම කියන්නේ. ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් කියලා නෑනේ. මට හිතෙන්නේ ජනාධිපතිතුමාට අවශ්‍ය ශ්‍රී ලාංකික පුරවැසියා නිර්මාණය කිරීමටයි. විනයක් නීතියක් ඇති සංවර්ධිත රටක් ගොඩ නැගීමටයි. අපි ජනාධිපතිතුමාගේ ඒ අරමුණට සියයට දෙසීයක් සහාය දක්වනවා.

(*** සංවාද සටහන -  බිඟුන් මේනක ගමගේ)