මැදපෙරදිග රටවලින් ඊශ්‍රායලයේ පරම සතුරා වන්නේ ඉරානයයි. ඉරානය සහ ඊශ්‍රායලය අතර යුද ගැටුමක් ඉකුත් දිනවල සිදුවිය.
එසේ වුවත් ඒ දෙරටම මෙරට දිගුකාලීන මිතුරන්ය. ලංකාවට එන සංචාරකයන් අතර ප්‍රධාන තැනක් ඊශ්‍රායල සහ ඉරාන සංචාරකයන්ට ලැබී තිබේ. මෙරටට එන ඊශ්‍රායල සංචාරකයන් වඩාත් ප්‍රියකරන ස්ථානයක් වන්නේ අරුගම්බේ සුන්දර මුහුදු වෙරළය. ඊශ්‍රායල ජාතිකයන් අරුගම්බේ ‘‘සර්පින්’’ ක්‍රීඩාවට වඩාත් ඇලුම් කරන අතර, එනිසා එම ප්‍රදේශයේ ඊශ්‍රායල් ජාතිකයන් ඒකරාශි වන ‘‘චබාන්’’ නමැති තාවකාලික නිවාසද ගොඩනගා තිබේ. එම නිවාස ඊශ්‍රායල ජාතිකයන්ට පමණක් වෙන්වී ඇති අතර, ඇතැම් විදේශීය සංචාරකයන්ගේ විරෝධයත් මෙම නිවාසවලට ඵලවී ඇත.
2024 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මුල් මාස නවයේදී මෙරටට සංචාරය කළ ඊශ්‍රායල් සංචාරකයන්ගේ සංඛ්‍යාව 20515කි. 2025 වසරේ ජනාවරි සිට ජූනි මුල සතිය දක්වා මෙරටට පැමිණි ඊශ්‍රායල් සංචාරකයන් සංඛ්‍යාව 10899කි.
ඔවුන් සමග යුද ගැටුමට මැදිවූ ඉරාන ජාතික සංචාරකයන් 5782ක්ද එම කාලය තුළ මෙරටට පැමිණ තිබේ.
ලංකාවට නිදහස ලැබුණු 1948 වසරේදීම පලස්තීන භූමියේ ඊශ්‍රායල් රාජ්‍යයද බිහිවිය. ඊශ්‍රායල් රාජ්‍යය ස්වාධීන රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත් ලෝක නායකයන් අතර එවකට ලංකාවේ අගමැති ඩී.එස්. සේනානායක මහතාද විය. එම කාලයේම මෙරට සමග ඊශ්‍රායල් තානාපති සබඳතා ආරම්භ විය. එහෙත් 1956දී බලයට පත්වූ බණ්ඩාරනායක රජය අරාබි රටවල් සමග වැඩි සබඳතා ඇතිකරගනිමින් ඊශ්‍රායල් තානාපති කාර්යාලය වසා දැමීමට පියවර ගත්තේය.
ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සංඛ්‍යාව දස දහස ඉක්මවයි. ගෘහ සේවය, හෙද සේවය, ඉදිකිරීම් හා කෘෂිකාර්මික අංශයේ ඒ පිරිස සේවය කරති. ඊශ්‍රායල් පොලොවේ වැඩිහරියක් ගහක් කොළක් නොවැවෙන ගල් තලාවය. එහෙත් වසර සියයකට වැඩි කාලයක් තිස්සේ දුර බැහැරින් පස් ගෙනැවිත් ගල් තලා පුරවා එහි වගා කළ ඉතිහාසයක් ඊශ්‍රායලයට ඇත. අද ලෝකයේ හොඳම කෘෂිකාර්මික නිෂ්පාදන බිහි කරන රටවල් අතරින් මුල් තැනක් ඊශ්‍රායලයට හිමිවේ. ලාංකිකයන්ටද කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා ලැබී තිබේ. ඊශ්‍රායලය යුදෙව් ජනතාවගේ රටක් වුවත් එරට සේවය කරන විදේශිකයන්ට තමන්ගේ ආගම ඇදහීම සඳහා පහසුකම් ද එරට ඇතිකර තිබේ. ඊශ්‍රායලයේ බෞද්ධ විහාරයක්ද පිහිටුවා ඇති අතර, එහි විහාරාධිපති ධුරය හොබවන්නේ බලංගොඩ ආනන්ද මංගල හිමියන්ය.
එක්තරා යුගයක ලංකා දේශපාලනයේ නිරතුරුවම ඊශ්‍රායල විරෝධයක් තිබිණි. සෑම විටම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු ඊශ්‍රායලය සමග හිතවත්ව සිටි අතර, මෙරට ඊශ්‍රායල තානාපති කාර්යාලය විවෘතව තැබුණේ ද එජාප ආණ්ඩු කාලවලදීය. එලෙසම ශ්‍රීලනිප ආණ්ඩු සමයන්හිදී ඊශ්‍රායල තානාපති කාර්යාලය වසා දැමුවේ මැදපෙරදිග රටවල හොඳ හිත දිනා ගැනීමටය. මෙරට ප්‍රථම ඊශ්‍රායල තානාපති කාර්යාලය විවෘත වූයේ 1956 එජාප රජය සමයේය. ඉන් පසුව ආ බණ්ඩාරනායක රජය එය වසා දැමුවේය. 1965 මහ මැතිවරණයෙන් බලයට පත්වූ ඩඩ්ලි සේනානායක මහතා ඊශ්‍රායල තානාපති කාර්යාලය යළි විවෘත කිරීමට අවසර දුන්නේය. ඔහුගේ රජය පැවැති 1970 වනතුරු ඊශ්‍රායල් තානාපති කාර්යාලය ක්‍රියාත්මක වුවද 1970දී බලයට පත්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සැමියා ගත් මගම යමින් කොළඹ ඊශ්‍රායල තානාපති කාර්යාලය වසා දැමුවාය. 1977දී බලයට ආ ජේ.ආර්. ජයවර්ධන රජය යළිත් ඊශ්‍රායල සබඳතා කාර්යාලයක් විවෘත කිරීමට අවසර ලබාදුන්නේය.
ශ්‍රීලනිපය හා වාමාංශික පක්ෂ වඩාත්ම විරෝධය පළ කළේ ජේ.ආර්.ගේ පාලන කාලය තුළය.
ජේ.ආර්. ජයවර්ධන රජය මහවැලි මහ සැලැස්ම ක්‍රියාත්මක කරද්දී ගොවි ජනපද පිහිටුවීම පිළිබඳව අත්දැකීම් තිබූ ඊශ්‍රායල් රජයේ සහාය ඉල්ලා සිටියේය. එකල මාදුරුඔය, කොත්මලේ වැනි ජලාශ ඉදිකරන විටත් ගොවි ජනපද බිහි කරන විටත් ඊශ්‍රායල් විශේෂඥයන් දෙසීයක් පමණ මෙරට සේවය කළ අතර, ඒ පිළිබඳව ඉන්දියාවේ නොමනාපය පළවී තිබුණේ එකල ඉන්දියාව ඊශ්‍රායලය සමග සබඳතා දුරස්ව තිබූ නිසාය.
ඊළාම් ත්‍රස්තවාදය හමුවේ රජය ඊශ්‍රායල් යුද උපදේශකයන්ගේ සේවයද හමුදාවට ලබාගත්තේය. 1984 වන විට “ඩෝරා” අධිවේගී මුර යාත්‍රාවද මෙරට නාවික හමුදාවට ලැබී තිබිණි. එසේ වුවත් “අර්ධ” තානාපති කාර්යාලය විවෘත කිරීමට අවස්ථාව නොලැබුණේ රටේ මතුවූ විරෝධය නිසාය. 1986 දී ඊශ්‍රායල් තානාපති අංශය කොළඹදී ආරම්භ විය.
1984 වනවිට ඊශ්‍රායල ජාතික නිලධාරීන් 200 දෙනකු මෙහි සිටි බව 1984 ඔක්තෝබර් 22 වැනිදා ඇත්ත පුවත්පතේ සඳහන් වෙයි. “ශ්‍රී ලංකා - ඊශ්‍රායල් හාදකම් වැඩිවෙයි” යන ශීර්ෂ පාඨයෙන් ලියා ඇති වාර්තාවක මෙසේද සඳහන්වේ.
“ඊශ්‍රායල් සම්බන්ධතා අංශයේ අලුත් ප්‍රධානියා වන, අර්සල් කාර්ති මහතා සිය තනතුරේ වැඩ භාර ගැනීමට ගිය සතියේ මෙහි ආවේය. ඔහුගේ පැමිණීම රහසක් කොට තබා ගැනීමට ආණ්ඩුව වග බලා ගත්තේය. 61 හැවිරිදි කාර්ති මහතා පුළුල් අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ ඊශ්‍රායල් තානාපතිවරයෙකි.” සම්බන්ධතා අංශයක් පිහිටුවීමට ශ්‍රී ලංකා ආණ්ඩුව එකඟ කරවා ගැනීමෙන් ආසියාවට යළි පැමිණීමට ඔවුන් දිනාගත් අවස්ථාව තවදුරටත් ශක්තිමත් කිරීම ඔහුට පැවරී ඇති කාර්යයයි. අරාබි මාධ්‍ය අනුව ලංකාවේ ඊශ්‍රායලුන් 200ක් පමණක් සිටී. එහෙත් ගමන් බලපත් අනුව ඒ සංඛ්‍යාව 30-50 අතර වේ. මහවැලි යෝජනා ක්‍රමය හා වෙනත් කෘෂිකාර්මික ව්‍යාපෘති සම්බන්ධයෙන් ආ බවක් පෙන්වමින් ඊශ්‍රායලුන් බොහෝ දෙනෙක් මෙහි සිටිති. අලුත් “කොමාන්ඩෝ” භටයන් පුහුණු කිරීම මෙන්ම උතුරේ හා දකුණේද යෙදීමට බලාපොරොත්තු වන අර්ධ යුද්ධ සේවා හමුදාව පිහිටුවීම (එස්ටීඑෆ්) සම්බන්ධයෙන් උපදෙස් දීම සඳහා “ශින් බෙත්” සංවිධානයේ නියෝජිතයන්ද මෙහි පැමිණ ඇත.” යැයි එම පුවතේ සඳහන් විය.
1983 ජූලි කලබලවලින් පසු වේගයෙන් වර්ධනය වී ආ ත්‍රස්තවාදී ප්‍රහාර නිසා ආණ්ඩුව හැරුණේ ඊශ්‍රායලය දෙසට සහ පාකිස්ථානය දෙසටය. ඊශ්‍රායල් තානාපති අංශයක් මෙරට ආරම්භ කිරීම නිසා මෙරට සමග දිගු සබඳතාවක් තිබූ සෞදිඅරාබිය කෝපයට පත්විය. මහවැලි කඩිනම් ව්‍යාපාරය යටතේ ඉදිවූ මාදුරුඔය වේල්ල ආධාර ලබාදීමට පොරොන්දු වී සිට සෞදිඅරාබිය එම ව්‍යාපෘතියෙන් ඉවත් විය. ඒ ගැන සාකච්ඡා කිරීමට ගිය එකල ඇමැති එම්.එච්. මොහොමඩ් මහතාට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැණීම නොදුන් බවද එකල වාර්තා විය. එකල ලෝකයේ රටවල් ගණනාවක්ම පලස්තීන ජාතිකයන්ගේ සටනට සහාය පිණිස විශේෂ මුද්දරයක් නිකුත් කළේය. ශ්‍රී ලංකාවද එම සැලැසුමට එක්ව සිටියත් පසුව මුද්දර නිකුත් නොකර ඉන් ඉවත් විය. එයට හේතුව ඊශ්‍රායලයේ බලපෑම බවද කියැවිණි. 1985දී ඉරානයේ සංචාරයක නිරතවීමට සූදානම්ව සිටි මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංචාරයක් අවසන් මොහොතේ අවලංගු කිරීමට ඉරාන රජය පියවර ගත් අතර එයට හේතුවද ඊශ්‍රායලය සමග තානාපති සබඳතා ආරම්භ කිරීමට සූදානම්වීමය.
ලංකාවේ ඇතිවෙමින් තිබූ ඊශ්‍රායල ක්‍රියාකාරකම් ඉන්දියාවේ නොසතුටට හේතුවිය. එකල ඉන්දියාව සිටියේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සතුරන් ලෙස සලකමිනි. අද ඊශ්‍රායලය ඉන්දියාවේ සමීප මිතුරෙකි. ලංකාවේ සිටි ඉන්දීය මහකොමසාරිස් ඩික්සිත් ලියූ කොළඹ භූමිකාව කෘතියේ ඉන්දියාව නොරිස්සුම සටහන් කර ඇත්තේ මේ ආකාරයටය.
“ශ්‍රී ලංකාව ආරක්‍ෂක, ආර්ථික හා බුද්ධිමය වශයෙන් පාකිස්ථානය ඊශ්‍රායලය හා ඇමරිකාව සමග ඇතිකරගත් සබඳතා ගාන්ධි මැතිනිය දුටුවේ උපක්‍රමශීලී අභියෝගයක් හා තර්ජනයක් ලෙසය.” ඒ සමගම ලංකාවේ ජාතික ආරක්‍ෂක ඇමැති ධුරය දැරූ ලලිත් ඇතුළත් මුදලි දේශපාලනයට පැමිණීමට පෙර ඊශ්‍රායලයේ නීතිය ඉගැන්වීය. ඊශ්‍රායල සරසවියක දැරූ මෙම තනතුර නිසා ලලිත් කෙරෙහි ඉන්දියාව නිතරම බැලුවේ සැකයෙනි. 1984 දී ලංකාවට ආ ඇමරිකානු හමුදාවේ ජෙනරාල් වර්නන් වෝල්ටර්ස්ගේ ගමනද ඉන්දියාව ලංකාව සමග නුරුස්නා බව වැඩි කරන්නට හේතුවිය. ඇමරිකානු ජනරාල්වරයා උතුරේ ත්‍රස්තවාදයට එරෙහිව ඊශ්‍රායලයෙන් අවි හා බුද්ධි අංශ සහාය ලබාදීම සඳහා කටයුතු කළ අතර මේ මැදිහත්වීම ඉන්දියානු අගමැතිනියගේ නොමනාපය හේතුවිය. උතුරේ ත්‍රස්තවාදය වර්ධනය කිරීමට ඉන්දියාව කටයුතු කළේ තමාගේ සතුරකු වන, ඊශ්‍රායලය ලංකාවේ පැලපදියම් කිරීමට ගත් එවැනි ක්‍රියාමාර්ග නිසාය. තිස් වසරක ලේ වැකුණු යුද ගැටුමේදී ඊශ්‍රායල සහයෝගය ලංකාවට නිරතුරුවම ලැබුණු අතර එම සහයෝගයට මෙරට කුඩා පක්‍ෂ කිහිපයක් නිරතුරුවම විරෝධය පළ කළේය.
එජාපයෙන් ප්‍රේමදාස සහ ලලිත් ඇතුලත් මුදලි අතර බල අරගලය අවස්ථාවේ ප්‍රේමදාස සැක කළේ ඊශ්‍රායල ඔත්තු සේවය වන මොසාඩ් සංවිධානයේ සහාය ලලිත් ඇතුලත් මුදලිට ලැබෙන බවය. මේ නිසා ඊශ්‍රායල් විරෝධී මාර්ගයක් ගත් ප්‍රේමදාස ජනාධිපතිවරයා ඊශ්‍රායල් තානාපති කාර්යාලය වසා දමා “මොසාඩ් කොමිසම” නමින් කොමිෂන් සභාවක්ද පත් කළේය. ඒ අයුරින් යළිත් වතාවක් ඊශ්‍රායල් තානාපති කාර්යාලය වැසී ගියේ 1992 වසරේදීය. ඉන් අනතුරුව බලයට පැමිණි කිසිදු රජයක් මෙරට තුළ ඊශ්‍රායල් තානාපති කාර්යාලයක් පිහිටුවීමට උනන්දු නොවූවද ඊශ්‍රායලය සමග සබඳතා වඩාත් වර්ධනය කර ගත්තේය. 2000 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග රජය ඊශ්‍රායලයේ හයිෆා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් විවෘත කළේය. ඒ සමගම එරට රැකියා පිණිස ලාංකිකයන්ට දොර විවෘත විය. ලංකාවේ තානාපති සේවා ඊශ්‍රායල් රජය ඉටු කරන්නේ නවදිල්ලියේ ඇති තම තානාපති කාර්යාලය මගිනි.
(*** ප්‍රේමකීර්ති රණතුංග)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඊශ්‍රායලය ලංකාවේ පැළපදියම් වූ හැටි
Saman Monday, 01 September 2025 01:32 PM
ලංකාවේ දැන් ඊශ්‍රායල තානාපති කාර්යාලයක් ස්ථාපිත කළ යුතුයි...
nimal Monday, 01 September 2025 05:05 PM
ඊශ්‍රායල් ජාතිකයන් අරුගම්බේ ප්‍රදේශය තුළ කරනු ලබන්නේ මොනවාද යන්න සහ ඔවුන්ගේ තවකාලික නිවාස ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව උදෙසා පොලිසිය මගින් යම් නිරීක්ෂණයකට / පරීක්ෂණයකට ලක්කළ යුතුවේ..
Perakum Liyanagama Tuesday, 02 September 2025 07:32 AM
වලංගු වීසා නොමැති සියල්ලන්ම ගාල්කර රටෙන් නෙරපා හැරිය යුතුයි.