”ශී‍්‍ර ලංකාවේ  ඒ කීයත්වය හා භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කරගනිමින් ස්වකීය අභිලාශයන් හා අරමුණු සාක්ෂාත් කරගැනීමේ සම්මුතියකට පැමිණෙන්නැයි ද්‍රවිඩ කණ්ඩායම්වලට ඉන්දියාව නොබෝදා කියා තිබිණ. අනෙක් අතින් ශී‍්‍ර ලංකා රජයට දන්වා සිටිනු ලැබුවේ ඔවුන්ගේ අන්තවාදී ජනවාර්ගික ප‍්‍රවේශය අතහැර ද්‍රවිඩ පුරවැසියන්ගේ අභිලාශයන් ඉටුවන ආකාරයට දේශපාලන ව්‍යුහය වෙනස් කරන ලෙසය. අපගේ යෝජනාව වූයේ ඇතිකරගනු ලබන සම්මුතිය ශී‍්‍ර ලංකාවේ මූලික සමාජ වාර්ගික විවිධත්වය රැකගනිමින් රටේ ඒ කීයත්වය හා භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කරන විසඳුමක් විය යුතු බවය.” (ජේ.එන්. දික්සිත් - කොළඹ භූමිකාව පිටු අංක 421) 1987 ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් තැබීමට හා පළාත් සභා ක‍්‍රමය යෝජනා කිරීමට පෙර සිටම ශී‍්‍ර ලංකාව පිළිබඳ ඉන්දියානු ස්ථාවරය ශී‍්‍ර ලංකාවේ හිටපු ඉන්දියානු තානාපති ජේ.එන්. දික්සිත් තම ”කොළඹ භූමිකාව” කෘතියෙන් විස්තර කර තිබුණේ එසේය. එසේම ඔහු තමිල්නාඩුව හා ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි දැරූ මතය ද එම කෘතියෙන් මෙසේ විස්තර කර තිබේ. ”ඔහුට අවශ්‍ය වූයේ තමිල්නාඩුව මධ්‍යම රජයෙන් කැඞී යෑම වළක්වන්නටය. ජයවර්ධන රජයේ වාර්ගික නීතියේ අහිතකර අතුරු විපාකවලින් ඉන්දීය ජාතික ආරක්ෂක සැකිල්ලට හානියක් වීම වළක්වන්නටය. ඒ සමඟම ඔහු ශී‍්‍ර ලංකාවේ ඒ කීයත්වය හා භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීමටත් කැපවී සිටියේය.” (ජේ.එන්. දික්සිත් කොළඹ - භූමිකාව) ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ඉන්දියානු රජයේ ඉන්දියානු නායකයන් එදා දැරූ ස්ථාවරය මින් පැහැදිලිය. සාමාන්‍යයෙන් ඉන්දියානු ජාත්‍යන්තර පිළිවෙත ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වන්නේ නැත. පර්තසාර්ති, ජේ.එන්. දික්සිත්, රොම්ෂ් බන්දාරිගේ සිට පසුගියදා ශී‍්‍ර ලංකාවට පැමිණි ශිවශංකර් මෙනන් දක්වා ඉන්දියානු රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරීන් ද මෙම ස්ථාවරයේ පිහිටා කටයුතු කර තිබෙන බව පෙනේ. මෙය අපේ රටේ සමහර දේශපාලන නායකයන් එතරම් ගැඹුරට ගිය විශ්ලේෂණයකට ලක්කර නොමැති බව පෙනේ. මෙය වඩාත්ම පැහැදිලි වන්නේ මේ ඊයේ පෙරේදා ඉන්දියාව නැවත එල්.ටී.ටී.ඊ.ය එරට තුළ තහනම් සංවිධානයක් බවට ප‍්‍රකාශයට පත් කිරීමෙනි. ඊට හේතුව එල්.ටී.ටී.ඊ.ය බෙදුම්වාදය අත් නොහැරීමයි. ඉන්දියාව කල්පනා කරන්නේ එහෙමය. එය අපේ රටේ ද කල්පනාවට සමානය. එය ඉන්දියාවට ද හානිකරය. මේ නිසා ශී‍්‍ර ලංකාව තුළ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීමේ කතාබහකටවත් ඉන්දියානු භූමිය තුළ ඉඩක් නොමැත. එල්.ටී.ටී.ඊ.ය නැවත වරක් ඉන්දියාවේ තහනම් කිරීමෙන් පසු ඉන්දියානු මහ ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරයකු වන චිතම්බරම් පසුගිය දිනක විශේෂයෙන්ම තමිල්නාඩුවට පැමිණියේ එහි විපක්ෂ නායක මුතුවේල් කරුණානිධිට මේ බව සැළකිරීමටය. එසේම ලබන අගෝස්තු 12 වැනිදා කරුණානිධිගේ මෙහෙයවීමෙන් පැවැත්වීමට යන දෙමළ ඊළාම් සහයෝගීතා සමුළුවට එරෙහිව ද ඉන්දියානු මහ ආණ්ඩුවේ නියෝජිතයා කරුණානිධි සමඟ අදහස් හුවමාරු කර ගෙන තිබේ. ඒ නිසා මේ වනවිටත් කරුණානිධි එම සමුළුවට ඉදිරිපත් කරනු ලබන යෝජනාවල සැර බාල කරගෙන ඇත. ශී‍්‍ර ලංකාව තුළ වෙනම ඊළාම් රාජ්‍යයක් පිළිබඳව යෝජනා ඉදිරිපත් නොකෙරෙන බවක් ද ඔහු සඳහන් කර තිබේ. එල්.ටී.ටීඊ. ය යුදමය වශයෙන් විනාශකර වසර තුනක් ඇවෑමෙන් වුවද ඉන්දියාව එම සංවිධානය සම්බන්ධයෙන් සිටින්නේ ”කැත්තට පොල්ල” පිළිවෙතකය. නැත්නම් සතුරු ආකල්පයකින්ය. එය ශී‍්‍ර ලංකාවේ ස්ථාවරයට සමානය. වෙන විධියකින් එය ශී‍්‍ර ලංකාවට වාසිදායක ස්ථාවරයකි. අප ආසන්නයේ සිටින ප‍්‍රබල අසල්වැසියාගේ මෙම ස්ථාවරය ශී‍්‍ර ලංකාවේ ද ගෞරවයට පාත‍්‍ර වීම වැඩදායකය. මේ අතර පසුගිය දිනක මඩකලපුවේ පැවැති තමිල් අරසු කච්චි පක්ෂයේ සමුළුවේදී ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් කළ කතාව කාගේත් ආන්දෝලනයට ලක්විය. එහිදී ඔහු ඉන්දියාව සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශය වැදගත්ය. සම්බන්ධන් තම පක්ෂ සාමාජිකයනට හා දෙමළ ජනතාවට කීවේ කිසිවිටක ඉන්දියාව අමනාප නොකරගන්නා ලෙසය. ”ඉන්දියාවේ අදහස්වලට විරුද්ධව යමින් කටයුතු කිරීමෙන් පසුගිය 20 වසර තුළ ඉන්දියාව අපෙන් ඈත්විය. මින් ඉදිරියට එසේ කටයුතු නොකරන බව අප පෙන්නුම් කළ යුතුය.” (ආර්. සම්බන්ධන් මඩකලපුවේ පැවැති 14 වැනි තමිල් අරසුකච්චි සමුළුවේ කළ කතාවෙන්.) ඉන්දියාව තමන්ගෙන් ඈත්වීම නිසා සිදු වූ හානිය ගැන විස්තර කරමින් සම්බන්ධන් පවසන්නේ මෙතැන් සිට ඉන්දියාවට සමීපව කටයුතු කරන මෙන්ය. සම්බන්ධන්ලා සමීප වීමට සැරසෙන ඉන්දියාව දැන් එල්.ටී.ටී.ඊ.යටත්, දැන් ඔවුන්ගේ මතවාද ගෙනයන දෙමළ ඩයස්පෝරාවටත් විරුද්ධය. මේ ප‍්‍රතිපත්තියේදී ඉන්දියාව සිටින්නේ ශී‍්‍ර ලංකාව සිටින ස්ථාවරයේය. නැතිනම් දෙමළ බෙදුම්වාදයට එරෙහි ස්ථාවරයේය. තම ශක්තිමත් අසල්වැසියා තවමත් ඍජු ලෙසින් ම නඩත්තු කරන එල්.ටී.ටී.ඊ. විරෝධී ස්ථාවරය අපට වාසිදායක නොවීමට හේතුවක් නැත. මේ නිසා ඉන්දියාව ශී‍්‍ර ලංකාවට පිටුපාමින් සිටිනවා යනුවෙන් පසුගිය සමයේ සමහරුන් ගෙනගිය ප‍්‍රචාර පුස්සක් බවට පත්ව තිබේ. එල්.ටී.ටී.ඊ.ය හා දෙමළ ඩයස්පෝරාව සම්බන්ධයෙන් ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව එකම ස්ථාවරයක සිටීමේ වාසියෙන් අප රටක් වශයෙන් ප‍්‍රයෝජන ගත යුතුය. එසේ ම  ඉන්දියානු මහ ආණ්ඩුව තමිල්නාඩුව තුළ ශී‍්‍ර ලංකාවේ බෙදුම්වාදයට උඩගෙඩි දෙන කාරණා ඉටුවනවා දැකීමට ඉඩ නොතබන බව පසුගියදා තමිල්නාඩු බලධාරීන්ට කළ නියෝගවලින් පැහැදිලි වේ. දිගින් දිගටම ඉන්දියාව තුළ එල්.ටී.ටී.ඊ.ය තහනම් වන්නේ මෙම ස්ථාවරය නිසාය. වැරදිලාවත් මෙවර ඉන්දියාව එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කළා නම් ඉන් අපට සිදුවන හානිය බරපතළය. යුද්ධයේ තීරණාත්මක අවස්ථාවලදී ද ඉන්දියාව අපේ පිටුපසින් සිටියේ මේ ආකාරයෙනි. විකිලීක්ස් වෙබ් අඩවිය වාර්තා කරන පරිදි එක්තරා අවස්ථාවක ඇමෙරිකාව අනාථයන්ගේ ප‍්‍රශ්නය මුල්කර ගෙන එල්.ටී.ටී.ඊ. විරෝධී යුද්ධයට මැදිහත්වීමට මානබලා ඇත. එදා ඇමෙරිකානු මැදිහත්වීම නවතාගෙන තිබෙන්නේ ඉන්දියාවයි. එය එසේ සිදු වුවා නම් යුද්ධය මෙලෙසින් අවසන් නොවනු ඇත. යුද්ධයේ අවසන් ජයග‍්‍රහණය වුවද මේ ආකාරයෙන් සිදු නොවීමට ඉඩ තිබිණ. ඇමෙරිකාවට අප වෙනුවෙන් එවන් බලපෑමක් කළහැකිවුණත් මාලදිවයින වැනි රටකට එය කළ නොහැකි වනු ඇත. අපේ ප‍්‍රබල අසල්වැසියාගේ අපට වාසිදායක භූමිකාවේ වටිනාකම එම සිදුවීමෙන් වුව ද පැහැදිලිය.  එදා වඩමාරච්චි සටන නතර කළ ඉන්දියාව මෙදා එල්.ටී.ටී.ඊ.ය විනාශ වන තුරුම යුද්ධය ඉදිරියට ගෙනයාටම ඉඩ දීමෙන් පැහැදිලිවම ශී‍්‍ර ලංකාව තුළ වෙනම රටක් නිර්මාණය වීමට තිබූ සෑම ඉඩක්ම සෑම අවස්ථාවක්ම අවහිර කරමින් සිටින බව පෙනේ. එල්.ටී.ටී.ඊ.ය නැවත තහනම් කිරීමෙන් යළිත් එය තහවුරු වේ. එසේම ප‍්‍රශ්නයට විසඳුමක් ද ඔවුහු අපේක්‍ෂා කරති. එල්.ටී.ටී.ඊ.ය දිගින් දිගටම තහනම් කරමින් තමිල්නාඩුවේ සිදුකෙරෙන දෙමළ ඩයස්පෝරාවේ කි‍්‍රයාකාරිත්‍වයට එරෙහි වෙමින් ඉන්දියාව ශී‍්‍ර ලංකාව තල්ලූ කරමින් සිටින්නේ සාධාරණ විසඳුමක් වෙතය. එය ඉන්දියානු බලය බෙදීමේ සීමාවන් ඉක්මවා යනවාට ද ඔවුන් අකමැති වාගේය. ඉන්දියාව ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් තැබූ ජේ.ආර්. ජයවර්ධන සමයේ සිටම මෙම ස්ථාවරයේ සිටින බව පෙනේ. එහෙත් ජයවර්ධන රජය එය නිසි අයුරින් තේරුම් නොගැනීම හෝ ඒ වෙනුවට බොරුවක් කිරීම හෝ නිසා එදා ප‍්‍රශ්නය නැවතත් ව්‍යාකූල විය. ”ශී‍්‍ර ලංකා රජයේ හා එල්.ටී.ටී.ඊ.යේ කුමන්ත‍්‍රණකාරී අභිපේ‍්‍රරණ හා වැරදි වැටහීම් නිසා ඉන්දු ලංකා ගිවිසුම සාර්ථක වීමේ බලාපොරොත්තු බිඳවැටුණි. ජයවර්ධනගේ අභිපේ‍්‍රරණය වූයේ ඉන්දීය අමනාපය හා විරෝධය අකි‍්‍රය කිරීම සඳහා විසඳුමක් කි‍්‍රයාත්මක කරන බව ව්‍යාජ ලෙස පෙන්වීමය.” (ඩික්සිත් කොළඹ භූමිකාව) මේ අයුරින් කඩාකප්පල් වූ උතුරට විසඳුමක් ලබාදීමේ බෙදුම්වාදී නොවූ ඉන්දු  ශී‍්‍ර ලංකා වැඩසටහන අවසන් වූයේ නැවත යුද්ධයක් ඇති වී රට අවුල් ජාලයකට පත් කරමිනි. එහි සම්පූර්ණ වගකීම ද එවකට පැවැති ආණ්ඩු බාරගත යුතුය. දැන් නැවතත් හොඳ අවකාශයක් උදා වී තිබේ. ඉන්දු ලංකා සබඳතා ද ජේ.ආර්. යුගයට වඩා බෙහෙවින්ම සාධනීය පැත්තක පවතී. බෙදුම්වාදය පිටුදැකීමේ ඉන්දියානු ස්ථාවරයේ වෙනසක් නැත. ශී‍්‍ර ලංකාව තුළ කි‍්‍රයාත්මක වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයේ සිටින ප‍්‍රබලම ද්‍රවිඩ ජනයාගේ පක්ෂය වන ද්‍රවිඩ සන්ධානය ඉන්දියානු ස්ථාවරයෙන් පිට පැනීමට සූදානම් නැත. මෙවන් පසුබිමක ඉන්දියානු අසල්වැසියා ආසියාවේ ප‍්‍රබලම අසල්වැසියකු මෙන්ම අප වෙනුවෙන් බටහිරට වුවද බලපෑමක් කළ හැකි මට්ටමට වර්ධනය වී සිටී. එහි වාසිය රටක් වශයෙන් අපට තිබේ. මේ අතර එල්.ටී.ටී.ඊ.ය විනාශ කිරීමෙන් පසුව රජය නැවත පළාත් සභා මැතිවරණ කි‍්‍රයාදාමයකට අවතීර්ණව සිටී. ඒ අනුව ඉන්දියානු සහායෙන් මීට දශක දෙකකට පෙර පිහිටුවනු ලැබූ පළාත් සභා ක‍්‍රමයට වත්මන් රජයේ ද පිළිගැනීමක් ලැබෙනු ඇත. උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ද රජය අදාළ දින වකවානු ප‍්‍රකාශයට පත්කර තිබේ. මේ නිසා බලය බෙදාහැරීමේ මූලික එ්කකය ලෙස පළාත් සභා ක‍්‍රමයට ප‍්‍රබල පිළිගැනීමක් ලැබෙමින් පවතී. වෙන විධියකින් එය ඉන්දියාව මැදිහත්ව ගෙනා විසඳුමට ගරු කිරීමකි. මෙතැන් සිට ඉන්දියාවට ද ඊට පටහැනි යමක් කිරීම, මෙතෙක් පැමිණි පිළිවෙතින් පිට පැනීමකි. එවැන්නකට ඉන්දියාව තුළ ඉඩක් නොමැති බව නව එල්.ටී.ටී.ඊ.ය තහනමින් පැහැදිලි වේ. මේ අතර ද්‍රවිඩ සන්ධානය ප‍්‍රථම වරට පළාත් සභා මැතිවරණ කි‍්‍රයාවලියට අවතීරණය වී ඇත. නැගෙනහිර පළාත් සභා මැතිවරණයට තරග කිරීමෙන් එය පැහැදිලි වේ. එය සාධනීය ලක්ෂණයකි. ප‍්‍රශ්නයට විසඳුම් සෙවීමට පහසුවකි. ශී‍්‍ර ලංකාව තුළත් ඉන්දියාව තුළත් නැවත බෙදුම්වාදය හිස එසවීමට ඉඩක් නොමැති නම්, පළාත් සභා රාමුව තුළ විසඳුමකට ඉඩක් ලැබී තිබේ නම් ද්‍රවිඩ සන්ධානය ද එම කි‍්‍රයාදාමයට අවතීර්ණව සිටී නම්, අනාගතය විවෘත වෙමින් පවතින්නේ කාටත් පිළිගත හැකි විසඳුමක් සොයාගැනීමේ සුබවාදී ඉසව්වකට බව පෙනේ. එහිදී අපේ අසල්වැසියාගේ මේ දෙනු ලබන සහාය තීරණාත්මකය.
වසන්තප‍්‍රිය රාමනායක