සුවහසක් කණාමැදිරියන්ගේ සිරුරු පිටුපස ඇති එළි පුංජ නිවි නිවී දැල්වෙයි. ඝනඅන්ධකාරයට වැසී ගිය හරිත නිරය තනිකරම ගුප්ත අපූර්ව ලෝකයක් බව එකී කණාමැදිරි එලි පුංජලෝකයට රහසේ මුමුනයි. සමස්ත හරිත නිරය පුරාවටම තැනින් තැන දැල්වෙන අමුතු අමුතු එළි පුංජය. මේ එළි පුංජ උන් හිටි ගමන් කඩාවැටෙයි. හරියටම පාළු අහසක කඩා වැටෙන තරු කැකුළු සේමය. එහෙත් මේ එළිවලත් තරු වලත් වෙනසක් තිබේ. තරුව කඩාවැටෙන අතරතුරදීම දැවී අවසාන වෙයි. එහෙත් මේ අද්භූත ”තරු” පොළවටම පතිත වෙයි. මේ තාරකා මොනවාදැයි දන්නේ මේ හරිත නිරය නම් වූ මහා වනමැද වෙසෙන ගෝත‍්‍රිකයකු හෝ මේ වනයේ ටික කලක් ජීවත්වූවකු හෝ පමණි. ඇත්තවශයෙන්ම ඒ තරු නොවේ. යෝධ රැ බදුල්ලන්ය. කණාමැදිරියන්ට මෙන්ම රැ බදුල්ලන්ටද රාත‍්‍රියේ දැඩි අඳුර මකාගත හැකි තරම් මඳ ආලෝකයක් දෙවියන් දී තිබෙයි. රැහැයියන්ගේ හඬ මහා ඝෝෂාවක් වැන්න. ඒ අතරට එකතුවූ සහසක් කෘමීන්ගේ පුංචි පුංචි හඬවලූත් මේ රාත‍්‍රියට එකතු වී තිබේ. මෙහි මදුරුවන්ද ලෝකයේ අනෙක් මදුරුවන්ට වඩා මහත දෙහෙතය. උන් උන්ගේ සිංදුවත් දාගෙනම ඉගිල්ලෙන්නේ ලේ උරා බොන්නට ශරීරියක් හොයාගෙනය. ඩෙංගුත් මැලේරියාත් රැගත් මේ මදුරුවෝ යක්ෂයන්ගේ අවතාර වෙති. එක ගුලියට විසිර යන මේ මදුරුවෙකුට ගොදුරු වුවහොත් ඒ ගොදුරට දෙයියන්ගේම පිහිටය. තත්පරයකට මදුරුවෝ දහසක් වත් දෂ්ට කරති. ඒ මදුරුවන් තලන්නට අත් දහසකුත් මදිය. එසේ තිබියදීත් මේ හරිත නිරයට මිනිස්සු ගියහ. ඔක්කෝටම කලින් හරිත නිරය නැත්නම් කොළපාට අපාය මොකක්දැයි කියා සිටිය යුතුය. මේ ඇමේසන් වැහි වනාන්තරයයි. හරිත නිරය නැත්නම් කොළපාට අපාය යන නම මේ වනයට යෙදුවේ කවුද? කවුරුන් යෙදුවත් එය නම් හරියටම ගැලපෙන යෙදුමක් බව මෙම මහා ගණ වනාන්තරය තුළ රැයක් ගතකළ  ඕනෑම කෙනෙක් පිළිගනියි. තවමත් රාත‍්‍රියේ පළමු යාමයයි. එහෙත් දහවලටත් තරු වියනෙන් වැසීගත් ඇමෙසන් වනයේ රාත‍්‍රියේ මුල්ම හෝරාව වුණත් මැදියම් රාත‍්‍රියකටත් වඩා අන්ධකාරය. ඉතින් මේ රාත‍්‍රියේ මුල්ම හෝරාවෙන් මාංශ භක්ෂක කොටින් ජගුවරයනුත් ඔවුන්ගේ දඩයම් කාල සටහන ක‍්‍රියාත්මක කැර අවසන්ය. මොහොතකින් ඇසෙන්නේ ජගුවරයකුට ගොදුරක්වූ යෝධ ටේපරයකු නගන මරණීය ලතෝනියයි. ඌරාගේ මුහුණත් රයිනෝසිරස්ගේ ඇඟත් එකට සම්බන්ධ කර දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරනු ලැබූ මේ අපූරු සත්වයා සැබෑවටම අහිංසකයෙකි. සාමාන්‍යයෙන් ටේපර් යනු වර්ග හතරකට බෙදීයන සත්ව විශේෂයකි. වලස් ටේපර්, මලයාන් ටේපර්, කඳුකර ටේපර් සහ බ‍්‍රසීලියානු ටේපර් යනුවෙන් උප වර්ග සතරකට බෙදෙන ටේපරයාගේ වර්ග තුනක්ම මේ මහා ඝන වනය තුළ ජීවත්වෙති. මේ උප විශේෂ එකිනෙකාගෙන් වෙනස්වන්නේ උන්ගේ උස හා ශරීරයේ දිග අනුවය. උගේ සාමාන්‍ය දිග මීටර් දෙකක්ද සාමාන්‍ය උස මීටරයක් වශයෙන්ද වන අතර බර කිලෝග‍්‍රෑම් 150 සිට 300 පමණ දක්වා වෙනස් වෙයි. කළුවට හුරු දුඹුරු පාටක් ගන්නා උගේ ශරීරයේ සුදුපාට පැල්ලමක් ඇත්තේ කන්කෙළවර පමණි. මලයානු ටේපරයාට වඩා කඳුකර ටේපරයා දිගින් වැඩිය. එසේම කඳුකරයේ සීතලට ඔරොත්තු දිය හැකි අන්දමට උගේ ශරීරය ලෝම කබායකින් වැසී පවතියි. ටේපරයාගේ කකුල් සහ ඇඟිලි සැකසී ඇත්තේ අපහසුවකින් තොරව මඩ මත ඇවිද යා හැකි අන්දමටය. එනම් රයිනෝසිරස්ගේ කකුල් සැදී ඇති ආකාරයටමය. නිතර නිතර දත් නියවීමේ කැත පුරුද්දකින් පෙලෙන ටේපරයා අවුරුදු තුනක් වයස් ගතවන විට වැඩිහිටියකු බවට පත්වෙයි. එතැන් පටන් ගෑනු සතුන් පසුපස යන්නට ටේපරයා පුරුදු වෙයි. එහි ප‍්‍රතිඵලය වන්නේ ටේපර් ගැහැනු සතකුට හැම දෙවසරකට වරක්ම පැටවකු බිහිකිරීමට සිදුවීමය. හැබැයි මේ ටේපරයා සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන සත්වයෙකි. වසර තිහක් වන උගේ මුළු ජීවිත කාලයේදීම ඌ බැඳී සිටින්නේ එකම ගැහැනු සතකු සමග පමණි. කැලේ නීතියට අනුව විවාහ වීමක් නැතත් හිතුන හිතුන වෙලාවට ගැහැනුන් මාරු කළ හැකිවුවත් ටේපර් එසේ කරන්නේ නැත. ඇරත් පවුලේ දුවාදරුවෝද තාත්තෙක් අම්මෙක් සමගම එකට ජීවත්වෙති. හැබැයි ගෙවල් දොරවල් හදන්නේ නැත. මොහොතකට කලින් ජගුවරයකු මරා දැමුවේ ආදර්ශවත් පවුල් ජීවිතයක් ගතකරන ආදරණීය පියෙකි. නැතිනම් මවකි. සතුරකු දුටු විගසින් දුවගෙන ගොස් ගඟකට හෝ ඇළකට පනින ටේපරයා ජලයෙහි සැඟවී ගනී. ඉනික්බිති ජගුවරයෙකුට හෝ කොටියකුට උගේ රාත‍්‍රී ආහාරය අමතක කරන්නට සිදුවෙයි. අනතුර පහව ගිය විගස වතුරෙන් ගොඩට එන ටේපරයා කරන්නේ යළිත් ඇවිදින්නට පටන් ගැනීමය. පලතුරුත් කොළ වර්ගත් ආහාරයට ගන්නා ටේපරයකුට බඩ පුරවාගනු පිණිස කිලෝග‍්‍රෑම් හතළිහක පමණ ආහාර අවශ්‍ය වෙයි. ඉතින් දවල් දවස තිස්සේ වනය පුරා ඇවිදින්නට මේ සතාට සිදුවෙයි. ඌ රාත‍්‍රියට විවේක ගන්නේ ගමන් මහන්සිය නිසාවෙනි. එහෙත් ජගුවරයකුට, විවේක ගන්නා ටේපරයා රසවත් ආහාරයක් බවට පත්ව තිබේ. ටේපරයා ගැන තවත් කිවයුතුම කතාවක් තිබේ. ඒ උගේ කුලෑටිකම ගැනය. මිනිසකු වේවා වෙනත් සතකු වේවා ඌ සතුරකු සේ දැනේනම් ටේපරයා මුහුණ නොදී සැඟවෙයි. එහෙත් ඇතැම් විටෙක මේ අහිංසකයාද දරුණු වන අවස්ථා ගැන අසන්නට ලැබේ. එසේ කුපිත වූ ටේපරයකු මිනිසකුට පහරදුන් අවස්ථාවකුත් මිනිසකු සපා කෑ අවස්ථාවක් වාර්තා වී තිබේ. හැබැයි ඒවා කලාතුරකින් අසන්නට ලැබෙන දුර්ලභ ප‍්‍රවෘත්තිය. ඒ ගොදුරක් වුණු ටේපරයාය. ඌව ගොදුරු කරගත් ජගුවරයා ඇමේසන් වනපෙත හෙවත් හරිත නිරයේ යම පල්ලකු වූ අයුරුද කිව යුතුමය. පෙලිඬේ පවුලේ නව ලෝකයේ ක්ෂිරපායි සත්වයා ලෙස සැලකෙන ජගුවර්ගේ අනෙක් නෑදෑයන් වන්නේ කොටියා, සිංහයා හා දිවියාය. කොටියාටත් සිංහයාටත් වඩා කුඩා ජගුවරයා මෙක්සිකෝව, මධ්‍යම ඇමෙරිකාව, පැරගුවේ සහ උතුරු ආර්ජන්ටිනාව යන ප‍්‍රදේශවල ජීවත්වෙති. ඌ වැඩිපුරම ජීවත්වන්නේ ඇමේසන් වනාන්තරය තුළ බව කිවහොත් වඩාත් නිවැරදිය. බාහිර ස්වරූපයෙන් දිවියා මෙන් ලප සහිත සමක් සතුවුවද ජගුවරයාගේ ගතිපැවතුම් සමාන වන්නේ කොටියාටය. කිලෝග‍්‍රෑම් 56 ත් 96 ත් අතර බරකින් යුතු නමුත් කිලෝග‍්‍රෑම් 150 ක් පමණ වූ දැවැන්ත ජගුවරයන්ද ඉඳහිට හමුවෙයි. සාමාන්‍යයෙන් ජගුවරයා ගේ දිග මීටර් එක හමාරක් පමණ වේ. උගේ උස සෙමි 75 ක් පමණද වන අතර වලිගයේ දිගද ඊටම සමාන වේ. ඇමේසන් වනය තුළ වෙසෙන ජගුවරයා ගස් නැගීමට දිවීමට මෙන්ම පිහිනීමටද සමතෙකි. ගොදුරක් ඇස ගැටුනු විට ගොඩබිමේදී බැරිනම් වතුරේදී වුවත් ලූහුබැඳ අල්ලාගැනීමට ඌ සමතෙකි. අර ටේපරයාගේ මරණීය ලතෝනිය නැගුණේ ඌ ගොඩබිම සිටියදීද නැතිනම් වතුරේ සිටියදීද යන ප‍්‍රශ්නය දැන් ඉතිරිවේ. ටේපරයා හැරුණුවිට තවත් සතුන් වර්ග විසිපහකගේ පමණ මස් අනුභව කිරීමට ජගුවරයා පුරුදු වී සිටියි. මුවා, බල්ලා, පොකැරි, ඇනකොන්ඩා, කේමන්, ගෙම්බා, මීයා, කුරුල්ලා, මාලූවා, ස්ලෝත්, වඳුරා, කැපිබාරා, කැස්බෑවා වැනි සතුන්ද ඒ අතර වෙයි. මෙකී සත්ව විශේෂවලින් ඇමේසනය පොහොසත් බැවින් ජගුවරයාට බඩගින්නේ සිටින්නට සිදුවන්නේ නැති තරම්ය. වර්ෂා සමයේදී ඇමේසන් වනපෙතට ගංවතුර සාමාන්‍ය දෙයකි. ඉවුරු තලා දෙගොඩතලා යන ගංවතුර එද්දී බිලාල පවුලේ සාමාජිකයෝ කරන්නේ ගංවතුර නොමැති පෙදෙස් වලට පලායාමය. එහෙත් ජගුවරයා තම බිමෙන් පලා නොයයි. හේතුව උගේ පිහිනීමේ ශූරත්වයයි. ඌ ගංවතුරට බියපත්වන්නට කිසිදු හේතුවක් නොමැත. ජගුවරයාගේ උපරිම වයස අවුරුදු 23 ක් පමණ වෙයි. ඒ තරම් කලක් ජීවත්වන බිලාල පවුලේ වෙන සාමාජිකයෙක් නොමැත. මේ වන විට තිස්වස් ආයු ඇති සිරුරේ මස ජගුවරයාගේ බඩ පුරවනවා විය යුතුය. එහෙත් ආමඩිල්ලා නම් තම පොලෝ කුහරයෙන් එළියට ආවා පමණි. මේ තුඹසක් සොයාගෙන හෙමින් හෙමින් ඇවිදයන උගේ බඩකට පුරවන ආහාරය වන්නේ කිරිසුදු වේයන්ය. මුළු දහවල් කාලය පුරාවටම පොළොවෙහි හාරාගත් ගුහාවක් තුළට වී හොඳ හැටි නිදාගන්නා මේ අහිංසකයා බැලූ බැල්මටම පෙනෙන්නේ ආදි කාලීන ක්ෂරපායි සත්වයකු ලෙසය. හේතුව උගේ සිරුර වැසී ඇති ඝනකම් තහඩුවයි. එහෙත් මේ තහඩුව  ඕනෑම වේලාවක නවන්නට පුළුවන් එකකි. සතුරු ආක‍්‍රමණයක් ගැන ඉව වැටුණු හැටියේ ගමන නතරකරන ආමඩිල්ලා බෝලයක් සේ රෝල් වී නිදහසේ පෙරලී යයි. එවිට පෙනෙන්නේ ගහකින් වැටුණු ගෙඩියක් ලෙස එය පණ ඇති සත්වයකු ලෙස නොවේ. හරියටම අපේ රටේ සිටින කබල්ලෑවා වැනිය. ලෝකයේ ආමඩිල්ලන් කොතෙකුත් සිටියත් උන් අතරින් විශාලතම විශේෂය වාසය කරන්නේ මේ කොළපාට අපාය තුළය. ආමඩිල්ලා පොළොව දිගේ හෙමින් හෙමින් ඇවිද යනවා මිස වතුරකට බැස පිහිනීමට පුළුවන් සතෙක් නොවේ. එහෙත් ඌ බිහිසුණු ඇමේසන් ගඟ දිගේ වුවත් අපූරුවට ගමන් කරයි. ආමඩිල්ලා ඒ සඳහා අනුගමනය කරන්නේ අපූරු උපක‍්‍රමයකි. ගඟ ළඟට යන ඌ හොඳ හැටි හුළං බී හුළං බෝලයක් බවට පත්වෙයි. ඒ හුළං බෝලයට  ඕනෑම සැඩ රළ පහරකින් වුවත් පාවී යන්නට පුළුවන. මේ රාත‍්‍රිය තුළ සැරිසරන තවත් හැඩකාරයෙකි. රන්වන් තැඹිලි පැහැති සිරුරකට හිමිකම් කියන මේ හැඩකාරයාගේ වලිගය සුදු පාට ලෝම ගොඩකින් වැසී තිබේ. හරියටම සෙමෙර සලන්නට තැනූ උපකරණයක් වැන්න. උස කකුල් නිසාම මීටරයක් පමණ උසින් යුතු මේ හැඩකාරයා කේෂර වෘකයා නම් ඇමේසන් වන රජදහනේ වෙසෙන මේ හැඩකාරයා ඇතැම් විට සීතලෙන් ගැහෙන ඇන්ඞීස් කඳුකරයෙහිද සැරිසරයි. තම ආහාර වේල වෙනුවෙන් හාවෙක්, කුරුල්ලෙක් හෝ මාලූවෙකු සොයාගන්නට දවසකට කි.මි. 30 ක පමණ දුරක් වුවද සැරිසරන්නට නොපැකිලෙන කේෂර වෘකයාට එහෙමත් දවසක මස් ටිකක් සොයාගත නොහැකි වේ. ඌ මේ රාත‍්‍රියෙහි බඩගිනි ඈනුමක් ද අරිමින් තවමත් අඳුර අතරින් පියමං කරයි. පුංචි හාවෙක් කොතැනකවත් නැද්ද? එසේ වුවහොත් ඌට සිදුවන්නේ පලතුරකින් උක්ගසකින් බඩ පුරවාගෙන වෙජිටේරියන් කෙනෙකු වන්නටය. ඇමේසන් වනමැද රාත‍්‍රිය කෙමෙන් මෝරා එයි. තවමත් තොර තෝංචියක් නැති රැහැයි නාද සහ සුවහසක් කෘමීන්ගේ පුංචි පුංචි සද්ද බද්ද වලින් එකතු වූ මහා ඝෝෂාව එසේමය. බියපත් කුරුල්ලෙකු නගන හඬත් මාංශ භක්ෂකයකුගේ ගොදුරක් වූ අසරණ සතකුගේ විලාපයත් ආදී වශයෙන් වූ සද්ද බද්ද වලින් වනපෙත පිරීයයි. ගසක් තවත් ගසක ඇතිල්ලෙන විට නැගෙන ක‍්‍රීස් හඬක් තුරු හිස් සෙලවෙන ඇඹරෙන හඬ ආදී වශයෙන් වූ විවිධ නාද සංකලන විලින් මේ රාත‍්‍රිය නින්නාද වෙයි. මැලේරියා සහ ඩෙංගු උණ රෝග පතුරුවන සුවහසක් මදුරුවන්ගේ නිජබිම බඳු මේ මහා වනාන්තරය වර්ග කිලෝමීටර් මිලියන හතකටත් වඩා වැඩිය. එහෙත් ඒ ඉලක්කම් වලින් මේ වන පෙතෙහි විශාලත්වය සිතාගත නොහැකිය. හොඳම දේ ලෝක සිතියම් පොතක් දිගහැර ගැනීමය. ඇමේසන් නම් වූ කොළපාට තීරුව මත ලංකාව බඳු බෝල කීයක් නම් තැබිය හැකිදැයි බලන්න. බුදු අම්මෝ.... ඇමේසන් ඒ තරමටම විශාලය. බ‍්‍රසීලය, කොලොම්බියාව, වෙනිසියුලාව, පේරු, ඉක්වදෝරය, බොලිවියාව, ගුයානාව, සූරිනාම් සහ ප‍්‍රංශ ගුයානාව යන රටවල් ගණනාවකට අයත් වන මේ දැවැන්ත වනාන්තරයේ වැඩිම කොටස අයත්වන්නේ බ‍්‍රසීලයටය. ඒ සමස්ත වනාන්තරයෙන් සියයට 60 ක් තරම් ප‍්‍රමාණයකි. සමස්ත ලෝකයේම වාසය කරන සත්ව විශේෂ වලින් තුනෙන් දෙපංගුවක්ම මේ මහා වන රාජධානියේ ජීවත්වෙති. එසේ නම් මේ වනගහනය තුළ ඇති ජෛව විවිධත්වය කොයිතරම් විචිත‍්‍රද. කෘමි විශේෂ මිලියන දෙකහමාරක්, මත්ස්‍ය වර්ග තුන්දාහක්, කුරුලූ වර්ග එක්දහස් දෙසිය අනූවක්, ක්ෂීරපායින් හාරසියයක්, උභය ජීවීන් හාරසියයක් උරග විශේෂ තුන්සිය අසූවක් ආදී වශයෙන් ගැන ගෙන ඇත්තේය. එහෙත් මේ මහා වනාන්තර අපායතුළ සැඟවගත් තවත් සත්ව විශේෂ සිටින්නට බැරි නැත. ඇයි මිනීමරු අප‍්‍රිකාවෝ? ඔව් තවමත් ශිෂ්ඨාචාරයට පා නොතැබූ නපුරු මිනී කන ගෝත‍්‍ර කීයක් නම් මේ වනරජදහන තුළ සැඟවී ජීවත්වන්නේද? ඔවුන්ගේ රහස් සොයාගිය ගවේෂකයන් සහ ඔවුන් මුහුණදුන් ඉරණම මොනතරම් බියකරුද? එබඳු තොරතුරු රැසක් හෙළිදරව් කරන ඇමේසන් වනයේ සැඟවුණු රහස් වලින් බිඳක් පමණකි මේ.
ශාන්ත කුමාර විතාන
කේසර වෘකයා ජගුවර් ඇමේසන් වනාන්තරය ඇමේසන් වනාන්තරය