“අප විසින් මෙහිදී දැඩි අධිෂ්ඨානයකට එළඹිය යුතු වේ. අප ස්ථාවර ලෙසින් තීරණය කළ යුතු වන්නේ සිය ජීවිතය නොතකා රණවිරුවන් විසින් කරන ලද පරිත්‍යාගය, නිරර්ථක නොවන තැනට ඇපකැප විය යුතු බවයි. මේ දේශයට දෙවියන්ගේ බැල්ම යටතේ, විමුක්තිය නැවත උදාවේවා.

ජනතාව විසින් ජනතාව උදෙසා පිහිටුවන ලද, ජනතාවගේ ආණ්ඩුව, මිහිතලයෙන් අතුරුදන් නොවේවා. අප විසින්, ප්‍රබල ලෙස සිතාගත යුත්තේ එයයි”.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ, 16 වන ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් (1809-1865).

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ව්‍යවහාර වන ජනාධිපති තේරීමේ සම්ප්‍රදායය, වෙන අන් කිසිම දේශයක භාවිත වන ක්‍රමයකට වඩා බොහෝසේ වෙනස්ය.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ තහවුරුව පවත්නා නියමයෙන් මෙසේ කියවේ.

“ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ සිව් වසරකට වරක් එළඹෙන අවුරුද්දේ නොවැම්බර් මාසයේ ප්‍රථම සඳුදාට පසුව ලබන ප්‍රථම අඟහරුවාදා දිනයේයි.

මීට පෙර ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ජනාධිපති තරගයක් පැවැත්වුණේ 2016 නොවැම්බර් මාසයේදීය. ඒනිසා මීළඟ ජනාධිපති තරගය පැවැත්විය යුත්තේ 2020 වර්ෂයේ නොවැම්බර් මාසයේදීය. ඒ මාසයේ පළමුවන සඳුදා නොවැම්බර් දෙවනදායි. ඒ මුල් සඳුදායින් පසුව ලබන ප්‍රථම අඟහරුවාදා දවස, 2020සේ නොවැම්බර් තුන්වනදායි.
ඒ නිසා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ මීළඟ ජනාධිපති තරගය පැවැත්විය යුත්තේ 2020සේ නොවැම්බර් තුන්වන අඟහරුවාදායි.

මේ සම්මුතිය කිසිවිටෙකත් වෙනස් කෙරෙන්නේ නොවේ. එය එතරම්ම තහවුරුව පිහිටා සිටී.

ඇමෙරිකා එක්සත් ජනපදයේ, ජනාධිපති පදවි තරගය ආශ්‍රිත, තවත් ස්ථාවර සම්මුතියක් වෙයි. කෙනෙකුට, ජනාධිපති පදවියෙහි සිටිය හැකි උපරිම වාර ගණන දෙකකි. එක් වාරයක් අවුරුදු 4යි. කැමති නම් දෙවන වරක් සඳහා ද ඉදිරිපත් විය හැකිය. ඉන් ජයගත හොත් එවැන්නකුගේ ජනාධිපති පදවි සමය අට වසකි. මේ උපරිම අට අවුරුදු පාලන කාලය පිළිබඳ නියමය වෙනස් කළ හැකි නොවේ.

එහෙත් අති විශේෂ අවස්ථාවලදී, ඒ සම්මත අට අවුරුදු පාලන සමයට වඩා තරමක් දීර්ඝ කාලයක්, ජනාධිපති පදවිය ඉසිලූ දේශපාලනඥයෝත් සිටියහ.

එයට නිදර්ශන සැපයෙන්නේ, තිස් දෙවන ජනාධිපතිව සිටි ෆ්‍රෑන්ක්ලින් ඩෙලානෝ රූස්වෙල්ට් මහතාගේ පාලන සමයෙනි. ඒ ජනාධිපතිවරයා අවුරුදු 12ක් (1933 - 1945) ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය පාලනය කළේය. මෙයට හේතුව වූයේ එතුමා පාලනයෙහි සිටියේ, දෙවන ලෝක මහා යුද්ධය පැවති කාල පරිච්ඡේදයෙහිදී (1939 - 1945) වීමයි. එවැනි දුෂ්කර යුගයක, දේශයක ජනාධිපති තරගයක් සංවිධානය කිරීම අතිශයින්ම අපහසුය.

කලක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක්ව පැවති, ඇමෙරිකා “ජනපද”, ප්‍රබල ස්වාධීන මහා රාජ්‍යයක් වූ ආකාරය සැකෙවින් සලකා බැලිය යුතුවේ.

ඇමෙරිකාව, ප්‍රධාන වශයෙන්ම සංක්‍රමිකයන්ගේ පදිංචිය නිසා මහා රාජ්‍යයක් බවට පත්වූ දේශයකි. මහා ඇමෙරිකා භූමි භාගයෙහි, ප්‍රථම බ්‍රිතාන්‍ය යටත් විජිතය පිහිටුවා ගන්නා ලද්දේ, බ්‍රිතාන්‍ය ජාතික “වෛතුල්‍යවාදී” කණ්ඩායමක් විසිනි. මවුබිමෙන් නෙරපනු ලැබූ ඔවුහු “මේ ෆ්ලවර්” නම් නෞකාවෙන්, අත්ලන්තික් සාගරය තරණයකොට, ඇමෙරිකාවට අවුත්, පලිමත්හි “විජිතයක්” පිහිටුවා ගත්හ. එසේ එහි මුලින්ම ආ සංඛ්‍යාව 103 දෙනෙකි.

අනුක්‍රමයෙන් ජනපද සංඛ්‍යාව වැඩුණේය. ඔවුන්ගේ මවුබිම වන එංගලන්තය විසින්, ඔවුන් යුද බලයෙන් පාලනය කරනු ලබන විට, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යවාසීහු, එංගලන්තයට විරුද්ධව නැඟී සිටියහ. ඇමෙරිකාවේ යටත් විජිතවල වාසය කළ අය එක්ව, තමන් එංගලන්තයට යටත් නැති බව කියා සිටිනු පිණිස, “විමුක්ති ප්‍රකාශනයක්” සකස්කොට ඉදිරිපත් කරන ලදී. එංගලන්තය හා සමඟ යළි සුහද සබඳතා ගොඩනංවාගත නොහෙන බව දුටු ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යවාසීන්, තමන් සහමුලින්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් වෙන්වූ ස්වෛරී දේශයක් බව දක්වන, ඒ “විමුක්ති ප්‍රකාශය” පළ කරන ලද්දේ 1776යේ ජූලි මස හතරවනදායි. එය, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ජාතික දිනයයි. මේ අනුව, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයට අද අවුරුදු 243යි.

මේ “විමුක්ති ප්‍රකාශය” දේශපාලන ඉතිහාසයෙහි ඉතා ව්‍යක්ත වූත්, අති ගැඹුරු දර්ශනවාදයක් සහිත වූත්, ලේඛනයකි.
මෙසේ ඒකාබද්ධ වූ ඇමෙරිකා යටත් විජිත විසින්, ඒ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ව්‍යවස්ථාව සකස් කරන ලදී. මේ ව්‍යවස්ථා පද්ධතිය සම්මත කොට ගන්නා ලද්දේ 1789 මාර්තු 4 වනදායි. අදට අවුරුදු 230ක් වන මේ ව්‍යවස්ථා පද්ධතිය, ලෝකයේ ඉතා පැරැණි, ලිඛිත ජාතික පාලන ව්‍යවස්ථා අතුරින් එකකි.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ප්‍රථම ජනාධිපතිවරයා දෙසට අප යොමුවන්නේ මෙහිදීය.

1787 දී පවත්වන ලද, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ “පාලන ව්‍යවස්ථාව පිළිබඳ සම්මේලනයේ” සභාපතිවූත්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ හමුදාවනට විරුද්ධව සටන් කළ හමුදාවල නායකයාවූත් ජෝජ් වොෂින්ටන්, පුරෝගාමී ඇමෙරිකානු වීරයා, ඒකමතිකව, නව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ප්‍රථම ජනාධිපතිවරයා වශයෙන් පත්කොට ගන්නා ලදී. ඒ 1787 දීය.

සමකාලීන ඇමෙරිකානු එක්සත් ජනපද රාජ්‍යයේ නායකයෝ, ඒ ජනනේතෘවරයාට, යාවජීව ජනාධිපති පදවිය පිරිනමන්නට වුවද සැදී පැහැදී සිටියහ.

එහෙත් ප්‍රථම ජනාධිපති ජෝජ් වොෂින්ටන් පාලනවේදී ප්‍රභුවරයා, 1787 දී මුලින් ජනාධිපති පදවිය ලැබ, යළි 1792 දී දෙවන වරත් ඒ පදවියේ සිට 1796යේ සැප්තැම්බර් 17 වනදා සම්භාවනීය ලෙස ඉල්ලා අස්වූයේය.

ප්‍රථම ජනාධිපති ජෝජ් වොෂින්ටන් ජන නායකයා, මෙසේ අවුරුදු නවයක්, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය නම්වූ නව දේශයට, පාලන සම්ප්‍රදායයක් පෙන්වා දී, ඒ පදවියෙන් සමුගත්තේය. ඒ අසහාය ඓතිහාසික මොහොත මූර්තිමත් කරමින් එතුමෝ මෙසේ කියා සිටියහ. “රජයේ ඒකාබද්ධතාව විසින්, ඔබ සියලු දෙනාම, එකම ජන කණ්ඩායමක්ව ව්‍යවස්ථාගත කරනු ලැබ ඇත්තේය. මේ ජාතික ඒකාබද්ධතාව ඔබට අත්‍යන්තයෙන්ම අගනේය.”

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ජනාධිපතිවරයා තෝරා පත්කොට ගැනීම පිළිබඳ නීතිමය ක්‍රියාවලිය සටහන් වන්නේ, “ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ පාලන ව්‍යවස්ථාව” නම් වූ ලේඛනයේය. මේ ව්‍යවස්ථා පද්ධතිය, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ මූලික නීති මාලාව බවට පත්වූයේ 1789යේ මාර්තු 4 වනදාය.

එහි දෙවන වගන්තියේ ප්‍රථම අංශයේ, “ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ” ජනාධිපතිවරුන් පත් කෙරෙන ආකාරය විස්තර කෙරේ.

“ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ජනාධිපතිවරයාට කෘත්‍ය විධායක බලය පැවරේ. ජනාධිපතිවරයා තෝරා පත්කොට ගනු ලබන්නේ කෙසේද?

එක් එක් ජනපදය විසින්, නියමිත ඡන්දදායක සංඛ්‍යාවක් තෝරාගනු ලැබේ. එක් එක් ජනපදයේ ඡන්ද දායකයන් කිහිප දෙනා එක්වී, ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේ නම් තීරණය කරති. සෑම ජනපදයක් විසින්ම තෝරන ලද ජනාධිපති අපේක්ෂකයන්ගේ නම් සහිත ලේඛන මුද්‍රාතබා රජයට යැවේ. මධ්‍යම රජයේ නිලධාරීහු ඒ එවන ලද නම් සංඛ්‍යාව ගැන බලා ජයග්‍රාහකයා නියම කරති. එසේ ජනාධිපතිවරයා තෝරන කණ්ඩායම “ඉලෙක්ට්‍රල් කොලෙජ්” (ඡන්ද දායක ගණය) නම්විය. ඒ මුල් ව්‍යවස්ථාවට අනුව, මහජන ඡන්දයකින් ජනාධිපති පත් කිරීමක් එදා සිදු නොවීය.

ඒ මුල් යුගයේදී, ජනාධිපතිවරයා ඒ ඡන්ද දායක ගණය විසින් පත් කරන ලද දිනයක් ජනාධිපතිවරයා දිවුරුම් දෙන දිනයත් අතර, තරමක දින කාල පරිච්ජේදයක් තිබෙන්නේ ඒ කාලයේ ගමන් බිමන් අපහසුකම නිසාය.

පසුව යුගයන්හි මහජන ඡන්දයෙන් ජනාධිපතිවරයා පත්කොට ගැනීමේ සම්ප්‍රදාය තහවුරු වූයේය. එහෙත් මෙහිදී අප විසින් සලකා බැලිය යුත්තේ මෑතකදී සිදු වූ ඉතා අපූරු සිද්ධියකි.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ 45 වන ජනාධිපතිවරයා තේරුණේ ඉතාම මෑතකදීය. ඒ 2016 යේ නොවැම්බර් මස පැවති තරගයෙන් ජයගත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතායි. ඔහු හා සමග තරග කළේ හිලරි ක්ලින්ටන් මහත්මියයි.
විස්මයට මෙන්, එදා ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජයගත්තේ ඉපැරණි “ඡන්ද දායක ගණයේ” කැමැත්තෙනි. ක්ලින්ටන් කාන්තාව, මහජන ඡන්දයෙන් ජයගත් නමුත් “ඡන්ද දායක ගණයේ” කැමැත්තේදී ඒ කාන්තාව පරාජය වූවාය. ඇයට “ඡන්ද දායක ගණයෙන්” ලැබුණේ ඡන්ද 228 කි. එහෙත් ඇය හා තරගකළ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට “ඡන්ද දායක ගණයෙන්” ඡන්ද 279 ක් ලැබුනේය.

එසේ වුවද, එදා මහජන ඡන්දයේ ප්‍රතිඵල කෙසේද? මහජන ඡන්දයෙන් එතුමියට ලැබුණු ඡන්ද ප්‍රමාණයේ ප්‍රතිශතය 47.7 විරුද්ධ පාක්ෂිකයාට 47.5 කි.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ජනාධිපති පදවි තරගයේ විස්මය දනවන පක්ෂය එයයි.

ඇමෙරිකාවේ ජනාධිපති පදවිය උදෙසා, තරග කරුවන් තේරීම ආරම්භවන්නේ තරගයට අවුරුද්දකට පමණ පෙර පටන්ය.

අපේක්ෂකයෝ, ප්‍රධාන වශයෙන් දේශයේ ප්‍රමුඛ දේශපාලන පක්ෂ දෙකට අයත්වෙති. ඒ පක්ෂ දෙකනම් රිපබ්ලිකන් පක්ෂයත් ප්‍රජාතාන්ත්‍රික පක්ෂයත්ය. රිපබ්ලිකන් පක්ෂය “ජීඕපී” නමින්ද හැඳින්වේ

(ග්‍රෑන්ඞ් ඕල්ඞ් පාටි - විශිෂ්ට පැරණි පක්ෂය)
රිපබ්ලිකන් පක්ෂයේ සංකේතය අලියාය. ප්‍රජාතාන්ත්‍රික පක්ෂ සංකේතය බූරුවාය.

ජනාධිපති පදවිය සඳහා අවශ්‍ය සුදුසුකම් සියල්ල පාලන ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලි ලෙස දක්වා ඇත්තේය.
මේ වන විට අපේක්ෂකයෝ ජනපද මට්ටමින් සිය අපේක්ෂතාව පළකිරීමේ රැස්වීම් පවත්වාගෙන යති. ඔවුහු අනුක්‍රමයෙන් අඩුවී ගොස් එක් පක්ෂයකින් එකට එක් අපේක්ෂකයකු තෝරා ගැනීමේ අවස්ථාවට එළඹෙති.
ඉන් පසුව, එක් එක් පක්ෂය විසින් තමන් තෝරාගනු ලබන අපේක්ෂකයාට සහාය පිණිස ජාතික මට්ටමේ මහා සම්මේලනය බැගින් පැවැත්වේ.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ජනාධිපති තරගයේදී තරම් ධනය වැය කෙරෙන ජනාධිපති තරගයක් ලොව නොමැති තරම්ය.

උප ජනාධිපතිවරයා නම් කෙරෙතත්, ඒ පාලනවේදියා විශේෂ මහජන ඡන්ද විමසීමකට මූණපෑ යුතුනොවේ.වර්තමාන උප ජනාධිපතිවරයා වන මයික් පෙන්ස් නම් පාලනවේදියා කලක් නියෝජ්‍ය මන්ත්‍රණ සභා නායකව සිටියේය.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ පවත්නා දේශපාලන චින්තනයට අනුව ඇතැම් විටෙක ජනාධිපතිවරයාට පටහැණිව දෝෂාභියෝගයද නැඟේ. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ තිස්හත්වන ජනාධිපති වූ රිචඞ් නික්සන් ජනාධිපතිවරයාට, එවැන්නකට මූණ පාන්නට විය.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ජනාධිපතිවරුන් පිළිබඳ ඉතිහාසය තරම් අත්‍යන්තයෙන්ම පෘථුල වූ වාර්තා සමූහයක් වෙත අන් කිසිම දේශයක නායකයන් උදෙසා හැඩගැසුණේ නොවේ යැයි කිව හැකිය.

ලෝකයේ මහාම පාලන තන්ත්‍රවේදීන් වශයෙන් ඉතිහාසගතවන, ජනාධිපතිවරු කිහිපදෙනෙක් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙන් ලෝක ඉතිහාසයට එකතු වූහ.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ නායකයන් මානව වංශයට දායාද කළ මහාම තිළිණයක් නම් 1776 ජුලි මස හතරවන දින ඇමෙරිකානු නායකයන් විසින් සකස් කරන ලද “විමුක්ති ප්‍රකාශනයයි” ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරුන් තාමත් ලෝකයේ උච්චතම නායක පිරිසක් වශයෙන් ජගත් ජනමණ්ඩලය විසින් සැලකේ.

දේශබන්ධු ආචාර්ය කලාකීර්ති
එඩ්වින් ආරියදාස