IMG-LOGO

ආර්ථිකය මෙහෙයවීමේ නියම මග

මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ තරමක් දුරට න්‍යායික පදනමක් සහිත කාරණයක් පිළිබඳවය. ඒ කියන්නේ රටේ දේශපාලනයේ දිශානතිය පිළිබඳව මූලධාර්මික (Fundamental) කාරණා කීපයක් පිළිබඳවය.

මේ මොහොතේ රටේ සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳව සාකච්ඡා කළ යුතු නැතැයි එයින් කියැවෙන්නේ නැත. කතා කළ යුතු මාතෘකා එමටය. ජනාධිපති සමාව හරහා බරපතළ මූල්‍ය අපරාධකරුවකු නිදහස් වීමේ සිට පසුපසට කතා කළ යුතු මාතෘකා රාශියක් ඇත. එහෙත් ඒවා ගැන කතා කිරීමට වඩා ඉතාමත් අවශ්‍ය මාතෘකාවක් ලෙසින් මා දකින්නේ ‘රට යායුතු මග’ පිළිබඳව සිදුකළ යුතු සංවාදය.

මේ මොහොතේ එවැනි මාතෘකාවක් කතා කිරීමේ වැදගත්කමක් නැතැයි සිතන අය කියන්නේ ‘මාලිමාවේ ගමන් මග’ රටේ ජනතාවගෙන් බහුතරය අනුමත කර තිබෙන අවස්ථාවක ‘රට යායුතු මග’ ගැන අමුතුවෙන් කතා කිරීමේ අවශ්‍යතාවක් නැති බවය. ඒ කතාවේ යම් සත්‍යයක් තිබේ. එහෙත් යම් ආකාරයකින් රට ගමන් කරන මග වැරදුණහොත් එයින් පහර වදින්නේ මාලිමාවට ඡන්දය ලබා දුන් අයට පමණක් නොවේ. එය සමස්ත රටවාසීන්ටම වැදෙන පහරකි. ඒ නිසා කාට කවුරු ඡන්දය ලබා දුන්නත් රට ගමන් කළ යුතු මග පිළිබඳව සංවාදය – අප අත්හැරිය යුතු නැත.

ඒ කාලයේ ජ.වි.පෙ. පෙළපාලිවල ඇසුණු සටන් පාඨයක කොටසක් වන්නේ ‘අපි යන්නේ කොයි පාරේ’ යන එකය. එදා පෙළපාළිවල නිකමට මෙන් කියූ මේ සටන් පාඨය අද නැවත වතාවක් ඇසිය යුතු ප්‍රශ්නයක් බවට පත්වී ඇත

 

පළමුවත් ආර්ථිකය දෙවනුවත් ආර්ථිකය

වර්තමාන ආණ්ඩුවේ නායකයන් හැමෝටම කිවයුතු කාරණයක් වන්නේ මේ මොහොතේ රටේ දේශපාලන හා ආර්ථික තීරණ ගැනීමේ පැත්තෙන් තීරණාත්මක තෝරා ගැනීමක් සිදු කිරීමට තල්ලු වෙන තැනක රට තිබෙන බවය. ඒ තීරණාත්මක තෝරා ගැනීම රටේ ආර්ථිකය සමග අනිවාර්යයෙන්ම ගැට ගැසී ඇත.

වර්තමාන ආණ්ඩුවට අතිවිශාල ජනවරමක් පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලැබුණු බව සත්‍යයක්ය. ප්‍රතිපත්ති සහ නීති වෙනස් කරන්නට හැකි බලයක් ආණ්ඩුවට ලබා දී ඇත්තේ ආර්ථිකය සම්බන්ධයෙන් නිවැරැදිව තෝරා ගැනීමක් සිදුකිරීම අනිවාර්ය නිසා විය යුතුය.

එහෙත් ශක්තිමත් තෝරා ගැනීමක් ආර්ථිකය පැත්තෙන් සිදුකරන බවක් පෙනෙන්නේ නැත. ආණ්ඩුවේ ප්‍රමුඛතාව ලැබෙන බව පෙනෙන්නේ පසුගිය කාලවල බලයේ සිටි පක්ෂවල අයගේ ක්‍රියාකාරීත්වය සෙවීමට මිස ආර්ථිකය නියම පාරේ ගෙන යාමට නොවේ. ආර්ථිකයේ කිසිදු ගැටලුවක් නැති බවත් සමහර නායකයන්ගේ කතාවලින් පෙනෙන්නට තිබෙන බව ද මෙහිදී සටහන් කළ යුතුය.

මගේ අදහස වන්නේ රට කරවන අයගේ ප්‍රමුඛතා පළමුවත්, දෙවනුවත් ලබාදිය යුත්තේ ආර්ථිකය යළි ස්ථාවර කිරීමටය. අනෙක් හැම දෙයක්ම ද්විතීක ඒවාය. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හැදීම, රාජ්‍ය පාලන ව්‍යූහ සංශෝධනය කිරීම. දූෂණ විමර්ශනය කිරීම වැනි දේවල් සිදු කිරීමේ වැරැද්දක් නැත. එහෙත් ඒ එකක්වත් මේ මොහොතේ ප්‍රමුඛතාව නොවේ. ප්‍රධානතම කාර්යය වන්නේ ආර්ථික තලයේ නිවැරැදි තීරණ ගැනීමය. නිවැරැදි තීරණ ක්‍රියාත්මක කිරීමය.

 

ආර්ථිකයේ ලොකු චිත්‍රය

රටක ආර්ථිකයේ ලොකු චිත්‍රය කියන්නේ රට කරවන ආර්ථික දිසානතිය කුමක්ද යන්නය. මෙයට ඉංග්‍රීසියෙන් කියන්නේ macro Economic plan හෙවත් සාර්ව ආර්ථික උපාය මාර්ග කියාය. 2022 න් පසුව මෙරට ආර්ථිකයේ යළි ගොඩනැගීමේ අවශ්‍යතාව සමග මේ කියන සාර්ව ආර්ථික උපායමාර්ග ගැට ගැසී තිබුණි. වත්මන් ආණ්ඩුව බලයට පත් වන විට සාර්ව ආර්ථික උපාය මාර්ග ගැට ගැසී තිබුණේ IMF  සංවිධානය සමග එකඟ වී තිබූ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සහ ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාමාර්ග සමගය.

වත්මන් ආණ්ඩුව වුවත් බලය ලැබුණු වහාම IMF එකඟතාව මත ගමන් කරන බව කීවේ ඉහත සඳහන් ‘ආර්ථිකයේ ලොකු චිත්‍රය’ හෙවත් ‘මැක්‍රෝ ඉකනොමික් ප්ලෑන්’ එක වෙනස් කිරීම මේ මොහොතේ සිදුකළ නොහැකි එකක් නිසා විය යුතුය.

මේ තීරණය නිසා ආණ්ඩුව විශාල පහර කෑම්වලට විවෘත වූ බවත් සැබෑවක්ය. රනිල්ගේ පාරේම මිස අලුත් පාරක් නැතැයි සමහර විටක කීවේ මේ නිසාය. ඒ කුමන ආකාරයේ අපහාස තිබුණත් ආණ්ඩුව ඒ මොහොතේ ගත්තේ වඩාත්ම ‘ප්‍රැග්මැටික්’ හෙවත් ප්‍රායෝගික විසඳුමය.

එහෙත් මේ වන විට පෙනී යන්නේ ආණ්ඩුවේ ‘ආර්ථික බිග් පික්චර්’ එක ඉතාමත් අපැහැදිලි තැනකට ගමන් කරන බවය.

IMF සංවිධානයේ දෙවැනියා වන ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිතය. ඇය වැනි ඉහළ පෙළේ නියෝජිතයකු මෙරටට පැමිණෙන්නේ තත්වය පිළිබඳව යම් විමර්ශනයක් සිදු කිරීමටදැයි මා දන්නේ නැත. එහෙත් පෙනී යන කාරණය වන්නේ IMF එක බලාපොරොත්තු වූ ආර්ථික වර්ධනය ළඟා කර ගැනීමට රටක් ලෙසින් අපට හැකියාවක්  තිබේද යත් සැක සහිත බවය ආර්ථික වර්ධනය GDP එකට ප්‍රතිශතයක් ලෙසින් ලබාගත යුතු අගයන් 2023 සහ 2024 වර්ෂවල ලැබුණු බව සත්‍යයක්ය. එහෙත් මේ වසරේ තත්වය ඒ ආකාරයෙන්ම යහපත් වන බවක් පෙනෙන්නේ නැත.

 

IMF එකඟතා

මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය සිදුවුණේ IMF එකඟතාව ඇතුවය. එහිදී රනිල් වික්‍රමසිංහ රජය එම එකඟතාවට ගිය ආකාරයේ බරපතළ ගැටලු තිබුණේය. ඒවා පිළිබඳව රට තුළ විශාල සාකච්ඡාවක් ඇති වූ නමුත් ඒ රජය ඒවා පිළිබඳව ඇහුන්කන් දුන්නේද නැත. එම එකඟතාව  යළි සංශෝධනය කරන බව වත්මන් රජයේ ප්‍රධානීන් ද ජනතාවට පොරොන්දු විය. එහෙත් එය පැත්තකින් තබා වික්‍රමසිංහ රජයේ වැඩසටහනම ඉදිරියටත් කරගෙන යාමට ආණ්ඩුව ක්‍රියාකරන බව පසුව පවසා සිටියේය.

IMF  එකඟතාව සංශෝධනය කිරීමේ උත්සාහයක් නොගෙන එය ඒ ආකාරයෙන්ම ඉදිරියට කරගෙන යන බව පෙන්වමින් වෙනත් පාරක ආර්ථිකය ගෙන ගියහොත් රටට ‘පරණ විසඳුමක් නැත අලුත් විසඳුමකුත් නැත’ තත්වයක් උදාවිය හැකි බව මගේ අදහසය.

IMF එකඟතාව තුළ ආර්ථික වර්ධන, වේගය යනු එක කාරණයක් වන අතර තවත් කොන්දේසි ගණනාවක්ම තිබෙන බව අමතක නොකළ යුතුය. ඒවා වන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හා විධිමත් කිරීම හරහා ආදායම් වියදම් පාලනය, උද්ධමනය පාලනය, රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණය සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහකරණය යන ඒවායි. මේවා පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වන්නේ නම් IMF එකඟතාව සංශෝධනය කරගැනීමේ උත්සාහයක් දැරිය යුතුය. එසේ නොකරන්නේ නම් මේ කොන්දේසි පිළිබඳව බරපතළ ලෙසින් අවධානය යොමු කළ යුතුය.

මේ දෙකෙන් තමන් කරන්නේ කුමක්ද යන්න නිවැරැදිව තෝරා ගත්තේ නැත්නම් රටක් ලෙසින් අප අර්බුදයට යාමේ ඉඩක් ඇති බව මෙහිදී සටහන් කළ යුතුය. එසේ කියන්නේ ආණ්ඩුවට ඇති අමනාපයක් නිසා නොවේ. මෙය අවධානයට ගැනීම ඉතාමත් අවශ්‍ය කාරණයක් වන නිසාය.

 

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නාටකය

පසුගිය සතියේ නාට්‍යාකාරයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව යානයක් කුලී පදනම මත ගෙනාවේය. මේ සිදුවීම ආණ්ඩුවේ සමහරුන් පවා ජයග්‍රාහී ලීලාවෙන් කතා කරනු මාධ්‍යවල පෙන්වනු ලැබීය. මේ සාකච්ඡා දෙස බලන විට මට හැඟී ගියේ රටක් ලෙසින් අපි තවමත් සිටින්නේ බරපතළ ඇස්බැන්දුම්වලින් නිලංකාර කරගත් දෑස්වලින් බවයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව යානයක් කුලී පදනම මත ලබා ගැනීම අපි තේරුම් ගත යුත්තේ ඒ ආයතනයේ සමස්ත ක්‍රියාකාරීත්වය සමග සසදා බලමින්ය.

මුලින්ම කිව යුත්තේ මා ශ්‍රී ලංකන් ගුවන් සේවය දකින්නේ මෙරට ආර්ථිකයට කඩා වැටීමට හේතු වූ සහ හේතුවන මකර කටක් ලෙසින් බවය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් ලාබයක් හෙවත් Operation Profit එකක් තිබෙන බව සැබෑවක් විය හැකිය. එහෙත් ගුවන් සේවයක් පිළිබඳව රජයක් තීරණය ගත යුත්තේ මෙහෙයුම් ලාබය යන සාධකය මත පමණක් නොවේ. ගුවන් සේවයේ ණය කළමනාකරණය සහ මූලධන ආයෝජනය (Debt management & capital investment) යන අංශ දෙක බලන්නේ නැතිව හුදු මෙහෙයුම් ලාබය පෙන්නීමෙන් ගුවන් සේවයක් පවත්වාගෙන යා නොහැකිය. මෙහි ණය පිළිබඳ තත්වය ඉතාමත් බරපතළය. වත්මන් රජයේ පළමු අයවැය ලේඛනය තුළ කියවූ පරිදි ගුවන් සේවයේ රුපියල් ණය තොගය රජය ගෙවීමට තීරණය කර ඇත. මේ ආයතනයටය විදේශ ණය ද විශාල වශයෙන් ඇත. ඩොලර් මිලියන 125 බැඳුම්කර හරහා එම ආයතනය ලබාගත් ඩොලර් ණය සඳහා ඇපකරු වී තිබෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවය. එම ණය ඇපකරය මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ දී ද ගැටලුකාරී එකක් බවට පත් විය.

 දැන් මෙම ආයතනය වර්ධනය කිරීමට නම් මෙහෙයුම් ලාබය මත නොව එම ආයතනයේ ණය කළමනාකරණය සහ මූලධන ආයෝජනය යන දෙපැත්ත ගැන තීරණයක් ගත යුතුය. එවැනි තීරණයක් ගත නොහැකි නම් මේ ආයතනය ආණ්ඩුවට බරක් බවට පත් වෙනවා හැර වෙන දෙයක් වෙන්නේ නැත.

මේ ගුවන් සේවය මේ තැනට වැටුණේ වත්මන් ආණ්ඩුවේ වරදින් නොවේ. මෙතෙක් සිටි ආණ්ඩු බොහෝමයක් කළේ තමන්ගේ පාලන කාලය තුළ මේ ආයතනය ණය මත ගිල්වා අල්ලා ගෙන සිටීමය. ප්ලේන් එකක් ළඟට වත් දැක නැති ඈත ගිරාඳුරුකෝට්ටේ සියාතුලාගේ බදු මුදල් යොදමින් පාඩු පිට ගුවන් සේවයක් නඩත්තු කිරීමය.

තවත් පැත්තකින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමට IMF සමග එකඟ වී ඇති තත්වයක රටේ රාජ්‍ය ව්‍යසායක අතරින් පළල් අර්ථයෙන් ඉදිරියක් නැති ව්‍යවසායක් වන ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධව තීරණයක් ගැනීමේදී ඉතාමත් පරිස්සම් විය යුතු බව මගේ අදහසය.

මෙවර කිවිදා දැක්මෙන් උත්සාහ කළේ මා මුලින් කියූ පරිදි උත්සාහ කළේ රටේ ආර්ථිකය ‘එක පාරක යා යුතු’ බව පෙන්නීමටය. එය රටේ තීරණ ගන්නා ප්‍රධානීන් අවධානයට ගනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

(***)


මහාචාර්ය
චරිත හේරත්



අදහස් (0)

ආර්ථිකය මෙහෙයවීමේ නියම මග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1465 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 534 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 601 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site