ආහාර නිෂ්පාදනයේදී එකම පොල්තෙල් කිහිප වරක් භාවිත කිරීම වැළැක්වීමේ අරමුණෙන් කළුතර දිස්ත්‍රික්කයේ ආපන ශාලා වැටලීමේ මෙහෙයුමක් දියත් කළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

කළුතර දිස්ත්‍රික්කයේ පමණක් නොව මුළු රටේම දියත් කළ යුතු මෙහෙයුමකි. ‘ආරෝග්‍යා පරමා ලාභා’ හෙවත් නිරෝගි බව උතුම්ම ලාභය යැයි අදහන සංස්කෘතියක් ඇති රටක් වුවද අපගේ ආහාර සංස්කෘතිය මිනිසුන් රෝගීන් කරන තත්ත්වයට පත් කර ඇති බව සත්‍යයකි. හෝටල්වල ඉතිරි වන මස්, මාළු හා එළවළු, මාළු පාන්, එළවළු රොටි බවට පත්ව යළිත් හෝටලයේ ෂෝකේස් එකට එන බව නොරහසකි. කන බොන කෑමෙන් පවා ගසා වඩා ගැනීමක් නොකරනු ඇතැයි මෙරට අහිංසක ජනතාව විශ්වාස කරති. එහෙයින් සැකයකින් බියකින් තොරව එම ආහාර අනුභව කරති. වැළඳුණ රෝගය කුමක් දැයි නොදැනම මිය යාමේ ඉරණම රටේ පුරවැසියාට බාර ගැනීමට සිදු වී තිබේ.

ආහාර නිෂ්පාදනයේදී එකම පොල් තෙල් කිහිප වරක් භාවිත කිරීම වැළැක්වීමේ අරමුණෙන් කළුතර දිස්ත්‍රික්කයේ ආපන ශාලා වැටලීමේ මෙහෙයුම කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමක් ලෙස අර්ථ දැක්විය යුත්තේ ඉහත පරිසරය තුළය. ආහාර නිෂ්පාදනයේදී එකම පොල් තෙල් කිහිප වතාවක් භාවිත කිරීමෙන් එහි දිගු මේද ද්‍රව ඇති විය හැකි බවත් එය පිළිකා, හෘද රෝග, බෝ නොවන රෝග ඇති වීමට ඇති හැකියාව වැඩි බවත් කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව මෙරට ජනයා කොතරම් අනාරක්ෂිත පරිසරයක දිවි ගෙවන්නේ ද යන්න වටහාගත හැකිය.

වෙළෙන්දාගේ අරමුණ ලාභ ලැබීම වේ. ලාභ නොලබන්නේ නම් ඕනෑම ව්‍යාපාරයක් පවත්වාගෙන යා නොහැකිය. එහෙත් ලාභ ඉපයිය යුත්තේ දැහැමින් සෙමින්ය. සාධාරණවය. එසේ නොමැතිව මහ ජනයා සෙමින් සෙමින් වළපල්ලට දක්කමින් එමගින් තම මඩිය තර කර ගන්නේ නම් ඒවා නීතියෙන් වැළැක්විය යුතුය.

ආහාර නිෂ්පාදනයේදී එකම පොල් තෙල් කිහිප වරක් පාවිච්චි කිරීමේ හැකියාව තිබේ. ඒ බවත් සාමාන්‍ය ජනයාට පහසුවෙන් හඳුනා ගැනීමට ද නොහැකිවීම සාමාන්‍ය තත්ත්වයකි. තමන් මේ කන්නේ, බොන්නේ පිළිකා රෝගය තමන් තුළ ඇති කිරීමට සමත් භයානක විසක් බව බොහෝ දෙනා නොදනිති. එමෙන්ම මෙම ආහාර ගැනීමෙන් තමන් හෘද රෝගියකු බවට පත් වන බව බොහෝ දෙනෙක් නොදනිති.  බෝ නොවන රෝගවල පහසු ගොදුරක් බවට පත් වන බව නොදැන සාමාන්‍ය ජනයා ආහාර අනුභව කරති. මෙය ශාපලත් ඉරණමකි. එහෙත් තම මඩිය තර කර ගැනීමේ නොතිත් ආශාවෙන් මඩනා ලද සිත් ඇති චෞර වෙළෙන්දන් නිසා එම ශාපලත් ඉරණම නොදැනුවත්වම තමන්ගේ ඉරණම ලෙස බාර ගැනීමට රටේ ජනතාවට සිදු වී තිබේ.

රටක් සංවර්ධනය කිරීමේදී අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ එම රට තුළ නිරෝගී මිනිස් පරපුරක් සිටීමය. ජනයා විවිධ ලෙඩ රෝගවලින් පෙළෙන්නේ නම්, එම රෝගවලින් නැගෙන වේදනාවන්ගෙන් යුතුව දිවි ගෙවන්නේ නම් එය සංවර්ධනයට බාධාවකි. මන්දයත් සංවර්ධන ව්‍යාපෘති වල යෙදවිය යුතු ධනය ලෙඩ රෝග සුවපත් කිරීම සඳහා යෙදවීමට සිදු වන හෙයිනි. අවධානය ඒ දෙසට යොම කිරීමට සිදු වන හෙයිනි. නිරෝගි බව පරම ලාභයක් බවට අර්ථ දැක්වෙන්නේ ඒ අනුවය. රෝගී නොවී සිටින්නේ නම් රෝග සුවපත් කිරීමට මුදල් යෙදවිය යුතු නැත.

ජගත් පරිමාණයෙන් ගත් කල්හිද ලෝකය පාලනය කරනු ලබන්නේ බහුජාතික සමාගම් දෙකක් මගිනි. එක් බහුජාතික සමාගමක් වන්නේ ආහාර නිෂ්පාදන සමාගම්ය. අනෙක් බහුජාතික සමාගම් වන්නේ ඖෂධ නිෂ්පාදන සමාගම්ය. මෙම සමාගම් එකිනෙකා මත පදනම් වෙමින් තම පැවැත්ම සරිකර ගනිති. ගමේ පුංචි හෝටලය දක්වා පැතිර ඇත්තේ මෙම විෂම චක්‍රය ම වේ.

එළැඹෙමින් තිබෙන්නේ උත්සව සමය වේ. කොරෝනා අනතුර තුළ ද සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත්වලට යටත්ව බොහෝ දෙනෙකු නගර වෙත පැමිණිය හැකියි.

එය බලාපොරොත්තු විය යුතු තත්ත්වයකි. මජර වෙළෙන්දා ඉලක්ක කරනු ලබන්නේ එම ජනතාවය. ඒ අනුව ආහාර නිෂ්පාදනයේදී එක් වරක් නොව සිය දහස් වාරයක් වුවත් තම එකම තෙල් තාච්චිය පාවිච්චි කිරීමට ඉඩ තිබේ. කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසන්නේ එබඳු ස්ථාන සොයා වැටලීම් සිදු කරන බවය. අපගේ ඉල්ලීම වන්නේ ජනතාවගේ නාමයෙන් මුළු රටේම මෙම වැටලීම් සිදුකරන ලෙසය.


(***)