IMG-LOGO

ආණ්ඩුව විපක්ෂය කොතැනද?

මහින්ද රාජපක්ෂ පාලනයේ අවසානය වනවිට, එනම් 2014 වනවිට එම ආණ්ඩුව දැඩි ලෙස මහජන අප්‍රසාදයට ලක් වී තිබිණි. ඒ එම ආණ්ඩුවේ ප්‍රබලයන් දැඩි ලෙස මහා පරිමාණ දූෂණ චෝදනාවලට ලක්වීම හේතුවෙනි.

ඒ අනුව වසර පහමාරකට පෙර ලැබූ යුද ජයග්‍රහණය විකිණීමෙන් 2015 ජනවාරි මස පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීම වළක්වා ගත නොහැකි විය.

එම ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලැබුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සෞඛ්‍ය  ඇමැතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාය. එහෙත් එම ජනාධිපතිවරණයේදී ඔහුගේ ඡන්ද පදනම වූයේ රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දැරූ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන්ද සිටි එම ආණ්ඩුව හැඳින්වුණේ යහපාලන ආණ්ඩුව යනුවෙනි.  එහෙත් බලයට පත්වී මාසයකින්ම එය යහපාලනය ආණ්ඩුවක් නොවන බව පෙන්වීමට එජාප නායකයන්ට හැකි විය. ඒ මෙරට ඉතිහාසයේ විශාලතම වංචාවක් ලෙස සැලකෙන මහ බැංකු බැඳුම්කර වංචාවට මග පාදාදීම මගිනි. එජාප නායකයෝ එතැනින් නතර නොවී දිගින් දිගටම එම වංචාවේ චූදිතයන් ආරක්ෂා කළහ.

එකල සමගි ජන බලවේගය නමින් පක්ෂයක් නොවීය. එහි නායකයන්ද සිටියේ එජාපයේය. මෙම ‘‘යහපාලන’’ ආණ්ඩුව 2018 පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන තෙක්ම එක තැන පල් විය. එම පළාත් පාලන මැතිවරණවලදී විරුද්ධ පක්ෂවල එක් චෝදනාවක් වූයේ ආණ්ඩුව ගතවූ වසර තුන තුළ එක් පුද්ගලයකුට හෝ රැකියාවක් දී නැතැයි යන්නයි. එම වසර තුන තුළ පැහැදිලිව දක්නට ලැබුණු එකම දෙය වූයේ ආණ්ඩුවේ ප්‍රධාන නායකයන් දෙදෙනා කාකොටා ගැනීමය.

ඒ අනුව  2018 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල පුදුමයට කරුණක් නොවීය. මැතිවරණ පැවැති පළාත් පාලන ආයතන 340න් 231ක්ම දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි විය. ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වූ එජාප දිනා ගත්තේ පළාත් පාලන සභා 41ක් පමණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු අලුත් පක්ෂයක් නොව එවක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ කැඩී ගොස් පිහිටුවා ගත් පක්ෂයයි.

එම මැතිවරණයෙන් පසු එජාපය තුළ නායකත්වය වෙනුවෙන් පැවැති බල පොරය උත්සන්න විය. 2019 ජනාධිපතිවරණයෙන් පොදුජන  පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්විය. ඔහුගේ ආණ්ඩුවද මුල පටන්ම අසාර්ථක එකක් විය.  බලයට පත්වී මාසයකින්ම ඔහු රජයේ ආදායමින් තුනෙන් එකකට සමාන වූ බදු ආදායමක් අත්හැර දැමීමට තීරණය කළේ මහා පරිමාණ බදු කප්පාදුවක් මගිනි.

ඔහු එතැනින් නතර වූයේ නැත. කිසිදු සැලැසුමකින් තොරව රසායනික පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය නතර කළේය. වේගයෙන් කඩා වැටෙමින් තිබූ රුපියලේ ඩොලරයට සාපේක්ෂ අගය රුපියල් 203 මට්ටමේ තබා ගැනීමට උපදෙස් දුන්නේය. එමගින් වසරකට තෙල් ආනයනය කරන්නට අවශ්‍ය තරම් විශාල විදේශ විනිමය ප්‍රමාණය මහ බැංකුවට අහිමි කර වීය. අවසානයේ දී විදේශ සංචිත ඩොලර් මිලියන 50ක් දක්වා පහත වැටිණි. ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ඉල්ලුවේ ඉන්පසුවය. එහෙත් රට බකොලොත් විය. ඉතිහාසයේ පෙර නොවූ  විරූ මහජන නැගිටීමක් මැද ඔහු රටින් පැන ගියේය.

ඉන්පසු බලයට පත්වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය හා ආර්ථික ප්‍රතිසංස්කරණ උපදෙස් (කොන්දේසි) ලැබුණේ වික්‍රමසිංහ මහතාගේ කාලයේදීය. මූල්‍ය අරමුදලේ මැදිහත්වීම මත ලෝක බැංකුවෙන් හා ආසියානු  සංවර්ධන  බැංකුවෙන්ද ණය ලැබිණි. රට වත්මන් තත්වයට පත් වූයේ එසේය. එහෙත් වික්‍රමසිංහ මහතා එය තම පරිපාලන දක්ෂතාවක් ලෙස පෙන්වමින් සිටියේය.

කවුරුත් දන්නා එහෙත් බොහෝ  දෙනකුට අමතක වී ඇතැයි පෙනෙන මෙම අතීත කතාව අප මෙහි සඳහන් කළේ කිසිදු පක්ෂයක් නොකළ අන්දමට ජනතාව තුළ විශාල අපේක්ෂා ගොන්නක් ඇති කරමින් බලයට පත්වූ ජාතික ජනබලවේගයේ නායකයන්ටද එම අතීත කතාව අමතක වී  ඇතැයි සැක සිතෙන හෙයිනි.

විරුද්ධ පක්ෂ පවසන ආකාරයට වත්මන් ආණ්ඩුව යටතේ විදේශ ආයෝජකයන් රට හැර යන්නට හෝ පටන් ගෙන නැත. ආර්ථිකය කඩා වැටෙන්නට පටන් ගෙන හෝ නැති බවද සැබෑය. එහෙත් බලයට පත්වී ගතවූ මාස හයට සාපේක්ෂව  ආණ්ඩුව කළ දෙයක් නැති තරම්ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ පිළිවෙළ වත්මන් ආණ්ඩුව යටතේ ඉදිරියට යයි. විදේශ විනිමය අර්බුදය නිසා  2021/2022 කාලයේදී කඩා වැටුණු සංචාරක ව්‍යාපාරය හා අපනයන කර්මාන්ත විදේශ සංචිත ශක්තිමත් වීමත් සමග වර්ධනය වෙයි. ආණ්ඩුව මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් වූ සිය පැරණි න්‍යායික මතවාද පසෙකලා එම වර්ධනය ආරක්ෂා කර ගනිමින් සිටී. එසේම දේශපාලන තලයේ දූෂණය නතර කොට ඇත. එය ස්ථාවර තත්වයක්ද යන්න කාලය විසින් පෙන්වා දෙනු ඇත.

ඒ හැර අමාත්‍යාංශ යටතේ හෝ දෙපාර්තමේන්තු යටතේ හෝ අලුතින් යමක් කෙරෙන බවක් නොපෙනේ. මෙය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීමට ශපථ කර බලයට පත්වූ ආණ්ඩුවකින් අපේක්ෂා කළ යුතු දෙයක් නොවේ. ආණ්ඩුව වෙනස් වුවද රාජ්‍ය යාන්ත්‍රණය වෙනස් නොවූ බව ඇමැතිවරු පවසති. එය සැබෑය. එහෙත් එය වෙනස් කරන්නට ආණ්ඩුව පියවර ගන්නා බවක්ද පෙනෙන්නට නැත. රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන නිලධාරීන් මැයි මාසය අවසාන වන්නට පෙර වෙනස් නොවුවහොත් තමන් ඔවුන් වෙනස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය මස 2025-2029 ජාතික දූෂණ විරෝධී  වැඩ සටහන ආරම්භ කරමින් පැවසීය. එයද කාලය විසින් තහවුරු කළ යුතු තත්වයකි.

මේ තත්වය ආණ්ඩුවේ අසාර්ථකත්වයක් බව තීන්දු කිරීමට කල් වැඩිය. එහෙත් ආණ්ඩුවේ ‘‘අනා ගැනීම්’’ ආණ්ඩුව අසාර්ථක යැයි කියන්නට විරුදධ පක්ෂවලට උපකාරී වෙමින් තිබේ.

උදාහරණයක් වශයෙන් වාර්ෂිකව පැවැත්වෙන ජාතික රණවිරු සැමරුම ගත හැකිය. එම සැමරුම ආරක්ෂක නියෝජ්‍ය ඇමැති විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇතැයි ආණ්ඩුව මුලදී නිවේදනය කළේය. එය විරුද්ධ පක්ෂවල හා සමාජ මාධ්‍යයේ දැඩි  ලෙස විවේචනයට ලක්වූ පසු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම සැමරුම පැවැත්වෙනු ඇතැයි ආණ්ඩුව නිවේදනය කළේය.

පසුව මේ පිළිබඳව විදේශ ඇමැති  විජිත හේරත් මහතා පැවසුවේ මුල් නිවේදනය සන්නිවේදනයේදී ඇති වූ වරදක් බවය. එසේ නම් එය ක්ෂණිකව නිවැරදි කළ යුතුව තිබිණි. එසේ වූයේ නැත.

චිත්‍රපට නිළි මාලිනී ෆොන්සේකා මැයි 24 වැනිදා මියගිය විට ආණ්ඩුව මුලින් නිවේදනය කළේ ඇගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වෙනු ඇති බවය. පසුව එය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙන බව කියවිණි. එය පැවැත්වුණේද රාජ්‍ය අනුග්‍රහය සහිතවය. මේ ගැන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ජනමාධ්‍යවේදීන් විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ එම කටයුතු සිදුවූයේ  මාලිනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ සාමාජිකයන්ගේ කැමැත්ත පරිදි බවයි.

මෙහිදී ජනාමධ්‍යවේදීන් ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළ ආකාරය ඔවුන් නියෝජනය කරන ආයතනවල දේශපාලනය ආදිය පිළිබඳව ද විවේචන එල්ල වුවද මෙහිදී අවුලක් වූයේ ආණ්ඩුව මුල් නිවේදනය පසුව වෙනස් කිරීම නිසාය. මන්ද යත් මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතුවලට දිය යුත්තේ රාජ්‍ය ගෞරවයද අනුග්‍රහයද යන්න හැඟීම් මතින් පමණක් තීරණය කළ හැකි දෙයක් නොවන හෙයිනි. එම තීරණය ගාමිණී ෆොන්සේකා වැනි විශිෂ්ටයන් හට කළ ගෞරවය හා දැනට වියපත් කලා, ක්‍රීඩා වැනි ක්ෂේත්‍රවල විශිෂ්ටයන් හට කරන ගෞරවය සමගද සන්සන්දනය කෙරෙනු ඇත.

විරුද්ධ පක්ෂ ජය ගන්නා පළාත් පාලන ආයතනවලට රජයේ ප්‍රතිපාදන දීමේදී සොයා බලා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් පාලන මැතිවරණ වේදිකාවලදී පැවසීය. විරුද්ධ පක්ෂ ජය ගන්නා පළාත් පාලන ආයතනවලට රජයේ ප්‍රතිපාදන නොදෙන බව ජනාධිපතිවරයා කීවේ යැයි විරුද්ධ පක්ෂ මෙය විකෘති කළේය. තවමත් එය සිදුවේ. එය විකෘති කිරීමක් වුවත් ජනාධිපතිවරයා එවැන්නක් ප්‍රකාශ නොකළ යුතුව තිබිණි. මන්දයත් එය ප්‍රායෝගික නොවන්නා සේම වෙනස්කම් කිරීමක්ද ඉන් හැඟවෙන හෙයිනි.

තවත් අවස්ථාවකදී පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයට වසර හයක් පිරෙන අප්‍රේල් 21 වැනිදාට පෙර හෙළිදරව් කිරීම් කිහිපයක් කළ හැකි වනු ඇතැයි ජනාධිපතිවරයා පසුගිය මාසයේ ප්‍රකාශ කළේය. එවිට අප්‍රේල් 21 වැනිදාට පෙර පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු හෙළිදරව් කරන බව ජනාධිපතිවරයා පැවසූ බවට විරුද්ධ පක්ෂ එම ප්‍රකාශ විකෘති කළේය. ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ කුමක්දැයි කැබිනට් ප්‍රකාශකවරයාවත් නොදන්නා බවක් ඔහු ජනමාධ්‍යවේදීන් ඒ ගැන කළ විමසීම්වලදී දුන් පිළිතුරුවලින් පෙනිණි. කෙසේ වෙතත් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාව රහස් පොලිසියට ඉදිරිපත් කිරීම පමණක් 21 වැනිදාට පෙර සිදුවිය.

අප්‍රේල් 9 වැනිදා කොටි සංවිධානයේ හිටපු නායකයකු වූ ද මහින්ද රාජපක්ෂ පාලනය යටතේ නැගෙනහිර පළාතේ ප්‍රධාන ඇමැතිවූද සිව නේසතුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අත්අඩංගුවට පත්විය. ඒ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය   එස්. රවීන්ද්‍රනාත් පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාව මතය.

එහෙත් අප්‍රේල් 10 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ගණනාවක් පිල්ලයාන් වෙතින් ලබා ගත හැකි වූ බව පැවසීය. එසේම පිල්ලයාන් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතාට හා උදය ගම්මන්පිල මහතාට ඔහුට කතා කිරීමේ හදිසියක්ද ඇතිවිය. එය වෙනම කරුණකි. එහෙත් පැහැර ගැනීමකට අත්අඩංගුවට පත් වූවකු පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ තොරතුරු දීමට යොමු වූයේ මන්ද යන්න අපැහැදිලි කරුණකි.

මහා පරිමාණ දූෂණවලින් පිරුණු හා රට බංකොලොත් භාවයට ඇද දැමූ කලින් පැවැති ආණ්ඩු සමග සන්සන්දනය කිරීමේදී තවමත් වත්මන් ආණ්ඩුව ඉදිරියෙන් සිටී. තවමත් ආර්ථිකය යළිත් කඩා වැටීමේ ලකුණු පෙනෙන්නට නැත. එහෙත් ආණ්ඩුව විපක්ෂයට ආයුධ දෙන්නේ  වහසි බස්වලින් ‘‘අනා ගැනීමෙන්’’ හා කට වරද්දා ගැනීමෙනි. විපක්ෂයද ඒවා මගින්  බොහෝ දුරට සාර්ථක මහජන මතයක් ගොඩනගා ගෙන තිබේ. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනෙන්නේ එයයි.

(***)



අදහස් (2)

ආණ්ඩුව විපක්ෂය කොතැනද?

sene Saturday, 31 May 2025 04:06 PM

230000ක ඡන්ද අඩු වී ඇත්තේ ආන්ඩුවේ ඇති ජනප්‍රියත්වය නිසාද? මේක ලියන්නේ ලන්කාවේ ජීවත්වන කෙනෙක් වෙන්න බැහැ...

:       1       2

gamunu Saturday, 31 May 2025 05:26 PM

ආණ්ඩුව සහ විපක්ෂය පවතින ගැටලුවලට විසඳුම් ලබාදෙනවා වෙනුවට විසඳුම් සොයමින් සිටි. මාලිමා ආණ්ඩුවේ (JVP අධ්‍යක්ෂ මන්ඩලය) සහ විපක්ෂයේ බහුතරයක් දශකයකට වැඩි කාලයක් සක්‍රීය දේශපාලනයේ සහ පාර්ලිමේන්තු දේශපාලනයේ තනතුරු දරා ඇති පිරිසකි. සොරුන් ඇල්ලීම සහ දඩුවම් ලබාදීම පොලිසිය සහ අධිකරණයේ කටයුත්තකි. එමනිසා පසුගිය රජය මගින් පාර්ලිමේන්තුවේ සම්මත වූ Singapore සහ බ්‍රිතාන්‍යයේ මෙන් ලංකාවේද දුෂණයට එරෙහිව නව නීති සම්මත වී තිබේ. එම නීති ක්‍රියාත්මක කර දූෂිතයින්ට එරෙහිව දඬුවම් ලබාදීමට සූදානම්ව තිබියදී මැතිවරණයෙන් මාලිමාව බලයට පත්විය. දූෂිතයින්ට දඬුවම් ලබාදීම මාලිමාවේ ක්‍රියාන්විතයක් බවට පත්කර ගනීමට මාලිමා දේශපාලකයින් උත්සාහ කරමින් සිටි. රටේ ආර්ථිකය සහ මහජනතාව මුහුණ දෙන ගැටළු සඳහා විසඳුම් ලබාදීම පිළිබඳ මාලිමා ජනපති සහ ආණ්ඩුව ප්‍රමුකත්වය ලබාදිය යුතුවේ...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 650 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 359 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 497 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site