සැප්තැම්බර් 17 වැනි දා ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය සිය 120 වැනි ජන්ම දිනය සමරන්නීය. එවන් ඓතිහාසික මොහොතක එහි ආරම්භය සහ විකාශය පිරික්සීම, වත්මන් වෘත්තීය සමිතිවල කාර්ය භාරය හඳුනාගැනීම මෙන්ම අනාගතය පිළිබඳව කෙටි සමාලෝචනයක් ඉදිරිපත් කිරීමත් මෙම ලිපියෙහි අරමුණ වේ. ව්‍යාපාරික ලෝකයේ දී අපට මුණ ගැසෙන වැදගත්ම පුද්ගලයා පාරිභෝගිකයා (Cosumer)  ය. ඔහුට පසුව හමු වන වැදගත්ම ප‍්‍රජා කාණ්ඩ 02 සේව්‍ය-සේවක දෙපාර්ශ්වයයි.

සේවා යෝජක

සේව්‍යයා හෙවත් ස්වාමියා යනු ව්‍යාපාරයක හෝ ආයතනයක හිමිකරුය. සේව්‍යxසේවක සබඳතාවයේ දී ඔහු ප‍්‍රබලය. ප‍්‍රාග්ධනය සපයන අතර, සිය අණසක යටතේ ව්‍යාපාරය මෙහෙයවයි. ඔහුගේ ඉලක්කය වනුයේ තම ව්‍යාපාරයේ හෙට දවස අදට වඩා යහපත් වනු දැකීමය. ඒ සාක්ෂාත් කර ගනු පිණිස ඉහළ පිරිවැටුපක්, අවම පිරිවැයකරණයක් සහ අධික ලාභයක් ලැබීමේ අරමුණින් ඔහු කටයුතු කරයි.  

සේවක

සේව්‍යයාගේ අණසකට යටත් වූවෙකි. සේව්‍ය-සේවක සබඳතාවයේ දී ඔහු දුබලය. ස්වාමියාගේ පාලනය යටතේ පවරන ලද සේවයක් ඉටු කරන අයෙකි. සේවකයාගේ ඉලක්කය වනුයේ ගෞරවාන්විත ජීවන මට්ටමක් සහිත හෙට දවසක් උදා කර ගැනීමය. ආයතනයේ උන්නතිය උදෙසා ඔහු අද හෙළන ඩාබිඳු වෙනුවෙන් ඊට සරිලන මිලක් අපේක්‍ෂා කරයි. එනම් ජීවත් වීමට ප‍්‍රමාණවත් වේතනයක් මෙන්ම අනෙකුත් දීමනා (අතිකාල, පාරිතෝෂික දීමනා වැනි) කෙරෙහි ඔහු බලාපොරොත්තු තබා සිටී. මෙම දෙපාර්ශ්වයේ ඉලක්ක, අරමුණු දෙස බලන විට පෙනී යනුයේ, කෙළෙසකවත් මුණ නොගැසෙන එක ගඟක ඉවුරු දෙකක් වන් මෙඟක ඔවුන් මෙහෙය වන බවය. එසේ පවසනුයේ මෙම දෙපාර්ශ්වයේ දෙආකාර අරමුණු එකට ගැලපීම අසීරු කරුණක් නිසා වන බැවිනි. එක් පර්ශ්වයක හෝ අපේක්‍ෂා බිඳ වැටීම මතභේදයකට/ගැටුමක වස්තු බීජය වීම නොවැළැක්විය හැකි දෙයකි. එයම සේව්‍ය-සේවක දෙපාර්ශ්වය තුළ තිබිය යුතු අනෝන්‍ය සුහදතාව දුරස්ථ කරමින් ආයතනය තුළ පැවති යුතු කාර්මික සාමය දුරු වී අප‍්‍රසන්න පරිසරයක් නිර්මාණය කරනු ඇත. එවන් අප‍්‍රසන්න වටපිටාවන් නිර්මාණය වීම වළකා, ආයතනයක පැවතිය යුතු කාර්මික සාමය ඇති කරන සේව්‍ය-සේවක දෙපාර්ශ්වය යා කෙරෙන මහා පාළම වනුයේ වෘත්තීය සමිතිය. වැඩ බිමක සේව්‍ය-සේවක දෙපක්ෂය අතර පවත්නා අන්තර් සබඳතාවය ධනාත්මක මෙන්ම, කාර්මික සාමය ස්ථාපිත වනු ඇත. කාර්මික සාමය පැවැත්ම ආයතනයක ප‍්‍රගමණයට මහත් පිටුබලයක් වේ. එයම රටක ආර්ථික සමෘද්ධිය සඳහා හේතු වන්නේය. ජාතික මෙන්ම ජාත්‍යන්තරව සැළකීමේදි, දේශපාලනයෙන් විනිර්මුක්ත ශුද්ධ වූ වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලොව දක්නට නොමැති තරම්ය. එවන් වාතාරවණයක මෙරට වෘත්තීය සමිති ව්‍යාපරය පෙරට යනුයේ බි‍්‍රතාන්‍යයේ මෙන් නොවන දේශපාලනය හා බැඳුණු සුපිරි බලය ද පෙරටු කර ගනිමිනි. ඉංග‍්‍රීසි තබා තම මව් භාෂාව වත් හරිහැටි නොදත් මෙරට කම්කරු ජනතාව මහා පරිමාණිකව වෘත්තීය සමිති ප‍්‍රවාහය තුළට ගොනු කිරීමට බටහිරින් උසස් අධ්‍යාපනයක් ලද වාමාංශික චින්තනයට බර වූ ස්වදේශික බුද්ධිමතුන් කිහිප පළක් ලබා දුන් ප‍්‍රශංසනීය දායකත්වය මෙහි දී අගය කළ යුතුය. 20 වැනි සියවස මැද භාගය වන විට මෙම කම්කරු ව්‍යාපරය හරහා නැෙඟන උණුසුම කෙතරම් ද යත් ඒ කෙරෙහි තම අවධානය යොමුකිරීමට යටත් විජිත පාලකයනට සිදු විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1935 අංක 14 දරණ වෘත්තීය සමිති ආඥා පණත පනවනු ලැබීය. වෘත්තීය සමිති ලියාපදිංචිය සහ පාලනය කිරීම අරභයා මෙම ආඥා පණත සම්පාදනය කෙරිණි. එය නීතිගත වීමත් සමග වෘත්තීය සමිති රජයේ ලියාපදිංචි කරන ලද සංස්ථා යටතට පත්වේ. මෙරට වෘත්තීය සමිති ව්‍යාපාර විකාශයේ දෙවැනි හැරවුම් ලක්ෂය ලෙස මෙම ආඥා පණත සම්පාදනය වීම පෙන්වා දිය හැකිය. එදා මෙදාතුර කාලීන අවශ්‍යතා මත මෙම පණත 1946, 1948, 1958 සහ 1970 යන වසර වලදි සිව් වතාවක් සංශෝධනය කරමින් යාවත්කාලීන කර තිබේ. ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථවේ III වැනි පරිඡේදයේ එන මූලික මිනිස් අයිතිවාසිකම් යටතේ 14 (1) ඈ වගන්තිය ප‍්‍රකාර මෙරට සෑම පුරවැසියකුටම වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිති වලට බැඳීමේ අයිතිය ඇත. මෙම නෛතික ප‍්‍රතිපාදනය මගින් අන් කිසිදු රටක දක්නට නොලැබෙන අයුරින් රාජ්‍ය පාලනය විසින් වෘත්තීය සමිති ව්‍යාපාරයට සුපිරි බලයක් මෙන්ම ගරුත්වයක් ලබා දී ඇති බව පෙනේ. එබැවින් මෙරට වෘත්තිය සමිති ව්‍යාපාර විකාශයේ තෙවැනි හැරවුම් ලක්‍ෂය ලෙස 1978 සිට අද දක්වාම බලාත්මකව පවතින මෙම නෛතික ප‍්‍රතිපාදනය පෙන්වා දීමට පුළුවන.

වර්තමානය

වත්මන් ශ්‍රී ලංකාවේ ඵලදායි ශ‍්‍රම බළකාය මිලියන 8.24කි. ඉන් මිලියන 7.89 (95.8%)ක් වූ පිරිසක් කිසියම් වෘත්තියක නියැළෙමින් (රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, ස්වයං රැකියාවන්, වැටුප් නොලබන පවුලේ රැුකියාවන් සහ සේවා යෝජකයන් ලෙස* දේශීය ආර්ථිකය තිරිහන් කරනු සඳහා ශ‍්‍රම දායකත්වය ලබාදෙමින් ජාතික මෙහෙවරක නිරතව සිටී. නීතිය මගින් ඉඩ හසර ලබා දුන් තරමින් වෘත්තීය සමිති ස්ථාපනය කරගැනීමේ අවශ්‍යතාවක් මෙකී සියලූම වෘත්තීන්හි නියැළි පිරිස් හට නොමැති බව විද්‍යමාන වීම වැදගත් කරුණකි. උදාහරණයකින් එය මෙලෙස පැහැදිලි කරමු. ඉහත දක්වන ලද ශ්‍රී ලංකාවේ සමස්ත ශ‍්‍රම දායකත්වයෙන් 42%ක් නියෝජනය වනුයේ ස්වයං රැුකියාවන් (31%), වැටුප් නොලබන පවුලේ රැකියාවන් (11%)හි නිරත වූ පිරිසකිනි. එවැනි ශ‍්‍රම සම්පාදකයනට වෘත්තීය සමිති ස්ථාපනය කර ගැනීමේ අවශ්‍යතාවක් නොවනු විය හැකිය. දැනට අප රටේ ක‍්‍රියාත්මක වන වෘත්තිය සමිති සංඛ්‍යාවක 2,019කි. එසේ වූව ද ඒවයේ සමස්ත සේවක නියෝජනය කෙතරම් ද යන්න පැවසීම අසීරු වී ඇත. හේතුව සෑම වෘත්තිය සමිතියක්ම තම වාර්ෂික වාර්තා නිසි පරිදි කම්කරු දෙපාර්තමේන්තුව වෙත යොමු නොකරන නිසාවෙන් සත්‍ය තත්ත්වය නිරූපණය නොවන බැවිනි.

වත්මන් වෘත්තීය සමිති වල කාර්ය භාරය

වෘත්තීය සමිති වල කාර්යය භාරය පුළුල් පරාසයක විහිදේ. සාමාජිකයින්, හාම්පුතුන්, ආයතනයේ ගනුදෙනුකරුවන්, පොදු ජනතාව මෙන්ම රාජ්‍ය පාලන යාන්ත‍්‍රණය ආවරණය වන කාර්යය භාරයක් සපුරාලීමේ වගකීමක් වෘත්තීය සමිති වලට පැවරී ඇත. අතිමහත් වූ එම කාර්යය භාරයන් පහත සඳහන් පරිදි පිඬු කොට දක්වමු. 01. සේව්‍ය-සේවක දෙපක්ෂය අතර අනිවාර්යෙන් පැවතිය යුතු අන්තර් සබඳතාවය ගොඩනැගීම. 02. දෙපාර්ශ්වය අතර පැවතිය යුතු සුහදත්වය මතින් ස්ථාපනය වන කාර්මික සාමය වඩාත් සවිමත් කරනු සඳහා සේවක පිරිස වෙනුවෙන් හාම්පුතුන් සමග සාමූහික ගිවිසුම් වලට එළඹීම. 03. කම්කරු නීති ගොඩ නැගී ඇත්තේ හාම්පුතුන් සහ සේවක සබඳතා පදනම මතය. එබැවින් නීතිය මගින් පිළිගෙන ඇති අයිතිවාසිකම්, යුතුකම් හා වගකිම් මැනවින් අවබෝධ කර ගැනීම.04. සාමාජික සේවක දුක් ගැනවිලි හමුවේ අතරමැදියා ලෙස කටයුතු කිරීම. 05. අයතනික විනය රකිනු සඳහා තම සාමාජිකයින් නිරන්තරව දැනුවත් කිරීම. 06. පාරිභෝගිකයාට පොදු මහජනතාවට පීඩනයක් ගෙන නොදෙන සංවිධානයක් ලෙස හැසිරීම. 07. සිය වෘත්තීය සමිතිය මෙන්ම සාමාජිකත්වය ද මනා ශික්ෂණයකින් හෙබි පද්ධතියක් බව ලෝකය හමුවේ ප‍්‍රදර්ශනය කිරීම යනාදිය වෘත්තීය සමිතියකින් ඉටු විය යුතු කාර්යය භාරයන්ය. නමුත් නූතන බොහෝ වෘත්තීය සමිති වල ප‍්‍රායෝගික හැසිරීම, සංවිධානයක හෝ ආයතනයක කාර්මික සාමය පවත්වනු වෙනුවට එහි බිඳ වැටීම් බහුල වීමට හේතු කාරක වන බව පෙනේ. වගකීම් ඉටු කරනු වෙනුවට අයිතිවාසිකම් දිනාගැනීම සඳහාම පෙළඹීම, අදෘශ්‍යමාන හස්තයන් ක‍්‍රියාත්මක වීම, නායකයාගේ පෞද්ගලිකත්වය උදෙසා සේවකයන් ගොදුරක් බවට පත් කර ගැනීම, උසි ගැන්වීම්, කල්ලි වාදයන් වැනි හේතු ඊට දිය හැකි කදිම නිදසුන්ය. පසුගිය 50 වසරක කාලපරිච්ෙඡ්දය (1961-2011) තුළ ශ්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වූ වැඩ වර්ජනයන් සැළකිල්ලට ගතහොත් මෙය වඩාත් හොඳින් තහවුරු කෙරෙනු ඇත. එකී කාලච්ෙඡ්දය තුළ දී, වැඩ වර්ජනයක් වාර්තා නොවූ කිසිම වසරක් නොවීම කැපී පෙනේ. වැඩි වැඩ වර්ජන සංඛ්‍යාවක් 1970 වසරේදී වාර්තා විය. 2006 වසර වැඩිම සේවක සංඛ්‍යාවක් වැඩ වර්ජන වලට සහභාගි වූ වසර ලෙස පමණක් නොව (ජාතික ආර්ථික දේහය ඔත්පල කරනු සඳහා ඍජුවම බලපාන* වැඩ වර්ජන හේතුවෙන් අහිමි වූ මිනිස් දින ගණන වැඩියෙන්ම වාර්තා වූ වසර ලෙසින් ද ඉතිහාසයට එක්ව තිබේ. (බලන්න වගු අංක 01) වගුව අංක 01 ශ්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වූ වැඩ වර්ජනයන්හි අන්තගාමී ලක්‍ෂණ (1961x2011)* *සංලක්‍ෂ්‍යය රාජ්‍ය අංශය තුළ ක‍්‍රියාත්මක වූ වැඩ වර්ජනයන් ඇතුළත් නොවේ. මෙම වකවානුවේදී රාජ්‍ය අංශය තුළ ක‍්‍රියාත්මක වූ වැඩ වර්ජනයන් ද ඇතුළත්ව සැලකුව හොත් ශ්‍රී ලංකාවේ නිරතුරුවම පැනනැෙඟන වැඩ වර්ජන රැල්ලේ තරම සහ ඉන් නිර්මාණය වන ආර්ථිකමය, සමාජයමය, දේශපාලනමය සහ සංස්කෘතිමය ව්‍යසනයන්හි බියකරු බව මෙනෙහි කිරීම ද අසීරුය. වැඩ වර්ජන යන්න වෘත්තීය අයිතිවාසිකමක් බව ලොව සැවොම පාහේ දනිති, පිළිගනිති. සේව්‍ය-සේවක දෙපාර්ශ්වය අතර මතුවන ගැටලූවක සමථකරණය උදෙසා වෘත්තීය සමිති වලට භාවිතයට ගත හැකි මෙවලම් රැසකි. ඒ සඳහා භාවිත මුල් ක‍්‍රමවේද වලින් සතුටුදායක විසඳුම් නොලැබෙන විටක පමණක් වැඩ වර්ජන අවසාන තුරුම්පුව ලෙසින් යොදා ගැනේ. ශ්‍රී ලංකාවේ දී සේවක ගැටලූ විසඳනු සඳහා එවැනි අනුපිළිවෙළින් පසු කළ යුතු වූ ක‍්‍රමවේද වෘත්තීය සමිති විසින් පිළිපදින්නේද යන්න ප‍්‍රශ්නාර්ථයකි.  

අනාගතය

ගෝලීය අත්දැකීම් දෙස බලන විට පැහැදිලි වන මූලික කරුණක් වනුයේ වෘත්තීය සමිතිවල අනාගතය එතරම් සුබදායක නොවන බවය. මන්දයත්,
  • ලොව සුපිරි බලවතුන් දරුණූ මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටීම.
  • වෘත්තීය සමිති වල පැවැත්මට තෝතැන්නක් වන රාජ්‍ය ව්‍යවසාය කේන්ද්‍රිත සමාජවාදී කඳවුර (1990 සෝවියට් දේශයේ බිඳ වැටීමත් සමග) තියුණු දෙදරීමකට ගොදුරු වීම.
 
  • ලොව ප‍්‍රධාන නැගී එන ආර්ථිකයනට හිමිකම් කියන මහජන චීනය, ඉන්දියාව වැනි රටවල් ද විවෘත වෙළෙඳ ආර්ථික ප‍්‍රතිපත්තිය මත සිය මෙහෙයුම් ක‍්‍රියාවලිය නව මාවතකට යොමු වීම.
වැනි කරුණු වෘත්තීය සමිති වල පැවැත්ම අකර්මණ්‍ය කිරීමකට හේතු කාරක විය හැකි බැවිනි. එවැනි නිගමනයක් කරනු සඳහා දිය හැකි උදාහරණ 02ක් මෙහි සඳහන් කරමු. 1.  කළමනාකරණ විද්වතුන් දක්වන පරිදි, වෘත්තීය සමිති ව්‍යාපාරයේ තිඹිරි ගෙය වූ එක්සත් රාජධානියේ   (පැරණි මහා බි‍්‍රතාන්‍යයේ) එහි ස්වර්ණමය යුගය පැවතියේ 1970, 1980 දශක වලදීය. එතැන් සිට අද දක්වාම දක්නට ලැබෙනුයේ වෘත්තීය සමිති ව්‍යාපාරය පරිහානිය කරා ගමන් කරන රටාවකි. 2. දෙවැනි ලෝක යද්ධයෙන් පසුව නැඟි සිටි ජපානයේ 1950 දී ක‍්‍රියාත්මක වූ වෘත්තීය සමති  සංඛ්‍යාව 29,144කි. 1980 දී එය 72,693ක් ලෙසින් ඉතා ප‍්‍රබල තත්ත්වයකට පත් වී තිබුණ ද, 2009 දී එරට ක‍්‍රියාත්මකව පැවතියේ වෘත්තීය සමිති 56,347ක් පමණි. ලෝක තත්ත්වය එසේ වූවද, ශ්‍රී ලංකාවේ පවතින සාමකාමී පරිසරය, දශක 3ක් රට පෙළුෑ සිවිල් යුද්ධයේ නිමාව, අඛණ්ඩව සිදු වෙමින් පවතින ඉහළ ආර්ථික පුනරුදය වැනි සාධක වෘත්තීය සමිති වල අනාගත පැවැත්මට හොඳ අඩිතාලමක් වනු ඇත. 1993 මෙරට පැවති වෘත්තීීය සමිති සංඛ්‍යාව 1,052ක් වූව ද, 2009 දී එය දෙදහස ඉක්මවා තිබීම  ඒ බව තහවුරු කෙරෙන නිදසුනකි. එසේ වූවද වැඩ වර්ජන කෙරහි පවත්නා ජනතා ආකල්පය නම් එතරම් සුබවාදී නොවන හෙයින් වෘත්තීය සමිති වල යහපැවැත්ම අකර්මණ්‍ය කිරීමකට එය හේතුකාරක විය හැකි බව ද මෙහි ලා සඳහන් කරමු. ලොව අනෙකුත් රට වලට සාපේක්‍ෂව වෘත්තීය අයිතිවාසිකම් බුක්ති විඳින සමාජයක් අප රට තුළ ස්ථාපිතව ඇති බව අප සැම අමතක නොකළ යුතුය. ඉල්ලීම් දිනාගැනීම සඳහා කෙරෙන අරගලයන්හි දී මස් රාත්තලම ඉල්ලා සිටීමේ ප‍්‍රතිපත්තිය අනුගමනය කිරීම සදාචාරාත්මක නොවේ. එවන් අරගලයන්හි නිරත වීම හේතුවෙන් නැති වී යන මිනිස් දින ගණන ආවරණය කර ගනු සඳහා, ඉල්ලීම් දිනා ගැනීමකින් පසුව වැඩි දායකත්වයක් ලබා දීමට ඔබ සූදානම්දැයි මොහොතකට සිතනු වටී. ඉතා ඉහළ කාර්මික සාමයක් පවත්වා ගනිමින්, සේව්‍ය-සේවක දෙපාර්ශවය අතර යහ සබඳතාවක් ගොඩනැඟීම සඳහා එකී දෙපක්‍ෂය තුළින් නෙපිරිහෙලා ඉටු විය යුතු යුතුකම් හා වගකීම් 10ක් මුල් වරට ලොවට වදාළේ ගෞතම බුදු රජාණන් වහන්සේ විසිනි. (බලන්න සිඟාලෝවාද සූත‍්‍රය) වෘත්තීය ඉල්ලීම් දිනාගැනීම සඳහා ඔබ ගන්නා තීන්දු තීරණ කෙතරම් නිවැරදිදැයි එවිට ඔබට වැටහෙනු ඇත.
බී.ඒ. කුලරත්න - කළමනාකරණ උපදේශක