ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා යුද හමුදාවේ සෙබළ සෙබළියන්ගේ සිට විවිධ තරාතිරම්වල හමුදා නිලධාරින්ගේ සහ නිලධාරිනියන්ගේ පමණක් නොව ජනතාවගේ ද ඉමහත් ගෞරවයට හා ආදරයට පාත්‍රව සිටි සෙන්පතියෙකි.
යාපනය, කයිට්ස් අරාලි තුඩුව ආසන්නයේදී කොටින් අටවා තිබූ අධිබලැති බිම් බෝම්බයකට ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ගමන් ගත් ජීප් රථය අසු වී ඔහු සදහටම දැයෙන් සමුගත්තේ මීට වසර 33කට ඉහතදීය. එනම්, 1992 වසරේ අගෝස්තු මස 8 වැනිදාය.
කොබ්බෑකඩුව මහතා සමග එම ජීප් රථයේම ගමන් ගත් බ්‍රිගේඩියර් විජය විමලරත්න, උතුරු පළාත් නාවික ආඥාපති රියර් අද්මිරාල් මොහාන් ජයමහ, යුද හමුදා කර්නල් එච්.ආර්. ස්ටීවන්, කර්නල් ආරියරත්න, කර්නල් නියෝමාල් පලිපාන, ලුතිනන් කර්නල් නලින්ද අල්විස්, නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් අසංක ලංකාතිලක, නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් විජයපුර යන මහත්වරුන් ඇතුළු හමුදාවේ දස දෙනෙක් බෝම්බයට අසු වීමෙන් දැයෙන් සමුගත්හ.
ජීවිතය බේරා ගත්තේ ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ අධිආරක්ෂකයා ලෙස (බඩියා) කටයුතු කළ යුද හමුදා කෝප්‍රල් උපාලි විජේරත්න මහතා පමණකි.
කෝප්‍රල් උපාලි මහතාගේ ජීවිතය බේරුණත් බිම් බෝම්බයට අසු වීම නිසා ඔහුගේ දෙපා දණහිසට ඉහළින්ම කැඩී වෙන් වී ගොස් තිබිණි.
උතුරු පළාත කොටි ත්‍රස්තවාදින්ගෙන් බේරා ගැනීමේ අවසන් යුද සැලැස්ම සකස් කිරීම සඳහා මේජර් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ඇතුළු උසස් හමුදා නිලධාරිහු කයිට්ස් තොටුපොළ ඔස්සේ අරාලි තුඩුව ප්‍රදේශයට ගොස් ආපසු එමින් සිටි අතරවාරයේ කොටි ත්‍රස්තවාදින් අටවා තිබූ අධිබලැති බෝම්බයට අසු වී ඇත.
බිම් බෝම්බයට අසු වී කොබ්බෑකඩුව මහතා ඇතුළු මෙම උසස් හමුදා නිලධාරින් මියගියේ මෙහෙයුම ආරම්භ කිරීමට පැය 48ක පමණ කාලයක් තිබියදීය.
මීට වසර තිස්තුනකට ඉහතදී සිදු වූ ඒ මහා ඛේදවාචකයේ අමිහිරි සහ අතිශය කටුක අත්දැකීම් උපාලි මහතාගේ මතකයේ තවමත් රැඳී පවතී.
යුද හමුදාවෙන් උපාලි මහතා විශ්‍රාම යන විට සිටියේ සාජන් මේජර් නිලයේය.
ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ මෙහෙයවීමෙන් කොටි ත්‍රස්තවාදින්ට එරෙහිව සිදු කෙරුණු මෙහෙයුම් තුනකදීම රණවිරු උපාලි මහතා තුවාල ලබා ජීවිතය බේරාගෙන ඇත්තේ අනූනවයෙනි.
මීට වසර තිස්තුනකට ඉහතදී අරාලි තුඩුවේදී සිදු වූ ඛේදවාචකය ගැන විශ්‍රාමික සාජන් මේජර් උපාලි මහතාට අදටත් හොඳට මතකය.
ඒ මතකය අවදි කරමින් ඔහු මෙසේ පැවැසීය.
“හත්වැනිදා කොබ්බෑකඩුව සර් විජය විමලරත්න සර් ඇතුළු සර්ලා කණ්ඩායම කරෙයිනගර්වලට ගියා. කරෙයිනගර් කලපුව, ඒ අවට නිරීක්ෂණය කළා. කලපුවේ ගැඹුර බලන්න බෝට්ටුවලින් යාත්‍රා කළා. එදා උදේට කරෙයිනගර්වලින් කෑම කෑවා.
අටවැනිදා උදේ කරෙයිනගර් ජැටියෙන් අරාලි තුඩුවට යන්න ජීප් තුනකින් පිටත් වෙලා ගියා. කොබ්බෑකඩුව සර්ගේ බඩියා විදිහට මමත් ගියා. විජය විමලරත්න සර්ගේ බඩියා වන කමලසිරි ද මේ ගමනට එක් වුණා. මෙසේ යන අතරවාරයේ කයිට්ස් පොලිසිය ළඟ නතර වෙලා පොලිසියේ තොරතුරු සොයා බැලුවා. පොලිසියේ ලොකු මහත්තයාත් හමු වුණා. පොලිස් නිලධාරින්ගේ අවශ්‍යතා සොයා බැලුවා.
අරාලි තුඩුව පෙනෙන නොපෙනෙන මානයේ ජීප් රථ තුනම නැවැත්තුවා. ඊට පස්සේ සර්ලා කට්ටිය එක ජීප් රථයකට ගොඩ වුණා. ඒ ජීප් එක පැදෙව්වේ විජය විමලරත්න සර්. විජය විමලරත්න සර් එක්කම කොබ්බෑකඩුව සර් සහ නාවික හමුදාවේ ජයමහ සර් ගොඩවුණා. සෙසු උසස් නිලධාරින් අට දෙනා ජීප් රථයේ පිටුපසට ගොඩ වුණා. මම ජීප් රථයේ පිටුපස එල්ලී ගමන් කළා. මම මතක ඇති කාලයක ඉඳලා පුරුද්දක් වශයෙන් හැමදාම ගමන් කරන්නේ ජීප් රථයේ එල්ලීගෙන තමා.
ඊට දවස් තුනකට විතර කලින් එනම් පස්වැනිදා මෝටාර් උණ්ඩ කැබැල්ලක් වැදිලා මගේ මුහුණ ප්‍රදේශයට සිදු වූ තුවාලවලට ඒ වෙනකොටත් බෙහෙත් දමාගෙන තමයි හිටියේ. ඒ තුවාලවලට ප්ලාස්ටර් දමා තිබුණා.
අරාලි තුඩුවට ගිහින් එම ප්‍රදේශය පරීක්ෂා කර බලා ආපසු ගමන් ආරම්භ කළ තැනටම එන්න පටන්ගත්තා. උතුරු පළාත සම්පූර්ණයෙන් කොටි ත්‍රස්තවාදින්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කිරීමට කලින් එම ප්‍රදේශයේ තත්වය පරීක්ෂා කිරීමටයි සර්ලා කට්ටියම මේ ගමන ගියේ.”
කොටින් අටවා තිබූ අධිබලැති බිම් බෝම්බය පුපුරා ගියේ ආපසු එන අතරවාරයේය. ඒ හා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරමින් විශ්‍රාමික සාජන් මේජර් උපාලි මහතා කිව්වේ මෙවැනි කතාවකි.
“මහා පිපුරුම් හඬක් ඇසුණා මට යාන්තමට මතකයි. ඊට පස්සේ වුණේ මොකක් ද කියලා මම දන්නේ නැහැ. කවුදෝ ළඟට ඇවිත් මට කතා කරනවා වගේ තේරුණා. කෝප්‍රල් කමල්සිරි කියලා මම කටහඬින් පසුව හඳුනාගත්තා. ඒ වේලාවේ මට කිසිම වේදනාවක් දැනුණේ නැහැ. ඔහු මා ඔසවාගෙන ඇවිත් තිබෙනවා. මා පලාලි හමුදා කඳවුරට අරගෙන ගියා. එහිදී මම දැනගත්තා මගේ කකුල් දෙක දණහිසට උඩින් වෙන් වෙලා ගිහින් කියලා. සර්ලාට මොකද වුණේ කියලා ඇහුවත්, ඒගොල්ලෝ තුවාල වෙලා රෝහල් කරා රැගෙන ගිය බව තමා කිව්වේ. මාවත් පලාලි කඳවුරේ සිට හෙලිකොප්ටර් යානයකින් කොළඹ ජාතික රෝහලට රැගෙන ඇවිත් තිබෙනවා.
මට ආයෙත් සිහිය නැතුව ගිහින් තිබෙනවා. මට සිහිය නොතිබුණු නිසා කොබ්බෑකඩුව සර්ගේ අවසන් කටයුතුවලට සහභාගි වෙන්න නොහැකි වුණා. ඒ ගැන අදටත් මට තියෙන්නේ කියන්න බැරි තරම් ලොකු කනගාටුවක්, දුකක්.
කොළඹ ජාතික රෝහලෙන් තමා මම ප්‍රතිකාර ගත්තේ. විජය විමලරත්න සර්ගේ අවමංගල්‍ය කටයුතුවලට මා ගිලන් රථයකින් අරගෙන ගියා. ඒ සර්ගේ අවසන් කටයුතු සිදු කරන දවස වෙනකොට මට හොඳට සිහිය ඇවිත් තිබුණා. එහෙම සිහිය ආවාට පස්සේ තමා දැනගන්න ලැබුණේ කොබ්බෑකඩුව සර් මියගිහින් අවසන් කටයුතුත් කරලා ඉවරයි කියලා. මම මාස තුනකට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගත්තා.
බෝම්බය පිපිරී ගිය ස්ථානයේ විශාල ආවාටයක් සෑදී ඇති බව පසුව මට දැනගැනීමට ලැබුණා. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඒ කාලයේ හිටිය ලොකු මහත්තයා ඇතුළු මිනින්දෝරු මහත්වරුන් කට්ටියක් එම ස්ථානයේ මැනුම් කටයුතු කිරීමට ගොස් තිබුණා. බෝම්බ පිපිරීමට අදාළ විමර්ශන කටයුතු සඳහා මෙම මිනින්දෝරු මහත්වරුන් මැනුම් කටයුතු කිරීමට ගොස් තිබෙනවා. අධිබලැති බෝම්බය පුපුරා ගිය ස්ථානයේ සිට මීටර් හැත්තෑවක් පමණ මාව විසි වී ගොස් ඇති බව එම මැනුම් කටයුතුවලදී හෙළිව තිබුණා.
අරාලි තුඩුවට ගිහින් වැලි පාරක් ඔස්සේ ඇවිත් යළිත් ප්‍රධාන පාරට රථය ඇතුළු කරනවාත් එක්කම තමයි කොටි ත්‍රස්තවාදින් අටවා තිබූ බෝම්බය පුපුරා ගියේ.
කොබ්බෑකඩුව සර් උතුර කොටි ත්‍රස්තවාදින්ගේ ග්‍රහණයෙන් මුළුමනින්ම මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ කිරීමට කලින් මේ නිරීක්ෂණ චාරිකාවට ගියා. මේ මෙහෙයුම හඳුන්වා තිබුණේ ‘ෆයිනල් කවුන්ට්ඩවුන්’ කියන නමිනුයි. කොබ්බෑකඩුව සර් තමයි එම මෙහෙයුමට නායකත්වය දෙන්න පත් කරලා සිටියේ. මේ අවාසනාවන්ත සිද්ධිය සිදු නොවෙන්න කොටි ත්‍රස්තවාදය අපේ රටින් තුරන් කර දමනවා නියතයි. එහෙම නම් කොටි ත්‍රස්තවාදය අපේ රටින් තුරන් කරන්නේ මීට වසර තිස්තුනකට කලින්. ජාතියේ අවාසනාවට තමයි කොබ්බෑකඩුව සර් ඇතුළු අපේ සර්ලා මියගියේ.”
“කොබ්බෑකඩුව සර් කියන්නේ හමුදාවේ අයට දෙවි කෙනෙක්. ඒ වගේම සාමාන්‍ය මිනිස්සු අතරත් ජනප්‍රිය වී සිටි සර් කෙනෙක්.” යයි ද කතාබහ නිම කිරීමට මත්තෙන් උපාලි මහතා පැවැසුවේ කොබ්බෑකඩුව මහතාගේ මනුස්සකම් ගැන පවසමින්ය.
මෙම සටහන තබන ලේඛකයාට ද කොබ්බෑකඩුව මහතාගේ මනුස්සකම ඉස්මතු වූ සිද්ධියක් තවමත් මතකයේ රැඳී පවතී.
දින වකවානු මගේ මතකයේ නොමැති වුවත් සිද්ධිය නම් හොඳ හැටි මතකය.
කුඩා දරුවකු කොළඹ ජාතික රෝහලේදී මියගොස් තිබුණු අතර, එම මරණ පරීක්ෂණය පැවැත්වුණේ කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ උසාවියේදීය.
මරණ පරීක්ෂණය පැවැත්වුණේ මහේස්ත්‍රාත්වරයකු වූ ප්ලේවියන් බී. පෙරේරා මහතා හමුවේය.
මෙම කුඩා දරුවාගේ මරණ පරීක්ෂණය පැවැත්වෙන අතරවාරයේ කොබ්බෑකඩුව මහතා මරණ පරීක්ෂණ උසාවියට පැමිණ සිටියේ මෙහෙයුම් රාජකාරිවල නිරතව සිටින අතරවාරයේය.
මියගොස් සිටි දරුවා ඔහුගේ ඥාතියකු හෝ අසල්වැසියකු ද නොවේ. ඒ දරුවා රෝගීව මාස ගණනක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතරවාරයේ එම දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා කොබ්බෑකඩුව මහතා පෞද්ගලිකව ධන පරිත්‍යාග කර ඇත. ඒ විතරක් නොව, රෝහලේ නොමැති බේත්හේත් පවා ඔහුගේ අතින් මුදල් වියදම් කර රෝගී දරුවාට ලැබීමට සලස්වා තිබිණි.
මෙම දරුවා මියගොස් ඇති බව සැලවීමෙන් පසු ඔහු තකහනියක්ම පැමිණ තිබුණේ දරුවාගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කිරීමටය.
දරුවාගේ මවුපියන් බැහැදුටු කොබ්බෑකඩුව මහතා, අවසන් කටයුතු සිදු කෙරෙන දිනයට සහභාගි වීමට එන්න නොලැබෙන බව, මියගිය එම කුඩා දරුවාගේ මවුපියන්ට දැනුම් දී පිටත්ව ගියේ පුංචි දරුවාගේ සිරුර තැන්පත් කිරීමට මිනී පෙට්ටියක් සහ කොළඹ සිට දරුවාගේ ගමට දේහය රැගෙන යාම ඇතුළු අවමංගල්‍යයේ සියලුම කටයුතු සඳහා තම පෞද්ගලික මුදල් වැය කිරීමෙන් පසුවය.
ඉඩකඩක් ලැබුණොත් දරුවාගේ හත් දවසේ බණට නිවෙසට පැමිණෙන බව ද කොබ්බෑකඩුව මහතා එම දරුවාගේ මවුපියන්ට දැනුම් දුන්නේය.
ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා වලව්කාරයකු වුවත් කිසිම දිනක රාජකාරි ජීවිතයේදී හෝ එයින් හිස උදුම්මාගෙන සිටි අයෙක් නොවූ අතර, සොල්දාදුවන්ට පවා කතා කළේ ‘ළමයි’ යනුවෙනි. ඒ තරමට ඔහු නිහතමානිය.
1940 වසරේ ජුලි මස 27 වැනිදා මහනුවරදී උපත ලබා ඇති මේ වීර සෙන්පතියා, පිළිමතලාවේ දෙල්දෙණිය වලව්වේ ලොකුබණ්ඩාර කොබ්බෑකඩුව සහ මහනුවර අමුණුගම වලව්වේ අයෝනා රත්වත්තේ යන දෙපළගේ පුත්‍රයාය.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික හා ද්විතියික අධ්‍යාපනය හැදෑරූ කොබ්බෑකඩුව මහතා, එම පාසලේ දක්ෂතම රගර් ක්‍රීඩකයෙක් ද විය.
ශ්රී ලංකා යුද හමුදාවට කැඩෙට් නිලධාරියකු ලෙස එක් වී ඇත්තේ 1960 වසරේ මැයි මස 29 වැනිදා වන අතර, ඔහු දෙවැනි ලුතිනන්වරයකු ලෙස උසස් වීමක් ලබා ඇත්තේ 1962 වසරේ අගෝස්තු මාසයේදීය.
ඩඩ්ලි සේනානායක මහතා අග්‍රාමාත්‍යවරයාව සිටින වකවානුවේ 1966 වසරේදී හමුදා කුමන්ත්‍රණයකට සම්බන්ධ යැයි පටලවමින් අනිවාර්ය නිවාඩු යැවූ කොබ්බෑකඩුව මහතා යළි යුද හමුදා සේවයට පත් කරනු ලැබුවේ 1970 වසරේදී එවකට අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසිනි.
1971 වසරේදී හට ගත්තේ කැරැල්ල මර්දනය කිරීම සඳහා දකුණු ප්‍රදේශය භාරව පත් කරනු ලැබුවේ එවකට මේජර් නිලයේ සිටි කොබ්බෑකඩුව මහතාය.
ඔහු කැරැල්ලට සම්බන්ධ වූ තරුණ තරුණියන් වෙනුවෙන් දයානුකම්පාවෙන් නිරන්තරයෙන් කටයුතු කළ නිලධාරියකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේය.
කොටි ත්‍රස්තවාදින්ගෙන් උතුරු පළාත මුදා ගැනීමේ වඩමාරච්චි මෙහෙයුම 1987 වසරේ මැයි 26 වැනිදා ආරම්භ කරනු ලැබුවේ එවකට බ්‍රිගේඩියර් නිලයේ සිටි කොබ්බෑකඩුව සෙන්පතියාගේ නායකත්වයෙනි.
එම මෙහෙයුමට එවකට කර්නල් නිලයේ සිටි විජය විමලරත්න මහතා ද සහභාගි විය.
කොටි ත්‍රස්තවාදින් වනසමින් ඉදිරියට ගිය වඩමාරච්චි මෙහෙයුම අතරමගදී නතර කර දැමීමට එවකට ජනාධිපතිවරයාව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතාට ඉන්දීය රජයෙන් එල්ල වූ දැඩි බලපෑම් හමුවේය.
නැගෙනහිර පළාතේ 1990 වසරේ සිය බල ආධිපත්‍යය පතුරවමින් කොටි ත්‍රස්තවාදින් ගම්මානවලට කඩා පැන සිවිල් වැසියන් ඝාතනය කරමින්, ආරක්ෂක අංශ නිලධාරින් ඝාතනය කරමින්, සාමාන්‍ය ජන ජීවිතය අඩාළ කරමින් සිය ත්‍රස්ත ක්‍රියා උත්සන්න කර තිබූ වකවානුවේ නැගෙනහිර පළාත කොටින්ගෙන් මුදා ගැනීමේ වගකීම පවරනු ලබන්නේ කොබ්බෑකඩුව මහතාටය.
සිය වගකීම අකුරටම ඉටු කරමින් ඒ මහතා නැගෙනහිර පළාත කොටස් හතරකට බෙදා වෙන් කර, එම වෙන් කරන ලද කොටස්වල හමුදා මෙහෙයුම් ආරම්භ කර, නැගෙනහිර පළාත මුළුමනින්ම කොටි ත්‍රස්තවාදින්ගෙන් මුදා ගනු ලැබිණි.
1991 වසරේ ජුනි මාසයේදී කොටි ත්‍රස්තවාදින් විසින් අලිමංකඩ යුද හමුදා කඳවුරු සංකීර්ණයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර එම කඳවුර අත්පත් කරගෙන සිටියදී, එම කඳවුරු සංකීර්ණය නැවත අත්පත් කරගැනීමේ ‘බලවේගය’ මෙහෙයුමට නායකත්වය ලබා දුන්නේ ද සෙන්පති කොබ්බෑකඩුව මහතා විසිනි.
ශ්‍රී ලංකා ජනරජ සන්නද්ධ සේවා පදක්කම, විශිෂ්ට සේවා විභූෂිත පදක්කම, රණ ශූර පදක්කම (අවස්ථා දෙකකදී මෙම පදක්කම ලබාගෙන ඇත), යුද හමුදා 25 වැනි සංවත්සර පදක්කම, රණ වික්‍රම පදක්කම, උත්තම සේවා පදක්කම, වඩමාරච්චි මෙහෙයුම් පදක්කම, උත්තම පූජා ප්‍රණාම පදක්කම සහ දේශපුත්‍ර සම්මානය ඇතුළු පදක්කම් සහ සම්මාන රැසකින්ම මෙම වීර සෙන්පතියා පුදනු ලැබුවේ ඔහු යුද බිමේදී දක්වන ලද සුවිශේෂ දක්ෂතා වීරත්වය නිසාය.
අරාලි තුඩුවේදී කොටින් විසින් අටවන ලද අධිබලැති බිම් බෝම්බයකට අසු වී හෙලිකොප්ටර් යානයකින් ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රැගෙනවිත් ප්‍රතිකාර ලබමින් සිටියදී මේ වීර සෙන්පතියා රටක් හඬවමින් දැයෙන් සමුගත්තේ එම බෝම්බ පිපිරීම සිදු වූ දින සවස් යාමයේය.
දෙපා අහිමිව සිටින විශ්‍රාමික සාජන් මේජර් උපාලි පත්ව සිටින වර්තමාන තත්වය ගැන ද කීමට අමතක කළේ නැත.
දෙපා අහිමි වීමෙන් පසු ඔහුට ඇප උපස්ථාන කිරීම සඳහා මුලින්ම යුද හමුදාවේ සෙබළුන් දෙදෙනකුගේ සේවය ලබා දී තිබූ අතර, පසු කලක සිවිල් ආරක්ෂක බළකායේ සෙබළුන් දෙදෙනකුගේ සේවය සපයා තිබිණි.
වත්මන් රජයේ බලයට පත්ව දින දෙකකට පසු, එතෙක් කාලයක් දෙපා අහිමි උපාලිට ඇප උපස්ථාන කිරීමට ලබා දී තිබූ සෙබළුන් දෙදෙනා ඉවත් කිරීම නිසා ඔහු දුෂ්කරතාවලට මුහුණපා සිටී.
(*** ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
අභීත සෙන්පති කොබ්බෑකඩුව නොමියෙන මතකය
Ahmed (Gulf) Sunday, 10 August 2025 01:30 AM
මේ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකා පුත්‍රයා අපට නැති කළා.
lionel Sunday, 10 August 2025 07:16 AM
ජාතිද්‍රෝහී කුහක දේශපාලකයින් සහ සුළු හමුදා පිරිසක් විසින් කළ කොබ්බෑකඩුව ඝාතනය සිදු නොවුණා නම් උතුරේ යුද්ධය අවසන් වනුයේ එතුමා අතිනි...