ඇය, දේශපාලනය නිසා බොහෝ බාධකවලට කොටු වූ මිනිසකු ළඟ සිටින ගැහැණියකි. මෑත කාලයේ සජිත් පේ‍්‍රමදාස තරම් දේශපාලනයේ ගල් පහර කෑ, කස පහර කෑ තවත් කෙනෙක් නැති තරම්ය. ඒ සියල්ල මල් මෙන් දරන්නට ඇය ඔහුට ශක්තියක් වූවාය. එබැවින් පාරමිතාවක් තරම් උතුම් පූජනීය පවුලක් හැටියට, සජිත්-ජලනි හමුව අර්ථ දක්වන්ට අපිදු පසුබට නොවෙමු. සොඳුරු, සුන්දර ඒ හමුවීමේ පින්කාරිය ජලනි පේ‍්‍රමදාස මහත්මිය සමග අපි අද කතා කරමු.

 

 

ප‍්‍රශ්නය: ඔබ මුලින්ම සජිත් පේ‍්‍රමදාසව දැකපු දවස මතක ද?
පිළිතුර:
ම්... මට පළමුවෙන්ම සජිත්ව හම්බ වුණේ සජිත්ගෙ තත්තගෙ බණ දවසෙ. 1997 අවුරුද්දෙ සුචරිතයෙදි. එතෙක් මට එයාව හමුවෙලාවත් තිබුණේ නෑ. මගේ මව එ.ජා.ප. දේශපාලනයට සම්බන්ධ වෙලා හිටියා. ඇය හේමානි කෙහෙල්පන්නල ජයවර්ධන. මම එදා මේ ධර්ම දේශනාවට යන්න නොවෙයි හිටියෙ. මගෙ යාළුවකුගෙ උපන් දින උත්සවයකට යන්න හිටියෙ. මගේ මව කිවුවා, එයා එක්ක පැය බාගයකට බණ ගෙදරට යමු කියලා. එදා පැය බාගයකට ගිය ගමන දන්නෙම නැතුව පැය තුනක් විතර එහි හිටියා. මමයි සජිතුයි හුඟක් එදා කතාබහ කළා.


ප‍්‍රශ්නය: ඔබේ මුල් ගම් පළාත කොළඹ ද? ඔබ කොහෙද පාසල් ගියේ?
පිළිතුර:
අපි කොළඹ නොවෙයි. නුවර. උඩරට අය. මම මුලින්ම පාසල් ගියේ එංගලන්තෙ. ඊට පස්සෙ බිෂොප් විද්‍යාලයට ගියා. උසස් පෙළ හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා නැවත  ඕස්ටේ‍්‍රලියාවට ගියා.


ප‍්‍රශ්නය: ඔබේ මව දේශපාලනයට සම්බන්ධව හිටියා කිවුවනෙ. ඇය වඩාත් සමීපව දේශපාලනය කළේ කාට ද?
පිළිතුර:
ඒ කාලෙ මගේ මව කිට්ටුවෙන්ම වැඩ කළේ රනිල් වික‍්‍රමසිංහ, මිලින්ද මොරගොඩ, කරු ජයසූරිය වගේ අයට. එදා අපි පදිංචි වෙලා හිටියෙත් කොළඹ. මගේ තාත්තා එපමණම ක‍්‍රියාකාරි දේශපාලනයේ යෙදුනෙ නෑ. ඔහු නිමල් ජයවර්ධන, ව්‍යාපාරිකයෙක්.


ප‍්‍රශ්නය: ඒ ඔබ කලින් කිවුවා වගේ සජිත් - ජලනි ආදරය පටන් ගත්තෙ පේ‍්‍රමදාස මැතිතුමා වෙනුවෙන් පැවැත්වූූ මතක බණ දවසක?
පිළිතුර:
ඔව්. එදා අපි ගොඩක් කතා කළා. බණට පසුවදාම සජිත් මගේ ටෙලිෆෝන් නොම්බරේ හොයාගෙන කතා කළා. පැය 24ක දී අප අතරේ ලොකු බැඳීමක් සිදු වුණා. අපි ගොඩක් වෙලා කතාබහ කළා. මට දැනුනා ඔහු තමයි මගේ ජීවිතය කියලා. එදායින් පස්සේ අපි දෙන්නා අවුරුදු එකහමාරක් ආදරය කළා. හරි දුෂ්කර ආදරයක්. සජිත් වැඩිය එළිමහනෙදි හම්බ වෙන්න බෑ. ඔහුව සේරම දන්නවා, අඳුනනවා. ඉතින් එක්කො සජිත්ගෙ ගෙදර දී අපි මුණ ගැහුණා. නැත්නම් අපේ ගෙදර දී හමුවෙලා කතාබහ කළා. අපේ ගෙවල් දෙකින්ම කිසිම ප‍්‍රශ්නයක් ආවෙත් නෑ.


ප‍්‍රශ්නය: අපි අහල තියෙන්නෙ ඔබේ පවුල සහ පේ‍්‍රමදාස පවුල අතර සමීප හිතවත්කමක් තිබුණා කියලා. එම කාරණය ඔබ දෙපළගෙ හමුවට හේතු වුණේ නැද්ද?
පිළිතුර:
ඇත්තටම එහෙම කිට්ටු සම්බන්ධකමක් තිබුණේ නෑ. යම් සම්බන්ධයක් තිබුණා නම් ඒ මගේ මව දේශපාලනයට සම්බන්ධව සිටි නිසයි.


ප‍්‍රශ්නය: සජිත්-ජලනි විවාහ වුණු දවස මතක ද?
පිිළිතුර:
ඔව්. ඒක ලස්සන දවසක්. 1999 ජුලි 23 වැනිදා හිල්ටන් හෝටලයේ දී. දෙපැත්තේ සාක්‍ෂිවලට අත්සන් කළේ අම්මලා දෙන්නා. හුඟක් හිතවතුන්, ඥාතීන්, දේශපාලනයට සම්බන්ධ අය අපට සුබ පතන්න එකතු වුණා.


ප‍්‍රශ්නය: විවාහ වෙන කොට සජිත් පාර්ලිමේන්තුවෙ හිටියෙ නෑ?
පිළිතුර:
ඔව්. ඒ වෙන කොට ඔහු හම්බන්තොට සංවිධායක.


ප‍්‍රශ්නය: සජිත් පේ‍්‍රමදාස මහතා දේශපාලනය කරන එකට මුල දී ඔබ කැමැත්තක් තිබුණ ද?
පිළිතුර:
අපි හමුවෙන කොටත් ඔහු දේශපාලනයේ යෙදිල හිටියෙ. ඒ දේශපාලන පසුබිම මම හොඳට වටහාගෙන හිටියා. ඔහු දේශපාලනයට එනවට මා වැඩිය කැමැති නැති වුණත් කවදාවත් සජිත් කැමැති දෙයින් එයාව නතර කරන්නෙ නෑ. සජිතුත් මට කවදාවත් කැමැති දෙයක් කරන්න හදන කොට එපා කියන්නෙ නෑ.

ගොඩක් කාන්තාවන්ට දේශපාලනය කරන ස්වාමියෙක් ඉන්නවා කියන තැන ගැටලූ තියනවා. පවුල් ජීවිතයට වුණත් ලේසි පහසු දෙයක් නොවෙයි. නොයෙක් අතින් ප‍්‍රශ්න ඇති වන තැනක්.


ප‍්‍රශ්නය: සජිත්ට ආපු දේශපාලන පළි ගැනීම්වලට ඔබත් මුහුණ දීලා තියනවා ද?
පිළිතුර:
කියල වැඩක් නෑ. හම්බන්තොට තමයි වැඩිපුරම දේශපාලන පළි ගැනීම් තිබුණේ. මටත් වෙඩි තියල තියනවා. 2002 මැතිවරණය වෙලාවේ වෑන් එකකින් ආපු පිරිසක් හම්බන්තොට වීරවිල අපේ නිවසේ ඉඳලා මා වාහනයට නගින්න හදන කොට වෙඩි තැබුවා. මම බිම දිගා වෙලා තමයි එදා බේරුණේ. ඒ වෙලාවේ සජිත් හිටියෙ රැස්වීම්වලට ගිහින්. එකම හේතුව සජිත් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ දේශපාලකයන්ට තර්ජනයක් වුණු එකයි. අපට බෝම්බ පවා ගැහුවා. කොච්චර තර්ජන ආවත් ජනතාව අප සමග හිටියා.


ප‍්‍රශ්නය: සජිත් පේ‍්‍රමදාස මැතිතුමා ඉන්නෙ ඉතාම දුෂ්කර හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ. ඔහුට දැන් කොළඹ හෝ අවට ආසනයක් ලැබුණා නම් පහසුයි කියල ඔබට හිතෙන්නෙ නැද්ද?
පිළිතුර:
හම්බන්තොට දේශපාලනය කරනවාට වඩා කොළඹ දේශපාලනය කරන එක පහසුයි. නමුත් සජිත් පේ‍්‍රමදාස කියන්නෙ අද අපට දකින්න ඉන්න දේශපාලනඥයො වගේ නොවෙයි. එයත් එයාගෙ තාත්තා වගේම දුප්පත් ජනතාව කෙරේ හිත උණු වන ගොඩක් ඒ අයට උදව් කරන්න උත්සාහ කරන කෙනෙක්. ඒ දේ දේශපාලනය නිසාම ආපු දේකුත් නෙවෙයි. හදවතින්ම කරන එකක්. ඒ නිසා තමයි එයා දිගටම හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ඉන්නෙ. නැත්නම් ලේසියෙන්ම මැද කොළඹ ආසනය ඉල්ලා ගන්න තිබුණා. මාත් ගොඩක් ආසයි සජිත් හම්බන්තොට දේශපාලනය කරනවට. දුප්පත් ජනතාව ගොඩක් ඉන්නවා. මාත් ඒ අයට උදවු කරන්න කැමැතියි. විශේෂයෙන් කාන්තාවන් මුල් කරගෙන මාත් වැඩ සටහන් කරගෙන යනවා. හම්බන්තොට දේශපාලනය මගින් මාත් සජිතුත් ලොකු තෘප්තියක් ලබනවා.


ප‍්‍රශ්නය: රණසිංහ පේ‍්‍රමදාස චරිතය ගොඩ නැගෙන්නෙ පුංචි පවුලක් වෙතින්. නමුත් සජිත් පේ‍්‍රමදාස කියන්නෙ පුංචි පවුලකින් ආපු කෙනෙක් නෙවෙයි. ඔහු ආවේ ජනාධිපති පවුලකින්. ඉතින් පේ‍්‍රමදාස ජනාධිපතිතුමා දුප්පත් මිනිසුන් කෙරේ තිබුණ හැඟීම සජිත් ළඟ තියෙනව ද? නැත්නම් ඔහු ළඟ තියෙන්නෙ ඒ පිළිබඳ කෘති‍්‍රම හැඟීමක් නෙවෙයි ද?
පිළිතුර:
කෘත‍්‍රිමව තියෙන හැඟීමක් නම් වෙන තැනක් තෝරන් ඊට ගැලපෙන දේශපාලනය කරන්න තිබුණා. ගමට යන්නෙ මොකට ද? දුප්පත් මිනිසුන්ට උදවු කිරීම ඔහුගේ හදවතින්ම එන දෙයක්. ඒකට මුල් වුණේ ඔහු පියා සමග පුංචි කාලෙ ඉඳන්ම අලි බලන්න යාල යනවා. ඒ යන අතරතුර පාරවල් දෙපස තිබුණු දුප්පත් ගෙවල් දැකල තමයි එහෙට සේවය කළ යුතුය යන අදහස ඇවිත් තියෙන්නෙ. තාත්තා ජීවත්ව සිටිද්දීත් සජිත් ගොඩක් හම්බන්තොටට උදවු කරල තියනවා. ලයිට් දීල තිබුණා. වතුර දීල තිබුණා. ඒවා සජිත්ම මුල් වෙලා කරපු දේවල්.


ප‍්‍රශ්නය: ඔබ මුල් වෙලා කාන්තා වැඩ සටහන් රාශියක් හම්බන්තොට කරනවා කිවුවනෙ. මොනවද ඒ පළාතේ කාන්තා සුබසාධනය උදෙසා ඔබ කළේ?
පිළිතුර:
මම හම්බන්තොට දිස්ත‍්‍රික්කයට ගිය මුල් කාලෙදිම ගැබිනි මව්වුරුන් වෙනුවෙන් වැඩ සටහනක් කළා. ඊට පස්සෙ එජාප රජය අවස්ථාවේ සජිත් සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති වුණා. ඒ මාර්ගයෙන් ගොඩක් වැඩ කරන්න මට හැකි වුණා. ඉන් පසුව මහන මැෂින් දුන්නා. කාන්තාවන් වෙනුවෙන් ණය වැඩ සටහනක් කරගෙන යනවා. ජන සුවය යටතේ පෙර පාසල් 300කට වඩා හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ඉදි කරල තියනවා. ඒ සියල්ලම සම්බන්ධීකරණය කරන්නෙ මමයි.


ප‍්‍රශ්නය: සජිත් පේ‍්‍රමදාස කියන්නෙ තමන්ගේ පක්ෂයෙන්ම සෑහෙන ප‍්‍රශ්න ආපු චරිතයක්. ඔහු රජයට ගියා නම් හොඳ කැබිනට් ඇමැතිකමක් ගන්න තිබුණා. ඔබට හිතුනෙ නැද්ද මීට වඩා හොඳයි ඔහු ආණ්ඩුවට ගියා නම් කියලා?
පිළිතුර:
කවදාවත් නෑ. එක්සත් ජාතික පක්ෂය කියන්නෙ සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීතුමා එයාගෙ පියාගෙ පක්ෂය. සජිත් මේ උපන් ගේ දාල වෙන තැනකට නොයා යුතුයි. ඒක වෙන්නෙත් නෑ. යමක් නිකම්ම ලැබුණට වැඩක් නෑ. ලැබෙන දේ වෙහෙසිලා මහන්සි වෙලාම ලැබිය යුතුයි. වටිනාකමක් තියෙන්නෙ එතකොට නේද?


ප‍්‍රශ්නය: හේමා පේ‍්‍රමදාස මැතිනිය ඔබ පවුල එක්ක කොහොම ද?
පිළිතුර:
අපි හරිම සමීපයි. නිතරම ගෙදරදොර වැඩ සොයා බලන හොඳ අම්මා කෙනෙක්.


ප‍්‍රශ්නය: සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීතුමාට ඉන්න හොඳම දේශපාලන මිත‍්‍රයා කවු ද?
පිළිතුර:
දේශපාලන මිත‍්‍රයො ගොඩක් ඉන්නවා. එක්කෙනෙක් කියල නෑ. මා තමයි හොඳම දේශපාලන මිත‍්‍රයා (හිනා).


ප‍්‍රශ්නය: ඉස්සර දැක්කට වඩා දැන් නම් ඔබ බොහොම මහත් වෙලා වගේ?
පිළිතුර:
(හිනා) ඇත්තටම ගොඩක් මහතයි. ටිකක් කෙට්ටු වෙන්න  ඕනෑ.

 

ප‍්‍රශ්නය: සජිත්-ජලනි කැදැල්ලට තුන් වැනියෙක් එන්නෙ කවද්ද?
පිළිතුර:
ඒ ගැන අපි හිතාගෙන යනවා. එන වසර අවසන් වෙන්න කලින් අපේ පවුලට තව කෙනෙක් එකතු වෙයි. අපත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මෙච්චර කල් ඒ ගැන හිතුවෙ නෑ නෙවෙයි. අපි දෙන්නම ගොඩක් කාර්ය බහුල වුණා. ටිකක් කල් ගියා තමයි. ඉදිරියේ දී ආරංචියක් ලැබෙවි.


ප‍්‍රශ්නය: සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීතුමා නිතර අලි බලන්න යනවා කියන කතාව?
පිළිතුර:
ඔව්. එයා පුංචි කාලෙ ඉඳලම අලි බලන්න ආසයි. මමත් ඒකට හරි ආසයි. විවේකයක් ලැබුණොත් අපි යාල යනවා. අනුරාධපුර පැත්තෙ යනවා. විල්පත්තුවෙ යනවා. විශේෂයෙන්ම ලංකාවේ ඇත්තු ගැන වැඩිම සංගණනයක් කරල තියෙන්නෙ සජිත්. අලින්ගෙ වැඩිම ඡායාරූප තියෙන්නෙත් සජිත් ළඟ.


ප‍්‍රශ්නය: සජිත් අනාගතයේ රටේ දේශපාලන නායකත්වයට ආවොත් එදාට ඔබ ඔහුට දෙන දායකත්වය මොන වගේ ද?
පිළිතුර:
විවාහ වුණ දවසෙ ඉඳල අදටත් ඔහුට දෙන දායකත්වය එදාටත් මම ඔහුට දෙනවා.


ප‍්‍රශ්නය: ඔහු නිවසේ ඉන්න කොට වැඩිපුර කන්න කැමැති එහෙම?
පිළිතුර:
ලංකාවේ සහ ඉන්දියාවේ කෑමවලට සජිත් කැමැතියි. එයාගෙ කෑම බීම සියල්ලම මගෙ අතින් සූදානම් කරන්න උත්සාහ කරනවා. කෑම අතින් කිසි කරදරයක් නැති කෙනෙක්. ඉඳිආප්පවලට ටිකක් කැමැතියි.