මේ මාලිමා ආණ්ඩුවේ අගමැතිනිය, අධ්‍යාපන ඇමතිනී ආචාර්ය හරිනි අමරසූරිය, ඇයගේ ව්‍යාපෘතියක් ලෙස ඔසවා ගෙන යන 2026 වසර ආරම්භයේ සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් කෙරෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව, තවමත් ප්‍රසිද්ධ කරනු ලැබූ සම්පූර්ණ කෙටුම්පතක් නැත.
පසුගිය දිනක හදිසියේ එළියට දමා ඇත්තේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විස්තර කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය උපයෝගි කර ගන්නා පරිගණක දෘශ්‍යාධාර සැකිල්ලක් පමණි. ඒ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්පාදනයෙහි ආණ්ඩුවක් අනිවාර්යයෙන් පවත්වා ගත යුතු සමාජ කතිකාව, සහමුලින්ම අහෝසිවී ඇති අතර ජ.වි.පෙ- මාලිමා මැතිවරණ ව්‍යාපාරයෙහි ප්‍රධාන පොරොන්දුවක් වූ “වගවීම හා විවෘතභාවය ද” සහමුලින්ම අත හැර ඇත.
ඔවුන් මෙතෙක් පැවැති පරණ ආණ්ඩුවලින් වෙනස් නොවන්නේ එපමණකින්ම නොවේ. ජනාධිපති වික්‍රමසිංහ යටතේ 2023 මාර්තුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමට අනුව සමස්ත ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාවට නැගීමේ වගකීම බාර ගෙන ඇති සෙයින්ම, අධ්‍යාපනය සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක කරනවා යැයි කියන්නේ 2019 ගෝඨාභය රාජපක්ෂ යුගයේ සාකච්ඡා ආරම්භ කර, වික්‍රමසිංහ පාලනය යටතේ සම්පූර්ණ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙටුම්පතකි. ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත්තේ 2023 දී ජනාධිපති වික්‍රමසිංහගේ මූලිකත්වයෙනි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විස්තර කිරීමට (අධ්‍යාපන නිලධාරීන්ට විය යුතුය) උපයෝගි කර ගන්නා පසුගිය දිනක හදිසියේ එළියට දැමූ පරිගණක දෘශ්‍යාධාර සැකිල්ලෙන් මේ විස්තරකරණය ආරම්භ කළහොත්, බැලූ බැල්මට එහි සඳහන් අරමුණු සමග මේ සමාජයේ මැද පන්තික බහුතරයක් එකඟ වනු ඇත. ජාතික අධ්‍යාපන ආයතනයෙහි 2019 දී පිහිටුවන ලද “ජාතික විෂයමාලා ආකෘතිය” (National Curriculum Framework) හැදීමේ “කණ්ඩායම” විසින් සකස් කරනු ලැබූ “ජාතික විෂයමාලා ආකෘතිය” ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක මණ්ඩලය විසින් 2022 දී අනුමත කරනු ලැබ ඇත්තේ එහි සඳහන්වූ අරමුණු ද ඇතිව ය. ඒ අතර, මත භේදයට තුඩු දෙන කාරණා ද ඇත. එහි “අපේක්ෂාවන්හි සමස්තය” (No-2- Goals & Objectives / Overall Goal) ලෙස ලියා ඇති අපේක්ෂාව, රාජ්‍ය මන්ත්‍රණ සභාවෙහි 1943 අංක 24 ලෙස සම්මත වූ සැසි වාර පත්‍රය වන කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වඩා පැහැදිලිව දැකිය හැකිය. කන්නන්ගර ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ ලෙස යෝජනා කෙරෙන්නේ මේ රටේ සංස්කෘතික විවිධත්වය අවබෝධ කර ගනිමින් ඒ සමග පෑහිය හැකි මනා පෞරුෂයක් ඇති, රටට ඵලදායි දැනුමැති පුරවැසියකු සමාජයට දායාද කිරීම ය.
මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල “අපේක්ෂාවන්හි සමස්තය” (No-2- Goals & Objectives / Overall Goal) ලෙස සඳහන් කෙරෙන්නේ, “21 වැනි සියවසට හා ඉන් එහාට යන අභියෝගවලට මුහුණ දෙන්නට සූදානම් සහ තිරසර ජාතික සංවර්ධන ක්‍රියාවලියට වාගේම රටේ සාමය වෙනුවෙන් දායක විය හැකි පුරවැසියකු හැදීමට පදනම සැකසීම” යනුවෙනි.
මෙහි ගැටලුව පටන් ගන්නේ අනතුරුව සඳහන් කෙරෙන අරමුණුවලින් ය.
1. විෂයමාලා සතු අදාළත්වය හා ගුණාත්මක බව දියුණු කිරීම.
2. ඉගෙනීමේ ප්‍රතිලාභ වර්ධනය කිරීම.
3. විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍ර සඳහා ඇතුළත්වීම් වැඩි දියුණු කිරීම.
4. තිරසර සංවර්ධන ඉලක්ක හා පුරවැසි අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම.
5. 21 වැනි සියවසෙහි කුසලතා වර්ධනය උනන්දු කිරීම.
6. සමානාත්මතාව හා සියල්ලන්ගේ එකමුතුවක් සනාථ කිරීම.
7. පාසල් ප්‍රජා සම්බන්ධතා සවිමත් කිරීම.
8. ජාතික අධ්‍යාපන අපේක්ෂා සමග පෙළ ගැසීම.
9. ව්‍යවසායක මනසක් ප්‍රගුණ කිරීම.
ලෙස සඳහන් කෙරෙන අරමුණු මගින් “රටේ සාමය” වෙනුවෙන් දායක විය හැකි පුරවැසියකු හැදීමේ කතාව පැහැදිලි නැත.
මේ අරමුණු මගින් කෙරෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සමස්ත අපේක්ෂාව ලෙස සඳහන් කෙරෙන “තිරසර ජාතික සංවර්ධන ක්‍රියාවලියට වාගේම රටේ සාමය වෙනුවෙන් දායක විය හැකි පුරවැසියකු හැදීම” වෙනත්ම අතකට හැරවීම ය. මෙහි අරමුණු හා ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ ලොකු බරක් තබන්නේ පාසල් අධ්‍යාපනය රැකියාභිමුඛ අධ්‍යාපනයක් ලෙස සංවිධානය කිරීම වෙනුවෙනි. එය මේ සමාජයේ මැද පන්තික මවුපියන් අතර, දශක දෙක තුනකට වැඩි කාලයක සිට වර්ධනය වුණු ඉල්ලීමකි. එය පාසල් අධ්‍යාපනයෙහි වගකීමක් ලෙස පිළිගනු ලබන තරමට දැන් තහවුරුව ඇත.
අධ්‍යාපනයේ වගකීම “ළමයින් රැකියා සඳහා හුරු කිරීම” යැයි වන සමාජ මතයක් හැදුණේ මන්දැයි අප කෙටියෙන් හෝ කතා නොකළහොත් රැකියා සඳහා ළමයින් පුහුණු කිරීමට පාසල් අධ්‍යාපනය යොදා ගැනීමෙන් දැනටත් අනාථ වෙමින් යන පරාර්ථකාමී, සාම ළැදි, තර්කානුකූලව හා මානුෂීයව සිතිය හැකි, සහ ලොවට විවෘත වූ පුරවැසියන් ඉදිරියේදී මේ සමාජයට සහමුලින්ම අහිමි වනු ඇත.
පාසල යනු, රැකියා සඳහා ළමයින් පුහුණු කරන්නා වූ වෘත්තීය පුහුණු ආයතනයක් නොවේ. එය එතැනට තල්ලු කෙරුණේ 1960 දෙවැනි භාගයේදී ය. අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල අධ්‍යාපන ඇමැතිව සිටියදී ය. රැකියා උත්පාදනය කෙරෙන ජාතික සංවර්ධන සැලැසුමක් සමග වන ආර්ථික ආකෘතියක් නොවූයෙන් 60 දශකය ආරම්භයේ සිට විරැකියාව සමාජ ගැටලුවක් වන්නට පටන් ගෙන තිබුණකි. 1960 දී ලක්ෂ 03 ක් වූ විරැකියාව, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයට අනුව 1971 දී ලක්ෂ 08 ට වඩා වැඩි වී තිබිණ. උපාධිධාරීන්ට රැකියා ලබා දීමට අගමැති ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුව සමයේ ජාතික ආර්ථිකයට නොහැකි වූයේ එවැනි ආර්ථික පසුබිමක ය. රැකියා උත්පාදනය කෙරෙන ආර්ථික ආකෘතියක් ගැන කතා කරනවා වෙනුවට උපාධිධාරීන්ට රැකියා ලබා දීම ආණ්ඩුවක වගකීමක් යැයි සමාජ මතය හැදුවේ වාමවාදී ආචාර්ය මහාචාර්යවරුන්ද හවුල්වූ විශ්වවිද්‍යාලවලය. එයට කර ගැසුවෝ මධ්‍යම පාන්තිකයෝය. මැද පන්තියේ ඝෝෂාව නිසා මැති ඇමැතිවරුන් අනවශ්‍ය සංඛ්‍යාවකට රජයේ ආයතනවල පත්වීම් දෙන්නට පටන් ගත් පසු දැන් ඒවා පාඩු ලබන හෙයින් ඒ රජයේ ආයතන පෞද්ගලීකරණය කළ යුතු යැයි කෑ ගසන්නෝ ද මේ මැද පන්තියම වන්නෝය.
සමාජයක් ලෙස අප යා යුතු මග නිවැරැදිව තෝරා ගැනීමට මැද පාන්තික වෘත්තිකයන්, උගතුන් සූදානම් නොවූයෙන්, ඔවුන් ප්‍රශ්න වෙනුවෙන් පහසු මං සොයන්නට වූයෙන් සහ ඔවුන්ගේ වුවමනා සමාජය මත අතහැරි හෙයින් අනවශ්‍ය අමතර ගැටලු හදා ගැනීම අප ඉතිහාසය පුරා කළ වරදකි. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමාජ කතිකාවකට තැබිය යුතු යැයි කියන්නේ නැවත එවැනි අනුවණකම් නොවන්නට ය. එවැනි සමාජ කතිකාවක් සඳහා විධිමත් පාසල් අධ්‍යාපනයේ වගකීම සම්බන්ධව මූලික කොන්දේසියක් ඇත. 60 දශකයේ සිට පහසු උත්තරයක් ලෙස කරපින්නාගෙන පැමිණි, රැකියා ලබාදීම ආණ්ඩුවක පරම වගකීම යැයි වන සමාජ මතය, අප දැන් අත් හළ යුතු වන්නේය. ඒ අනුව පාසල් අධ්‍යාපනයේ වගකීම වන්නේ “මේ රටේ සංස්කෘතික විවිධත්වය අවබෝධකර ගනිමින් පරාර්ථකාමී, සාමළැදි, තර්කානුකූලව හා මානුෂීයව සිතිය හැකි සහ ලොවට විවෘත වූ පුරවැසියන්” හැදීම බවත් රැකියා සඳහා තරුණන් පුහුණු කිරීම නොවන බවත් අප තේරුම් ගත යුතුය.
රැකියා උත්පාදනය සඳහා ආණ්ඩුවකට වගකීම පැවරෙන්නේ නව ආර්ථික ආකෘතියක් සමග ජාතික සංවර්ධන සැලැසුමක් ඉදිරිපත් කිරීමට ය. උත්පාදනය කෙරෙන රැකියා සඳහා වෘත්තීය පුහුණුවීම් හා කුසලතා වර්ධනය වෙනුවෙන් සංවිධානය කළ යුතු වෘත්තීය අධ්‍යාපන ආයතන ජාතික සංවර්ධන සැලසුමෙහි තිබිය යුතු බව තේරුම් ගෙන අප අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කළ යුතුය. සරල බසින් කියන්නේ නම්, අධ්‍යාපනය සැලසුම් කළ යුත්තේ ජාතික සංවර්ධන ප්‍රතිපත්තියකට අනුකූලව ය.
සංකල්පීය වශයෙන් හරිනි ඔසවාගෙන යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සතු මූලික ප්‍රතිවිරෝධය ඇත්තේ එය විවෘත වෙළෙඳපොළ ආර්ථිකයක් සඳහා වික්‍රමසිංහගේ නව ලිබරල් දේශපාලන දැක්ම ඇතිව සම්පාදනය කෙරුණක් වීමෙහි ය. විවෘත වෙළෙදපොළ ආර්ථික සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් කළ හැක්කේ පරාර්ථකාමී, සාමළැදි, තර්කානුකූලව හා මානුෂීයව සිතිය හැකි සහ ලොවට විවෘත වූ පුරවැසියන් හැදීමට නොවේ. විවෘත වෙළෙඳපොළ ආර්ථිකයක් යනු එවැනි පුරවැසියන් ඉල්ලා සිටින සංවර්ධන ක්‍රියාවලියක් ද නොවේ. එය මහනගර සමග වැඩෙන මධ්‍යම පාන්තිකයන්ගේ පරිභෝජනය මත ලාභ ලබන ජාවාරම්කාර වෙළෙඳපොළකි. එහි උත්පාදනය වන රැකියා කවරේදැයි නිශ්චිතව ගණන් හැදිය නොහැකිය.
එවැනි මහ නගර වෙළෙදපොළ ඇසුරෙන් වැඩිමනත් හැදෙන්නේ අවිධිමත් ක්ෂේත්‍රයෙහි අස්ථිර රැකියා සමග වන ආදායම් මාර්ග ය. අපගේ ශ්‍රමිකයන්ගෙන් සියයට 40 ක් පමණ යැපෙන්නේ අවිධිමත් නාගරික ආර්ථිකයෙහි ය. පාසලින් බැහැර වන සියලු ළමයින්ට NVQ-4 සහතික ලබා දෙනවා යැයි හරිනි සහතික කර කියන්නේ අර්ධ පුහුණු ශ්‍රමය සඳහා මිස වෙනත් කුසලතා පූර්ණ තාක්ෂණික හා වෘත්තීමය රැකියා සම්බන්ධයෙන් නොවේ. එවැනි මධ්‍යම පාන්තික රැකියා විවෘත වෙළෙඳපොළ ආර්ථිකයක සහතික විය නොහැකි හෙයිනි. එනිසා අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ ද එලෙසින්ම ය. වෘත්තියාභිමුඛ අධ්‍යාපනයක් යැයි කියූවත් විවෘත වෙළෙදපොළ ආර්ථිකයක, නාගරික මැදපාන්තිකයන් ඔවුන්ගේ දරුවන් සඳහා බලාපොරොත්තු වන තාක්ෂණික හා වෘත්තීමය රැකියා වෙනුවෙන් මේ විධිමත් අධ්‍යාපනයෙහි පුහුණුවීම් නොමැත. මෙය නිතැතින්ම හරිනි පොරොන්දු වන NVQ-4 සහතිකලාභීන් හදන්නා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමූහයකි.
මේ යෝජනා මගින් නොකියැවෙන නමුත් සිදුවන කාර්ය වන්නේ පහේ ශිෂ්‍යත්ව විභාගයත් අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගත් අහෝසි වීමය. පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීම ගැටලුවක් නොවන්නේ, මෙම ප්‍රතිසංස්කරණ සඳහා වන ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශවල පළමුවට කියන්නා වූ “නිදහස් අධ්‍යාපනය හා සම අවස්ථා” වහා යථාර්ථයක් බවට පත් කෙරෙන්නේ නම් පමණි. දැනට අධ්‍යාපනයෙහි පවතින බරපතළ “අසමාන අවස්ථා හා අසමාන පහසුකම්” දිනෙන් දින තියුණු වන්නේ නම්, පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමේ තාර්කිකත්වයක් හා සාධාරණත්වයක් නැත.
අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග අහෝසි වීමෙන්, ඒ වෙනුවට හඳුන්වා දෙන ළමයකු මැනීම හා ඇගයීම සඳහා වන නිර්ණායක ජාතික වශයෙන් පොදු නිර්ණායක වන අතර එය ප්‍රායෝගිකව සිදු වන්නේ පාසල් අනුව වෙන් වෙන්ව නිසාම, ගුරුවර ගුරුවරියන්ගේ ආකල්පමය වෙනස්කම් හා ළමයින් මුහුණ දෙන “අසමාන අවස්ථා හා අසමාන පහසුකම්” දැඩි ලෙස ළමයාගේ ඇගයුමට බලපානු ඇත. එනිසා මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට පෙර, අධ්‍යාපනයෙහි “අසමාන අවස්ථා හා අසමාන පහසුකම්”තුනී කිරීමේ ප්‍රතිසංවිධාන කාර්යන් හා ඒ වෙනුවෙන් ගුරුවර ගුරුවරියන් පුහුණු කිරීමේ කාර්යන් 2026 සිට ක්‍රියාත්මක කිරීම, පළමු පියවර විය යුතුය.
(*** කුසල් පෙරේරා)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පරණ පාරේමද?
shyam Rodrigo Wednesday, 23 July 2025 08:09 PM
කවද්ද හොඳක් දැක්කේ...?