1977 න් පසු මුළු ලංකාවේම සමාජ, දේශපාලන හා ආර්ථික අංශවලට එළඹුණු අන්ධකාර කාල පරිච්ඡේදය තුළ නොපිරිහී රැකුණු දෙයක් කාට නම් සොයා ගත හැකි වේද? මේ සියල්ල අතර අධ්‍යාපන හා සංස්කෘතික ක්ෂේත්‍රවල හටගත් පරිහානිය ජාතික සාපයක් වැන්න. මක්නිසාද යත් එය අධ්‍යාත්ම විනාශයකට අධිවේග මාර්ගයක් වූ බැවිනි. එහි දුර්විපාක ඇස් පනාපිටම දැකිය හැකි වන්නේ මෙකල සාහිත්‍ය හා සංගීත කලාවන් බහුලව ප්‍රකට කරන අවිනය හා අමනත්වය මගිනි. වත්මන් ගුවන් විදුලිය හා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ඔජ වඩමින් ප්‍රචාරය කරන බොහෝ ගර්හිත වැඩසටහන් ඊට ඕනෑවටත් වඩා සාක්කි සපයයි.‍

කාලිදාස මහා කවියාණන්ගෙන් අනතුරුව භාරතීය කවියන්ගේ නියම නිර්මාණ නෛපුණ්‍යයක් ප්‍රථම වරට සන්දර්ශනය වූයේ භර්තුහරි කවියාගේ කෘති මගිනි. ඔහුගේ විශිෂ්ට ග්‍රන්ථ ලෙස විශ්ව සම්භාවනාවට පාත්‍රව ඇත්තේ ශතක පොත් තුනකි. ශතක නාමාර්ථය වනුයේ සියයකින් යුක්ත වූවක් යනුයි. ඒ අනුව ශතකය නමින් හැඳින්වෙන්නේ ශ්ලෝක සියයකින් සමන්විත ග්‍රන්ථයකි. එකක් ශ්ලෝක සියයකින් පරිමිතව භර්තුහරි කවියා විසින් සම්පාදිත ශතකත්‍රයය මෙසේය. විවිධ වෘත්තවලින් ප්‍රේම ජවනිකා නිරූපිත ‘ශෘංගාර ශතකය’, ඉන්ද්‍රිය විෂය දෙස උපේක්ෂාවෙන් බලන ‘වෛරාග්‍ය ශතකය’ හා ප්‍රඥා සම්පන්න චර්යා ධර්ම විමර්ශනයට ලක් කරන ‘නීති ශතකය’.

භර්තෘහරිගේ නීති ශතකයෙහිදී සනාතන අගයක් ඇති එක්තරා ශ්ලෝකයක් හමුවෙයි. මේ ශ්ලෝකය මගින් මීට ශත වර්ෂ ගණනකට පෙර භර්තුහරි පඬිතුමා ප්‍රකාශ කළ පරම සත්‍යය සසාධකව, සකාරණව සනාථ කරන ප්‍රත්‍යක්ෂ යථාර්ථයක් වත්මන් ලංකා සමාජය තම උරුමය බවට පත්කොටගෙන ඇත්තේ නොවේද යන්න බලවත් සංවේගයෙන් යුක්තව සිතා බලන ලෙසින් අත්‍යන්ත කම්පිත චිත්තයෙන් යුක්තව මම සහෘද ඔබ සැමට ආයාචනා කර සිටිමි. මේ සාපකාරී යථාර්ථය වනාහී 1977 න් පසු මේ පොළොවේ සිතා මතා සිදු කළ සංස්කෘතික සංහාරයේ අති ඝෝර දුර්විපාකය නොවේද?

භර්තෘහරි කවියාගේ ‘නීති ශතකය’ කෘතියෙහි එන අර මහාර්ඝ ශ්ලෝකය මෙයයි. එය කියවා සිතා බලත්වා!

‘‘සාහිත්‍ය සංගීත කලා විහීනඃ
සාක්ෂාත් පශුඃ පුච්ඡ විෂාණ හීනඃ
තෘණං න ඛාදන්නපි ජීවමානස්ෙ
තද් භාගධේයම් පරමං පශුනාම්’’
(නීති ශතකය – භර්තුහරි - 12 ශ්ලෝ:)

(සාහිත්‍යය, සංගීතය, කලාව ආදියෙන් තොර වූ මිනිසා අං හා වලිගයක් නැති පණ ඇති සැබෑ තිරිසනෙකි. ඔහු තණකොළ නොකෑම තිරිසනුන්ගේ උතුම් වාසනාවකි.)

සාහිත්‍යය, සංගීතය හා වෙනත් කලා වූ කලී උතුම් මිනිස් අධ්‍යාත්මයේ නිර්මල ප්‍රතිබිම්බයයි. හැම මනුෂ්‍ය සමාජයකම පරම අධිෂ්ඨානය විය යුත්තේ එවැනි අධ්‍යාත්මයක් පෝෂණය කරන සෞන්දර්ය නිර්මාණ බහුල කරලීම නොවේද? අපේ අතීත සෞන්දර්ය උරුමය පිළිබිඹුකොට දක්වන විශිෂ්ට කැටපත් තුනක් අප සතුව පැවතිණ. සිංහල වර්ගයාගේ අධ්‍යාත්මය සහෘදත්වයට පත් කරන ලද්දේ එම සෞන්දර්ය දර්පණ තුන විසිනි. ඒවා වනාහී ගද්‍යය, පද්‍ය හා චිත්‍රයයි. අපට උරුම සංගීතය පැවතුණේ පද්‍යය තුළ යැයි සිතමි. ‘නිසදැස්’ යන සාවද්‍ය වහරින් ප්‍රචලිත කරන ලද රචනා විශේෂය එන තුරුම පද්‍යය වූ කලී ගේය ලක්ෂණය ආත්මකොට ගත්තක් වූ බව අවිවාදයෙන් පිළිගැනීමට සිදුවෙයි. ඇත්ත වශයෙන්ම සිංහලයාට උරුම පද්‍ය සම්ප්‍රදාය ගායනයෙන් ආස්වාදයක් ලබන්නක් මිස කියවීමෙන් ආස්වාදයක් ලබන්නක් නොවෙයි. සිංහලයන්ගේ චිරන්තන කවි විරිත් සහ කවි බස පරීක්ෂා කර බලන කල එය සසාධකව සකාරණව සමර්ථනය කළ හැක්කකි. සිංහල කවියා අර්ථ රසය මෙන්ම ශබ්ද රසයද එක සේ වැදගත් කොට සැලකීමෙන් හෙළි වන්නේ කුමක්ද? පැරණි ගද්‍ය සිංහලය පාලි සංස්කෘත වදන් මාලාවට වහල් වුවද පැරණි පද්‍ය සිංහලය හුදු හෙළ  වදන් මාලාවට වැළඳ ගති. සිංහල බසේ සංගීතාත්මක ස්වරය රැක ගැන්මෙහිලා සමත් වනුයේ නුමුසු හුදු හෙළුවට අයත් ලලිත කෝමල වදන් මාලාව මිස අනිකක් නොවෙතියි යන මතය පැරණි නූතන සිංහල පද්‍ය රචක දෙපරපුරේම සම්මතය වුණු බවට පැදිම දෙස් දෙයි. අද පැදි ගොතන තරුණ පරපුරද මේ චිරන්තන සම්ප්‍රදායෙන් බැහැර වී ඇතැයි කාට නම් කිව හැකිද? නිතර පුවත්පත්වල පළවන කවි පිටු ඊට සාක්ෂි දරනු ඇත.

කෙසේ වුවද සාහිත්‍ය, සංගීත, කලා විහීන අං වලිග නැති තිරිසන් පරපුරක් යළි මෙරට බෝ නොවීමට නම් කළ යුතු ප්‍රධානම කාරිය විය යුත්තේ අප්‍රමාදව තුච්ඡ, ම්ලේච්ඡ, නින්දිත, ගර්හිත දේශපාලනයෙන් විනිර්මුක්තව, මෙරට පාසල් පද්ධතියට, මාතෘ භාෂා ප්‍රේමී, සාහිත්‍ය, සංගීත, කලාකාමී, සෞන්දර්යාත්මක අධ්‍යාත්මයකින් පරිපෝෂිත, ප්‍රශස්ත ගුරු පරපුරක් අභිනවයෙන් ප්‍රවිෂ්ට කිරීම මිස අනිකක් නොවේය යනු මගේ අවංක කල්පනාවයි.

(*** කරුණාරත්න අමරසිංහ)