මිනිසුන් ඇතුළු සත්ත්ව වර්ගයා දැඩි සූර්ය රශ්මියෙන් ආරක්ෂාවීමට සෙවණ සහිත ස්ථානයක් සොයා ගන්නා ආකාරයට පෘථිවියේ මුල්ම පරිසරයේ ජීවත් වූ ප්‍රාග් කේම්බ්‍රීය ක්ෂුද්‍ර‍ ජිවීන් ද දැඩි සූර්ය කිරණින් ආරක්ෂාවීමට සෙවණ සහිත ස්ථානවලට යොමු වී ඇතැයි විද්‍යාඥයෝ කියති.

අදින් වසර කෝටි 300ට පමණ පෙර පෘථිවිය මත විසූ ක්ෂුද්‍ර‍ ජීවී ෆොසිල පරීක්ෂාවකින් විද්‍යාඥයෝ මේ නිගමනයට එළැඹ ඇත. මේ කාලයේ දී පෘතිවි පෘෂ්ඨය සහ එහි ස්ථර සැකැස්ම ආරම්භ වූවා පමණි. ඒ කාලයේ දැඩි හිරු රශ්මියක් පෘථිවිය මත පතිත වූ බැවින් මතුපිට පරිසරය දැඩි කර්කෂ තත්ත්වයක පැවතිණි. පෘථිවිය සිසිල් වීම ආරම්භ වූ අවධිය ද එයයි.

විද්‍යාඥයන් පවසන්නේ හිරුගේ කිරණ මතින් පැතිරුණු පාරජම්බුල විකිරණ මගින් ආරක්ෂාවීම සදහා වායු බුබුළු මගින් සැකසුණු උදම් අවසාධිතයන් අතර මේ ක්ෂුද්‍ර‍ජීවීන් සැගවී සිටින්නට ඇති බවයි.

මේ මතය ප්‍ර‍කාශ කරන්නේ දකුණු අප්‍රිකාවේ බර්බටන් ග්‍රීන්ස්ටෝන් කලාපයේ වසර කෝටි 322ට වඩා පැරණි කදු ශිඛරයන් හි ස්ථරවල කරන ලද පර්යේෂණ වාර්තා පදනම් කර ගනිමිනි.

විද්‍යාඥයන් පවසන්නේ පසු කාලීනව සිදුවූ ගිනි කදු ක්‍රියාකාරකම් හේතුවෙන් මේ ගිරි ශිඛට පෘථිවි පෘෂ්ඨය මතට තල්ලුවී පැමිණ ඇති බවයි.

මේ පර්යේෂණ සිදුකර ඇත්තේ ජර්මානු සහ ස්විට්සර්ලන්ත පර්යේෂක කණ්ඩායමක් විසිනි.

ඔවුන් පවසන්නේ එකළ සිටි ක්ෂුද්‍ර ජීවින්ට තම සිරුරේ දිග හා පළල පාලනය කිරීමේ හැකියාවක් ද පැවති බවයි. මෙම ෆොසිල මෙතෙක් හමුවී ඇති පැරණි ම ෆොසිල වලට වඩා වසර මිලියන කෝටි 50 කටත් වඩා පැරණිය. ඒ අනුව එය ලෝකයේ මෙතෙක් හමුවූ  ජීවය හටගත් මූලාරම්භක අවස්ථවේ පොසිල බව ද  විද්‍යාඥයෝ පවසති.

පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානි ජර්මනියේ බර්ලින් හි ෆ්‍රී විශ්ව විද්‍යාලයේ ඇලිසැන්ඩ්රෝ අයිරෝ නිව්සයන්ටිස්ට් සඟරාවට පවසා ඇත්තේ මෙම ක්ෂුද්‍ර ජීවින්ගේ හැඩය සමරූපී බවයි.

පර්යේෂකයන් විසින් ප්‍ර‍කාශකැර ඇති තවත් වැදගත් මතයක් වන්නේ මේ ක්ෂුද්‍ර‍ ජීවීන් පොළොව මත ජීවත්ව සිටි කාලයේ පෘථිවියේ පරිසරය හා එයට එල්ල වූ සූර්යයා ගේ පාරජම්බූල කිරණවල තත්ත්වය වර්තමාන අගහරු ග්‍ර‍හයාගේ මතුපිට පෘෂ්ඨයේ පරිසරයට සමාන බවයි. රතු ග්‍ර‍හයා මත ජීවය සොයා කරන පර්යේෂණ සදහා මෙමගින් ද යම් ඉගියක් ලබා ගත හැකිය.