පෝද්දල සරත් ආනන්ද ගමගේ 



සාමාජික නිවෙස්වල රැස්වෙන කාන්තා සමිතියකට සහභාගිවූවන් වෙනුවෙන් පිරිනැමුණු තේ පැන් සංග්‍රහයේදී ලබාදුන් “වැලි තලප”‍ භාජනයේ ඉතුරු වැලිතලප ටික කිසිවකුත් තුන් හිතකින්වත් නොසිතන තැනැත්තියක විසින් රැගෙන ගොස් ඇති පුවතක් ගැන දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි.
මෙය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංවර්ධන නිලධාරිනියගේ මූලිකත්වයෙන් රැස්වෙන කාන්තා සංවිධානයකි. මසකට වරක් එකී සමිතියේ සාමාජිකාවකගේ නිවසක ඔවුහු රැස්වෙති. එසේ රැස්වෙන නිවසේ ඇත්තෝ සහභාගිවූවන් වෙනුවෙන් තමන්ට හැකි පමණකින් සංග්‍රහයක් කිරීමද මේ කාන්තා සංවිධානයට ආවේනික පුරුද්දක් වී තිබුණි.
මෙම කාන්තා සංවිධාන හමුව රැස්වුණේ වෙළෙඳ සලක් හිමි පුත්‍රයකුද සිටින මවකගේ නිවසකය. මෙම හමුව තම නිවසේ පැවැත්වෙන බව අම්මා විසින් පුතා දැනුම්වත් කිරීමේදී ඔහු මවට පවසා ඇත්තේ හැමෝම දෙන කේක් වෙනුවට අපි වෙන මොනවා හරි දෙමු යැයි කියාය. ඒ අනුව සංග්‍රහ‍ය සඳහා වැලිතලප සමග කෙසෙල්ගෙඩි ලබාදීමට මව හා පුතා තීරණය කළහ. නිවස ආසන්නයේම රස කැවිලි සාදන නිවසක් ඇති අතර ඒ අනුව වැලි තලප ඕඩරය එම නිවසට ලබාදෙනු ලැබීය.
නියමිත දිනයේ අදාළ කාන්තා සමිතිය රැස්වුණි. රැස්වීම අවසන් වීමට සුළු මොහොතකට පෙර සංග්‍රහයද ආරම්භ විය.


 ගෙහිමි කාන්තාවගේ සහායට මෙම සමිතියේද සාමාජිකත්වය දරන අසල්වැසි කාන්තාවන් දෙදෙනකුද එකතුවී තිබුණි. එක් අයකු ලොකු අයිස්ක්‍රීම් කෑන් එකක අසුරා තිබුණු වැලි තලප සහිත භාජනය ට්‍රේ එකක තියා අල්ලාගෙන ගිය අතර අනෙක් කාන්තාව කෙසෙල් ගෙඩි සහිත ට්‍රේ එක අල්ලාගෙන ගියාය.
 එහෙත්, පේළි හතරකට පුටු තබා තිබුණු බැවින් ඒ අතරින් ගමන් කිරීමට නොහැකි නිසා සාමාජිකාවන් අතින් අතම ට්‍රේ දෙක යැවීමට සිදුවිය. පසුව ගෙහිමි කාන්තාව විසින් තේ ද රැගෙන පැමිණ තේ කෝප්පය බැගින් අතින් අත යවා තේ පැන් සංග්‍රහයද නිමා කළ අතර සභා තොමෝද සතුටින් විසිර ගියහ.
ඉන්පසු අසල්වැසි කාන්තාවෝ දෙදෙනා විසින් ගෙහිමි කාන්තාවට සංග්‍රහ භාජන හා පුටු ආදිය අස්පස් කිරීමට උදව් කළහ. එහිදී කෙසෙල් ගෙඩි ප්‍රමාණයක් ඉතිරිවී තිබුණද අයිස්ක්‍රීම් ඇසුරුමේ තිබුණු වැලිතලප සියල්ල අවසන්වී තිබෙනු ඔවුන්ට දැනගන්නට ලැබී ඇත. පැමිණි පිරිසට වඩා වැඩි ප්‍රමාණයක් එහි වැලිතලප තිබුණු බැවින් ඉතිරි වැලිතලප ටික කවුරුන් හෝ ගෙන ගොස් ඇති බවට ඔවුහු සැක කළහ.
ගෙහිමි කාන්තාව “ඕක අපි අමතක කරමු”‍ යැයි කියූ බැවින් සිද්ධිය එතනින් අවසන් විය.
ගෙහිමි කාන්තාවගේ පුත්‍රයා වෙළෙඳ සල වසාදමා හැන්දෑවේ නිවසට පැමිණි අතර සවස සිදුවූ වැලිතලප අතුරුදන්වීමේ කතාව මව විසින් ඔහුට දැනුම් දෙනු ලැබීය. 
“ඕක ගෙනිච්චෙ කවුද කියල බලන එක සුළු දෙයක්නෙ”‍ කියමින් ඔහු ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කළේය.
එහිදී ඉතුරු වැලිතලප ටික තම ගමන් මල්ලට ඔබා ගන්නා තැනැත්තිය හඳුනා ගත්තේය. ඒ වෙන කවුරුත් නොව විහාරස්ථානයේ එම දායක පේරුව භාර උපාසක අම්මාය. එහිදී මහත් ලජ්ජාවට පත් ගෙහිමි කාන්තාව අපි මේක කාටවත් නොකියා රහසක් ලෙස තබා ගනිමු යැයි පුතාට යෝජනා කළේය.
එහෙත් ඇයගේ සිතට මහත් පීඩාවක්වූ මේ පුවත කාටවත් කියන්න එපා යැයි කියමින් සංවර්ධන නිලධාරිනියට දුරකතනයෙන් දැනුම් දුන්නාය. ඉන් මහත් චිත්තපීඩාවට පත් සංවර්ධන නිලධාරිනිය කාටවත් කියන්නට එපා යැයි කියමින් සමිතියේ සභාපතිනියට හා ලේකම්තුමියට දැනුම් දුන්නාය.
ඒ අනුව කාටවත් දැනගන්න තියන්න එපා යැයි කියූ කතාව දැන් මුලු‍ ගමම දැනගෙන ඇත. සිද්ධියට මුහුණ දුන් උපාසිකාව දායකයින්ට මුහුණ දීමට නොහැකි නිසා ගමෙන් පිට ප්‍රදේශයක පදිංචි දියණිකගේ නිවසකට ගොස් ඇතැයි තතු දත්තෝ පවසති.