තම වත්තේ හොඳට පැසුණු කෙසෙල් කැන කැපූ සොර දෙටුවා අයිතිකරුගේ බල්ලා සපා කෑමෙන්  සොරා පෞද්ගලික වෛද්‍යවරයකු හමුවට ගෙන ගොස් ප්‍රතිකාර කිරීමට තරම් සානුකම්පිත වූ අයිතිකරුට සිදුවූ අලකලංචියක් කුරුණෑගල පැත්තේ ගමකින් අසන්නට ලැබේ. 
අසල්වාසින්ගේ  පොල්, කෙසෙල් කැන් ඇතුළු භෝග ජාති සොරකම් කරන මැදි වයසේ අයෙකි. හොරා ගැන කවුරුන් දැන සිටි මුත් සොරකම් අතට අසුවුණේ නැත. ජීවනෝපාය වූයේ කුලී වැඩ ආදියයි. දිනක් රෑ යාමයේ නිවසක කෙසෙල් වගාවකට රිංගුවේ හොඳට පැසුන කැනක් කපා ගැනීමටයි. කෙසෙල්  ගස බිම වැටෙන ශබ්දය ඇසී ගෙහිමියා විදුලි පන්දම දල්වාගෙන එනවිට හොරා අඳුරේම පණ එපා කියමින් දුවන්නට විය.


දුවන ශබ්දය ඇසී මිනිසකු බව දැන ගෙදර බල්ලා හොරාගේ කකුලේ එල්ලුණේ පඩිය මත නිදා සිටියදීය. ලේ ගලන තුවාලය අල්ලාගෙන හොරා කෑමොර දෙන්නට වූයේ අසල්වාසින්ද බියගන්වමිනි. ගෙහිමියා වහවහා එතැනට පැමිණ බල්ලා එළවා දමා සිදුවූ විපත්තිය ගැන බලන්නට විය. අසල්වාසීන් ද රැස්වූ අතර කෙසෙල් කැන අයිතිකරු විසින්ම රෝගියා වෙදගෙදරට රැගෙන ගියේ ඔහුගේ යතුරු පැදියෙනි. ඔවුන් දැන් යන්නේ පුද්ගලික ඩිස්පෙන්සිරියකටයි. මේ යන අතර සංචාරක පොලිස් නිලධාරීන් දෙදෙනකු යතුරුපැදිය නතර කළේ පසු පස යන අයට හෙලිමට් නැති නිසයි. ලෙඩේ ගැන කියමින් අනුකම්පාව  ලැබුමට සිතුවත් හරි ගියේ නැත. දඩ මුදලක් ගෙවල තමයි බේරිලා ගියේ. දොස්තර මහත්තයත් තුවාලයට බේත් බැඳල බොන්න පෙති වර්ගයක් දුන්නේ ගාස්තුව ලෙසින් රුපියල් පන්සියයක් අරගෙනයි.
රැය නිදිමරාගෙන ඉන්ධන නාස්ති කරමින් ලොකු මුදලක් පොලිසියට මෙන්ම දොස්තර මහතාට ද ගෙවමින් විඳින්නට වූ වදය ගැන සිතමින් ආපසු යන්නේ හොරා නිවසට ඇරලවන්නටය. මහරෑ දෙකට පමණ හොරාගේ නිවසට යනවිට මෝටර් රථයක හඬ  ඇසී බිරිඳ රෙද්දත් පොරවාගෙන එළි බැස්සාය.
සිද්ධිය අග සිට මුලටත් මුලසිට අගටත් පැවසුවේ කෙසෙල් වගාකරු, කතාවට කන්දුන් බිරිඳ හොරාට දෙස් දෙවොල් තබන්නට වූවාය. අසල්වැසි මිතුරකුට සිදුවූ පාඩුව මෙන්ම කරදරය අසා ඇය සමාව ගත් අතර හොරාද අසල්වැසි මිතුරාගේ පය අල්ලා වැඳ වැටී සමාව ගත්තේ නැවත සොරකම් නොකරනවා යැයි පොරොන්දු වෙමිනි.
කෙසෙල් වගාකරු මග යන විට ද සමහරු අසන්නට වූයේ ‘කෙසෙල් හොරු ඇල්ලුවෙ නැද්ද අයියෙ.’’ යන වදන්ය. එවිට කුමක් හෝ පවසමින් එතනින් මාරුවීම ඔහුගේ සිරිතකි.

නිකදළුපොත කරුණාදාස සපුතන්ත්‍රී