හසලක සුනිල් ඒකනායක



අහඹු ලෙස නගරයේදී හමුවන මිතුරන්ට තමන් මුදල් ගෙවන බව අඟවමින් කඩයට තේ පානය කිරීමට ආරාධනා කර තේ කඩයට රැගෙන ගොස් කා බී මුදල් නොගෙවා හිමින් සීරුවේ මාරුවී යන අයකුට මතක සිටින තාලේ අපුරු දඬුවමක් දුන් මිතුරන් පිරිසක් පිළිබඳ පුවතක් හසලක නගරයෙන් වාර්තා විය.
සැමි අයියා යැයි අපි ඔහුට කියමු. හේ තිස් අට වියේ පසුවෙන පෞද්ගලික ආයතනයක රැකියාව කරන තිදරු පියෙකි. හිත මිතුරන් වංචාවෙන් මුළා කර තම සිතැඟි දැ ඉටු කරගැනීමට ශූර කපටියකු බවට මිතුරන් අතර ද කතා බහට ලක් වූ අයෙකි. 
හසලක නගරයේදී හෝ මහියංගන නගරයේදී හමුවන අතමිට මුදලක් ඇතැයි සිතෙන අයකු හමු වූ විට ආගිය තොරතුරු කතා කරමින් සිට ආ ගොඩ කාලෙකින්නේ හමුවුණේ යමු තේ එකක් බොන්න යැයි කියා ආරාධනා කර අසල තිබෙන තේ කඩයකට මිතුරා එක්කර ගෙන යනු ලබයි. 


එසේ තේ කඩයට යන ඔහු කෑමට යමක් රැගෙන එන ලෙසත් කිරි තේ දෙකක් රැගෙන එන ලෙසත් කඩේ සේවකයිනට කියයි. ආහාර වර්ග රැගෙන විත් මේසයේ තිබු සැණින් ඉතා ඉක්මනින් එයින් කීපයක් ගිල දමා තේ එකද යහළුවාට පෙර පානය කර “මචං මම ටක්ගාල එන්නම්. ඔහොම හිටපං.” කියා සැනෙකින් එම ස්ථානයෙන් මාරුවී යයි. පැය භාගයක් පමණ කාලයක් ගතවුවත් මිතුරා නොපැමිණෙන හෙයින් සේවකයා ගෙනැවිත් දුන් තේ බිල ගෙවා දමා තේ කඩයෙන් පිටවීමට මිතුරන්හට සිදුවෙනු ඇත. මෙම කපටි ක්‍රියාව බොහෝ මිතුරන් දැනගෙන සිටින හෙයින් ඔවුහු මොහු තේ පානයට කතා කරත් නොයන මට්ටමක සිටිති.
එවැනි අපහසුතාවකට මුහුණ දුන් අයකුට නැවත දිනක මොහු හමුවන්නේ හසලක නගරයේදීය. පෙර මෙන් මෙදිනද මිතුරා සමග ආගිය තොරතුරු කතා බහකරමින් සිට “ආ මචං අපි තේ එකක් බොන්න යමු.” යැයි කියා මිතුරාට තේ පානය කිරීමට හෝටලයකට යෑමට යෝජනා කළේය. මොහුට අද හොඳ පාඩමක් උගන්වන්න ඕන මේකෙන් හරි මේකා මට්ටු වෙයිනේ. කියා සිතා ගත් ඔහු එම ස්ථානයේ සිටි තවත් මිතුරන් දෙදෙනෙකුට කතා කර “මේ මගේ හොඳ යහළුවෙක්. තේ එකක් බොන්න කතා කරනවා අපි යමු.” කියා තේ පානය කිරීමට අසල තිබු හෝටලයකට ගොඩ විය. 
එසේ යන අතරේ ඔහු අනෙක් යහළුවන් දෙන්නාට හොර රහසේ පැවසුවේ මේසයට කෑම ගෙනල්ලා තියපු ගමන් දඩබඩ ගාලා ඒවා කාලා මම නැගිටින කොටම උඹලත් නැගිටලා වරෙල්ලා කියලාය.
වෙනදා මෙන් තේ කඩයට ගොඩ වූ සැමි අයියා කෑමට යමක් සහ බීමට කිරි තේ රැගෙන එන්නැයි කඩේ සේවකයාට පවසා ඇත. එසේ ඇණවුම් කරන ලද ආහාර මේසය මත තබනවාත් සමඟම සැමි අයියාට වඩා වේගයෙන් යහළුවෝ තිදෙනා ආහාර වර්ග කීපයක් ගිල දැමුහ.ආහාර ගිල දමා තේ රැගෙන ඒමට පෙර මිතුරා “සැමියෝ මගේ පෝන් එක වීල් එකේ අමතක වුණා. මං ටක් ගාලා අරගෙන එන්නම් එතකං ඔහෝම හිට පං.” යැයි කියමින් මහත් කලබලයකින් මෙන් අසුනෙන් නැගිට ඔහු පිටව යනවාත් සමගම අනෙක් දෙදෙනාද තේ පානය නොකර අසුන්වලින් නැගිට පිටව ගියහ.
හෝටලයේ සේවකයා රැගෙන ආ කිරි තේ එක පානය කර මිතුරා එතැයි සිතමින් පැය භාගයක පමණ කාලයක් හෝටලයේ රැඳී සිටියත් ඔහු පැමිණෙන පාටක් නැත. ඒ වනවිටත් සේවකයා රුපියල් 970/-ක තේ බිල ඔහු වාඩිවී සිටි මේසය මතට ගෙනවිත් දී තිබිණි. මේ බිල ගෙවීමට තමන් අත මුදලක්ද නැත. ඇත්තේ රුපියල් 400/-ක පමණ මුදලකි. එයද සුරකිව තබා ගත්තේ යතුරුපැදියට තෙල් ගැහීම සඳහාය. තමන් අමාරුවක දමා මිතුරන් පලා ගොස් ඇති බව වැටහුණි. වෙන කළ යුතු දෙයක් නැත. මුදල් කවුන්ටරයේ සිටි මුදලාලි අසලට ගොස් කාරණය පවසා “මම හෙට මුදල් රැගෙනවිත් දෙන්නම්. දැනට මගේ අතේ මේ බිල ගෙවන්නට තරම් මුදලක් නැහැ. එතෙක් මගේ අතේ තිබෙන මේ ඔරලෝසුවයි ජාතික හැඳුනුම්පතයි මුදලාලි තියා ගන්න.” යැයි ඒවා මුදලාලිට භාරදි එදින නිවසට ගොස් පසු දින පැමිණ අදාළ මුදල ගෙවා හැඳුනුම්පත හා ඔරලෝසුව රැගෙන යාමට ඔහුට සිදුවිය.