කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
සිය මිතුරාගේ මවගේ මළ ගමට තමා ආ බව පෙන්වීමට ගිය අයකු වැටුණු අලි අමාරුවක් පිළිබඳ කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
කෑවේ බිව්වේ එකටය. එක පතේය. ආවේ ගියේද එකටය. අනෙක් කටයුතුත් එසේමය. එහෙත් මළ ගෙවල්වල යෑමට හේ දැක්වූයේ අලි බියකි. එය හරියට ඔහු නොමැරෙන අයකු මෙනි.
ඔහුගේ මිතුරාගේ මව මිය ගියාය. දේහය දින දෙකක්ම නිවසේ තිබුණේය. ඔහු මේ මිතුරාගේ මවගේ මළ ගමට සහභාගීවූ බවක් දක්නට නොවීය. මෙය අනෙක් මිතුරන්ට හරස් පද ප්‍රහේළිකාවක් විය. මළ ගම නිමාවට පත්විය. මිතුරු තෙමේ ඔහුට හමුවූවේ මග තොටේදීය. ඒ තවත් මිතුරන් පිරිසක් සමගය.
‘‘මචං මම නුඹලගේ අම්මගේ මළ ගෙදරට ආවා. ඒ වෙලාවේ ඔයා කොහාටද ගිහිල්ලා. මට ඉක්මනටම එන්න ඕන නිසා ආවා’’ යයි ඔහු කියාගෙන ගියේය. මිතුරා එය ගණනකට නොගත්තේය. ඒ ඔහුගේ හැටි දන්නා නිසාය. එහෙත් කටකාර මිතුරෙක් ඊට කට දැම්මේය. ‘‘හා ඇත්තද එහෙනම් කියාපන් අම්මගේ දේහයට අන්ඳලා තිබුණ සාරියේ පාට මොකක්ද කියලා.’’ ඔහු ගොත ගැසුවේය. ඕක අහන්නත් දෙයක්ද බං අන්දලා තිබුණේ සුදු සාරියක්නේ.
මේ කතාවත් සමගම මිතුරා අනෙක් මිතුරන්ගේ මුහුණු බැලුවේය. ‘‘හා ඇත්තම තමයි. උඹ නම් මළ ගෙදර ආපු බව සහතිකයි. මූ එහෙනම් ගිහිල්ලා තියෙන්නේ වෙන මළ ගෙදරක. යකෝ මුගේ අම්මගේ දේහයට අන්දලා තිබුණේ ලා කහ පාට සාරියක්නේ’’ කී විට ඔහුට හීන් දාඩිය දැම්මේ හීන් සැරේ මාරුවෙන ගමන්ලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd