ත්‍රිරෝද රථ රියැදුරු තම වීල්රථය ත්‍රිරෝද රථ නැවතුම්පොළෙහි නතරකර ගෙන සිටියේ කුලී ගමනක් එන තෙක්ය.


මඳ වේලාවකින් ටිකක් වෙරි වූ පුද්ගලයකු අවුත් “යමු මල්ලී” යැයි කියමින් ත්‍රිරෝද රථයට ගොඩවිය.


ඔහු අඳුනන අයකු බැවින් “කොහාට ද යන්නේ” යැයි ත්‍රිරෝද රථ රියැදුරු විමසීය.


“වෙන කොහේද? අපේ ගෙදර” යනුවෙන් වෙරි වූ පුද්ගලයා තතනමින් පැවසීය.


මඳ දුරක් ගොස් වීල් රථ රියැදුරු පිටුපස අසුන දෙස හැරී බලන විට දුටුවේ වෙරි වූ පුද්ගලයා පිටුපස අසුනේ ගොරවමින් නිදියන අයුරුය.


කුලී ගමන කෙටි දුරක් වූ බැවින් ඉක්මනින්ම වෙරි වූ පුද්ගලයාගේ නිවෙස වෙත ළඟා වීමට හැකි විය.


ත්‍රිරෝද රථය මිදුලේ නතර කළ රියැදුරු වීල් රථයේ පැමිණි පුද්ගලයාට “අයියේ, අයියේ නැගිටින්න. ගෙදරට ඇවිල්ලා” යැයි ඇඟට අත තබා සොලවමින් කතා කළේය.


එහෙත් වෙරි මතින් වූ පුද්ගලයා ඇසවත් නොඇරියේය. අවදි නොවීය.


පසුව ත්‍රිරෝද රථ රියැදුරු පිටුපසට ගොස් බීමත් පුද්ගලයා අත් දෙකට ගෙන ඉස්තෝප්පුවේ තිබූ ඇඳ මත තැබීය.


මේ කලබගෑනිය ඇසුණු බිරිය ගේ තුළ සිට ඉස්තෝප්පුවට පැමිණියේ ගේ අතුගාමින් සිටි කොස්ස ද රැගෙනය.


“අදත් කණමදයා වගේ බීලා ඇවිත්” බිරිය පැවසුවාය.


“මං ආවේ හයර් එකට” ත්‍රිරෝද රථ රියැදුරු කීය. “හයර් එකට... දෙන්න එක්ක බීලා වැඩි වුණාම ගෙනත් දමනවා” බිරිය පෙරළා පැවසුවාය.


“මං ඔය ජරාවල් කටේවත් තියන්නේ නැහැ” රියැදුරු පැවසීය. එවිට බිරිය “නෑ.... මගෙන් මොකුත් අහගන්නේ නැතුව යන්න මහත්තයා” කොස්ස ද ගෙන ඉදිරියට පැන්නේ රියැදුරුට පහරදීමටය.


එන පොට හොඳ නැති බව දැනගත් වීල් රියැදුරු ඉක්මනින් ත්‍රිරෝද රථයට ගොඩ වී එය පණගන්වා එතැනින් මාරු විය.
(අම්බලන්තොට විශේෂ - ඩී.ජී. ජයසුන්දර)