කරන්දෙණිය එම්.සුසිල් පි්‍රයන්ත



 ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරන සිය දියණියට බිත්තර ඔම්ලට් එකක් සාදා ගන්නා අයුරු දුරකතනයෙන් කියාදී ඔම්ලට් එකක් මෙන් පවුලේ සැමගෙන් බැනුම් අහන්න සිදුවූ අයකු පිළිබඳව කතාවක් වතුගෙදරින් අසන්නට ලැබේ.
දියණියන් දෙදෙනකුගේ පියකුවූ හේ රජයේ විශ්‍රාමිකයෙකි. දූලා දෙන්නගෙන් එක් අයකු රටය. අනෙකා මෙරටය. රට ඉන්න දෝණියැන්දා ඕස්ට්‍රේලියාවේය. ඒ වැඩිදුර උසස් අධ්‍යාපනය හැදෑරීමටය. ඇයගෙන් මේ ඊයේ පෙරේදා දවසක පස්වරුවේදී නිවසට දුරකතන ඇමතුමක් ආවාය. ඒ මවටය. එහෙත් මව නිවසේ නොසිටියාය. එහෙයින් එයට සම්බන්ධ වූයේ ඔහුය.
 කටහඬ හඳුනාගත් ඔහු ආ දුව මොකද මේ හදිසියේම යයි ඇසුවේය. කෝ තාත්තේ අම්මා නැද්ද යයි ඇය පියාගෙන් ඇසුවාය. අම්ම නම් කොහාට හරි ගිහිල්ලා වගේ ඇයි දුව මොකක්ද ප්‍රශ්නේ යයි ඔහු ඇසුවේය. ප්‍රශ්නයක් නම් නෙමෙයි මට මේ බිත්තර ඔම්ලට් එකක් දාගන්න විදිය අහගන්න යයි ඇය කීවාය.
ඕකත් මොකක්ද ගෙදර බිත්තර ඔම්ලට් හදන්නේ වැඩි හරියක්ම මමනේ. හා කොළයක් ගන්නකෝ, මෙන්න මේවා ලියා ගන්නකෝ යයි ඔහු සිය දියණියට උපදෙස් දුන්නේය.
 කියු පරිදි දියණිය කොලයක් අතට ගත්තාය. හා කියන්නකෝ තාත්තේ ඉතිං යයි ඇය පියාට කීවාය. හා එහෙනම් ලියාගන්න කෝ යයි ඔහු දියණියට කීවේය. ඒ අනුව ඇය ලියන්න පටන් ගත්තාය. මහා හෝටලයක සූපවේදියකු ලෙස ඔහු දියණියට මෙසේ කීවේය. හොඳින් සෝදාගත් බිත්තර තුනක් ගන්න. ඒ බිත්තර තුන බිඳ භාජනයක දමා හොඳින් කලවම් කර ගන්න. කහ මදය හා සුදු මදය එකිනෙක මිශ්‍ර වන සේ එය කලවම් කර ගන්න. දැන් හීනියට ලියාගත් ලොකු ලූනු ගෙඩි දෙකක් එයට එක්කර ගන්න. ගම්මිරිස්, මිරිස් කෑලි, හීනියට ලියාගත් අමු මිරිස් කරල් දෙකක කෑලි ස්වල්පයක් එයට එක්කර ගන්න. ඒවා සියල්ල යළිත් හොඳින් කලවම් කරන්න. ළිපේ තියාගත් භාජනයකට පොල් තෙල් ස්වල්පයක් දමා එය හොඳින් රත්වූ පසු බිත්තර, ලොකු ලූනු ඇතුළත් මිශ්‍රණය එයට එක්කොට රන්වන් පාට වනතෙක් බැදගෙන නිවූ පසු රහ බලන්න යයි ඔහු කියා ගෙන කියාගෙන ගිය දේ දියණිය ලියාගෙන ලියාගෙන ගියාය
මේ දෙබසත් එක්ක පියාටත් සතුටුය. දුවටත් සතුටුය. නිවසේදී කුස්සිය පළාතේවත් නොආ මේ දියණිය පියා දුන් රෙසපිය අනුව බිත්තර ඔම්ලට් එකක් සෑදීමට පටන් ගත්තේ එදා සිය කාමරයට එන මිතුරියන් දෙදෙනෙකුටත් එක්කය. පියා කියු ආකාරයට දියණිය ඔම්ලට් එක හදා ගත්තාය.


එදින රෑ ද ඕස්ටේලියාවේ සිටින දුවගෙන් නිවසට දුරකතන ඇමතුමක් ලැබුනේය. එයත් මවටය. එහෙයින් මව එයට සම්බන්ධවූවාය. බලන්න අම්මා තාත්තා කී විදිහට බිත්තර ඔම්ලට් එකක් හදලා මම හරියට ලැජ්ජ වුණා. ඒක කටේ තියන්න බැරිව වීසි කරා. ඒ මොකද පුතා තාත්තා කොහෝමද ඒක හදාගන්න කිව්වේ අම්මා දුවගෙන් ඇසුවාය. දුව තාත්තා දුන් උපදෙස් කීවාය. ඇයි ළමයෝ ඕකට දිය ලු‍ණු ටිකක් නොදා කොහෝමද රස වෙන්නේ. මේ මිනිහා කළොත් කරන්නේම ඔය වගේ ගොන් වැඩක් තමයි කියමින් ඇය සිය ස්වාමියාට මෙන්ම නිවසේ සිටින අනෙක් අයට ද ඇසෙන සේ කීවේ නිවසේ වහලේ සෙවිලි තහඩු සෙලවෙන සේය.
 මෙය ඇසූ ඒ අවස්ථාවේදී නිවසේ සිටි අනෙක් දියණිය මෙන්ම නැන්දම්මා ද ඔහුගේ ඔළුවට අත සේදුවේ ඉඳුල් නොසෝදාමය. එය එතනින් නතර නොවුණේ ඔහුගේ භාර්යාව අසල්වැසි කාන්තාවන් කිහිපදෙනකු එක්කද සිය සැමියා බිත්තර ඔම්ලට් එකක් හදන්න දුවට දුන් රෙසපිය ගැන කීමත් සමගමය. එය ගම පුරා පැතිර ගියේ එයට කකුල් ලැබුණාක් මෙනි. බිත්තර ඔම්ලට් එකක් හදන්න දෙන්නකෝ හොඳ රෙසපියක් අංකල් යයි ගමේ එකෙක් ඔහුගෙන් ඇසූවිට රෙසපිය දෙන්නේ අමුම අමු ශුද්ධ සිංහලෙන්නේ.